ඍජුව ම සචේතනීගේ උවන දෙස බලා සිටි ප්‍රතිෂ්ඨ සිය වමත ඇගේ දකුණු උරිස මත තබා ‘‘ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න... මං උඩට ගිහිං කැම එක අරගෙන එන්නං...’’ යැයි පැවසී ය.


ඊට පිළිතුරු සැපයීමට පෙර ඇය ද සිය වමත ප්‍රතිෂ්ඨගේ දකුණු උරිස මත තබා ‘‘එපා ප්‍රතිෂ්ඨ,’’ යැයි පැවසුවේ ආයාචනාත්මක ස්වරයෙනි.

‘‘එපා...! ඇයි ඒ...’’

එසේ විමසූ ප්‍රතිෂ්ඨ පිළිමයක් බවට පත්වූ සේ කිසිදු අංග චලනයකින් තොරව සචේතනීගේ දෑස් තුළ ඔහුගේ දෑස් ගිල්වූයේ ය.

තවමත් සචේතනීගේ අත ප්‍රතිෂ්ඨගේ දකුණු උරිස මත ය. ඒ අත එසේ තිබිය දී ම ඇය, ඇගේ දකුණතින් ප්‍රතිෂ්ඨගේ දකුණත අල්ලාගත්තා ය; එහෙත් ප්‍රතිෂ්ඨ තවමත් පිළිම සෙයියාවෙන් ම ඇගේ දෑස් සමග අනිමිස Jayasiri 22.03 1

ලෝචනයක ය. ප්‍රතිෂ්ඨගේ උරිස මත තිබූ අතින් මඳ තෙරපුමක් කළ සචේතනී ඔහුගේ දකුණතින් මඳක් ඇද, ඉහළ මාලයට පිවිසෙන පියගැට පෙළ අසලින් ඔහු මඳක් ඉවතට ගත්තා ය. ප්‍රතිෂ්ඨ තවමත් අනිමිස ලෝචනයේ ම ය.

‘‘මේ අහන්න...’’

සචේතනී ඇගේ මුවෙන් ඉතා මෘදු හඬක් නිකුත් කළා ය.

‘‘ඔවු... කියන්න... මං අහගෙන ඉන්නෙ...’’

එතෙක් පිළිමයක් සේ නිහඬව, නිසලව සිටි ප්‍රතිෂ්ඨගේ දෙලවන් අතරින් ගලා ආ ඒ වදන් ඔහු ඉදිරිපිට සිටි සචේතනීට පවා ඇසුණා ද යන්න සැක සහිත ය; ඒ හඬ එතරම් ම නිහඬ ය. ඔහුගේ දෙලවන් සෙලවුණ ද දෑස් තවමත් පෙර සේ ම අනිමිස ලෝචනයේ ය. සචේතනීට තව දුරටත් ප්‍රතිෂ්ඨගේ දෑසින් විහිදෙන විස්මයාර්ථ කිරණ ධාරාවට ඔරොත්තු දිය නොහැකි තරමට එය බලවත් විය; නමුදු එය මගහැරීමට ද නොහැකි ය. ඒ, ඇගේ දෙනෙතින් විහිදෙන ආයාචනාත්මක කිරණ ඔහුගේ විස්මයාර්ථ කිරණ සමග එකිනෙක වෙළෙන්නට වූ බැවිනි.

‘‘නෑ මං කිව්වෙ ප්‍රතිෂ්ඨ...’’

ඇගේ මුවෙන් ගිලිහුණු වදන්වල හඬ පෙරට වඩා මඳක් වැඩි වුව ද, ඇයට පැවසිය යුතු දෑ පවසා ගත නොහැකි බවට ද ඒ වදන් සාක්ෂි දැරී ය.

‘‘හරි හරි ළමයෝ... මොකද්ද මේ හිටි ගමං උණේ... කියන්න තියෙන දෙයක් ඉක්මනට කියන්න... කැන්ටිමේ සෙනඟ පිරුනොත් වාඩිවෙන්න තැනක් නැති වෙනව. ඉන්න... මං ටක්ගාල එන්නම්,’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ සචේතනීගේ උරිස මත තිබු අත ඉවතට ගෙන යළි පියගැටපෙළ ආසන්නයට යාමට තැත් කරත් ම ඇය, ඇගේ දෑතින් ම ප්‍රතිෂ්ඨගේ දෑත අල්ලාගත්තා ය.

‘මේ මොකද්ද යකෝ මේ වෙන්න යන්නෙ...! මේකිට පිස්සු හැදීගෙන එනව ද... කවුරුහරි දැක්කොත් එහෙම...’

