‘‘ආ... වැට්ටුව නේද පොත...? ඇහිඳ ගන්නව... ඇහිඳ ගන්නව...’’
 
තාත්තගේ රළු වදනින් තිගැස්සී ගිය මා ඉක්මනින් ම බිම වැටී තිබූ පොත අහුලා ගත්තේ ය.
 
‘‘ආ... ආ... ඔහොම හරියන් නෑ... පොතක් බිම වැටුණ ම ඒක ඇහිඳ ගන්න ඕනෙ පොතට වැඳල. ඊට පස්සෙ ආයි ඒක අරන් තියද්දිත් වැඳලයි තියන්න ඕන... තේරුණා ද...?’’
 
හිස ඔසවා තාත්තාගේ මුහුණ බැලූ මා, හිස දෙපසට වනා ඔහුගේ කීම පිළිගත් බව ඉඟි කළේ ය.
 
මගේ වයස අවුරුදු අටේ දී නවයේ දී පමණ සිදුවූ මෙම සිදුවීමෙන් පසු පොත්වලට ගරු කිරීම සහ පොත්වලට ආදරය කිරීම යන කරුණු වෙන් වෙන් වශයෙන් හඳුනාගන්නා තුරු පොතක් බිමට වැටුණු සැණින් එයට වැඳ එය අදාළ ස්ථානයෙන් තැබීමෙන් ඉක්බිති ද එම පොතට වඳින්නට පුරුදු වී සිටියේ ය. 
 
නමුත් ‘‘ආදරය කිරීම’’ සහ ‘‘ගරු කිරීම’’ යනු සපුරාම එකිනෙකට පරස්පර ක්‍රියාදාම දෙකක් බව වැටහීමෙන් පසු පොත්වලට වැඳීම නතර කළ ද ‘‘පොත් ආරක්ෂා කිරීම’’ වෙනුවෙන් හැකි උපරිමයෙන් කැප විය. පොත් පමණක් නොව වෙනත් ඕනෑම වස්තුවකට හෝ පුද්ගලයෙකුට වුව ද ‘‘ගරු කිරීම’’ සහ ‘‘ආදරය කිරීම’’ යනු එකෙනෙකට පරස්පර සිද්ධි දෙකකි.
 
Monikaපොත්වලට ආදරය නොකරන පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු පිළිබඳ කනගාටුදායක ම පුවතක් අවසන් වරට අසන්නට කියවන්නට ලැබුණේ නම් ඒ, ශ්‍රේෂ්ඨ කිවිඳියක වූ මොනිකා රුවන්පතිරණගේ පුස්තකාලයේ තිබූ පොත් සියල්ල ම: බෝතල්, පත්තර සහ පරණ යකඩ මිලදී ගන්නා පුද්ගලයෙකුට කිලෝ ගණනට විකිණීම ය. 
 
එහි වඩාත් අවාසනාවන්ත තත්ත්වය නම් එම පොත් එසේ අලෙවි කර තිබුණේ එම කිවිඳියගේ සැමියා සහ පුතු වීම ය. 
 
කෙසේ වුව ද එම පොත් තොගය මිලදී ගත් පුද්ගලයා පොත්වලට ගරුකරනවා ද, ආදරය කරනවා ද යන්න අපැහැදිලි වුව ද ඔහු එම පොත් ප්‍රමාණය කිලෝ ගණනට නොවිකුණා පදික වේදිකාවේ තබා ‘‘පොත්’’ ලෙස අලෙවි කළේ ය; පොත්වලට ‘‘ආදරය කරන’’ අය එම පොත් සියල්ල මිලදී ගත්හ.
 
 
 
 
‘පොත්’’ කියවන පිරිස පහළ ගිහින් ?
 
යට සඳහන් කළ කරුණු සියල්ල අද ලියන ලිපියට පෙරවදනක් ලෙස සැලකිය හැකි ය. මන්ද අද සාකච්ඡා කෙරෙන්නේ මේ වන විට ‘‘පොත්’’ කියවන පිරිස පහළ ගොස් ඇතැයි මතයක් පවතින අතර ම තවත් පසෙකින් පොත් පිළිබඳ (එම පොත්වල හොඳ-නොහොඳ සහ ගුණා-ගුණ පිළබඳව වෙනම විමසිය යුතු ය.) වෙසෙස් අවධානයක් ද යොමුවෙමින් පවතින බව දක්නට ලැබීම ය. 
 
