චීනයේ ෂින්ජියැං ප්‍රදේශයෙන් භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය පැනවූ නව දැඩි නීති මේ වන විට ක්‍රියාත්මක වී ඇත.



මෙම නීතිවලට අනුව, ෂින්ජියැං කලාපයෙන් ආනයනය කරන ද්‍රව්‍ය බලහත්කාර ශ්‍රමය යොදාගෙන සැකසූ ඒවා නොවන බවට අදාළ සමාගම් ඔප්පු කළ යුතු ය.

එක්සත් ජනපද නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ, එම කලාපයේ උයිගර් සුළුතර ප්‍රජාවේ සාමාජිකයින් (ඔවුන්ගෙන් බහුතරය මුස්ලිම් ජනයා ය) බලහත්කාරයෙන් රඳවා තබාගෙන වැඩෙහි යොදවා ඇති බව යි.

ෂින්ජියැංහි උයිගර්වරුන් සිර කඳවුරුවල රඳවා සිටිතැ යි එල්ලවන චෝදනා චීනය නැවත නැවතත් ප්‍රතික්ෂේප කෙරෙයි.

දැනටමත්, සම්පත් බහුල මෙම කලාපයෙන් කපු සහ තක්කාලි ඇතුළු භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම එක්සත් ජනපදයෙන් තහනම් කර තිබේ.

අඟහරුවාදා සිට ක්‍රියාත්මක වූ උයිගර් බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනත (UFLPA) යටතේ සියලුම ආනයනික භාණ්ඩ දක්වා එම සම්බාධක පැනවෙනු ඇත.



පසුගිය සතියේ අගභාගයේ දී ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජනපද නීති සම්පාදකයින් කියා සිටියේ නව නීති මඟින් තමා "චීන කොමියුනිස්ට් පක්ෂය වහල් ශ්‍රමය භාවිතාවට ගැනීමට සහ මනුෂ්‍යත්වයට එරෙහි දරුණු අපරාධ සිදුකිරීමට අප තවදුරටත් හවුල් නොවනබවට පැහැදිලි පණිවිඩයක්" පැවසෙන බව යි.



"මෙම ඓතිහාසික නීතිය පූර්ණව හා දැඩි ලෙස ක්‍රියාත්මක වන බවට සහතික කිරීම සඳහා ජනාධිපති බයිඩන් සහ ඔහුගේ පරිපාලනය සමග එක්ව කටයුතු කිරීමට කොන්ග්‍රසය සූදානම්," එක්සත් ජනපද රිපබ්ලිකන් සෙනෙට් සභික මාර්කෝ රුබියෝ, ඩිමොක්‍රටික් සෙනෙට් සභික ජෙෆ් මර්ක්ලි සහ තවත් නීති සම්පාදකයින් දෙදෙනෙකු පැවසීය.

එක්සත් ජනපද කොන්ග්‍රසයට අනුව, චීනය 2017 අප්‍රේල් මස සිට උයිගර් සහ අනෙකුත් මුස්ලිම් සුළුජාතීන්ගෙන් මිලියනයකට වැඩි දෙනෙකු ෂින්ජියැංහි රඳවා තබා ගෙන ඇත.

ෂින්ජියැං සහ අනෙකුත් පළාත්වල "දරිද්‍රතාවය පිටුදැකීමේ සහ කාර්මික ආධාර වැඩසටහන්වල මුවාවෙන්" දසදහස් ගණනක් රැඳවියන් "අවම වැටුපෙන් කොටසකට හෝ කිසිදු ගෙවීමක් නොමැතිව" සේවයේ යොදවා ඇති බව කොන්ග්‍රසය ප්‍රකාශ කරයි.

චීනය "ෂින්ජියැංහි භාණ්ඩ හා සැපයුම් දාමයන් පරීක්ෂා කිරීම සඳහා වූ විගණන කටයුතුවලට, සාක්ෂිකරුවන් බියගැන්වීම සහ අදාළ තොරතුරු වසන් කිරීම ආදී ක්‍රමයන්ගෙන් බාධා කරයි," කොන්ග්‍රසය පවසයි.


