ආලියා භාත් සහ රන්වීර් සිං මෙකල බොලිවුඩයේ ජනප්‍රියම නළු නිළි දෙපළක් බව අමුතුවෙන් කියන්න දෙයක් නෙවෙයි. මේ දිනවල ඔවුන්ගේ රසික රසිකාවියන් මහත් උද්දාමයට පත්ව සිටින්නේ ඔවුන් දෙදෙනාම රඟපාන

අලුත්ම සිනමාපටයක් ප්‍රදර්ශනය ආරම්භ කර ඇති නිසයි. ‘රොකී ඕර් රාණි කි ප්‍රේම් කහානි’  (Rocky Aur Rani Ki Prem Kahani ) නැමැති මෙම සිනමා නිර්මාණය තිරගත වීමට පටන් ගත්තේ පසුගිය 28 වැනි දින යි.

මෙය අපූරු ආදර කතාවක් රැගත් හාස්‍යෝත්පාදක සිනමාපටයක්. ඊට ඇතුළත් වන්නේ රොකී රන්ධාවා නැමැති තරුණයාගේත්, රාණි චැටර්ජි නැමැති තරුණියගේත් ප්‍රේම කතාවයි. රොකී ඉතා මුඛරි, විනෝදශීලී තරුණයකු වන අතර රාණි උගත්, බුද්ධිමත් මාධ්‍යවේදිනියක්. බැලූ බැල්මට ඔවුන් නොගැළපෙන දෙදෙනකු ලෙසයි පෙනෙන්නේ. මේ දෙදෙනාගේ ආදර සම්බන්ධයට ඔවුන්ගේ වැඩිහිටියන් ද විරුද්ධත්වයක් දක්වනවා. මේ නිසා විවිධ සංකීර්ණ ගැටළුවලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදුවන අතර ඒවා ජයගන්නට ඔවුන් නොයෙකුත් අපූරු විසඳුම් ද සොයා ගන්නවා. චිත්‍රපටය ඉදිරියට යන්නේ මෙවැනි සිදුවීම් පෙළක් ඔස්සේ යි.

karan johars rocky aur rani kii prem kahaani promises a wholesome entertainer with its grand teaser 001

‘රොකී ඕර් රාණි....’ චිත්‍රපටයේ තවත් විශේෂත්වයක් වන්නේ දශක ගණනකට පෙර ඉන්දීය සිනමාවේ අතිශයින් ජනප්‍රියව සිටි දැවැන්තයන් තිදෙනෙකු ද මෙහි රඟපෑමයි. ඒ ධර්මේන්‍ද්‍ර, ෂබානා අස්මි සහ ජයා බච්චන් යන තිදෙනා යි. ඔවුන් නවසිය හැට, හැත්තෑව, අසූව දශකවල ඉන්දියානු සිනමාවේ කිරුළු දැරූ නළු නිළියන්. ධර්මේන්‍ද්‍රගේ වයස මේ වනවිට අවුරුදු 88ක්. ෂබානා 72 වැනි වියෙහි පසුවන අතර ජයා 75 වැනි වියෙහි පසුවෙනවා.

චිත්‍රපටය මේ වනවිට ඉහළ ආදායම් ලබමින් තිරගත වන අතර විචාරකයන් ද එය ඉහළින් වර්ණනා කර තිබෙනු දැකිය හැකියි. ‘රොකි ඕර් රාණි... .’ සිනමාපටය අධ්‍යක්‍ෂණය කළේ ඉතා සාර්ථක හින්දි චිත්‍රපට කිහිපයක්ම අධ්‍යක්‍ෂණය කළ බොලිවුඩයේ ජනප්‍රිය අධ්‍යක්‍ෂවරයකු වන කරන් ජොහාර්. කරන්ගේ චිත්‍රපටයක් ප්‍රේක්‍ෂකයන් හමුවට ආවේ වසර හතකට පමණ පසුව වීමත් තවත් විශේෂත්වයක්. විචාරකයන් පවසන්නේ ‘රොකී ඕර් රාණි....’ තරුණ පරපුරට මෙන්ම පවුලේ ප්‍රේක්‍ෂකයන්ට ද එකසේ රස විඳිය හැකි සිනමාපටයක් බවයි. ඉහළ මට්ටමේ විනෝදාස්වාදයක් ලබා දෙන අතරම අර්ථවත් අත්දැකීමක් ලබා දීමටත් එය සමත් වන බව ඔවුන් පවසනවා. මෙය කරන් ජොහාර් මෙතෙක් නිර්මාණය කළ හොඳම චිත්‍රපටය හැටියටත් ඇතැමුන් හඳුන්වා තිබෙනු දක්නට ලැබුණා.


