ඉන්ධන හිඟය හේතුවෙන් සාමාන්‍ය ජනතාව මේ වන විට මුහුණපා සිටින්නේ උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ය.



දිවයින පුරා දිගු ඉන්ධන පෝලිම් ය. පොදු ප්‍රවාහනයේ ද දැඩි තදබදයන් ය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු බලධාරීන් ඉන්ධන තොග දිවයිනට පැමිණිම පිළිබඳ කළ ප්‍රකාශ සියල්ල මේ වන විට කඩවුණු පොරොන්දු බවට පත්ව තිබේ.

පසුගිය සමයේ අමාත්‍ය කංචන විජේසේකර ද ඇතුළු බලධාරීන් ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදන මෙසේ ය:

# 2022 ජූනි 17 - ඔක්ටේන් 92 පෙට්‍රල් බැරල් 300,000ක් නැව්ගත කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 42.6කට ණයවර ලිපි විවෘත කර ඇති බව නිවේදනය කෙරිණ.

# 2022 ජූනි 19 - පෙට්‍රල් සහ ඩීසල් නැව්ගත කිරීම් සඳහා පිළිවෙළින් ජූනි 23 සහ 24 යන දිනවල ලබාදීමට අමෙරිකානු ඩොලර් මිලියන 90ක් සඳහා ණයවර ලිපි විවෘත කළ බව නිවේදනය කෙරිණ.

# 2022 ජුනි 23 - පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40.000ක ඉන්ධන නෞකාව දිවයිනට ළඟාවීම එක් දිනකින් ප්‍රමාද වන බව නිවේදනය කෙරිණ.

# 2022 ජූනි 24 - පෙර දින පැමිණීමට තහවුරු කරන ලද පෙට්‍රල් භාණ්ඩ තොගය තවදුරටත් ප්‍රමාදවූ බවත්, නෞකා පැමිණීමේ නව දිනයක් පසුව තහවුරු කරන බවත් සැපයුම්කරු විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට (CPC) දන්වා ඇති බව නිවේදනය කෙරිණ.

# 2022 ජූනි 25 - 'බැංකු සහ සැපයුම්' හේතූන් මත සැපයුම්කරුවන් නියමිත වේලාවට බෙදාහැරීම් ඉටු කිරීමට නොහැකිවීම පිළිබඳව දැනුම් දී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා නිවේදනය කළේ ය.

# ඉන්ධන ලබා ගැනීමට පෝලිම්වල නොසිටින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා පසුගිය සතියේ ඉල්ලා සිටි අතර, නෞකා පැමිණෙන දිනයන් තහවුරු කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි බව ප්‍රකාශ කළේ ය.

# මීළඟ බොරතෙල් තොගය පැමිණෙන තෙක් පිරිපහදු කටයුතු වසා තබන බව ද ජුනි 25 විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් නිවේදනය කළේ ය.



අනතුරුව 2022 ජූනි 26 වැනි දා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර, එහිදී හෙළිදරව් වූ තොරතුරුවලින් මනාව පැහැදිලි වන්නේ බලධාරීන් අසත්‍ය බලාපොරොත්තු ලබා දෙමින් ජනතාව අඳුරේ තබා ඇති බවයැ යි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දුන්නේ ය.



මීළඟට මෙරටට ඉන්ධන නැව්ගත කරන දිනය නොදන්නා අතර, මීළඟ ඉන්ධන නැව්ගත කිරීම අවිනිශ්චිත තත්ත්වයක පවතින විටෙක රට තුළ තිබූ සංචිත වඩා හොඳ ආකාරයෙන් කළමනාකරණය නොකළේ මන්දැ යි බලශක්ති අමාත්‍යවරයා පැහැදිලි කිරීමක් කර නොමැති බව නිතීඥ සංගමය ප්‍රකාශ කළේ ය.