සචේතනීගේ ක්‍රියාව අනුමත නොකරන සෙයක් දැක්වු ප්‍රතිෂ්ඨ ‘‘ සචේති...! මොකද මේ...?’’ යැයි විමතියෙන් මෙන් විමසී ය.

ප්‍රතිෂ්ඨගේ දෑත් මඳක් හෝ අත් නොහැරි සචේතනී ‘‘නෑ මං කිව්වෙ මේ... අද දවසෙ ඔයා මං වෙනුවෙන් වෙච්ච මහන්සිය හොඳට ම ඇති. ඔයා කාල ඔයාගෙ වැඩක් කරගන්න. මං දැං යන්නං; ආයෙ හෙට උදේ එන්නං. ඊළගට මොකද කරන්න ඕනෙ කියල හෙට කියන්න. මොකද මට ක්ලාස් එකකුත් තියෙනව. දැං මට බය නෑ. ඔයා කොහොම හරි මගේ වැඩේ කරල දෙයි කියල මට විශ්වාසයි...’’ යැයි නොනවත්වා ම වදන් මුදාහළේ කරාමය දකුණට කරකැවූ ජල නළයක් තුළින් ජලය ගලා එන්නා සේ ය.

‘හම්ම්ම්... ඔවු... ඒක හොඳයි. හෙටත් හම්බවෙමු කියන යෝජනාව මෙයාගෙ ම නෙ... ඇත්තට ම මටත් තවම මොකුත් වැඩක් කරගන්න වුණේ නැහැ නෙ... ඔවු... මෙයාට ඉඩ දෙමු. ගෑනි කොහොමත් හෙට එනව. ඒක ෂුවර්...’

‘‘ඇයි ප්‍රතිෂ්ඨ... මොනවද කල්පනා කරේ...?’’

Jayasiri 22.03 1 3සචේතනීගෙ සහ ප්‍රතිෂ්ඨගේ දැත් එකිනෙක පැටලී තිබෙන ස්ථානය තම දෑසට ග්‍රහණය කරගනිමින්, එම රූපරාමුව සිය මනසේ සිතුවම් කරගනිමින් කල්පනාවක නිමග්නව සිටි ප්‍රතිෂ්ඨගෙන් සචේතනී විමසුවා ය.

‘‘අහ්... නෑ මේ... ම්ම්ම්... මං කල්පනා කරේ... ඔයා යන්න කලිං තේකක්වත් බොන්නෙ නැද්ද කියල... මොකද මං දැං කොහොමටත් කැන්ටිමට යන්න ම ඕන... කමක් නෑ... ඔයා ඔහොම්ම ම ඉන්නකො. මං ටක් ගාල කෑම එක අරගෙන එන්නං. ඊට පස්සෙ අපි දෙන්නම කැන්ටිමට ගිහිං... මං බත් කන්නං... ඔයා මොනව හරි කාල තේකක් බොන්න...’’

එකිනෙකට පැටලී තිබූ දැත් ක්ෂණයකින් වෙන්විය. දෙදෙනාට ම ඒ පිළිබඳ විශේෂ හැඟීමක් නොදැනිණ.

‘‘හරි... එහෙනං ගිහිං කෑම එක අරගෙන එන්නකො...’’

අඩවන් දෑස් ප්‍රතිෂ්ඨගේ උවන පුරා සක්මන් කරවූ සචේතනී සිහින් ස්වරයෙන් පැවසුවා ය; එය ආදරණීය ආයාචනයක් නොවේදැයි පියගැට පෙළ නගින ප්‍රතිෂ්ඨ සිහිපත් කළා ය.

******

‘‘ඔයා මොනවද බොන්නෙ...?’’

ආපණ ශාලාවට ඇතුළු වන විට ම ප්‍රතිෂ්ඨ සචේතනීගෙන් විමසුවේ ඇයට අවශ්‍ය යමක් වේ නම් එය ද රැගෙන ගොස් එක් තැනක අසුන් ගෙන තවත් සුළු මොහාතක් හෝ ඇය සමග අල්ලාප සල්ලාපයේ යෙදෙන බලාපොරොත්තුවෙනි.

‘‘ඔයා ගිහින් වාඩිවෙලා කන්න ලේස්ති වෙන්නකො... මං මොනව හරි අරගෙන එන්නං... ආ... ඒක නෙවෙයි... ඔයාට ඩෙසට් එකට මොනව ද ඕනෙ... යෝගට් එකක්...?’’

