‘‘මේ අලුත් කොල්ලෙක්... ඒ වගේ ම හොඳ පොඩි එකෙක්; යමක් කමක් තේරෙන පොඩි එකෙක්. ඒ හිංද මූට කෝචොක් කරන්නෙපා හරිද...
මොකක් හරි අඩු පාඩුවක් උනොත් ගනන් ගන්නත් එපා හරිද... ආ තව එකක්... මෙතන ඉන්න අනිත් එවුං ගානට මූව දාන්නත් එපා... මූ ටිකක් වෙනස් කොල්ලෙක්. මං පස්සෙ විස්තර කියන්නංකො...’’
අංකල් එහෙම කියන අතරෙ මං පිඟන් හතරයි, වතුර වීදුරු හතරයි, අත හෝදන කෝප්පෙයි මේස උඩින් තිබ්බෙ අංකල් කියපු දේවල් ඇහුණෙ නෑ වගේ.
‘‘කොල්ල පොඩි උනත්, අලුත් උනත් දැනට ම හොඳ වැඩකාරයෙක් වගේ...’’
එහෙම කිව්වෙ ඒ හතර දෙනා අතරින් අනික් තුන් දෙනාට වඩා වයසින් වැඩි කෙනා. එයා එහෙම කිව්වෙ ඇයි කියල නම් මම දන්නෙ නෑ. හැබැයි එහෙම කිව්වට පස්සෙ බතික් අංකල් නම් කිව්වෙ ‘‘ඒකනෙ මං කිව්වෙ... කොල්ල හොඳ කොල්ලෙක් කියල.’’
මට ඒ අන්තිම වචන තුන විතර වගේ ඇහුණෙ යාන්තමට වගේ. මොකද මං ඒ වෙද්දි පාන් අරගෙන එන්න පැන්ට්‍රිය පැත්තට ගියා.
මම පාන් අරගෙන එද්දි ඒ හතර දෙනා ම උණු වතුරෙන් පිඟන් ටික හෝදගෙන බලාගෙන ඉන්නව. මං පාන් ටික මේසෙ උඩින් තිබ්බ ගමන් ආයෙ යන්න හැරුණෙ කරි ටික ගේන්න.
ඒ එක්ක ම අර වයස වැඩි වගේ පෙනුණ ගෑනි මගේ අතින් අල්ලල මාව නවත්ගත්ත. මං ඉගෙන ගත්තු ඉස්කෝලවල දි කෙල්ලො අතින් අල්ලනවට වඩා හුඟක් දේවල් කරල තිබුණත් මේ වෙලාවෙ මට වෙන මොකක්දෝ අමුත්තක් දැනුණ. ඒත් ඒ එක්කම මෙල් සර් කියල දීපු පාඩම් මතක් වුණා; බතික් අංකල් කියපු දේවල් මතක් වුණා. එහෙම වුනත් අත ගස්සගෙන යන්න බැහැ නෙ... ඒ නිසා මං... ‘‘ඇයි නැන්දෙ...?’’ කියල ඇහුවෙ කඩේ වැඩ කරන අනික් එවුන් විතරක් නෙවෙයි... කන්න එන මිනිස්සුත් දැක්කොත් වස ලජ්ජාව නිසා.
‘‘අන්න හරි... හැබෑවට ම කොල්ලො උඹේ වයසත් එක්ක බලද්දි මං නැන්ද තමයි. ඒ උනාට එහෙම කියන්නෙපා. අක්කෙ කියහං. මං අතිං ඇල්ලුව ම බය උණා නෙහ්...?’’
එහෙම කියපු ඒ ගෑනි ‘‘හරි හරි... ගිහිං කරි ටික අරං වරෙංකො. අපිට බඩගිනියි. කන ගමං කතා කරමු. උඹට තව වැඩත් තියෙනව නෙ...’’
මම මොනවත් නොකිය ගිහිං කරි ටික ගෙනල්ල තියද්දි ම වගේ අනිත් මේසෙ කට්ටියක් වාඩි වෙලා. මට දැනුණෙ ඒක ලොකු සහනයක් වගේ.
