‘‘සැල්ලඩිය... හහ්... හහ්... හා... ආ... හරි හරි... මේකට කියන්නෙත් සැල්ලඩිය තමයි. හැබැයි මේක වැලි හලන සැල්ලඩිය නෙවෙයි... මේක පිටි හලන සැල්ලඩිය. තේරුණයි...?’’
එක පාරට ම ඔච්චමට වගේ හිනාවුණ සරත් ආයෙ ඒ සුනංගුවෙන් ම මගේ අදහස හරි කියලත් පිළිගත්තා.
දැං කොහොමෙයි මේකෙං පිටි හලන්නෙ...?
‘‘මෙහෙමයි...’’ කියපු සරත් ‘‘ කුමාර... ඔය ගෝණි ටික මේක යටින් එළන්න,’’ කියල කිව්ව ම කුමාර ගෝණි හතරක් අරගෙන සැල්ලඩියයි මේසයයි අතර තිබුණ පරතරයේ මේස ලෑල්ලෙ එළුවා. ඒ එළුවෙත් එක ගෝණියක අඟල් තුන හතරක තීරුවක් අනෙක් ගෝණියට යට වෙන විදියට. ඊට පස්සෙ ලොකු බෙලෙක් කෝප්පයක් අරගෙන අර සැල්ලඩියෙන් බාගයක් විතර පිරෙන්න පිටි දැම්මා. ඒ අතර සරත් ස්වස්තික හැඩයෙ යකඩයක් අරගෙන ඇවිත් මේසෙ පහළ සවි කරල තිබුණු රෝදය මැද තිබුණ තව්වකට දාලා ලෑන්ඩ්මාස්ටරයක් (අත් ට්‍රැක්ටර්) ස්ටාට් කරන විදියට කරකැව්වා. ඒ රෝදෙ එක රවුමක් කරකැවෙද්දි සැල්ලඩිය දහ දොළොස් වතාවක් එහා මෙහා දුවල ඉවරයි. ඒ විදියට තුන්පාරක් විතර කරකවල ඉවර වෙද්දි සැල්ලඩියට දාපු පිටි ටිකත් හැලිල ඉවරයි.
ඊට පස්සෙ කුමාර අර ගෝණි එකින් එක නවල පිටිත් එක්ක ම පිටතට අරගෙන එක දිගට තියල තියෙන මේස හතරට දැම්මා. ඒ අතර සරත් සැල්ලඩියෙ ඉතුරු වෙලා තිබුණ පණු කැදලි, ගුල්ලො... තව ඔය ගෝණි නූල් කැලි වගේ දේවල් එකතු කරල බිත්තිය මුල්ලක තිබුණ ලොකු බෙලෙක් ටින් එකකට දැම්මා. ඒ බෙලෙක් ටින්වල තමයි පිටි කෑම වර්ග නිෂ්පාදනයට මිශ්‍ර කරන මාගරින් එන්නෙ. පස්සෙ ඒ ටින් වෙනත් වැඩවලට පාවිච්චි කරනවා.
‘‘දැං හරිය... සැල්ලඩියෙං පිටි හලන හැටි බලාගත්තැයි...?’’
සරත් ඇහුවෙ මට ලොකු පාඩමක් කියල දීල ඒක තේරුණාද කියල අහනව වගේ. ඇත්තට ම මම නොසිතපු විදියකට සිද්ධ කරපු ඒ වැඩේ මට අපූරු පාඩමක් වුණා නම් තමයි.
* * *
සතියක් විතර ගත වෙද්දි මගේ අත හොඳට ම සනීප වුණා. දැන් ගුණසේකරත් ගමේ ගිහින් ඇවිත් දවස් දෙකක්. ඒත් මාව කුස්සියෙන් වේටර් වැඩේටවත්, තේ පැන්ට්‍රියට හරි කෑම පැන්ට්‍රියටවත් මාරු කරන විදියක් පේන්නෙත් නෑ. මමත් ඒ ගැන මොනවත් ඇහුවෙත් නෑ. මොකද ඇත්තට ම මම කුස්සියෙ වැඩ කරේ කැමැත්තෙන්. දැලි, දුමාරය, මස් මාළු පිළි ගඳ... ඉඳුල් ගඳ තියෙනවා තමයි. ඒත් කාගෙන්වත් කිසිම ආඩපාළි අහන්නත් නැති නිසා මම අර තුන්දෙනාම කියන වැඩක් කරගෙන හිටියා. දැන් මට තනියම මිරිස් කොටන්නත් පුළුවන්. එහෙම මට ඉන්න දුන්නෙ ඇයි කියල තේරුණේ හතර දෙනත් එක්ක ම දවස් තුනක් විතර වැඩ කරාට පස්සෙ.
