උතුරේ සහ දකුණේ සිසු නායකයන් පසුගිය මාර්තු 12 වන දා යාපනයේ දී හමුවී කරන ලද සාකච්ඡා පිළිබඳව මේ වන විට යම් පරස්පර බවකින් යුත් අදහස් ප්‍රකාශ කර තිබේ.

සාකච්ඡාවෙන් අනතුරු මාධ්‍ය වෙත අදහස් දැක්වු යාපනය ශිෂ්‍ය සංගම් නායකයා කියා සිටියේ උතුරේ දෙමළ සමාජය පීඩා විදින මුලික කරුණු 10 ක් පිළිබදව දකුණේ ශිෂ්‍ය සංගම් නායකයන්ට පහදා දීමට කටයුතු කළ බව සහ එම යෝජනාවලිය ලිඛිතව ලබා දුන් බවයි.

එම යෝජනාවලියේ ඇතුලත් දෙමළ ජනතාව පීඩාවට පත්කරන දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සටන් වදින්නේ නම්, දකුණේ අරගලවලට සම්බන්ධවීම පිළිබදව සලකා බැලිය හැකි බව ද ශිෂ්‍ය සංගම් නායක අලගරාස විජයකුමාර් එහිදි ප්‍රකාශ කර තිබේ.

එහෙත් එවැනි කිසිඳු යෝජනාවලියක් තමන් වෙත ලබා නොදුන් බව බිබිසි සිංහල සේවය ඉදිරිපත් කළ ප්‍රශ්නාවලියට පිළිතුරු දෙමින් අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ කියා සිටියේය.

WM 2

 

"උතුරෙයි දකුණෙයි කියල අරගල දෙකක් අපිට නෑ"

 

1) ඔබ උතුරේ ශිෂ්‍ය නායකයන් හමුවීමට යාමට පෙර කියපු කාරණයක් තමයි දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම එම සංචාරයේ අරමුණ කියලා, ඔබ ඔවුන් සමග පැවති සාකච්ඡාවලදී දෙමළ ජනයාගේ ප්‍රශ්න ගැන අවබෝධයක් ලබා ගත්තාද? ඔබ අවබෝධ කරගත් පරිදි ඔවුන් මුහුණ දෙන ප්‍රශ්න මොනාවාද?

 

