‘‘සචේති... දැං ඔයාට ඔය පොතේ නමයි ලියපු කෙනාගෙ නමයි දෙක ම අමතක ද...? අඩු ගානෙ හාමුදුරුවන්ගෙ නමවත් මතක නැද්ද...?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ ඇගේ අවශ්‍යතාව ඉටු කර දීමේ සද් චේතනාවෙන් නොව ඒ මාර්ගයෙන් ඇය වෙනත් දිශාවකට කැඳවාගෙන යා හැකිදැයි දැනගැනීමේ අටියෙනි. එහෙත් ඇයට ප්‍රතිෂ්ඨ විශ්වාස නොකරන්නට තරම් හේතුවක් නොවී ය.
‘‘මෙහෙමයි ප්‍රතිෂ්ඨ... ඇත්තට ම මට පොතේ නම් නං මතක ම නෑ. හැබැයි හාමුදුරුවන්ගෙ නම මතකයි... ඒත්..’’
ඇය යළි ශෝකාකූල වූවා ය; නිහඩ වූවා ය.
‘‘ඇයි...! ඇයි සචේති ‘ඒත්’ කියල නැවැත්තුවෙ...?’’
ඒ නිමේෂයේ පරාජිකත්වයේ සංකේත ඇගේ උවන පුරා සැරිසරන අයුරු දක්නට ලැබිණ. ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ ඊට පදනම් වූයේ කුමක් ද යන්න දැනගැනීමේ අටියෙනි.
ඇය යළි හිස බිමට නැඹුරුකරගත්වනම ‘‘මං හිතන්නෙ ප්‍රතිෂ්ඨ ඒ හාමුදුරුවො දැන් අපවත් වෙලත් ඇති. මොකද ඒ පොත හුඟක් පරණ පොතක්,’’ යැයි පැවසුවේ පරාජය බාරගැනීම හැර අන් කිසිවක් කළ නොහැකිව අසරණ වූ චෙස් ලෙසිනි.
‘‘අයියෝ... ඔයා හරියට කතා කරන්නෙ පුංචි ළමයෙක් වගේ නෙ... එහෙම නම් ඉතිං බුදුහාමුදුරුවො පිරිනිවන් පාල කොච්චර කල් ද... ඒ උනාට උන්වහන්සේ කියපුව අපි තවමත් කියවන්නෙ.’’
හිස ඔසවා ප්‍රතිෂ්ඨ දෙස නෙත් යොමු කළ ඈ, ඇගේ දසන් නොපෙනෙ සේ වුව ද මුව පුරා සිනාවක් සිතුවම් කරගත්තේ සරදමට ද ප්‍රහර්ෂයට ද යන්න නිශ්චය කරගැනීමට නොහැකි වූ ප්‍රතිෂ්ඨ ද ඇගේ ඒ සිනහව තුළ ම ගිලී තත්පර කිහිපයක් ගත කළේ ය.
‘‘ඔයාට හැම එකක් ම විහිළු ප්‍රතිෂ්ඨ. මං කියන්නෙ ඒක නෙවයි. සාමාන්‍ය කෙනෙක් ගැන නං ඒ කෙනොගෙ පවුලෙ කෙනෙකුගෙන් හරි විස්තර අහගන්න පුළුවං නෙ.. ඒ උනාට හාමුදුරු කෙනෙක්ගෙ විස්තර එහෙම අහන්න කෙනෙක් නැහැ නෙ... ඒකයි මට හිනා ගියේ.’’
එසේ පවසන අතර ඇය සිරුරේ ඉහළ අර්ධය මඳක් ඉදිරියට නවා ප්‍රතිෂ්ඨගේ මුවට ආසන්න වන සේ සම්මුඛ වූවා ය. ඒ, ප්‍රතිෂ්ඨගේ අදහස කෙබඳු දැයි දැනගැනීම පිණිස බව ප්‍රතිෂ්ඨට වැටහිණ.
