කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකරට හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස

දිව්රුම් දුන් එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායකට මෙතෙක් සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ශ්‍රීලනිප අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ, ඔවුන් දෙදෙනාට අමාත්‍යංශ කාර්යාලයක් මෙතෙක් වෙන්කර නොදීමයි.

එම රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනාගේ නියෝජිතයින් කිහිප දෙනෙකු ඊයේ (28) එම අමාත්‍යංශවලට සම්බන්ධ රජයේ ගොඩනැගිල්ලක් කාර්යාල කටයුතු සඳහා වෙන්කර ගැනීමට ගිය අවස්ථාවේදී අදාළ විෂයබාර කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනාගේ පෞද්ගලික කාර්යමණ්ඩල නිලධාරීන් පවසා ඇත්තේ එම ගොඩනැගිලි තුල රාජ්‍ය අමාත්‍යවරුන්ට ඉඩක් ලබාදිය නොහැකි බවයි.

ගිවිසුම් කඩකිරීම !

ජනාධිපතිවරණ සමයේදී 'පොහොට්ටු' පක්ෂය හා ශ්‍රීලනිපය අතර ඇතිකර ගත් අවබෝධතා ගිවිසුම මුළුමනින්ම නොතකා හරිමින් ශ්‍රීලනිපයට අමාත්‍ය ධුර දෙකක් පමණක් ලබාදීමත්, රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදීමේදී සිදුකර ඇති කප්පාදුවත්, ලබාදුන් 'රාජ්‍ය අමාත්‍යංශ කැලි' කිහිපයට පවා අමාත්‍යංශ කාර්යාල සඳහා ඉඩක් ලබානොදීමත් ශ්‍රීලනිපයේ බලවත් කනස්සල්ලට හේතුවී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි.

ශ්‍රීලනිපය හා 'පොහොට්ටුව' අතර ඇති කරගත් එකගතාව අනුව ජයග්‍රහණයෙන් පසු සියයට 30ක් අවස්ථා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දිය යුතු බවත් එනම් මැති ඇමති තනතුරු ලබාදීමේදී සියයට 30ක් ශ්‍රීලනිපයට හිමිවිය යුතු බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මිට ඉහතදී ප්‍රකාශකර තිබිණ.

එසේම, ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව ජයග්‍රහණයෙන් පසු පිහිටුවන ආණ්ඩුවක තනතුරු පිරිනැමීමේදී ශ්‍රීලනිපයට තුනෙන් එකක කෝටාවක් හිමිවිය යුතුව ඇතැයි ශ්‍රීලනිපය පවසයි.

දුක කීමට ජනපති හමුවන සුදානමක් !

එම අවබෝධතා ගිවිසුම් කිසිඳු ලෙසකින් නොතකා හරිමින් 'පොහොට්ටු' පක්ෂයේ ප්‍රධානින් මෙසේ දිගින් දිගටම ශ්‍රීලනිපය නොසලකා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි වහාම ඔහු සමග සාකච්ජා කිරීමට ශ්‍රීලනිප නායකයින් තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රීලනිපයේ කිහිප දෙනෙකුට කැබිනට් අමාත්‍ය ධුර හා රාජ්‍ය අමාත්‍ය ධුර ලබාදුන්න ද ඊට පැවරී ඇති රාජ්‍ය ආයතන හා වගකීම් සම්බන්ධ ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය මෙතෙක් ප්‍රකාශයට පත්ව නොමැති හෙයින් එම ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්වූ පසු පක්ෂයක් වශයෙන් ගතයුතු පියවර සාකච්ජා කිරීම සඳහා ශ්‍රීලනිපයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැඳවීමට ද අදහස් කර සිටින බව පැවසේ.

සබැඳි පුවත් :

ශ්‍රීලනිපය කනස්සල්ලෙන්: දුමින්දගේ හා දයාසිරිගේ නම් කැපුන හේතුව?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්