සචේතනී ප්‍රතිෂ්ඨගෙන් විමසුවේ ඇය ඔහුට සංග්‍රහයක් කිරීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් ප්‍රතිෂ්ඨ බලාපොරොත්තු වූයේ එවැන්නක් නොවේ.

‘‘පිස්සු ද ළමයො...? ඔයා කියන්න ඔයාට මොනවද ඕනෙ කියල... මං අරං එන්නං... එතකං ඔයා මේ කෑම එකත් අරගෙන ගිහිං අන්න අර කෙළවරේම තියෙන මේසෙං වාඩිවෙන්නකො,’’ යැයි පවසනවාත් සමග ම ඊට එරෙහි වූ සචේතනී ‘‘මේහ්... ඔයා යන්න... ගිහින් ඔයා කැමති තැනින් වාඩිවෙන්න. මං මොනව හරි අරගෙන එන්නං... හරි හරි... දැං ඔයා හොඳ ළමය වගේ යන්නකො...’’ යැයි පවසා ප්‍රතිෂ්ඨගේ උරිස් මුඳුනට අත තැබූ ඇය, ඔහු පෙන්වූ මේසය දෙසට ඔහුගේ සිරුර යොමුවන සේ මඳක් තල්ලු කළා ය. ප්‍රතිෂ්ඨ ද ඔහු ද නොදැනුවත්වම මෙන් ඔහු පෙන්වු මේසය දෙසට ගමන් කළේ ය.

******

‘‘ආහ්... මෙන්න මං ඔයාට වටලප්පන් එකක් ගෙනාව. කනව නේද...?’’ යැයි විමසූ සචේතනී, ඇය රැගෙන ආ කුඩා බිම බෝතලයක් සහ වටලප්පන් කෝප්පය මේසය මත තැබුවා ය.

ඇගේ උවන දෙස බලා මඳ සිනාවක් පෑ ප්‍රතිෂ්ඨ ‘‘ගෙදර යනකං ෂේප් වෙන්න ඔය බීම එක ඇති ද...?’’ යැයි විමසුවේ ඒ මොහොතේ විමසිය හැකි වෙනත් කිසිවක් ම සිතට නොනැගුණ බැවිනි.

‘‘අපෝ... හොඳට ම ඇති...’’ යැයි ඇය ද පිළිවදන් සැපවූයේ බීම බෝතලය තුළට බහා තිබූ නළයේ එක් කෙළවරක් ඇගේ මුව තුළට බහා එය දෙලවනින් තෙරපන අතර ය.

Jayasiri 22.03 1 4
සචේතනී, විකසිත සූරියකාන්ත පුෂ්පයක් නිරන්තරයෙන් පබාකර දෙස ම බලා ඉන්නා සේ ප්‍රතිෂ්ඨගේ උවන දෙස බලා සිටින අතර ප්‍රතිෂ්ඨ අහර පිඬ පිඬ මුව තුළට හොවාගන්නා අතර ම සචේතනි පානය කරමින් සිටින බීම බෝතලය තුළ රැඳි බීම ප්‍රමාණය මඳින් මඳ පහත බසිනා ආකාරය බලා සිටියේ ‘අනිත් පියවරට යන්න හොඳ ම වෙලාව මේක’ යන සිතුවිල්ල සිත තුළ රුවාගෙන ය. එසැණින් ම ඒ සිතුවිල්ල වදන් බවට පෙරළිණ.

‘‘මට අහන්නත් බැරි උණා... ඔයා දැනට පදිංචිය කොහේ ද... කොළඹ කිට්ටුව ද...?’’ යැයි ප්‍රතිෂ්ඨ විමසුවේ ඇය කොළඹ අවට ම පදිංචිකාරියක බව නොදැන ම නොවේ.

‘‘ඔවුනෙ... ඒ හරිය ‘කොළඹ අවට’ ද කියන්න නං දන්නෙ නෑ. මං ඉන්නෙ නං මත්තෙගොඩ ස්කීම් එකේ.’’

සචේතනි එම වදන් පවසා එසැණින් ම බෝතලයේ ඉතිරිව තිබූ අවසන් බීම ස්වල්පය ද මුව තුළට ඇදගත්තා ය.

‘‘ආ... එහෙම ද...?’’ යැයි විමසූ ප්‍රතිෂ්ඨ ඔහොම්ම ඉන්න... මං අත හොදගෙන එන්නම්,’’ යැයි පවසා ඔවුන් අසුන් ගෙන සිටි ස්ථානයට නුදුරින් සවිකර තිබූ ජල බේසම වෙත ගොස් අත සෝදාගෙන එසැණින් ම යළි අසුන්ගෙන සිටි ස්ථානයට ම පැමිණියේ ය.