‘‘නැන්දෙ... ඕනෙකමක් උනොත් කතා කරන්න... මං අර මේසෙ බලන්නං...’’
මං එහෙම කිව්වෙ ඇයි කියල කල්පනා කරේ අනිත් මේසෙ ඉන්න අයට කෑම තියන අතරතුර. ඇත්තට ම මං එහෙම කියන්න ඕනෙ නෑ. ඒත්... අනේ මංදා... මට එහෙම කියවුණා.
බතික් අංකල් මට කලින් කියල තිබුණ නිසා මං ඒ කට්ටියගෙන් ටිප් එකක් බලාපොරොත්තු උනෙත් නෑ. ඒත් එයාලගෙ බිල ගෙවල ආවට පස්සෙ රුපියල් දෙකක් ම පිරිසියෙන් දාල හතරදෙනාම එක සැරෙට ම නැගිට්ට; නැගිටල ‘‘එහෙනං පුතේ... අපි ගිහිං එන්නං’’ කියල අර වයසයි වගේ පේන ගෑනු කෙනා කියද්දි අනික් එවුන් එක එකා උන්ගෙ අතකින් කටවල් වහගෙන හිනා වුණා. මටත් හරියට ලැජ්ජා හිතුණ.
‘‘මුං කියන එව්ව ගනං ගන්න එපා කොල්ලො... මේහ්... ඒක නෙවෙයි... මොකද්ද ඔහේගෙ නම...?’’
එහෙම ඇහුවෙ සාරිය ඇඳල හිටපු කෙනා.
මොන හේතුවක්ද මං ද මට එක පාරට ම මට ‘‘යොහාන්’’ කියල කියවුණා.
‘‘හරි යොහාන් මල්ලි... මං රමණි... මේ ඉන්නෙ ජෙසිකා,’’ කියල මට පෙන්නුවෙ වයසයි වගේ පේන ගෑනු කෙනාව. ඊට පස්සෙ ‘‘මේ විනීත... මෙයාගෙ නම කමලනී... අපි කියන්නෙ කමල කියල...’’
රමණි කියන ගෑනු කෙනා එක දිගට ම කිව්වට මට උත්තර දෙන්න වෙලාවක් ලැබුණෙ නෑ. අනිත් මේසෙ ඉන්න කෙනෙක් කතා කරා. ඒ නිසා මං හතර දෙනාගෙ ම මූණු බලල පොඩි හිනාවක් දාල ඒ මේසෙ ගාවට ගියා. ඊට වැඩිය දෙයක් කියන්න මට වෙලාවක් තිබුණෙ නෑ. එදා තමයි මං පළවෙනි වතාවට ඔය වේස ගෑනු කියල කියන අය දැක්කෙ.
මං හිතුව වගේ ම අපේ එවුන් වැඩ කරන අතරෙ බලාගෙන ඉඳල තියෙන්නෙ මගේ දිහා. ඒක හොඳට ම තේරුණේ ඒ ගෑනු හතර දෙනා ගියාට පස්සෙ උං එක එකා කියපු කතා එක්ක.
‘‘ආ යසසිරිඊඊඊ... කල්ල මරේ වගේ ආ...’’
‘‘බලාගෙන... රුපියල් දෙකක් ටිප් එක දුන්න වගේ නෙවෙයි... අහු වුනොත් එහෙම ආයි එළියට එන්න බැරිවෙන්න හංගගනීවි හරිය...’’
‘‘ඔවු ඔවු... අද රුපියල් දෙකක් ම දුන්නට එක දවසක් අහුඋනොත් එහෙම මාසෙ පඩියත් මදි වෙයි හරිද...’’
‘‘මෙහෙද්දි කතා කරල මුකුළු කරාට කමන්නෑ හරිය... පාරෙදි එහෙම දැක්කොත් බිම බලාගෙන පලයං හරිය... එවුන් ගැන දන්න එකෙක් හිටියොත් එහෙම උඹත් බඩුකාරයෙක්ගෙ ගානට වැටෙයි හරිය...’’