එය කොටස් කිහිපයකට වෙන් කළ හැකි ය.
 
 
 
01.  තමන් මිල දී ගත්, කියවූ සහ කියවමින් සිටින පොත්වල ඡායාරුප මුහුණු පොතේ පළ කිරීම.
 
පළමුවෙන් ම මෙලෙස කරන පාඨක පාඨකාවෝ මා සමග උරණ නොවන්නැයි මම ඉල්ලා සිටිමි. මන් ද මෙය හුදෙක් පොත්වලට ආදරය කිරීමක් හෝ ගරුකිරීමක් නොව එසේ පළ කරන අයගේ ආත්ම තෘප්තිය උදෙසා ම කරන්නක් බැවිනි. එය: නොවටිනා, නොහොඳ හෝ සමාජයට අවැඩක් සිදුවන දෙයක් යැයි මෙයින් ගම්‍ය නොකෙරේ. එමෙන් ම මෙබඳු ක්‍රියා හේතුවෙන්පොත් කියවන පාඨක ප්‍රජාවට කිසිදු ප්‍රයෝජනයක් නොවන බව ද පැවසි ය යුතු ය. යට කී පරිදි එය හුදෙක් ආත්ම තෘප්තිය උදෙසා ම සිදු කරන්නකි.
 
 
02. තමන්ගේ පුස්තකාලයේ ඡායාරූප පළ කිරීම
 
මෙය ද පළමුව සඳහන් කළ වර්ගයට ම අයත් ක්‍රියාවකි. තමන්ගේ පුස්තකාලය පිරිසිදුව, පිළිවෙළට තබාගැනීම ඉතා වටිනා ක්‍රියාවකි. නමුදු එය අන් අයට ප්‍රදර්ශනය කිරීමෙන් තමන්ට හිමිවන්නේ කුමක් ද? හුදු ආත්ම තෘප්තිය පමණක් නොවේ ද? එසේ නම් තමන්ගේ පුස්තකාලයේ තිබෙන පොත් වර්ග, ප්‍රමාණය, රාක්ක වර්ග, කබඩ් වර්ග යනාදිය අනෙක් පාඨක ප්‍රජාවට ප්‍රදර්ශනය කිරීමෙන් කිසිදු ඵලයක් නොමැත. ඔබ ඔබගේ පුස්තකාලය හැකිතාක් දුරට: පිළිවෙළට, පිරිසිදුව පවත්වාගෙන යා යුතු ය. ඔබ එය එසේ කරන්න. නමුදු එය අන් අයට ප්‍රදර්ශනය කිරීමෙන් ගම්‍ය වන්නේ ප්‍රදර්ශන කාමය යි. පොත් කියවන, පොත්වලට ගරු කරන, පොත්වලට ආදරය කරන ඔබ එසේ විය යුතු දැයි යළි යළිත් සිතා බලන්න.
 
 
 
03.  තමා කියවන්නට සූදානම්වන කෘතිය පිළිබඳ අන් අයගෙන් විමසීම
 
මෙය තරමක් සංකීර්ණ තත්ත්වයකි. මන්ද පොත් කියවන ඕනෑ ම පාඨකයෙක් හෝ පාඨකාවක් තමන් කියවන්නට බලාපොරොත්තුවන කෘතිය පිළිබඳ අදහස් දැනගැනීමට කැමැත්තක් දක්වයි. එය පාඨක ප්‍රජාව මතු නොව ප්‍රේක්ෂක සහ රසික ප්‍රජාව අතර ද පවතින්නකි. 
 