‘‘බාස්උන්නැහේ... දැං ඔහේ කවද්ද දෙවුන්දර යනවයි කිව්වෙ...?’’
මැනේජර් මහත්තයා විජේසිංහ අයියගෙන් එහෙම අහද්දි මම හිටියෙ පොල් මිරික මිරික. පොල් මිරිකන ක්‍රමය කියල දුන්නෙ ගුණසේකර. ගෙවල්වල වගේ නෙවෙයි... පොල්ගෙඩි විසි පහක් විතර ගෑවට පස්සෙ විජේසිංහ අයිය ඇවිත් මැල්ලුමට වුවමනා පොල් ටිකක් කලින්නම අයින් කරනවා. නමුත් ඒ පොල් ටික මැල්ලුමට මදි. ඒ නිසා මිරිකපු පොල් කුඩුත් අනිවාර්යයෙන් ම එකතු කරනවා.
මැල්ලුමට පොල් අයින් කරාට පස්සෙ ඉතිරි පොල් ටික ඔක්කොම ලොකු බාල්දියකට දානවා. තවත් ඒ ප්‍රමාණයේ ම බාල්දියක් ළඟට ගන්නවා. මුලින් ම කරන්නෙ බාල්දියේ තියෙන පොල් ටික අත් දෙකෙන් හොඳට කවලම් කරන එක. ඒක අරියට දෙමෝලෙන් වි කොටනවා වගේ අත් දෙකෙන් මාරුවෙන් මාරුවට තමයි කලවම් කරන්නෙ. ඊට පස්සෙ බෙලෙක් කෝප්යකින් නියමිත වතුර ප්‍රමාණයක් කවලම් කරනවා. නැවත අර විදියට ම හොඳට මිරිකලා ‘‘මිටි කිරි’’ කියල කොටසක් පැත්තකට කරනවා. ඊට පස්සෙ ආයෙත් පොල් ටික විතරක් හොඳට කවලම් කරනවා. කවලම් කරල ඉවර වෙලා කලින් වගේ ම නිශ්චිත වතුර ප්‍රමාණයක් එකතු කරලා ‘‘දිය කිරි’’ කියල කොටසක් වෙන් කරනවා. ඒ කිරි වර්ග දෙක ම ගත්තට පස්සෙ ඉතිරි පොල්කුඩුවලින් කොටසක් පළමුවෙන් ම මැල්ලුමට වෙන් කරපු පොල් එක්ක කවලම් කරනවා.
ඒ පොල් සහ පොල් කුඩු තමයි ඕන ම මැල්ලුමකට කවලම් කරන්නෙ. කඩේ අයිතිකාර මහත්තයගෙ ඉඳල කඩේට එන අය විතරක් නෙවෙයි අපිත් කන්නෙ එහෙම හදන මැල්ලුම ම තමයි. හැබැයි ඉතිං රසේ නම් අඩුවක් නෑ. පොල් මිරිකන එක නම් ඇත්තට ම පොල් ගානවටත් වඩා ටිකක් විතර අමාරුයි. මොකද ඒක කරන්නෙ හිටගෙන, කොන්දත් නවාගෙන. ඒත් දවස් තුන හතරක් යද්දි ඒ වැඩෙත් අල්ල ගන්න මට පුළුවන් වුණා.
‘‘මං... මේ... යන්නෙ නං අනිද්ද මැනේජර් මහත්තයො. හෙට වැඩ ඉවර වෙලා යනව. ඇයි මැනේජර් මහත්තයො...?’’
මැනේජර් මහත්තය අහපු ප්‍රශ්නෙට විජේසිංහ අයිය උත්තර බැන්දෙ එහෙම.
‘‘නෑ මං බැලුවේ මේ... එහෙමනං යසේ මෙහෙම්ම හිටපුවාවෙ නේද... මිනිහ වැඩේ අල්ලං යනවනෙ...’’
මට ඒ වචන හොඳට ම ඇහුණත් මම නෑහුණ විදියට මගේ වැඩේ කරා.
‘‘ආ... ඔවු ඔවු... රොහාන් වැඩේ අල්ලං යනව. මං ගුණසේකරටයි ගනේස්ටයි දෙන්නට ම කිව්ව මිනිහට හරියට වැඩේ කියල දෙනේනෙයි කියල.’’
විජේසිංහ අයියගෙ කතාවට ‘‘හම්ම්ම්...’’ කියපු මැනේජර් මහත්තයො හෙමිහිට මගේ ළඟට එන විත්තිය දැනුණා. ඒක දැන දැනත් පාඩුවෙ ඉන්න බැරි නිසා මම කොන්ද කෙළින් කරල එයා දිහා බලල පොඩි හිනාවක් දැම්මා.
‘‘හරි හරි යසේ... ඔහේගෙ වැඩේ කරගෙන යන්න. එහෙනං... තව සතියක් ඉතර කුස්සියෙම වැඩ කරන්න ඇහැකිනෙ...?’’