ඉන්ධන හිඟය රටේ පරිපාලනය, ව්‍යාපාර පවත්වාගෙන යාම, සහ අවසානයේ ප්‍රජාවේ ස්ථාවරත්වයට මෙන්ම රටේ නීතිය හා සාමය පිරිහීමට ද හේතු වී ඇතැ යි ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විධායක කමිටුව මේ බව කියා සිටියේ ඉන්ධන හිඟය සහ ජනතාවට එහි බලපෑම පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමිනි.

"බලධාරීන්ගේ නිවේදන අනුපිළිවෙලින් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින ව්‍යාකූලත්වය සහ නිල ප්‍රකාශ සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින අවිශ්වාසය යි," එම ප්‍රකාශයෙහි සඳහන් වේ.

ආර්ථික අර්බුදයෙන් දැනටමත් සංකීර්ණ වී ඇති ඔවුන්ගේ දෛනික ජීවිතයේ සෑම අංශයකටම බලපාන ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳව කාලෝචිත, නිවැරදි සහ විශ්වාසදායක තොරතුරු ජනතාවට ලබාදීමට රජය අසමත්වීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටින බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කළේ ය.


ආණ්ඩුව අසමත්

ජනතාවට සාධාරණ ලෙස ඉන්ධන බෙදාහැරීම සහතික කිරීම සඳහා නිසි යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට රජය අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වාදෙයි.

ඔවුන්ගේ ප්‍රකාශයකින් දැක්වෙන්නේ ඉන්ධන හිඟය පිළිබඳව ශ්‍රී ලංකා රජය හසුරුවන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි අවධානයෙන් සිටින බවයි.

ශ්‍රී ලංකා රජය කෙරෙහි ජාතික හා ජාත්‍යන්තර විශ්වාසය නැවත ඇති කිරීම සඳහා අවශ්‍ය සෑම පියවරක්ම වහාම ගන්නා ලෙස ඔවුන් දන්වා සිටියි.

"පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් සඳහා රට පුරා ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් ගැසීමට දිනෙන් දින දහස් ගණනකට සිදු වේ. ඉන්ධන ලබාගැනීම සඳහා පැය 24කට වැඩි කාලයක් පෝලිම්වල රැඳී සිටීමට ඔවුන්ට සිදුවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කාලය හා ඵලදායිතාව විශාල වශයෙන් අපතේ යෑමක් සිදුවෙයි.


ඉන්ධන පෝලිම් හේතුවෙන් නොසන්සුන්තාව සහ ප්‍රචණ්ඩත්වය ඇති වී ඇති අතර ප්‍රජාවේ විවිධ කොටස් අතර අවිශ්වාසය ඇති වී තිබේ. ඉන්ධන පිරවුම්හල්වල නොසන්සුන්කාරී දර්ශන සහ ජනතාව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් අතර ගැටුම් ඇති වී තිබේ. පෝලිම්වල රැඳී සිටියදී මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතියි. එවැනි ක්‍රියාකාරකම් මැඩලීමට නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් දරනු ලබන ඉතා සුළු ප්‍රයත්නය හමුවේ අධික මිලට ඉන්ධන විකිණීමේ කළු වෙළඳපොලක් වර්ධනය වන බව වාර්තා වේ."


ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික ස්ථාවරත්වයට තර්ජනයක් විය හැකි වත්මන් තත්ත්වයෙහි බරපතළකම සහ බරපතළ ප්‍රතිවිපාක තේරුම් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන්, රජයෙන් මෙන්ම අනෙකුත් සියලුම දේශපාලන පක්ෂවලින් සහ ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලා සිටින ශ්‍රී ලංකා නීතීඥ සංගමය, "මේ අවස්ථාවේ දී රටේ යහපත සඳහා ජනාධිපතිවරයා ඇතුළු අදාළ අනෙකුත් සියලුම දේශපාලන ක්‍රියාකාරීන් ජනතාවට සිදුවන දුෂ්කරතා පිළිබඳ වගකීම දැරීම අවශ්‍ය ය,"යි ද ප්‍රකාශ කරයි.