නමුත් මෙහි දී සිදුවන අනර්ථකාරිත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු ය. ඊට ප්‍රධාන ම හේතුව වන්නේ කිසියම් නිර්මාණයක් බහුතර පිරිසකට සම මට්ටමෙන් විඳීමට හැකි වන්නේ නම් ඒ ඉතා අල්ප වශයෙනි. අදාළ නිර්මාණය කෙතරම් උසස් ගණයේ නිර්මාණයක් වුව ද, කෙතරම් අවර ගණයේ නිර්මාණයක් වුව ද එහි රස හෝ නීරස කියවන ප්‍රජාවට ග්‍රහණය වන්නේ ඔවුනොවුන්ගේ නැණ පමණ අනුව ය; ඔවුනොවුන්ගේ බින්න රුචිකත්වය අනුව ය. 
 
ඒ සඳහා කදිම නිදසුන් කිහිපයක් ලෙස: බටුවන්ගල රාහුල හිමි විසින් රචිත ‘‘රන්පාට චිත්‍රයක් අතින් ගත් මහල්ලා’’ සහ ‘‘රන් කරඬුව’’, සමන් වික්‍රමආරච්චි විසින් රචිත ‘‘අප්පච්චි ඇවිත්’’, එරික් ඉලයප්පආරච්චි විසින් රචිත ‘‘පේත’’ සහ මේ වන විට වෙළඳපොලේ පවතින අනුරාධා නිල්මිණි විසින් රචිත ‘‘පංචස්තම්භ’’ යන කෘති හැඳින්විය හැකි ය. මෙම කෘති කිහිපය කෙරෙහි ම බහුතර පාඨක ප්‍රජාවක් වෙතින් ලද ප්‍රතිචාරය ඍණාත්මක ය. නමුදු නව්‍ය කියවීමක් බලාපොරොත්තු වන, ‘‘නවකතා’’ බලාපොරොත්තු වන පුහුණු පාඨක ප්‍රජාවෝ මෙම කෘති කියවා, විඳ, එහි යටිපෙළ ග්‍රහණය කරගත්හ. 
 
හුදෙක් කතන්දරයක් පමණක් ම බලාපොරොත්තු වන, නව්‍ය කියවීමකට ආසක්ත නොවන, කිසියම් නිර්මාණයක යටි පෙළ නොදකින බහුතර වූ පාඨක ප්‍රජාවෝ මෙම කෘති පිළිබඳ විවේචන එල්ල කළහ.
 
එසේ නම්, කිසිවකු කියවීමට බලාපොරොත්තුවෙන් සිටින කෘතිය පිළිබඳ අනෙක් පාඨක ප්‍රජාවගෙන් විමසීම කෙතරම් සාර්ථක ද අසාර්ථක ද යන්න දැන් පැහැදිලි වනු ඇතැයි මම විශ්වාස කරමි. එබැවින් තමන් කියවීමට බලාපොරොත්තුවන කෘතිය පිළිබඳ අන් පාඨක ප්‍රජාවගෙන් විමසා නොසිටීම වඩාත් යහපත් ය යන්න මගේ පුද්ගලික හැඟීම ය.
 
එසේ නම්, යම් යම් කෘති පිළිබඳ ලියැවෙන විචාර, විවේචනවලින් කිසිදු ඵලයක් නැහැ නොවේ දැයි මෙහි දි කිසිවකු විමසිය හැකි ය. ඔවු... එහි ද සත්‍යතාවක් නැතුවා ම නොවේ. ඊට බලපාන්නේ ද යට සඳහන් කළ තම තම නැණ පමණින් කියවා, විඳීම ය. මන් ද යථාර්ථයක් ලෙස ගත් විට ‘‘හොඳ’’ සහ ‘‘නරක’’ යනු සාපේක්ෂ ප්‍රපංච ද්වයකි. ඉනිදු ගම්‍ය කෙරෙන්නේ කිසියම් කෘතියක් තම අබිමතය මත කියවා විඳිනවා හැර ඒ පිළිබඳ අනෙක් පාඨක ප්‍රජාවගෙන් විමසීම ඵල රහිත බව නොවේ ද? එබැවින් ඔබ කැමති කෘතිය ඔබ කියවන්න; එය ඔබේ බින්න රුචිකත්වය අනුව විඳින්න. සාර්ථක ම ක්‍රමය එය යි.
 