"දෙමළ ජනතාවට, විශේෂයෙන්ම උතුරේ දෙමළ ජනතාවට විශේෂ වූ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අද දකුණේ ජනතාවට එරෙහිව පාලකයෝ යොදාගන්න ත්‍රස්ත පනත උතුරේ ජනතාවට එරෙහිව යොදාගත්තේ මීට දශක ගණනාවකට පෙර සිට. යුද්ධය ඉවරයි කිව්වට තවම හමුදාව විසින් අත්පත් කරගත්ත උතුරේ ජනතාවගේ ඉඩම් ඔවුන්ට ලබාදීලා නෑ. දෙමාපියන් විසින් හමුදාවට භාර දුන්න දරුවෝ දහස් ගණනක් අතුරුදහන් වෙලා. ඔවුන් ඉන්නවද නැද්ද මොකද වුණේ කියලවත් දන්නෙ නෑ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට අරගෙන තවම නඩුවක් වත් නැතිව දශක ගණන් හිරගත කර⁣ගෙන ඉන්න දේශපාලන රැඳවියෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ මූලික ප්‍රශ්න ප්‍රමාණයක් විතරයි. අපි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විදිහට මීට පෙරත් උතුරේ ජනතාවගේ මේ ප්‍රශ්න පිළිබඳව දකුණු සමාජය තුළ සංවාදයක්, අරගලයක් ඇති කරන්න අඛණ්ඩ උත්සාහයක නිරත වෙලා තියෙනවා. සම අයිතිය ව්‍යාපාරය එක්ක එකතු වෙලා දේශපාලන රැඳවියන් නිදහස් කරගන්න, අතුරුදන් වූවන්ට යුක්තිය ඉටුකරගන්න උද්ඝෝෂණ, පාගමන් සංවිධානය කරල තියෙනවා. අත්පත්‍රිකා බෙදල තියෙනවා. සම්මන්ත්‍රණ, සාකච්ඡා පවත්වලා තියෙනවා. කේපාපිලව් ජනතාව ඉඩම් අයිතිය ඉල්ලලා කරපු උද්ඝෝෂණවලට සම්බන්ධ වෙලා තියෙනවා. යාපනේ ශිෂ්‍ය සංගමයත් විශේෂ ක්‍රියාමාර්ගවලදි අන්තරෙත් එක්ක ඒකාබද්ධ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සයිටම් අරගලයට ඔවුන් බස් අරගෙන කොළඹ ආවා. පාලකයන් විසින් දකුණේ ඇති කර තිබුණු යුධ උම්මාදය ඇතුළෙ 'උතුරේ ජනතාවට විශේෂ වූ ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා, ඒවට විසඳුම් ලැබෙන්න ඕනි' කියන සංවාදය දකුණේ ඇති කරන්න උත්සාහ කරපු අතලොස්සක් හරි හිටියා. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය අයිති වුණේ අන්න ඒ සුළුතරයට. උතුර - දකුණ එකතු කරපු අඛණ්ඩ අරගලයක් පිළිබඳ හීනයක් ඇතුව පහුගිය කාලය පුරාම අපි වැඩ කරල තියෙනවා. උතුරේ ජනතාවගේ ගැටලුවලට විසඳුම් හොයන්න අරගල කරන දකුණේ ජනතාවකුත්, දකුණේ ජනතාව සමඟ එකට අරගල බිමේ හිටගන්න උතුරේ ජනතාවකුත් නිර්මාණය වෙන්න ඕනි මේ නින්දිත ජාතිවාදී උගුලෙන් අපේ සමාජය ගැලවෙන්න. ඒකට අපි උත්සාහ කරනවා. මේ සාකච්ඡාව ගැනෙන්නෙත් එහෙම අඛණ්ඩව දරපු උත්සාහයක තවත් එක් ගුණාත්මක පියවරක් විදිහට."

 

2) ඔබගේ අවබෝධයට අනුව දකුණේ සිංහල ජනතාව සහ උතුරේ දෙමළ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවල ඇති වෙනස්කම් මොන වගේ ද?

 

"මෙහෙමයි පොදුවේ ගත්තොත් උතුරෙයි දකුණෙයි කියල අරගල දෙකක් අපිට නෑ. රජය උතුර දකුණ කියල වෙනසක් නැතිව ජනතාව මත දරුණු පීඩනයක් එල්ල කරමින් ඉන්නවා. යුද්ධයෙන් අතුරුදන් වුණ උතුරේ ජනතාවගේ සමීපතමයන්ට යුක්තිය ඉටු වෙලා නෑ වගේම දකුණෙත් අතුරුදන් වූවන්ට යුක්තිය ඉටු වෙලා නෑ. යුද්ධය අවසන් වූ ආසන්න ඉතිහාසය තුළ උතුරේ වගේම දකුණෙත් දේශපාලන ක්‍රියාධරයින්, මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් අතුරුදහන් කරා. ඒ නිසා අපිට තියෙන්නේ පොදු අරගලයක් කියන එකයි අපේ පිළිගැනීම. ඒ අතරම දකුණේ ජනතාවට අත්විඳින්නට සිදු නොවුණු විශේෂ ප්‍රශ්න ගණනාවක් උතුරේ ජනතාවට අත්විඳින්න සිදුවෙලා තියෙනවා."

 