‘‘අර ටිකක් කළු එකියක් හිටිය නේද... ඒකි දෙමළ... මං කියන්නෙ අපේ එවුන් සල්ලි දීල දෙමලිච්චියො එක්කත් නිදිවදිනවනෙ... මට නං ඒකිව පේන්න බෑ...’’
ඔන්න ඔය විදියට හැම එකා ම ඒ ගෑනු ගැන මහ අසික්කිත කතා කිව්ව. හැබැයි බතික් අංකලුයි තව ඉන්නව ගුණපාල කියල කොල්ලෙක්... මිනිහට කඩේ වැඩ කරන එවුන් කියන්නෙ ‘‘මොකෑ’’ කියල. මං ඒ වෙද්දි නං දැනං හිටියෙ නෑ එහෙම කියන්නෙ ඇයි කියල. මිනිහත් කිසිම දෙයක් කිව්වෙ නෑ. සමහර විට මිනිහ ටිකක් කැත නිසා වෙන්නැති. මොකද මිනිහගෙ දත් හුඟාක් ඉස්සරහට ඇවිල්ල. ඉතිං කොයි වෙලාවෙත් මිනිහගෙ දත් ටික එළියට පේනව. ටිකක් අහිංසකයිත් වගේ. සමහර විට මිනිහ ඒ ගෑනුත් එක්ක යනවද දන්නෙත් නෑ. කොහොම වුනත් බතික් අංකල් නං කිව්වෙ ‘‘මේ කඩප්පුලියො කියන එව්ව මායිං කරන්නෙපා යසේ... මුනුත් ඔය කිව්වට ඒ ගෑනුත් එක්ක බුදියගන්නව. මං කියන්නෙ ඔක්කොම නෙවෙයි. සමහර එවුන්...’’
බතික් අංකල් අන්තිමට කියපු කතාව ඇහුවම මට පුදුම හිතුණ. ඒ, ඔය කියන එවුන් ඒ ගෑනුත් එක්ක බුදියත් ගන්නව නම් ඇයි ඒ ගෑනුන්ට මෙච්චර අපහාස කරන්නෙ...? එව්ව ඉතිං එවුන්ගෙන් අහන්නත් බැහැනෙ අප්ප... එතකොට හිතාවි මටත් ඒ ගෑනුත් එක්ක යන්න ඕනෙ වෙලා කියල. පස්සෙ වෙලාවක බතික් අංකල්ගෙන් ම තමයි යමක් කමක් අහගන්න වෙන්නෙ. බතික් අංකලුත් ඒ ගෑනු එක්ක යනවද දන්නෑ...
* * *
එදා දවසෙ ඒ විනාඩි ගණනට සිද්ධ වෙච්ච දේවල් දවල් වෙද්දි සුමනසිරි අයියගෙ කනටත් ගිහින් තිබුණ. එයා දවල් කන්න එන වෙලාවෙත් මං වැඩ කරේ ඒ මේස දෙකේමයි. පාලිත මා එක්ක තරහ වුණාට සුමනසිරි අයිය මාත් එක්ක තරහ නෑ. එයාට ඉඩ ලැබෙන හැම වෙලාවකම වගේ මගේ දුක සැප අහනව. එයා කෑම එක බෙදාගෙන ඇවිත් වාඩිවෙච්ච ගමන් ම ‘‘අද අර බඩු හතර රුපියල් දෙකක් ම ටිප් එක දුන්න කියල ආරංචියි... මොනව ද උං කිව්වෙ... කොටුවෙදි හම්බෙමු කිව්ව ද...?’’ කියල ඇහුවෙ නිකං නක්කලේට හිනා වෙන ගමන්.
‘‘පිස්සු ද සුමනෙ අයියෙ. ඒ ගෑනු කන්න ආව... මං කන්න දුන්න... උං මට ටිප් එකක් දුන්න... එච්චරයි. මං හිතන්නෙ අපේ එවුන්ට ඉරිසියා එවුන් මට රුපියල් දෙකක් ම ටිප් එක දීපු එක වෙන්නැති.’’