යට සඳහන් කළ කරුණු ත්‍රිත්වය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී සඳහන් කළ යුතු තවත් වෙසෙස් කරුණක් පවතී. එනම් මම පුද්ගලිකව ම දන්නා පරිදි දැනට ජීවත් වන සහ මිය ගිය බොහෝ උගත්, බුද්ධිමත්, කීර්තිමත්, සුවිශේෂී පුද්ගලයන් සතුව ද පොත් දහස් ගණකින් හෙබි පුද්ගලික පුස්තකාල පැවතියේ ය; දැනුදු පවතින්නේ ය. 
 
නමුදු මා දන්නා තරමට එබඳු පුද්ගලයෝ කිසිදු දිනක තම පුද්ගලික පුස්තකාලයේ ඡායාරූප ප්‍රදර්ශනය නොකළහ; තමන් මිලදි ගත් පොත් පිළිබඳ ඡායාරූප පළ නොකළහ. නොකරති. ඒ, පොත් කියවන්නෝ යනු තමන්ගේ දැනුම අන් අය සමග බෙදාගන්නෝ මිස ඔවුන් සතු පොත් ප්‍රදර්ශනය කිරීම ඵල රහිත ක්‍රියාවක් බව ඔවුන් අවබෝධ කරගෙන සිටින බැවිනි.
 
 
 
04. කියවා අවසන් කළ පොත් යළි අලෙවි කිරීම
 
sdfdfd 
 
මෑත කාලයක සිට ඇතැම් පාඨක පාඨකාවෝ තමන් කියවා අවසන් කළ කෘති යළි අලෙවි කිරීමේ ප්‍රවණතාවක් ද දක්නට ඇත. එසේ කිරීම බරපතළ වරදක් යැයි මෙයින් ගම්‍ය නොකෙරේ. නමුදු මෙසේ අලෙවි කරන පොත් පිළිබඳ අවධානය යොම් කිරීමේ දී හැඟී යන්නේ එම පොත් තමා සන්තකව තබාගැනීමෙන් කිසිදු ඵලක් නොමැති බව ඔවුන් වටහාගෙන ඇති බව යි.
 
උදාහරණයක් ලෙස ගතහොත් මෙසේ අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇති පොත් අතර ඉපැරැණ සෝවියට් සහ රැසියානු සාහිත්‍ය පොත් නොමැති තරම් ය. එමෙන් ම මීට වසර ගණනාවකට පෙර නිකුත් වූ දෙස් විදෙස් සම්භාව්‍ය සාහිත්‍ය කෘති ද නොමැති තරම් ය. අවම වශයෙන් අසූව අනූව දශකවලට පෙර නිකුත් වූ හොඳ යැයි සම්මත ස්වතන්ත්‍ර සාහිත්‍ය කෘති ද නොමැති තරම් ය. ඒ ඒ කාලවකවානුවල සිටි පාඨක ප්‍රජාව ද තමන්ගේ කෘති එසේ අලෙවි කරන්නට පෙලඹී ඇති බවක් ද දක්නට නොමැත. 
 
නමුදු මම පුද්ගලිකව දන්නා පරිදි ඇතැම් වියපත් පුද්ගලයෝ තමන් විසින් පරිශීලිත ඇතැම් කෘති විකිණූ අවස්ථා නැතුවා නොවේ. මම ද පුද්ගලිකව ඔවුන් විසින් එසේ අලෙවි කරන ලද පොත් මිලදී ගෙන ඇත්තෙමි. නමුදු මට සම්මුඛ වී ඇති එබඳු පුද්ගල චරිත බොහොමයක් දැඩි ආර්ථික අපහසුතා හේතුවෙන් ම සිය පුස්තකාලයේ පොත් යළි අළෙවි කළ පුද්ගලයෝ වෙති. ඇතැම් අය දැඩි ලෙස මත් පැන් පානයට ඇබ්බැහි වූවෝ වෙති. නමුත් ඔවුන් එම කෘති අලෙවි කළේ ඉතා රහසිගතව ය; පුද්ගලික දැන හැඳුනුම්කම් මත ය. 
 
