ලංකා ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ පළාත් පාලන ඡන්ද විමසීම නිල වශයෙන් ඇරඹී ඇත.  



ඡන්දයක් ඉල්ලා කැම්පෙන් කළ හැමෝම කියන්නේ ‘ඔය කිව්වාට ඡන්දයක් තියෙන එකක් නැත‘ කියාය.  තමන්ට යමක් ඕනි නම් එය විශ්වාසයෙන් යුතුව ඉල්ලා සිටිය යුතු බව ජන කතාවල, දේව කතාවල පවා තිබේ.  

තමන් ඉල්ල දේ ගැන විශ්වාසයක් නැත්තේ ලංකාවේ දේශපාලන පක්ෂවලට පමණක් දෝ හැඟේ.

කිසිදු පක්ෂයකට තමන්ගේ සහායක පක්ෂ, සන්ධාන පක්ෂ තෝරාගත නොහැකි තැනකට මැතිවරණ ව්‍යාපාරයම තල්ලු වෙමින් ඇත. පොහොට්ටුව කෑලි 5 කට වැඩිලාය.

නව ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා, වෙල්ගම, ජීවන්, ලසන්ත, අමරවීර ඇතුළු පිරිසකගේ සහායෙන් බලවේගයක් බවට ගොණු වෙමින් ඇත.  මේ වන විටත් ඔවුන් දිස්ත්‍රික් මට්ටමින් ස්වාධීන ලැයිස්තු සකස් කරමින් සිටී. ලැයිස්තු සියල්ල 'නව ලංකා නිදහස් පක්ෂය' යටතේ ගොනු කිරීමට පදනම වැටුණේ අද (08) පැවති බණ්ඩාරනායක සමරු දින උත්සවයෙන් පසු හිටපු ජනාධිපතිනියගේ නිවසේ පැවති සාකච්ජාවකදීය.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තරඟ කරන්නට පක්ෂයක් නැති තැනකට පත්වී ඇති අතර ඔවුන් ‘අත‘ ලකුණෙන් කළකට පසුව ඡන්දයට යනු ඇත. ඩලස් අලහප්පෙරුම කිසි ලෙසකින් හෝ විමල් වීරවංශ - උදය ගම්මන්පිල අතහරින්නට සුදානම් නැති නිසා එම කඳවුර ද නැවත දෙකට බෙදී ඇත. එක කණ්ඩායමක් ‘මැටි පහන‘ ලකුණින් ද, තවත් කණ්ඩායමක් හෙලිකොප්ටරයෙන් ද ඡන්දයට එන්නට සුදානම් වේ.




පොහොට්ටුව සහ අලියා එක කඳවුරකට එන්නට සාකච්ඡා පැවැත්වෙමින් ඇත.එම ආරංචියත් සමඟම එජාපයේ සිටි ඇතැමුන් රට පුරා ස්වාධීන කණ්ඩායම් සුදානම් කරන්නට උත්සුක වෙමින් ඇත.

හැමෝම හිතාගෙන හිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පළාත් පාලන ඡන්දයට විරුද්ධ යැයි කියාය. අවසානයේ රනිල් විසින්ම ඡන්දය නොදැනෙන්න, නොපෙනෙන්න දොරකඩටම එන තැනට කරුණු ලෑස්ති කොට ඇත.

ඡන්දය කල් දමනු ඇතැයි සිතමින් සාත්තර බලමින් සිටි උදවිය දැන් නන්නත්තාර වී ඇත. සන්ධාන හදන්නට, පෙරමුණු හදන්නට පක්ෂ වඳ වෙන්නේ ඒ නිසාය.

ජනතා විමුක්ති පෙරමුණ, ජීවන් තොන්ඩමන් (කුකුළා), මෛත්‍රී ගුණරත්න (කෙසෙල් ඇවරිය) තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කර ඇත.  

අනෙකුත් සියළු පක්ෂ තමන් ඡන්දයට යන්නේ කෙසේ දැයි තවමත් සිතමින් කල් මරමින්, ඡන්දය කවදා කල් දමාවිදෝ යැයි සිතමින් සිටී.