‘‘ඇහැකි මැනේජර් මහත්තයො...’’
ඒ විදියට තමයි මගේ කුස්සියෙ රස්සාව තවත් සතියකට විතර කල් ගියේ.
* * *
අද විජේසිංහ අයිය යනව කියපු දවස. හවස සාමාන්‍ය වැඩ ඉවර වෙන්න කිට්ටුවෙද්දි විජේසිංහ අයිය ගනේෂ්ට කතා කරා.
‘‘ගනේස්... අද... ගම්මිරිස් හරි කහ ටික හරි දෙවර්ගෙන් එක වර්ගයක් කොටාගන්නෝන. මේ වැඩ ටික ඉවර වෙලා රොහාන් එක්ක ඒ වැඩේ කරන්න. අද කහ කොටල... හෙට ගම්මිරිස් කොටන්න දාගත්තත් කමන්නෑ... මොකද... කහ තව දෙතුන් දොහකට ඇති වෙයි.’’
‘‘හරි අයියෙ... අපි දෙන්න ඒ ටික කරන්නං...’’
* * *
එදා කුස්සියෙ වැඩ ටික ඔක්කොම ඉවර වෙලා දවල්ට කෑවටත් පස්සෙ ගනේෂ් කිව්ව කුස්සිය හොඳට අතුගාන්න කියල. ඒ වගේ ම මිරිස් කොටද්දි ගෝණි ටික එළන විදියට ම එළලා මම ම වංගෙඩියත් ඒ ගෝණි උඩට ගෙනාවා. ගනේෂ් කිසිම අමුත්තක් පෙන්වන්නෙ නැතුව ගබඩා කාමරෙන් අරගෙන ආපු ගම්මිරිස් ඇට පාර්සලයක් ලිහල වංගෙඩියෙන් බාගයක් විතර වෙන්න පිරෙව්වා.
‘‘රොආන්... ලේන්සුව තමයි බෙන්දගන්ඩෝන...’’
මම පුරුදු විදියට ලේන්සුව තුන්හුලස් වෙන්න දෙකට නවල නහයයි කටයි වැහෙන විදියට කන් දෙක දෙපැත්තෙන් දාල ගැටගහගත්තා. ගනේෂනුත් අනිත් ලේන්සුව අරගෙන ඒ විදියට ම ගැටගහගත්තා.
‘‘හරි... කොට්ටාන්ඩ...’’
ගනේෂ් එහෙම කියපු හැටියෙම මමත් මෝඩය වගේ දෑත බදල පළමු මොල්ගස් පාර ගැහුව විතරයි වංගෙඩිය ඇතුළෙ තිබුණ ගම්මිරිස් ටික සී සී කඩ විසිරුණා. ගෝණි ටික උඩ විතරක් නෙවෙයි... බිම පුරාමත් විසුරුණා. මම මෝල්ගහ වංගෙඩිය ඇතුළෙ තියාගෙන ම ගනේෂ් දිහා බලද්දිත් මිනිහ හොඳට ම හිනාවෙනවා. මට කේන්තිත් එක්ක. ඊටත් වැඩිය දුකයි. මොකද වංගෙඩියට දාපු ගම්මිරිස් ඇටවලින් බාගයකටත් වඩා බිම.
‘‘මං ඉත්තුව ඔය්ය ටික්ක වෙයි කියල්ලා... ඒත් මං කල්පනා කරා රොආන් ටික්කක් අරි හිතයි කියල... ෂරි ෂරි... කමක් නේ කමක් නේ...’’ කියන අතරතුරු ම ගනේෂ් බිම තියෙන ගම්මිරිස් ටික එකතු කරල වංගෙඩියට දැම්මා. මමත් ගෝණි උඩ වැටිල තියෙන ගම්මිරිස් ඇට එකතු කරලා වංගෙඩියට දැම්මා.
‘‘ගම්මරිස්සුයි කායි කොට්ටද්දි මිරිස් වගේ බේ... ඒක්කට වෙන්න ක්‍රමයක් තමා තීනවා.’’ කියපු ගනේෂ් අනෙක් පැත්තෙ කාමරයට ගිහින් හරි මැදින් රවුම් හිලක් කපපු තේකොළ ගේන ලොකු පෙට්ටි පියනකුයි තරමක් ලොකු දරු කෑලි දෙකකුයි අරගෙන ආවා.