එබඳු ඇතැම් පුද්ගලයෝ මැකලම් පාරේ (වර්තමානයේ ඩී. ආර්. විජේවර්ධන මාවත) පිහිටි පරණ පොත් කඩයකට පවා කිසියම් කෘති ප්‍රමාණයක් රැගෙන ආවේ නම් ඔවුන් එය අලෙවි කරන්නේ අනවසර අරක්කු විකුණන්නකු වට පිට බලා අරක්කු විකුණන ලෙසිනි. ඒ, ඔවුන් දන්නා හඳුනන කිසිවෙකු දුටුවහොත් යන සැකයෙනි; තමන්ගේ පුස්තකාලයේ පැවති කෘතියක් යළි අලෙවි කිරීම ලජ්ජාවට කරුණක් ලෙස සැලකු බැවිනි. (දැන් දැන් රටේ ඉඩම් බහුජාතිකයන්ට විකුණන දෙස්පාළුවන්ට වඩා මේකී මිනිස්සු යහපත් ය.) 
 
නමුදු දැන් තත්ත්වය බොහෝ සෙයින් වෙනස් ගොසිනි. එයට හේතුව වත්මන් සමාජ පිරිහීම ද, ආර්ථික පිරිහීම ද යන්න සැකයක් නොපවතිනවා ද නොවේ.
 
පිටතින් බලා මෙසේ ලියන මා නොදැන සිටිය ද එසේ පොත් අලෙවි කරන පුද්ගලයන්ට පුද්ගලික ප්‍රශ්න තිබෙන්නට පිළිවන. මේ මෑතක ද එක් පාඨකාවක් තමන්ට හදිසි මුදල් අවශ්‍යතාවක් හේතුවෙන් එසේ පොත් අලෙවි කරන බව සඳහන් කර තිබුණා ය. එමෙන් ම ඇය පසුව සඳහන් කර තිබුණේ ඇගේ හදිසි මුදල් අවශ්‍යතාව සපුරාලන්නට පිරිසක් එකතු වූ බවයි; ඇය සතු පොත් අලෙවි නොකරන්නැයි ඔවුන් ඇගෙන් ඉල්ලා සිටි බවයි. 
 
මා දකින අන්දමට ඇයට උපකාර කළේ සැබැවින් ම පොත්වලට ආදරය කරන පිරිසකි. අපිට වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ එබඳු පුද්ගලයෝ ය. ඔවුන්ට මගේ ප්‍රණාමය පුද කරන්නට ද මෙය අවස්ථාවක් කරගන්නා බව මම සඳහන් කරමි.
 
 
 
05.  පොත් කළුකඩකාරයෝ
 
sdfsdfdfg 
 
මේ සියලු සිද්ධි අතර ‘‘පළමු මුද්‍රණ’’ යැයි සඳහන් කරමින් කෞතුක භාණ්ඩ අලෙවි කරන මිලට පොත් අලෙවි කරන පුද්ගලයෝ ද මේ වන විට කරළියට පැමිණ ඇත. 
 
මෙබඳු එක් පුද්ගලයෙක් මුහුණු පොතේ සමුහයක පළ කර තිබු පෝස්ටුවක සඳහන්ව තිබූ ‘‘ලංකා ඉතිහාසය’’ සහ ‘‘ධර්මිෂ්ඨ සමාජය’’ පොත් දෙකේ මිල කීයදැයි මම විමසුවෙමි. එවිට එම පුද්ගලයා දුරකතන අංක දෙකක් සඳහන් කර එම අංක දෙකෙන් එකක් අමතන ලෙස සඳහන් කර තිබිණ. මම වහාම එම අංක දෙකෙන් එකකට ඇමතුමක් ගෙන යට සඳහන් පොත් දෙකේ මිල විමසුවෙමි. ඔහු පැවසු මිල ඇසූ මට උන්හිටි තැන් අමතක විය. අදාළ පොත් දෙක සඳහා ඔහු රුපියල් හත්දහස් පන්සියයක මිලක් නියම කළේ ය. 
 
එතරම් මුදලක් ඇයිදැයි මම විමසුවෙමි. එවිට ඔහුගේ සරල ම පිළිතුර වූයේ ‘‘එහෙම තමයි. ෆස්ට් ප්‍රින්ට්නෙ...’’ යන්නයි. මොවුන් සැබැවින් ම පොත් කළුකඩකාරයෝ නොවෙති ද?
 
