විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. 


ශ්‍රී ලංකාවේ 7 වන විධායක ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ සහ අලුතින් පිහිටුවන රජයට ඉදිරියේදී ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂකයෙකු වන ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ 2015 වසරට පෙර ලබාගත් ණය, ඉදිරි වසර පහ තුළදී ගෙවීමට සිදුවීම ඉන් ප්‍රධාන අභියෝගයක් බවය.

ඉදිරි වසර පහේ ආර්ථික අභියෝග සම්බන්ධයෙන් කළ විමසීමකදී බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් ඩබ්. ඒ. විජේවර්ධන ප්‍රකාශ කළේ, පසුගිය වසර 10ක කාලය තුළ ලබා ගත් ස්වෛරීත්ව බැදුම්කර යටතේ ලබා ගත් ණය මුදල් රැසකට ආපසු පියවීම සදහා දී තිබූ සහන කාල සීමාව ඉදිරි වසර 5 තුළදී අවසන් වන බවය.

වාර්ෂික ණය වාරික මුදල් ඉහළ යාම

ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය මුදල් රැසකට ආපසු පියවීම සදහා දී තිබූ සහන කාල සීමාව ඉකුත් වීමත් සමග එම ණය ආපසු ගෙවීමට සිදුවන හෙයින්, ශ්‍රී ලංකා රජය පියවිය යුතු වාර්ෂික ණය වාරික මුදල් ප්‍රමාණය අතිශයින් ඉහළ යනු ඇති බවට ඔහු අනතුරු අඟවයි.

2025 වසරට පෙර සහන කාලය ඉකුත් වන ස්වෛරීත්ව බැඳුම්කර යටතේ ලබා ගත් ණය 2010 වසරේ සිට 2015 වසර දක්වා පැවති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රජය යටතේ ලබා ගත් ඒවා වේ.
 109768955 soveringtybonds.pngමේ අනුව, ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් වාර්තා වන වැඩි ම ණය වාරික මුදල් ගෙවීමට සිදුවනු ඇත්තේ, ඉදිරි වසර 5ක කාලය තුළය.

"ආණ්ඩුවේ ණය විතරක් බිලියන 3ට වඩා වාර්ෂිකව ගෙවන්න වෙනවා. ඊට අමතරව පෞද්ගලික අංශයේ ණයත් තිබෙනවා," ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්. ඒ. විජේවර්ධන පැවසීය.

"වසර අවසානයේ සමස්ත ණය ප්‍රමාණය මේ වෙනකොට ඇමෙරිකානු ඩොලර් බිලියන 55ට වඩා වැඩියි. ආණ්ඩුව ගත් ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 34ට වැඩියි. ඒ වගේ ම පෞද්ගලික අංශය විදෙස් ණය ලබාගෙන තියෙනවා ඩොලර් බිලියන 21කට වඩා වැඩියෙන්."

මධ්‍යම රජය දේශීය සහ විදේශීය වශයෙන් ලබා ගත් නොපියවූ ණය ප්‍රමාණ වාර්ෂිකව පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ.
 109768957 statedebts.png"මහ බැංකුවේ ඩොලර් නෑ"

"ගොඩක් අය දන්නේ ආණ්ඩුව ගත්ත ණය විතරක් රජයට බලපානවා කියලයි. ඒත් ඒක නෙවේ ඇත්ත. පෞද්ගලික අංශය ගත්ත විදෙස් ණය ගෙවන්න ඒ ආයතනවලට රුපියල් තියෙනවා. ඒත් රුපියල්වලින් විදෙස් ණය ගෙවන්න බෑ. ඒවාට ඇමෙරිකානු ඩොලර් ඕන. ඒත් මහ බැංකුවට ණය ගෙවන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය නෑ. ආණ්ඩුවට රුපියලුත් නෑ, ඩොලරුත් නෑ."        Screen Shot 2019 11 22 at 7.53.07 PM

 සංචාරයකයින්ගේ පැමිණීම අඩුවීම, අපනයනය අඩුවීම, ආනයන වැඩිවීම, රුපියලේ අගය පහත වැටීම නිසා විදෙස්ගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට එවන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය අඩුවීම ආදී කරුණු හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.