‘‘ඔච්චර ඉක්මනට අත හේදුව ද...?’’

සචේතනී විමසුවේ විමතියෙන් මෙනි.



‘‘ඔවු... මේ වෙලාවෙ එතන වැඩි වෙලා රැඳෙන්න බෑ. තව අය පෝලිමේ ඉන්නවනෙ...’’ යැයි පවසන අතර ම මේසය මත තිබු වටලප්පම් කොප්පය ගෙන ‘‘ඔයත් ටිකක් කනව ද?’’ යැයි විමසුවේ සචේතනී ඔහුගෙන් යමක් විමසන්නට සැරසෙන බව ඇගේ උවනේ ලියැවී තිබෙනු දුටු බැවිනි.

‘‘මට දැන් කන්න බෑ... ඔයා කන්න. මේහ්... ඒක නෙවෙයි... ඔයා කොහෙද පදිංචිය...?’’ යැයි විමසුවේ ප්‍රතිෂ්ඨගේ පෙර දැක්ම සනාත කරමිනි.

‘ම්ම්ම්... ඇත්ත කියනව ද... නෑ ඕන්නෑ...’ යැයි යටි සිතින් අදහස් කළ ප්‍රතිෂ්ඨ ‘‘මං ද...? මං දැනට පදිංචිය මහරගම නිලම්මහරෙ...’’ යැයි පැවසුවේ කිසිදු වෙනසක් නොපෙන්වමිනි.

‘‘ආ... අර පිස්සන්ට බෙහෙත් කරන හාමුදුරු කෙනෙක් ඉන්නව කියන්නෙ නිලම්මහර පන්සලේ නේ ද...?’’ යැයි විමසුවේ ඇයට එම පළාත පිළිබඳ කුඩා හෝ අවබෝධයක් ඇතැයි යන්න හැඟෙන පරිදි ය.

මුවගට මන්දස්මිතයක් නගාගත් ප්‍රතිෂ්ඨ ‘‘හරියට හරි... අන්න ඒ පන්සල කිට්ටුව ම තමයි,’’ යැයි පවසන අතර ම හිස් වටලප්පන් කෝප්පය ද රැගෙන ඉඳ සිටි අසුනෙන් නැගී සිටියේ ‘දැන් ඉතිං යන්න වෙලාව හරි’ යන්න නොපවසා පවසමිනි.

කිසිවක් ම නොපැවසු ප්‍රතිෂ්ඨ හිස් වටලප්පන් කෝප්පය කසළ බඳුනට දමා ආපසු පෙර සිටි ස්ථානයට එන විට සචේතනි ද ඉඳ සිටි අසුනෙන් නැගිට සිටියා ය.

ඇය ද මන්දස්මිතයක් මුවග රඳවාගනිමින් ‘‘මොකෝ ඒ පන්සල ළඟම තැනක් හොයාගත්තෙ... ඔයාටත් පිස්සු ද...?’’ යැයි විමසුවේ ප්‍රතිෂ්ට පැවසු දේ පිළිනොගන්නා බවට ඉඟි සපයමිනි. එය ප්‍රතිෂ්ඨට ද නොවැටහුණා නොවේ.


Jayasiri 22.03 1ප්‍රතිෂ්ඨ ඔහු අසුන් ගෙන සිටි අසුන මේසය ඇතුළට තල්ලු කරන අතර ම... ‘‘ඇයි මං කිව්වෙ බොරු කියල හිතුව ද...? ඇත්ත ම යි. මම ඉන්නෙ ඊට පොඩ්ඩක් මෙහා.. ඔයා කිව්ව වගේ දැනට නං මට එහෙම පිස්සුවක් නෑ... හැබැයි දැන් හිතෙනව ඒ කිට්ටුව ඉන්න එක හොඳයි කියල...’’ යැයි පැවසුවේ ආපණ ශාලාවෙන් පිටව යමු යැයි සචේතනීට ද ඉඟි කරන අතර ය.