කෙටිකාලීනව, අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම සම්බන්ධයෙන් ඇති සැලසුම් පිළිබඳව මහජනතාවට කාලෝචිත හා ප්‍රමාණවත් තොරතුරු වහාම ලබා දෙන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටියි.

basl 1

BASL 2

BASL 3

BASL 4

මේ අතර මහජනයා පවසන්නේ තමන්ගේ වටිනා කාලය ඉන්ධනහල් වල පෝලිම්වල ගතකිරීමට වැයවන බවයි.

ආර්ථික විශේෂඥ ඩබ්ලිව් ඒ විජේවර්ධන පැවසුවේ "දින 3ක් පැය 45ක් පෝලිමේ සිටීමෙන් පසු ඔක්ටේන් 95 ලීටර් 20ක් ලබා ගැනීමට හැකි විය. ලීටරයක මුල්‍ය පිරිවැය රුපියල් 450 ක් වන නමුත් මගේ සැබෑ පිරිවැය ලීටර්යකට රුපියල් 11,750 කි. එය පැයකට රුපියල් 5000ක ආවස්ථික පිරිවැය මත පදනම් වේ; මෙය ශ්‍රී ලංකා ආර්ථිකයට අනවශ්‍ය ඉමහත් බාධාව මත සිදුවන පාඩුවකි."

SRTRETU8

ඉන්ධන මිල ඉහළට

ජුනි 26 දා අලුයම 02:00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තේ ය.

පෙට්‍රල් (ඔක්ටේන් 92) ලීටරයක් රුපියල් 470 දක්වා රු.50කින් ද, පෙට්‍රල් (ඔක්ටේන් 95) රු. 550 දක්වා රුපියල් 100කින් ද මිළ ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ ය.

ඔටෝ ඩීසල් රු.60කින් රු.460 දක්වා ඉහළ දමා ඇති අතර, සුපර් ඩීසල් ලීටරයක් රු.520 දක්වා රුපියල් 75කින් ඉහළ දමා ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ඉහළ දැමීමට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමූ බව ලංකා IOC සමාගම සඳහන් කරයි.

අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්ධන නොමැතිවුවත් මිල ඉහළ දැමුවේ ලංකා IOC සමාගමට බාධාවකින් තොරව ඉන්ධන සැපයීම කිරීම සඳහා බවයි.


බස්ගාස්තු වැඩිකරන ලෙසට ඉල්ලීම් - බහාලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේ බස් ගාස්තු ඉහළ නංවන ලෙස බස් සංගම් රජයෙන් ඉල්ලා ඇත.

බස් ගස්තු සංශෝධනය පිළිබඳව නිර්දේශ ලබන පළමු වැනිදාට ප්‍රථම ප්‍රවාහන අමාත්‍යංශය වෙත යොමුකරන බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය නිලාන් මිරැන්ඩා පැවසුවේ ජාතික ප්‍රතිපත්තියේ කරුණු 12ක් යටතේ ගණනයකිරීම් කර අදාළ නිර්දේශ යොමුකරන බව යි.

මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසන්නේ අද දිනයේ බස් ධාවනය 10% දක්වා අඩුවිය හැකි බව යි. අද දිනයේ සිටම තමන්ට ගාස්තු වැඩිවීමක් ලබා දෙන ලෙස එම සංගම් ඉල්ලා සිටියි.

මේ අතර අද (ජුනි 27) මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 10%කින් වැඩි කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා බහලුම් ප්‍රවාහන ඒකාබද්ධ සංසදයේ සභාපති සනත් මංජුල නිවේදනය කරයි.

ඔහු පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව එලෙස ප්‍රවාහන ගාස්තු ද ඉහළ නැංවීමට පියවර ගත් බව යි.


(BBC සිංහල සේවය)

 
 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්