මේ අනුව, ණය වාරික පියවීමට අවශ්‍ය ඩොලර් ලබා ගැනීමට නම් යළි විදේශ ණය ලබා ගැනීමට හෝ විදේශ ආධාර ලබා ගැනීමට සිදුවනු ඇත.

"විදේශ රටවලින් ශ්‍රී ලංකාවට එන එක ඩොලරයක් පවා ගෝඨාභය රාජපක්ෂට දැන් වැදගත්. ඒ නිසා ඔහුට තීරණය කරන්න වෙනවා ඒ ඩොලර් කොහොම ද ගෙන්න ගන්නේ කියලා. චීනයෙන් ගත්තොත් ලොකු පොළියක් මත තමයි ණය ගන්න වෙන්නේ," ඩබ්. ඒ. විජේවර්ධන පැවසීය.

MCC ගිවිසුම

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම හරහා නැවත අය කර ගනු නොලබන ආධාරයක් ලෙස ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් සැපයීමට නියමිතය.

 109770074 7c5a028e e4b7 493c 9c39 733da7927844මෙම ආධාරය මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවට ලබා ගැනීම අතිශය වැදගත් බව ඩබ්. ඒ. විජේවර්ධන පෙන්වා දෙයි. මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකා මහ බැංකුවට පළමු වාරිකයේදී අවම වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ලැබෙනු ඇත. ණය වාරික පියවීම සදහා එම ඩොලර් භාවිත කිරීමට රජයට අවස්ථාව හිමි වේ.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල වැනි දේශපාලනඥයෝ මෙම ගිවිසුම "ඇමෙරිකානු මර උගුලක්" ලෙස හඳුන්වමින් ඔවුන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ මාතෘකාවක් ලෙස භාවිත කළහ.

 109770550 gettyimages 1183027766 1
මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසුමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ, නව අග්‍රාමාත්‍යවරයෙකු සහ කැබිනට් මණ්ඩලය පත් කිරීමෙන් පසුව කැබිනට් මණ්ඩලය විසින් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගනු ඇති බවය.

කෙසේ වෙතත්, "මේ අවස්ථාවේ රටට වැදගත් වන MCC ගිවිසුම දෙසැම්බර් නත්තල් නිවාඩුවට පෙර පාර්ලිමේන්තුවේ සම්මත කර නොගතහොත් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක් ශ්‍රී ලංකාවට අහිමි වනු ඇතැයි," ඩබ්. ඒ. විජේවර්ධන අනතුරු අගවයි.

මෙම ආධාරය ලබා දීමට මූලික වන අවශ්‍යතාවක් වන්නේ, රටක ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩු වීමය.

"මේ ආධාරය අපට හම්බ වුණේ 2016 දී කරපු ඉල්ලීමකට අනුව. ඒ කාලේ අපේ රටේ ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 4085ට වඩා අඩුවෙන් තිබුණේ. දැන් ඊට වඩා වැඩියි. ඒ නිසා මේ ගිවිසුමට දෙසැම්බර් 31ට කලින් අත්සන් නොකළොත් ආයේ ඒක අපිට ලැබෙන්නේ නෑ. ඇමෙරිකාවේ රජයේ ආයතන දෙසැම්බර් අග සති දෙකේ වහනවා නත්තල් නිවාඩුවට. ඒ නිසා දෙසැම්බර් 15 වෙනි දාටවත් කලින් මේ ගිවිසුමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්න වෙනවා."

ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු ඉටු කිරීම:

ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය හරහා ආර්ථිකමය බලපෑමක් සහිත පොරොන්දු රැසක් ලබා දුන්නේය.

    # රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා නියුතුවූවන්ගේ වැටුපෙන් අඩු කෙරෙන 'PAYE tax' අහෝසි කිරීම

    # අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් වන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දීම

    # උසස් පෙළ අසමතුන්ට නොමිලේ තාක්ෂණික අධ්‍යාපනය ලබා දීම

    # නොමිලේ පොහොර ලබා දීම

    # ක්ෂුද්‍ර ණය මුළුමනින් ම කපා හැරීම

    # රුපියලේ අගය ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යාම

    # කර්මාන්තපුර, නිදහස් වෙළෙඳ කලාප සහ නිදහස් වරාය 50ක් පිහිටුවීම

ඉහත සදහන් වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඍජුව බලපාන පොරොන්දු කිහිපයක් පමණි.

මෙම පොරොන්දු ඉටු කිරීම ශ්‍රී ලංකාවේ දැනට පවතින ආර්ථික මට්ටම අනුව විශාල අභියෝගයක් වනු ඇතැයි ස්වාධීන ආර්ථික විශ්ලේෂක ඩබ්.ඒ. විජේවර්ධන පවසයි.

කෙටි කාලීන විසඳුම්:

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවේ ඇති මෙම ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා කෙටි කාලීන මෙන් ම දීර්ඝ කාලීන විසඳුම් සෙවිය යුතුය.

ආර්ථික විශ්ලේෂක ඩබ්.ඒ. විජේවර්ධන පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව ආර්ථිකමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දුන් සෑම අවස්ථාවකදී ම අසල්වැසි ඉන්දියාව ඉදිරිපත් වූ බවය.

"ඒ නිසා ඉන්දියාව සමග මිත්‍රශීලීත්වය ආරක්ෂා කර ගැනීම ඉතා ම වැදගත්. යුද්ධය වෙලාවෙදිත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බලපෑම් කරල අපට මුදල් අරන් දුන්නේ ඉන්දියාව. ඒ වගේ ම නව ජනාධිපතිවරයාට ඉන්දියාව නොවැම්බර් 29 වෙනි දා එන්න කියල කරල තියෙන ආරාධනාව නිසි පරිදි අපි පාවිච්චි කළ යුතුයි. අඩු තරමින් ඩොලර් බිලියන 2ක්වත් ඉන්දියාවෙන් ගන්න උත්සහ කරන්න ඕන."

                                                      

ඉන්දියාවෙන් මුදල් ආධාරවලට අමතරව එරට පවතින තාක්ෂණික දැනුම ශ්‍රී ලංකාවට රැගෙන ඒම සදහා ඉන්දියාවේ පිහිටි සුපිරි තාක්ෂණික විශ්වවිද්‍යාල පද්ධතියේ ශාඛාවක් ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට කටයුතු කළ යුතු බව ඩබ්.ඒ. විජේවර්ධනගේ අදහසය.

එමෙන් ම MCC ගිවිසුම හරහා ලැබීමට නියමිත ඇමෙරිකානු ඩොලර් මිලියන 480 ලබා ගැනීම ද කෙටි කාලීන වශයෙන් ඉතා වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.  Screen Shot 2019 11 22 at 7.57.57 PM

මේ අතර, රජරට විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ගීතානි කුමාරි බුලංකුලම බීබීසී සිංහල සේවය සමග පැවසුවේ, දීර්ඝ කාලීන වශයෙන් රටක ආර්ථික අභියෝග ජය ගැනීම සදහා නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගිය යුතු බවය.

"අපේ රට සේවා පදනම් කර ගත්ත ආර්ථිකයක් තියෙන්නේ. නිෂ්පාදන සියල්ල ආනයනය කරන්න වෙලා. ඒකෙන් සිද්ධ වෙන්නේ, රටට ගලා එන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා. සේවා ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැගුවොත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන්. නැත්නම් රුපියලේ අගය අවප්‍රමාණය වීම වළක්වගන්න බෑ."

(බීබීසී සිංහල සේවය)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්