ආපණ ශාලාවෙන් එළියට බට සචේතනී ඇය පිටුපසින් එන ප්‍රතිෂ්ඨ දෙස බලා ‘‘ඇයි... ඔයාට අනාගතයෙදි පිස්සු හැදෙයි කියල හිතෙනව ද... එහෙම නැත්නං කවුරුහරි අනාවැකි කියන කෙනෙක්වත් එහෙම කිව්ව ද...?’’ යැයි විමසුවේ උවන පුරා පිරි ස්මිතයක් ද සමගිනි. ඒ ස්මිතය තුළ සිතුවම් වී තිබුණේ ප්‍රතිෂ්ඨ මීට පෙර නොදුටු, කියවාගත නොහැකි අදහසකි. ලොව දක්ෂ සිත්තරුන්ගේ සිතුවම් පිළිබඳ පවා හදාරා, කියවා ඇති සහ ලංකාවේ බොහෝ සිත්තරුන්ගේ සිතුවම් ද ඉතා සුළු මොහොතකින් කියවාගත හැකි තරමේ රසිකත්වයක් ඇති තමාට මේ මොහොතේ සචේතනීගේ උවනතේ ඇඳි සිතුවම කියවාගත නොහැක්කේ මන්දැයි හේ කල්පනා කළේ ය.

‘‘මොකෝ ප්‍රතිෂ්ඨ...! ඔයා මං කියපු දේ සීරියස් ගත්ත ද...?’’

ප්‍රතිෂ්ඨ පියවි ලොවට පිවිසියේ සචේතනීගේ වදන් සවනත වැකුණු විට ය.

සචෙතනීගේ පැනය මග හැරි ප්‍රතිෂ්ඨ, ‘‘හම්ම්ම්... අපි දන්නෙ ම නැතුව එළියටත් ඇවිල්ල,’’ යැයි  පැවසුවේ ඔවුන් දෙදෙනා, ලේඛනාගාරයේ ආලින්ය ද පසු කර, ඇතුළු වීමේ ප්‍රධාන දොරටුව දක්වා ගමන් කර ඇති බව පසක් වීමෙනි.

‘‘ආ... න්... නෑ නෑ... මං මේ වෙන කල්පනාවක හිටියෙ’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසුවේ මුසාවක් නොවේ. ඔහු ඒ නිමේෂයේ සිටියේ කොතැනකද යන්න නිශ්චය කරගැනීම ඔහුට ද අපහසු විය.

‘‘හරි ප්‍රතිෂ්ඨ... එහෙනං... මං යන්නං... මං හෙට දවස ම අපේ වැඩේට වෙන්කරගෙන එන්නං. හැබැයි හෙට ඔයාගෙ වැඩක් කරගන්න නං බැරිවෙයි...’’

සචේතනී පැවසුවේ හෙට දිනය පිළිබඳ සුබදායී බලාපොරොත්තු සහිතව බව ඇගේ වදන්වල මෙන් ම උවනතේ ද සටහන් වී තිබිණ. ප්‍රතිෂ්ඨගේ සිතෙහි ද සුවිශේෂ බලාපොරොත්තුවක් රැඳී තිබිණ. වෙනසකට පැවතියේ සචේතනීගේ අරමුණ කුමක් ද යන්න ප්‍රතිෂ්ඨ අනුමාන කළ ද ප්‍රතිෂ්ඨගේ සැබෑ අරමුණ කුමක් ද යන්න පිළිබඳ අංශු මාත්‍රයක් හෝ සචේතනී නොදැන සිටීම ය.

‘‘ආ... මගේ වැඩේ කොහොමත් ඉතිං කවද ඉවර කරන්න පුළුවන් වෙයි ද කියල දන්නැති වැඩක් නෙ... ඒ නිසා අපි හෙට ඔයාගෙ වැඩේට මහන්සි වෙමු. එහෙනං... හෙට හම්බවෙමු...’’ යැයි ප්‍රතිෂ්ඨ පැවසූ පසු සචේතනී වාහනාංගනය දෙසට ගමන් කරන ආකාරය ඔහු බලාසිටියේ මේ වන විට ද සචේතනී ඔහුගේ පෙම්වතිය ලෙස සලකමිනි. ඇය නොපෙනී යන තුරු බලා සිටි ප්‍රතිෂ්ඨ අවසාන වතාවට ඇය දැකීමේ රිසියෙන් ඇය යතුරු පැදියේ නැගී එනතෙක් ප්‍රධාන දොර අබියස සිට වාහනාංගනය දෙස ඇසිපිය නොහෙලා බලා සිටියේ ය.

ප්‍රතිෂ්ඨ දුටු දසුනෙන් ඔහු අන්ද මන්ද විය. එහෙත් ඒ කිසිවක් ම පිටතට නොපෙන්වූ හෙතෙම හැකි ඉක්මනින් සෙවුම් කාමරය වෙත පියනැගී ය.

ඉවර නෑ...

2022/03/22

jayasiri 04 e1619629387941.jpg
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.






වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...


The Leader TV අද වීඩියෝ

 
 
 
 
 

Leader Whats app


  31

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්