චීනය බලහත්කාර ශ්‍රමය භාවිතා කිරීමේ චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති අතර ෂින්ජියැංහි ඇත්තේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට භාවිතා කරන "පුනරුත්ථාපන" කඳවුරු බව කියා සිටියි.



චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මෑතක දී කියා සිටියේ එම චෝදනා "ඇතැම් බාහිර බලවේග ගොතන ලද අමූලික බොරුවක්" යනුවෙනි.

එහෙත් BBCය ලබා ගන්නා ලද, කඳවුරු ඇතුළතින් ආ ලිපිගොනු සහ ඍජු තොරතුරුවල අඩංගු වූයේ සමූහ ලිංගික අඩත්තේට්ටම්, ලිංගික අපයෝජන සහ සුළු ජාතීන්ට වධහිංසා පැමිණවීමට අදාළ සංවිධානාත්මක පද්ධතියක් පිළිබඳ විස්තරයකි.

සමූහ සෝදිසි කිරීම්, රඳවා තබාගැනීම, බුද්ධිශෝධනය (Brainwashing), සහ බලහත්කාරයෙන් වන්ධ්‍යාකරණය යනාදියෙන් උයිගර්වරුන්ගේ නිදහස ක්‍රමානුකූලව උදුරා දමන බවට මානව හිමිකම් කණ්ඩායම් චීන රජයට චෝදනා කර ඇත.


සන්නාමවලට මින් ඇතිකෙරෙන බලපෑම කුමක්ද?

fhdfhjයුනික්ලෝ සහ මුජි, විවේචනයට ලක්වන සන්නාම අතර වේ.


උයිගර් බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනත (UFLPA) හරහා "වෙළඳපොළේ විශාල කොටසක් ඉවත් කිරීම" මඟින් ෂින්ජියැංහි බලහත්කාර ශ්‍රමය භාවිතයේ සැලකිය යුතු අඩුවීමක් සිදුවනු ඇතැ යි වොෂින්ටන් DCහි ස්වාධීන කම්කරු අයිතිවාසිකම් සම්මේලනයේ විධායක අධ්‍යක්ෂ ස්කොට් නෝවා පවසා සිටියි.

"වැදගත්ම ප්‍රශ්නය තමයි, එක්සත් ජනපදයේ භාණ්ඩ අලෙවි කරන සන්නාමයන් ෂින්ජියැං වෙතින් ආනයනය කළ භාණ්ඩ එවන් සම්බාධක නැති වෙනත් වෙළඳපොළවල්වල ඒවා අලෙවි කරන්න යොමුවේවි ද කියන එක," නෝවා පැවසීය.

"එහෙම කරන සන්නාමයන් සහ ‍සිල්ලර වෙළෙන්දන් හඳුනාගෙන ප්‍රසිද්ධ කරන්න අපි කටයුතු කරනවා" ඔහු වැඩිදුරටත් කියයි.



එක්සත් රාජධානියේ ෂෙෆීල්ඩ් හලාම් විශ්වවිද්‍යාලයයේ මානව හිමිකම් පිළිබඳ මහාචාර්යවරියක වන ලෝරා මර්ෆි කියා සිටියේ, යුරෝපා සංගමය ද ෂින්ජියැං වෙතින් ආනයනය කරන භාණ්ඩ සඳහා එවැනිම ආනයන තහනමක් පැනවිය යුතු බව යි.

 

"මම හිතන්නේ බලහත්කාර ශ්‍රමය යොදවලා හදපු නිෂ්පාදනවලට තහනමක් තවමත් නැතිබව දැනගත්තාම යුරෝපා සංගමයේ පුරවැසියන් කම්පනයට පත්වේවි," මහාචාර්ය මර්ෆි පැවසීය.

"නමුත් යුරෝපා සංගමයත් මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛත්වය ගන්න ඕනෑ. තමන්ගේ සැපයුම් දාමය තුළ සිදුවන බලහත්කාර ශ්‍රමය සහ වෙනත් අපයෝජන නවත්වන තැනට සමාගම් පොළඹවන්න එය වැදගත් වෙනවා."

ෂින්ජියැං වෙතින් ආනයනය කරන ලද අමුද්‍රව්‍ය භාවිතා කරනා ජපන් සිල්ලර වෙළෙඳ ආයතන වන යුනික්ලෝ සහ මුජි, විවේචනයට ලක්වන සන්නාම අතර වේ.