2019 පළාත් බලය ලබාගත් පොහොට්ටුව මෙරට තනි විශාලතම දේශපාලන පක්ෂය නමුත් එක කැබළි වී ඇත්තේය. පොහොට්ටුවේ බහුතරය රාජපක්ෂවරු සමඟ පොහොට්ටුවෙන් තරඟ කිරීමට පොළඹවා ගැනීමට බැසිල් - නාමල් උත්සහ දරමින් සිටී. කළුතර ඇප මුදල් තැම්පත් කිරීමේ සංදර්ශනය තමන්ගේ සභිකයින් රඳවා ගැනීමේ මෙහෙයුමකි.



පොහොට්ටුවේ බහුතරය ස්වාධීන කණ්ඩායම් ලෙස ඡන්දයට යන්නට ලංකාවේ සෑම තැනම පෙළ ගැසෙමින් සිටී. විශේෂයෙන්ම ඡන්දය පිළිබඳ ඇති අස්ථීර බව නිසාම පොහොට්ටුවේ සමෘද්ධි නියාමකයින්, කුපනිස නිලධාරීන්, සහ ඡන්දයට සූදානම් වූ රාජ්‍ය සේවකයින් රස්සාවත් නැති කර ගෙන, මන්ත්‍රී ධූරයට නැති කර ගෙන, වැටුප් රහිතව ඡන්දයත් නැතිව ගෙදරට වී සිටින්නට සුදානම් නැත.  

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඩලස් කණ්ඩායම, ස්වාධීන කණ්ඩායම, විමල් - ගම්මන්පිල කණ්ඩායම කෑලි කෑලි වලට වෙන්වී ඇත. චම්පික ඇතුළු කණ්ඩායම විමල් - ගම්මන්පිල ලා සමඟ දේශපාලන සන්ධානයකට යාමට කිසිදු සුදානමක් නැත. අනෙක් අතට වාමාංශික පක්ෂ කිහිපයක්ම විමල් - ගම්මන්පිල සමඟ සන්ධාන හැදීමට කැමති නැත. ඩලස් පමණක් ඔවුන් ද ඇතුළත් සන්ධානයක් ගැන දිගටම පෙනී සිටී.

උතුරු නැගෙනහිර පක්ෂ ඩග්ලස් දේවානන්ද (ප්‍රදීපාගාරය), කරුණා අම්මාන්, පිල්ලෙයාන්, හිස්බුල්ලා, අතාවුල්ලා, වෙන්ව තරඟ කරන්නට තීරණය කර අවසන් බව පවසයි.

ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ශවකරුවන් ටෙලෝ, ප්ලෝට් සහ තමිල් අරසු කච්චි ලෙස බෙදී ඡන්දයට යන්නට සුදානම් වෙති. උතුරේ විග්නේෂ්වරන් ද, ගජේන්ද්‍රන් ද වෙන් වෙන්ව ඡන්දයට යන්නට සුදානම් ය. ඒ අනුව, දකුණේ පමණක් නොව උතුරේ ද සියළු සන්ධාන කැඩී බිඳී වෙන්වෙමින් ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ දැවැන්ත සන්ධානයක් හදන්නට ශ්‍රීලනිප හා අනෙකුත් පක්ෂ උත්සහ දරයි. මේ දක්වා එය පක්ෂ 16 ක් එක්වී ඇත. පොහොට්ටුවට සම්බන්ධව සිටි සියළු පක්ෂ මේ වන විට සිටින්නේ ශ්‍රීලනිප සන්ධානයේ ය.



ජනතා විමුක්ති පෙරමුණ දිනාගනිමින් සිටින නාගරික මධ්‍යම පාන්තික ආකර්ෂණය සජබ කණ්ඩායම තැති ගන්වා ඇත. විපක්ෂයේ පාවෙන ඡන්ද ජවිපෙට ඇදීයාමේ අවදානම සජබ මුහුණ දෙන ලොකුම අභියෝගයයි. සජබ - ජවිපෙ ගැටුම දිනෙන් දින පැයෙන් පැය වර්ධයන වන්නේ ද, වාග් ප්‍රහාර තීව්ර වී ඇත්තේ ද ඒ නිසාය.  