‘‘හම්ම්ම්... ඒක හොයාගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙනෙවයි සචේති. හැබැයි...’’ යැයි පැවසූ ප්‍රතිෂ්ඨ තත්පර කිහිපයක් නිහඬව කල්පනා කරන විට එය ඉවසා සිටිය නොහැකි වූ සචේතනී ‘‘දැන් ඔයා ඇයි ‘හැබැයි’ කියල නැවැත්තුවෙ...?’’ යැයි විමසුවේ ඊට පෙර ඇය කිසියම් අදහසක් පැවසීමට ගොස් අතර මැද නැවතු මොහොතේ ප්‍රතිෂ්ඨ ක්‍රියා කළ ආකාරයට ම ය. ඒ මොහොතේ නම් ඇගේ උවනේ සිතුවම්ව තිබුණේ සරදම් සිනහවක් ම ය.
‘‘ඔයා නං මාරයි ආ... අවස්ථාවක් ආපු ගමං රිටන් එක දෙනව නේද...?’’
ප්‍රතිෂ්ඨ විමසුවේ කිසිදු අමනාපයකින් තොරව ය. එසැණින් ම ඔහු යළි කතාවට ප්‍රවේශ විය.
‘‘හරි... හේතුව මං කියන්නං. මට කියන්න ඒ හාමුදුරුවන්ගෙ නම මොකද්ද කියල.’’
‘‘ම්ම්ම්... නම නේද...’’ යැයි විමසු සචේතනී අත්බෑගය විවෘත කර, එතුළ තිබූ තවත් කුඩා පසුම්බියක් (Purse) පිටතට ගෙන ඇගේ සියුමැලි ඇඟිලි එතුළ ඔබ- මොබ සක්මන් කරවූවා ය; තත්පර දහයක් ඉක්ම යන්නට මත්තෙන් කුඩාවට නවා තිබු කඩදාසි කැබැල්ලක් ඇගේ ඇඟිලිවල ග්‍රහණයට නතු විය. එම කඩදාසි කැබැල්ල සීරුවෙන් පිටතට ගත් ඇය එය ප්‍රතිෂ්ට වෙත පෑවා ය.
ප්‍රතිෂ්ඨ ද කිසිවක් ම නොකියා තරමක් ඉදිරියට නැමී, එම කඩදාසි කැබැල්ල දිගහැර, එදෙස මොහොතක් ඉතා සුපරික්ෂාකාරිව බලා සිට ‘‘මැටිවිලියේ භූජිස්ස හිමි’’ යැයි රහසින් මුමුණා කඩදාසි කැබැල්ල යළි පෙර තිබූ ආකාරයට ම නවා සචේතනී වෙත පෑය.
එය එක විට ම අතට නොගත් ඇය ‘‘ඇයි...!’’ යැයි විමසුවේ තරමක් විමතියෙනි.
ඇගේ විමතිය බිඳකුදු මායිම් නොකළ ප්‍රතිෂ්ඨ ‘‘මේක පරිස්සං කරල තියාගන්න. දැං මං කියන්නං ඉස්සෙල්ල මං ‘හැබැයි’ කියල නැවැත්තුවෙ ඇයි කියල...’’ යැයි පවසා යළි ඔහුගේ සිරුර සුවපහසු ලෙස අසුන් ගතකළේ ය.
‘‘හරි... කියන්නකො එහෙනං,’’ යැයි පැවසූ සචේතනී ද දිගු කතන්දරයක් අසන්නට සූදානම් වන සේ සුවපහසු ලෙස සිරුර සකසා ගත්තා ය.
‘‘මෙහෙමයි... මට නිකමට හිතුණ ඔයා ඔය කියන හාමුදුරුවො මේ අහල පහලක හාමුදුරු කෙනෙක් නෙවෙයි කියල. මොකද හුඟක් වෙලාවට ඔය පොත් පත් හුඟක් ලියල තියෙන්‍නෙ දුර බැහැර හාමුදුරුවරු. ඒක මං අත්දැකීමෙන් ම දන්න දෙයක්.