කිසියම් පුද්ගලයෙකු පොතක් මිලදී ගන්නේ එය කියවා, විඳීම සඳහා මිස ලෝකප්‍රසිද්ධ සිතුවම්කරුවන්ගේ සිතුවම්, වෙනත් ඉතිහාසගත පුද්ගලයෙකුගේ පුද්ගලික භාණ්ඩ මෙන් කෞතුකාගාරයක තැන්පත් කර කෞතුක වස්තුවක් ලෙස ආරක්ෂා කිරීමට හෝ ප්‍රදර්ශනය කිරීමට නොවේ. දුර්ලබ පොත් එහි සඳහන් මිලට ම හෝ අඩු මුදලකට ලබාගත හැකිය යන්න මෙයින් ගම්‍ය නොකෙරේ. 
 
සාමන්‍ය වෙළෙඳපොළේ සොයාගැනීමට නොහැකි කෘතියක් සාධාරණ මිලකට අලෙවි කිරීම සහ මේ ආකාරයට ඉහළ මිලගණන්වලට පොත් අලෙවි කිරීම යනු සිද්ධි දෙකකි. එබඳු මිලකට අලෙවි කරන්නට අදහස් කරන්නේ නම් මගේ පුද්ගලික පොත් ගොනුවේ ඇති සමහර පොත් අළෙවි කළහොත් නුගේගොඩ අවටින් පර්චස් දහයක ඉඩමක් මිලදී ගෙන එහි සුඛෝපභෝගී නිවසක් ද ඉදි කළ හැකි බව මා පැවසුවේ එබැවිනි. මන් ද මම ද පුද්ගලිකව එබඳු පැරණි පොත් අනන්තවත් මිලදී ගෙන ඇත. නමුදු කිසිදු දිනක මෙතරම් ඉහළ මිලකට මිලදී ගෙන නොමැත; මිලදී ගන්නේ ද නැත. 
 
එමෙන් ම  කෙතරම් ආර්ථික අපහසුතා පැවතිය ද මෙතෙක් මා සතු පොතක් හෝ අලෙවි කර නොමැති බවත්, අනාගතයේ දී අලෙවි කිරීමට බලාපොරොත්තු නොවන බවත් පවසන්නේ ආඩම්බරයෙනි. ඒ අනුව බලන විට එබඳු කළුකඩ පොත් අලෙවිකරුවෝ කුමන වර්ගයකට අයත් දැයි සඳහන් කිරීම පවා ගැටලුවකි.
 
ලිපිය අවසන් කිරීමට පෙර යළිත් පැවසිය යුත්තේ: ඔබ පොත් මිලදී ගන්න, කියවන්න, විඳින්න. ඒ සියල්ල අතර පොත්වලට ආදරය කරන්න.  දැඩි මූල්‍ය අර්බුදයක් පවතින අවස්ථාවක වෙනත් ගතහැකි කිසිදු පියවරක් නොමැති නම් තමා සතු පොත් අලෙවි කර හෝ එම මුදල සොයාගැනීම පිළිබඳ ගැටලුව සැබැවින් ම සංවේදී මානුෂික ගැටලුවකි. 
 
කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් ඉදිරියට පැමිණ ඒ සඳහා විකල්පයක් යෝජනා කරන්නේ නම් අදාළ පුද්ගලයා තමා සතුව පවතින වටිනා පොත් යළි අලෙවි නොකරනු ඇතැයි විශ්වාස කළ හැකි බවට යට සඳහන් කළ සිද්ධිය කදිම සාක්ෂියකි.
 
ඉදින් සහෘද පාඨක ප්‍රජාවනි..., මෙම අදහස් පිළිබඳව ඔබගේ අදහස් ද යෝජනා කරන්නේ නම් මැනවි.
 
 
 
Jayasiri Alawaththa(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක 
2021/07/09

 


THE LEADER TV
 
 

ගෝඨා සේරම දමල ගහල යයි ද?

 
 
මාස තුනකින් වැටෙන හැටි මංගල පහදයි! - බැසිල්ට ලිපියක්!
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්