සජබ දැනටමත් කණ්ඩායම් ගණනාවකට කැඩී වෙන්වී ඇත. චම්පික ඇතුළු පිරිස තවදුරටත් සජබ සමඟ නැත. තොන්ඩමන් ගේ පක්ෂය සජිත් සමඟ සන්ධානගතවීමට අකමැත්ත නිල වශයෙන් දන්වා ඇත. මුස්ලිම් පක්ෂ රිෂාඩ් උතුරු නැගෙනහිර පළාත් හි වෙනම තරඟ කිරීමට අපේක්ෂකයින් 520 ක් තෝරා අවසන් ය.  මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිර ට වෙන්ව තරඟ කළ යුතු බවත්, බස්නාහිර, මධ්‍ය, ඌව, හා වයඹ සඳහා සිය ලැයිස්තු සකස් කරමින් සිටී.
මනෝ ගනේෂන්, දිගම්බරම්, කඳුරට ජනතා පෙරමුණ ‘ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ සන්ධානය‘යේ අපේක්ෂක ලැයිස්තුව ලබන සඳුදා නිවේදනය කිරීමට නියමිතය.  කොළඹ, දෙහිවල ගල්කිස්ස, කොලොන්නාව, ඇතුළු පලාත් පාලන ආයතන 58 ක සභික ධූරයන් දිනා ගැනීමට ඔවුන්ට ඇති හැකියාව සමීක්ෂ වාර්තාවක් ඔවුන් සතුය.

සජිත් ප්‍රේමදාස ගේ සමීපතම දේශපාලන මිතුරා වූ මෛත්‍රී ගුණරත්න කොසෙල් ඇවරිය පක්ෂයෙන් පලාත් පාලන ආයතන 245 ක මේ වන විට නාම යෝජනා සකස් කර ඇත.  මධ්‍යම, ඌව, බස්නාහිර, උතුරු නැගෙනහිර, දකුණ, ඔවුන්ගේ වැඩිම අවධානය යොමුවී ඇති පළාත් වේ.



චම්පික රණවක ගේ 43 සේනාංකය ද මෛත්‍රී ගුණරත්න සමඟ එක්වීමට සාකච්ඡා පවත්වා ඇත. අරගලයට සම්බන්ධ කණ්ඩායම් කිහිපයක් ද මේ සන්ධානයට එක්වී ඇත. සජබ සිට කැඩී වෙන්වූ ශිරාල් ලක්තිලක, මෛත්‍රී ගුණරත්න, ගුණරත්න වන්නිනායක, අසාත් සාලි ඇතුළු පිරිසක් කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර, කඩුවෙල, දෙහිවල ගල්කිස්ස පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත්වීමට සුදානම් වෙති.


අරගලය නියෝජනය කළ තරුණ කණ්ඩායම් 5 ක් ද මේ මෙවර ඡන්දයට එක්වීමට මේ දක්වා අභිලාෂයන් දක්වා ඇත. කොළඹ, ගම්පහ, බදුල්ල, ගාල්ල, මහනුවර දිස්ත්‍රික්ක සඳහා ඔවුහු ඡන්දයට ඉදිරිපත් වනු ඇත.

පෙරටුගාමී පක්ෂය දිස්ත්‍රික්ක මට්ටමින් සිය ප්‍රචාරක ව්‍යාපාරය ඇරඹා ඇති නමුත් මැතිවරණයකට එය සිදු කරන බලපෑම පිළිබඳ කිසිවෙකුට පැහැදිලි අවබෝධයක් හෝ තක්සේරුවක් නොමැත.

රාජ්‍ය බලය ඇති කණ්ඩායම සෑම විටම මෙරට පලාත් පාලන ඡන්ද දිනා ඇත. එහි එකම ව්‍යතිරේකය වූවේ පොහොට්ටුව 2018 ලැබූ ජයග්‍රහණය යි. ලංකා ඉතිහාසයේ වඩාත් සංකීර්ණ පළාත් පාලන ඡන්දය බවට මෙය පත්ව ඇත්තේ කුඩා කණ්ඩායම් රැසක් දිස්ත්‍රික් හා පළාත් පාලන ආයතන මට්ටමින් මෙවර ඡන්දයේ තීරණාත්මක සාධකය බවට පත්වන බව පැහැදිලි නිසාය.

(විශේෂ වාර්තාකරුවකු විසිනි) 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image