පසුගිය වසරේ ජනවාරි මාසයේ දී යුනික්ලෝ ආයතනය ෂින්ජියැං කලාපයේ කපු නිෂ්පාදන සඳහා වූ තහනම උල්ලංඝනය කළබවට වූ සැකය නිසා එක්සත් ජනපදය එම සන්නාමයේ පිරිමි කමිස තොගයක් ආනයනය අවහිර කළේ ය.



පසුගිය සතියේ BBC කළ විමසුමකට යුනික්ලෝ ප්‍රතිචාර දැක්වුව ද, ඔවුන් ෂින්ජියැං කපු භාවිතා කරන්නේ ද නැද්ද යන්න සමාගමේ ප්‍රකාශකයා විසින් හෙළි නොවුණි.

"අපගේ නිෂ්පාදන බාධාවකින් තොරව ආනයනය කරන්න ඕන නිසා අපි [එක්සත් ජනපද නිලධාරීන්] සමග එක්ව දිගටම කටයුතු කරනවා. ජුනි 21 අලුත් මාර්ගෝපදේශ ලැබෙනතුරු අපි බලාගෙන ඉන්නවා," ප්‍රකාශකයා පැවසීය.

මේ අතර, ජපන් සිල්ලර වෙළෙඳ ආයතනයක් වන මුජි 2019 දී "ෂින්ජියැංහි දී ඉතා ප්‍රවේශමෙන් අතින් නෙළූ කාබනික කපුවලින් සාදන ලද" ඔක්ස්ෆර්ඩ් කමිස එකතුවක් හඳුන්වාදීම සම්බන්ධයෙන් විවේචනයට ලක්විය.

මුජි සන්නාමය හසුරවන ර්යෝහින් කයිකකු ආයතනයේ ප්‍රකාශකයෙකු BBC වෙත පැවසුවේ ඔවුන් දැනට එක්සත් ජනපදයට ෂින්ජියැං නිෂ්පාදන ආනයනය නොකරන බව යි. එනමුත් ඔවුන් ෂින්ජියැං වෙතින් ගෙන්වන නිෂ්පාදන වෙනත් රටවල අලෙවි කරන්නේ ද යන්න පිළිබඳව අදහස් දැක්වීම ප්‍රකාශකයා ප්‍රතික්ෂේප කළේය.

"අපේ ව්‍යාපාරික කටයුතුවල දී අපි එක් එක් රටවල සහ කලාපවල නීති සහ රෙගුලාසිවලට අනුකූල වෙනවා. මානව හිමිකම් සහ කම්කරු ප්‍රමිතීන්ට ගරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටිනවා," ප්‍රකාශකයා පැවසීය.

පසුගිය වසරේ මුල් භාගයේ දී, හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය ෂින්ජියැං වෙතින් ගෙන්වන කපු සහ තක්කාලි නිෂ්පාදන තහනම් කරන බවට නිවේදනය කළේ ය.



පසුගිය ජූලි මාසයේ දී වඩාත් පුළුල් පරාසයක් ආවරණය කරණ උයිගර් බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ පනත සෙනෙට් සභාව විසින් ද, දෙසැම්බර් මාසයේ දී කොන්ග්‍රසය විසින් ද අනුමත විය. එය පසුව වත්මන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් රාජ්‍ය නීතියට ඇතුළත් කරන ලදී.



මේ වන විට එක්සත් ජනපද රේගු සහ දේශසීමා ආරක්ෂක නිලධාරීන් ඇමරිකානු වරායන් වෙත පැමිණෙන ෂින්ජියැං භාණ්ඩ නවත්වනු ලබයි.

"බලහත්කාර ශ්‍රමයෙන් භාණ්ඩ නිෂ්පාදනය කර නොමැති බවට පැහැදිලි සහ ඒත්තු ගැන්වෙන සාක්ෂි මඟින් ඔප්පු කිරීමට" ආනයනකරුට නොහැකි නම් භාණ්ඩය රට තුළට ඇතුළුවීම වළකනු ලබන බව එක්සත් ජනපද ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

(BBC සිංහල සේවය)

 

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්