අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් (FR )
එල්ල කර ඇති බරපතල චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව තිබේ.
ශානි අබේසේකර විසින් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් අලුතින් ස්වාධීන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස රජයට බලපෑම් කළ යුතු බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සමග අද (21) පෙරවරුවේ පැවති හමුවකදී ප්‍රකාශ කර ඇත.
ශානි අබේසේකරගේ ප්‍රකාශයන් සමඟ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද වැඩිදුර විමර්ශන අවශ්‍ය බවට කළ නිගමනයේ නිරවද්‍යතාවය මෙහිදී සාකච්ඡා වී තිබේ.
මේ සම්බන්ධයෙන් විනිවිද භාවයෙන් යුතුව විමර්ශනයක් සිදු කළහොත් එවකට රටේ ආරක්‍ෂක යාන්ත්‍රණය පාලනය කළ ජනාධිපතිවරයා ගේ ක්‍රියාකලාපය ද ඉස්මතු වනු ඇතැයි මෙම සාකච්ජාවේදී එජාප නායකයින් කිහිප දෙනෙකුම පවසා ඇත.
ශානි අබේසේකර විසින් ගොනු කර ඇති පෙත්සමට අනුව, වර්ධනය වන තර්ජන පිළිබඳව බුද්ධි අංශ සාමාජිකයින් දැන සිටි නමුත් සහරාන් හෂීම් සහ ඔහුගේ කණ්ඩායම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද පරීක්ෂණ අවහිර කර ඇත.
තවද, 2019 ජනවාරි මාසයේදී ජාතික ආරක්ෂක කවුන්සිලය තම විමර්ශන සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවය තමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට දන්වා සිටි නමුත් ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බවද ශානි අබේසේකර සිය පෙත්සම මගින් අවධාරණය කර ඇත.
එවකට පැවති රජය මුස්ලිම් අන්තවාදීන්ගේ තර්ජන ගැන දැන සිටි නමුත් අවශ්‍ය පියවර ගැනීමට අපොහොසත් වූ බවට 2019 දී එක්සත් ජාතික පක්ෂයට ජනතාවගෙන් දැඩි විවේචන එල්ල විය.
ඒ අනුව, පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් වහාම අල්ලන බවට මැතිවරණ පොරොන්දු දී බලය ලබාගත් රාජපක්ෂ ආණ්ඩුව, මේ දක්වා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ඇල්මැරුණු ස්වභාවය ආණ්ඩුවේ කතෝලික මැති ඇමතිවරුන්ගේ ද බලවත් සැකයට ලක්ව තිබේ.
සබැඳි පුවත් :
'මිලිටරි සහ රාජ්‍ය බුද්ධි සේවා පාස්කු ප්‍රහාරකයින් දැන සිටියා'– ශානි අධිකරණයට කියයි
ශානි අබේසේකරගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්