‘‘ගම්මිරිසුයි කායි කොට්ටද්දි කා හරි ගම්මිරිස් හරි වංගෙඩියට්ට දාල්ලා මෙන්න මේ විදියට මේ ලේල්ලෙන් වාන්ඩ තමයි ඕනා. ඊට පස්ෂෙ මේන් මේ විදියට තමා මේ දර කේලි දෙක දෙපැත්තෙන් තීන්න ඕනා,’’ කියල කියන අතර ම ගනේෂ්, මැද රවුම් හිලක් කපපු තේ පෙට්ටි පියන වංගෙඩිය උඩින් තියලා ඒකෙ වම දකුණ දෙකෙළවරට වෙන්න අර බර දර කැලි දෙක තිබ්බා. එහෙම තියලා ‘‘දෙං මේම්ම තමා කොට්ටන්ඩ ඕන්නා,’’ කියල හරියට ම හරි හිල මැදින් වංගෙඩියට මෝල්ගහෙන් කෙටුවා; දිගටම කෙටුවා; එහෙම හිලක් ඇතුළෙන් කොටනවා කියල නොදැනෙන තරම් ඉක්මනට කෙටුවා. මට ඒක හරිම විස්මය ජනකයි. මොකද පොඩ්ඩක් එහා මෙහා වුනොත් අර ලෑල්ලත් කැඩෙනවා. ආයෙත් ගම්මිරිස් ටිකත් බිම ඉහිරෙනවා.
‘‘හම්ම්ම්... ඔයැයිට ඒක ටික්කකාක් ඉතර අමාරු වෙයි තමා. කමක් නේ... කේම පෙන්ට්‍රියෙන් පත්තරයක් අරගෙන එන්ඩකෝ...’’
ගනේෂ් කිව්ව විදියට මම වෙනද වගේ ම කැම පැන්ට්‍රියෙන් පත්තරේ ගෙනාවම ඒකත් වෙනද වගේ ම බිම එළල, පිත්තල හැන්දකින් වංගෙඩියෙ තියෙන ගම්මිරිස් කුඩු පෙනේරෙට දාල මට දුන්නෙ ‘‘ආ... මේ ටික්ක හලාන්ඩකෝ,’’ කියලා. ඒ අතර ගනේෂ් තව ගම්මිරිස් ඇට ටිකක් වංගෙඩියට දාල ආයෙත් කොටන්න පටන් ගත්තා. මම හලපු ගම්මිරිස් ටික එහෙම්මම තියෙද්දි පෙනේරෙ ඉතිරි වෙලා තියෙන කැලි ටික අතේ තියාගෙන බලාගෙන හිටියෙ ඊළඟට මොකද කරන්නෙ කියල.
‘‘රොආන්... තව පත්තර පිටුවතක් එළල ඔය කැලි ටික ඒකට දාල... මේ ටිකත් හල්ලාන්ඩකෝ...’’
මෙන්න මේ විදියට දෙතුන් පාරක් ම හැලුවට පස්සෙ ඉතිරි වුණ කෑලි ටික වංගෙඩියට දාපු ගනේෂ් ආයෙත් තේ පෙට්ටි පියන වංගෙඩිය උඩින් තියල, දර කොට කෑලි දෙකත් දෙකෙළවරෙන් තියල ‘‘ෂරි... රොආන්... දෙං හරියට මේ හිල්ල මෙද්දින් කොටාන්ඩ... ටික්කාක් කොට්ටාද්දි හරි යයි...’’ කියල මෝල් ගහ මගේ අතට දුන්නා.
මෙච්චර වෙලා වැඩේ බලාගෙන හිටපු නිසා ද මන්දා මමත් බය නැතුව අර හිල මැදින් වංගෙඩියට කෙටුවා. ඇත්තට ම කියන්න කිසිම කරදදරයක් නැතුව වංගෙඩිය ඇතුළට මෝල්ගහ වැදුණා.
‘‘හම්ම්ම්... ෂරි ෂරි... තව්ව ටික්කාක් පුරුද්දු උනාම ඔය හිතේ බය ගත්තිය එරේවි. කොටාන්ඩ... කොට්ටාන්ඩ...’’
ගනේෂ් එහෙම කියද්දි මට දැනුණෙ තරගයකට දුවද්දි පිට්ටනියෙ වටේ බලාගෙන ඉන්න අය හුරේ තියනව වගේ හැඟීමක්. කොහොම හරි ඒක එහෙම ම තමයි. පස්සෙ ඉතිරි වෙලා තිබුණ ගම්මිරිස් ඇට ටික මම කෙටුවෙ තනියෙන්. තවත් සරලව ම කියනවා නම් ගම්මිරිස් කෙටීමේ පාඩමත් එක දවසෙන් ම ඉගෙන ගත්තා. හැබැයි ඉතිං ගනේෂ් නොහිටින්න එහෙම නොවෙන්නත් තිබුණා. මොකද ගුණසේකර නම් මේ වගේ හොඳින් සැහැල්ලුවෙන් කියල දෙන්නෙ නැහැ නෙ...
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/01/26
අපලෝකන - පසුගිය කොටස්