‘‘එතකොට ඔයා කියන්නෙ මේ... මැටිවිලිය කියන ගම තියෙන්නෙත් හුඟක් දුර කියල ද...?’’ යැයි ඇය විමසුවේ ඇගේ සිහින් දිගැටි දෙනෙත්වල හැඩය සපුරා ම වෙනස් කරමිනි; එසේ අසන විට ඇගේ දෙනෙත් මාළුවකුගේ මෙන් ගෝලාකාර වී තිබිණ; එමෙන් ම ඒ දෙනෙත් තරමක් ඉදිරියට නෙරා ඇති සෙයක් දිස්විය. ඒ වෙනස මායිම් නොකළ ප්‍රතිෂ්ට ‘‘ඔවු... බෙන්තර ගඟෙන් එහා,’’ යැයි පවසා සමච්චල් සිනාවක් උවනෙහි සිතුවම් කරගත්තේ ය.
ඔහුගේ වෙනස හඳුනාගත් සචේතනී ‘‘ඇයි මේ ඔයා ‘බෙන්තර ගගෙන් එහා’ කියල නිකං අමුතුවට හිනාඋණේ...?’’ යැයි විමසුවා ය.
‘‘ඇයි... ඔයා අහල නැද්ද...?’’
ප්‍රතිෂ්ඨ පිළිතුරු දෙනවා වෙනුවට පැනයක් විමසී ය.
‘‘මොකද්ද...?’’
සචේතනී ද යළි විමසුවා ය.
ඇගේ පැනයට පිළිතුරු සැපයීම මගහැරි ප්‍රතිෂ්ඨ ඇය වෙත තවත් පැනයක් යොමු කළේ ය.
‘‘හරි... මං ඒකට උත්තර දෙන්නං. ඊට කලිං මට කියන්නකො ඔයාගෙ ගම කොහේද කියල...?’’
‘‘මම ද...? මං කුරුණැගල... කුරුණෑගල බෝයගනේ... ඇයි ඒ... මගේ ගමෙයි ඔයා කියපු කතාවයි අතර තියෙන සම්බන්දෙ මොකද්ද...?’’
‘‘හම්ම්ම්... කුරුණැගල... කුරුණෑගල නෙවෙයි... ලංකාවෙ කොයි දිග්බාගෙ ඉන්න මිනිහෙක් උනත් මං කියපු දේ ගැන යමක් දන්නව. කමක් නෑ... මං කියන්නංකො. ඔයා අහල නැද්ද ‘බෙන්තර ගගෙන් එහා ඉන්න ඇස් ඇරපු නැති බළල් පැටියෙක්කත් මෙහාට ගේන්න එපා’ කියල කතාවක් තියෙනව...’’
සචේතනිගේ දෑස් දිප්තියෙන් බැබළිණි. ඒ ප්‍රහර්ෂයට ද, සංවේගයට ද, ලජ්ජාවට ද යන්න නීර්ණය කිරීමට ප්‍රතිෂ්ඨ අසමත් විය.
‘‘ඇයි ඔයා මගේ දිහා අමුතු විදියට බලාගෙන ඉන්නෙ...?’’
ප්‍රතිෂ්ඨ එසේ විමසුවේ තව දුරටත් ඇගේ දෑස් දෙස බලාසිටීම අසීරු වූ බැවිනි. ඒ දැස් තුළ කිමිදෙන විට සමස්ත සිරුර පුරා විදාරණය වන සිහින් විදුලි සැරය තව දුරටත් දරාගත නොහැකි බැවිනි.
‘‘නෑ... මං ඔය කතාව ඉස්කෝලෙ යන දවස්වල අහල තියෙනව. ඒ උනාට එහෙම කියන්නෙ ඇයි කියල නං දන්නෑ. ඇත්තට ම ඇයි එහෙම කියන්නෙ...?’’
මෙතෙක් විමතියට පත්ව සිටි ඇය යම්තාක් දුරකට එයින් මිදී මන්දස්මිතයකින් මුව සරසා ගත්තා ය.
‘‘දැන් ඒ කතාව ඔයාට අහන්න ඕනෙ ද...?’’