‘‘එහෙමත් ඇති. මොකද අපේ සමහර එවුන් ඉන්නව උනුත් එක්ක නිදාගන්න යනව. හැබැයි කඩේට ආවම විතරක් නෙවෙයි මගදි දැක්කමත් අහක බලාගෙන යනව. ඉතිං උං සමහර වෙලාවට එහෙම එවුන්ට ටිප් එකක් දෙන්නෙත් නෑ. සමහර අයට දෙනව. ඒත් වැඩිම උනොත් රුපියලක් දෙයි. ඔහේට රුපියල් දෙකක් ම දීපු එකටත් උන්ට ඉරිසියා ඇති. අනික තමයි බතික් අංකල් ඔහේ ගැන මොන මොනවද උන්ට කිව්ව කියනවනෙ. ඒකටත් ඉරිසියා ඇති.’’
සුමනසිරි අයිය සිද්ධිය මට ටිකක් පැහැදිලි කරා.
‘‘ආ... ඔවු සුමනයියෙ... බතික් අංකල් එයාලට කිව්වෙ මං අලුත් හිංද මොකක් හරි අඩුපාඩුවක් උනොත් ගනංගන්නෙපා... මොක හරි තියේ නං අංකල්ට කියන්නෙයි කියල.’’
එතනිං එහාට කතාව දිග් ගැස්සුණේ නැත්තෙ මිනිස්සු ආපු නිසා. ඒත් සුමනෙ අයිය කෑම කාල ඉවර වෙලා යන්න හදද්දි ‘‘රෑට හම්බෙමුකො... මං විස්තර ටිකක් කියන්නං,’’ කිව්වට මං ඒක එච්චර ගනං ගත්තෙ නෑ. ඒත් මමත් ඉතිං ‘‘හරි අයියෙ හරි...’’ කිව්වෙ සුමනසිරි අයිය මොනව හරි හිතයි කියල. මොකද සුමනසිරි අයිය හොඳ මිනිහෙක්. එහෙම මිනිහෙක් තරහ කරගන්න හොඳ නැහැ නෙ.
* * *
රෑ, කඩේ වැහුවට පස්සෙ කට්ටිය නාල, කාල නිදාගන්න සූදානම් වෙද්දි මට දවල් සිද්ධිය ගැන වැඩි දුර දේවල් දැනගන්න ඕනෙකම තිබුනත් මම සද්ද නැතුව හිටියෙ ලජ්ජාවට. මොකද මම වැඩි විස්තර අහන්න ගියොත් මං ගැන වැරැදි විදියට හිතයි කියල මට හිතුණ. ඒත් මගේ අදහස වැරැදියි කියල දැනුණෙ මං කල්පනා කර කර ඉද්දි බතික් අංකල් මගේ ළඟට ආවට පස්සෙ.
‘‘යසේ නිදාගන්නැතෙයි... මක්කයි කල්පනා කරන්නෙ...?’’
‘‘නිදාගන්නෝන අංකල්... ඒත් මං මේ කල්පනා කරේ...’’
මම කල්පනා කරපු දේ මොකක්ද කියල කියන්න තරම් මට හිතේ හයියක් තිබුණෙ නෑ. ඒක මොන වගේ හැඟීමක් ද කියල කියන්නත් මට තේරුණේ නෑ.
‘‘කොච්චර හිතුවක්කාර විදියට ගෙවල්වලිං ආවත් ටික දොහක් යද්දි ගෙවල් දොරවල්, අම්ම තාත්ත, සහෝදර සහෝදරියො මතක් වෙනව. තාම මාස දෙකක්කත් නැහැනෙ ඇවිල්ල නේ ද...? ඔය තුන් මහක් විතර ගියහම පඩි අරගෙන ගම් පැත්තෙ ගිහිං එන්න. එතකොට ඔව්ව හරියයි.’’