කෙසේ හෝ වේවා කවදත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කරන ජනප්‍රිය නිළි කන්ගනා රනෝත් නම් මෙම චිත්‍රපටයට තරමක් දරුණු විවේචනයක් කර තිබෙනු දැකිය හැකියි. ඇය පවසන්නේ මෙය දිනපතා පෙන්වන ටෙලි නාට්‍යයකට වඩා දෙයක් නොවන බවයි. බොලිවුඩ් සිනමාව ආපස්සට රැගෙන යාම ගැනත් කන්ගනා කරන් ජොහාර්ට චෝදනා කර තිබුණා.

Rani 2023.07.05

කන්ගනා එසේ කීවත් සිනමා ක්‍ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනා කරන්ගේ චිත්‍රපටය බෙහෙවින් අගය කර තිබෙනු දකින්නට ලැබුණා. මෙහි මංගල දර්ශනය පැවැත්වුණු දවසේ එය නැරඹීමට ජයා බච්චන් සමඟ ඇයගේ දරුවන් වන අභිෂේක් සහ ශ්වේතා ද පැමිණ සිටියා. චිත්‍රපටයේ රන්වීර්ගේ රඟපෑම්වලට වහවැටුණු ශ්වේතා දර්ශනය අවසානයේ ඔහුට මාලයක් තෑගි දී තිබුණා. මේ බව දැක්වෙන විඩියෝ දර්ශන ඒ දිනවල සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් තිබෙනු දැකිය හැකි වුණා. ශ්වේතාගේ මෙම තෑග්ගෙන් විස්මයට පත් වූ රන්වීර් පවසා තිබුණේ තමාට නයිට් පදවියක් ලැබුණු බවයි.

එම මංගල දර්ශනය නැරඹීමට නළු නිළියන් බෙහෝ දෙනෙකු පැමිණ තිබුණත් රන්වීර්ගේ බිරිඳ දීපිකා පදුකෝන්ට එදින පැමිණීමට හැකිව තිබුණේ නැහැ. නමුත් රන්වීර් පසුව දිනෙක ඇය චිත්‍රපටය නැරඹීම සඳහා කැඳවාගෙන ගොස් තිබූ අතර ඔහු පවසන්නේ දීපිකා චිත්‍රපටයට මහත් කැමැත්තක් දැක් වූ බවයි. එහි ඇතුළත් ගීතයකට ඔවුන් දෙදෙනා නැටුමක් පාන අයුරු දැක්වෙන විඩියෝවක් ද රන්වීර් සිය සමාජ මාධ්‍ය ගිණුමකට එක් කර තිබුණා.

748721517 rocky rani 1
අභිෂේක් බච්චන් ද චිත්‍රපටයෙන් මහත් ආස්වාදයක් ලබා තිබූ අතර ඔහු පවසන්නේ මෙය සෑම පවුලක්ම නැරඹිය යුතු සිනමාපටයක් බවයි. මේ අතර ජන්වි කපූර්, ගෞරි ඛාන්, වරුන් ධවාන්, මලයිකා අරෝරා වැනි අය ද ‘රොකි ඕර් රාණි’...ගැන මහත් ප්‍රසාදයෙන් කතා කර තිබෙනු දැකිය හැකි වුණා.

මෙකල ජනප්‍රිය සංගීත අධ්‍යක්‍ෂවරයකු වන ප්‍රීතම් විසින් නිර්මාණය කරන ලද අපූරු ගීත කිහිපයක් ද මෙහි ඇතුළත්. ඔහු මෙම ගීත ගැන සඳහන් කරමින් පවසන්නේ තමා ඒවා නිර්මාණය කළේ නවසිය හැට හැත්තෑව දශකවල හින්දි ගීතවලට උපහාරයක් හැටියට බවයි.

 

(කසුන් අරවින්ද - රසඳුන)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්