ප්‍රතිෂ්ඨ පැවසුවේ ස්ව කැමැත්තෙන් ඒ කතාව පැවසීම නිකරුණේ කාලය විනාශ කර දැමීමක් යැයි අදහස් කළ බැවිනි. එය හැඟී ගිය බැවින්දෝ සචේතනී ප්‍රතිෂ්ඨ බලාපොරොත්තුවෙන් සිටි පිළිතුර ම මුදාහැරියා ය.
‘‘නෑ නෑ ප්‍රතිෂ්ඨ... ඒක අහන්න හදිසියක් නෑ. ඒ ගැන පස්සෙ කියන්නකො. දැං කියන්නකො අපේ වැඩේට මොකද වෙන්නෙ කියල.’’
ප්‍රතිෂ්ඨට සචේතනීගේ සිතුවිලි නිවැරැදිව කියවාගත හැකිවූයේ ඒ නිමේෂයේ ය.
‘මෙකිට ඕන කොහොම හරි මේ පොත හොයාගන්න. ඒ වෙනුවෙන් මේකි ඕන දෙයක් කරයි. ඒත්... කොහොම ද මේ පොත හොයාගන්නේ...’
මඳ වේලාවක් කල්පනාවක නිමග්නව සිටි ප්‍රතිෂ්ඨ එකවර ම ‘‘හරි... මට අයිඩියා එකක් ආව...’’ යැයි පැවසුවේ දිගු කලක් පසුපසින් ගොස් ආදරය දිනාගැනීමට නොහැකි වූ තරුණියකගේ කැමැත්ත ලැබුණු මොහොතේ සිතේ ඇතිවන හැඟීම් සමුදායට සමාන හැඟීම් සමුදායක් මුදා හරිමිනි.
වැළමිට පිරිපුන් කළවය මත තබා, අත්ල මතට සවිධගේ බර දුන් සචේතනී උවන පුරා ආකර්ෂණීය සිනහවක් සිතුවම් කරගත්තා ය. ඇගේ උවනත වෙත වේගයෙන් රුධිරය ගලා ආ බව සාක්ෂි සැපවූයේ දෙකොපුල් මත තැවරී තිබූ ළා රෝස පැහැය යි. ඉදී රත්පැහැ වූ වෙරළු කොළයක හැඩයත්, පැහැයත් කැටිවූ ඇගේ දෙලවන් එකිනෙක මත තෙරපී මඳක් දෙපසට පුළුල් විය. මුවෙන් කිසිදු වදනක් පිට නොකළ ද වැසී තිබු ඒ දෙලවන් මත බොහෝ දෑ ලියවී තිබිණ. ඒ ලියැවී ඇති දෑ වේගයෙන් කියවා නිමකරනවා වෙනුවට එක් එක් අකුර මන්දගාමිව කියවනවාක් මෙන් ප්‍රතිෂ්ඨ ඇගේ දෙලවන්හි රසය දෑසින් උරා බීවා ය. ක්ෂණයකින් විවර වූ දෙලවන් අභ්‍යන්තරයේ තිබූ ශ්වේත වර්ණ මුතුපෙළ ප්‍රතිෂ්ඨගේ භාවනාවට බාධා කළේ ය. ඒ සමගම ඇගේ මුවෙන් ළයාන්විත හඬක් ගලා ආවේ ය.
‘‘මොකද්ද අප්ප අයිඩියා එක. හරියට අර පයිතගරස් ‘යුරේකා යුරේකා’ කිය කියා දිව්ව වගේ නෙ...’’
ඒ ඇගේ මුවෙන් ගලා ආ මිහිරි වදන් පෙළ ය.
ඊට සැපයිය යුතු පිළිතුර ක්ෂණිකව ම සිතට නැගුණ ද එය වදන් බවට පෙරළීම අපහසුවෙන් වළකා ගත් ප්‍රතිෂ්ඨ මන්දස්මිතයක් පාන අතර ම ඔහුගේ වමතේ තිබූ අත් ඔරලෝසුව දෙස බැලී ය.