‘බතික් අංකල් හිතන්නෙ මං කල්පනා කරේ ගෙදර ගැන කියල. අනේ මට නං ඒ ගෙදර ඕනෙ ම නෑ. ඒත්... මං කල්පනා කරේ මක්කද කියල අංකල්ට කියන්නෙ කොහොමෙයි...?’
‘‘නෑ අංකල්... මං කල්පනා කරේ ගෙදර ගැන නෙවෙයි...’’
මං එහෙම කිව්වෙ අංකල්ට ප්‍රශ්නයක් අහන්න ඉඩ තියල. ඒක හරියට ම හරි ගියා.
‘‘එහෙනං... මක්කයි කල්පනා කරේ... මොකොහ්... රස්සාව එපා වෙලයි...’’
‘උදේ වෙච්ච සිද්ධිය මං මහා ලොකු දෙයක් කියල හිතාන හිටියට ඒක එහෙම නෑ වගේ. කෝ දැන් සුමනෙ අයිය කිව්වෙත් මට රෑට විස්තර කියන්නං කියල නෙ. එයැයිත් පැත්ත පළාතක නෑ.’
‘‘ඇයි... අද ටිප් එක මදිද... අර බඩු ටික දීපු රුපියල් දෙක විතර ද...?’’
අන්න ඒ වෙලාවෙ තමයි මට, මම කල්පනා කරේ මොනවද කියල බතික් අංකල්ට කියන්න වෙලාව ආවෙ. ඒ නිසා මං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හිතුව.
‘‘ටිප් එක ගැනනං නෙවෙයි අංකල්. ඒ ගෑනු දුන්නු ටිප් එකට අමතරව තව රුපියල් හතරක් ද පහක්දත් හම්බුණා. ඒත්... මං කල්පනා කරේ ඒ ගෑනු ගැන; ඒ ගෑනු ගැන එක එකා කියන අහන කතා ගැන. සුමනෙ අයියත් කිව්ව මට ඒ ගැන මක්කද කියන්න තියෙනව කියල. කෝ එයැයි තවම පැත්ත පළාතක ආවෙ නෑනෙ...’’
ඒ වචන ටික මගේ කටින් එළියට පැන්නෙ හරියට බස් එකේ ගමනක් යද්දි වමනෙ යන්න ඇවිත් ඒක තද කරගෙන ඉඳල ඉඳල බැරිම තැන එක පාරටම වමනෙ ගියා වගේ. ඒත් ඉතිං වමනෙ ගියාට පස්සෙ මක්ක කරන්නෙයි... මං හිතන්නෙ අංකල්ටත් ඒක තේරුණා.
‘‘ආ... ඒකයි මේ කොල්ල කල්පනා කරේ... දැං මක්කයි ඔහේට එවුං ගැන දැනගන්න ඕනෙ...?’’
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/11/17
අපලෝකන - පසුගිය කොටස්...
අපලෝකන 09 : අපි හැම කෙනෙක් ම ආස්සරේ කරන්නෝන...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන 08 : ඔහේට සල්ලිවල අගේ තේරෙන්න ටිකක් කල් යයි - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 07 : 'ඒක තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්' - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 06 : මං සරං ඇඳල ම නැහැ නෙ... - ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (05) : මගේ ගම කොහෙද කියල මං දන්නෑ...- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන 04 : මං ඕයි නෙවෙයි ඕයි... මගෙ නම යසසිරි...- (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන 03 : අද නං ජස්ටිං අයිය කාමරේට ම බට්ටෙක් අරගෙන ඇවිත් - (ජයසිරිගේ අලුත්ම නවකතාව)
අපලෝකන (02) : මං මක්කෙටයි කලිසම බුරුල් කරන්නෙ...?- ජයසිරිගේ අලුත්ම නවකතාව
අපලෝකන (01): මුවන් පැලැස්සේ හිඟන කොල්ලා - ජයසිරිගේ අලුත්ම නවකතාව
වජ්ජා’වජ්ජ අවසන් වුව ද..'අපලෝකන' එළඹෙන සිකුරාදා සිට - (ජයසිරි අලවත්ත)