‘‘හම්ම්ම්... වෙලාව ගියා දන්නෙ ම නෑ දොළහයි කාලත් වෙලා...’’ යැයි පැවසුවේ මෙතෙක් දෙදෙනා අතර පැවති සාකච්ඡාවට තිත තබන්නට ද, කොමාවක් තබන්නට ද යන්න නිවැරැදිව වටහා ගන්නට සචේතනී අසමත් වූ බැවිනි.
‘‘ඒක නෙ... මං නිසා ඔයාගෙ වැඩත් පාඩු වුණා නේද...’’ යැයි සචේතනී විමසුවේ සමාව අයදින ස්වරයෙනි.
‘‘නෑ අනේ... වැඩ ගැන නෙවෙයි මං කතා කරේ...’’
ඔහුගේ ස්වරයේ රැඳී තිබුණේ වටහාගත නොහැකි ස්වරූපයකි.
‘‘එහෙනං... මොකද්ද ප්‍රශ්නෙ...’’
එවර ද සචේතනී විමසුවේ ආයාචනාත්මක ස්වරයෙනි.
අසුනෙන් නැගී සිටින්නට මෙන් සැරසෙන ප්‍රතිෂ්ඨ ‘‘ඔයා දවල්ට කැම ගෙනාව ද...’’ යැයි සචේතනීගෙන් විමසුවේ මිට පෙර ද ඇගෙන් එසේ විමසූ පුද්ගලයෙකු ලෙසිනි.
සචේතනී ඊට පිළිතුරු සැපවූයේ සිනහවකින් පමණි.
‘‘ෂොරි... මට ඉබේටම වගේ ඇහුණෙ... ඔයා කෑම ගේන්න මං වගේ රිසර්ච් එහෙකට ආවෙ නැහැ නෙ නේද...?’’ යැයි ප්‍රතිෂ්ඨ විමසුවේ ද සමාව අයදින ස්වරයෙනි.
ප්‍රතිෂ්ඨ පැවසු දෑ එතරම් මායිම් නොකළ සචේතනී ‘‘ඒ කියන්නෙ... මේ... ඔයා ගෙදරිං කැම ගේනව...?’’
‘‘ඔව් සචේති... මං කෑම ගේනව. යං... මගේ කෑම එක උඩ කබඩ් එකේ... අපි දවල් වෙන්න කලිං ගිහිං කමු. නැත්නං කැන්ටිමේ සෙනඟ පිරෙනව.’’ යැයි පැවසු ඔහු අසුනෙන් නැගිට යත් ම සචේතනී ද අසුනෙන් නැගිට ඔහු පසු පස ඇදුණා ය.
ප්‍රතිෂ්ඨ නිහඬව ම පර්යේෂණ කාමරයට යන පියගැට පෙළ දක්වා පැමිණ පසුපස බලන විට එතෙක් ඔහු පසුපස ම නිහඬව පැමිණි සචේතනී ද ඔහු අසල නැවතුණා ය.
ඍජුව ම සචේතනීගේ උවන දෙස බලා සිටි ප්‍රතිෂ්ඨ සිය වමත ඇගේ දකුණු උරිස මත තබා ‘‘ඔයා පොඩ්ඩක් ඔහොම ඉන්න... මං උඩට ගිහිං කැම එක අරගෙන එන්නං...’’ යැයි පැවසී ය.
ඊට පිළිතුරු සැපයීමට පෙර ඇය ද සිය වමත ප්‍රතිෂ්ඨගේ දකුණු උරිස මත තබා ‘‘එපා ප්‍රතිෂ්ඨ,’’ යැයි පැවසුවේ ආයාචනාත්මක ස්වරයෙනි.
ඉවර නෑ...
ජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
2022/03/08
වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්
වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...
වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් - වජ්ජා’වජ්ජ 07
වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි
වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..
වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි
මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...
මහින්ද උස්සලා බැසිල්ව පොළොවෙ ගසයි! | අද ගොසිප් එක | The Leader TV