"සරල උදාහරණයක් ගමුකෝ. යුද්ධය උතුරේ ජනතාවටවත්, දකුණේ ජනතාවටවත් ලස්සන මතකයන් කිසිවක් ඉතුරු කරේ නෑ. උතුරෙත් මැරු⁣ණේ මිනිස්සු. දකුණේ මැරුණෙත් මිනිස්සු. නමුත් දකුණට පුළුවන් යුද්ධයෙන් මිය ගිය තමන්ගෙ සමීපතමයන් සිහි කරන්න, සමරන්න, ඔවුන් වෙනුවෙන් සැමරුම් ස්මාරක හදන්න. නමුත් උතුරේ ජනතාවට ඒ අයිතිය තියෙනවද? මියගිය අය සිහි කරලා පහනක් පත්තු කරන්න පුළුවන්ද? ඒක හරිම සංවේදී කාරණාවක්. රජය කොහොමත් ජනතාව ගැන හිතන්නේ ත්‍රස්තවාදීන් විදිහට. 70/80 දශකවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගෙන දකුණේ ජනතාවත් මර්දනය කළා. නමුත් උතුරේ ජනතාව ත්‍රස්තවාදීන් විදිහට දකින්නෙ රජය විතරක් නෙවෙයි. පාලන බලය තියාගන්න ජාතිවාදය අවුස්සන පාලකයෝ විශාල ප්‍රචාරණ ව්‍යාපෘති කරලා දකුණේ ජනතාව අතරත් මතයක් හැදුවා උතුරේ මිනිස්සු ත්‍රස්තවාදියෝ කියලා. එතකොට උතුරේ ජනතාව පීඩාවට පත්වෙන්නේ රජයෙන් විතරක් නෙවෙයි. දකුණු සමාජයේ වැඩ කරන මහජාතික ජාතිවාදී ප්‍රවේශය විසිනුත් උතුරේ ජනතාව පීඩාවට පත් වෙනවා. අපිට ඒ ගැන සමීප අත්දැකීම් තියෙනවා සංවිධානක් විදිහට. යුද්ධයෙන් මියගිය සමීපතමයන් සිහිකරන්න යාපනයේ හදපු මළවුන්ගේ ස්මාරකය රජයෙන් ඩෝසර් කරල දාද්දි අන්තරේ විදිහට අපි ඒකට විරෝධය පළ කරා. එතකොට ⁣⁣ගොඩක් අය අපිට කිව්වෙත් කොටින්ට උඩගෙඩි දෙන ත්‍රස්තවාදියෝ කියලා. උතුරේ ජනතාව උතුරේ වීම නිසාම, තමිල් වීම නිසාම මුහුණ දෙන ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ ප්‍රශ්න සිංහල ජනතාවට නෑ. පොදුවේ ගත්තොත් රජය විසින් ඇති කරන ආර්ථික, දේශපාලන පීඩනය උතුරෙත් දකුණෙත් ජනතාවට එක විදිහට බලපානවා. දකුණෙත් ණය ගෙවාගන්න බැරිව පවුල් පිටින් මිනිස්සු සියවිදි නසාගන්නවා. උතුරෙත් ඒක ඒ විදිහටම වෙනවා. පොදු ප්‍රශ්න එහෙම තියෙද්දි දකුණට දැනෙන්නෙ නැති, දකුණට තවම තේරුම්ගන්න බැරි වෙච්ච විශේෂ ප්‍රශ්න ප්‍රමාණයක් උතුරට තියෙනවා. අපි හිතනවා වෙනදට වැඩිය උතුරේ ජනතා⁣වගේ ගැටලු පිළිබඳව සංවේදී දකුණක් නිර්මාණය කරන්න ජනතා අරගලය ගැඹුරු විභවයක් ඇති කරල තියෙනවා කියලා. ඒ නිසා මේ මොහොතේ ඒ සඳහා ප්‍රමාදයකින් තොරව අපි ක්‍රියාත්මක වෙන්න ඕනි."

 

3) දකුණේ අරගලවලට සම්බන්ධවීම සලකා බැලීමට දෙමළ ශිෂ්‍ය සංගම් විසින් අන්තරේට ඉදිරිපත් කරන ලද යෝජනා දහය ඔබ සංගමය විසින් පිළිගන්නවා ද?

 

"එහෙම යෝජනාවලියක් මාර්තු 12 සාකච්ඡාවේදි ඔවුන් අපිට ලබාදුන්නේ නෑ. මං කලිනුත් කිව්වා වගේ ඔවුන් අපිත් එක්ක මීට පෙරත් යම් යම් අවස්ථාවලදි සම්බන්ධ වෙලා එකට අරගල කරලා තියෙනවා. අඛණ්ඩව සම්බන්ධ වෙලා එකම අරගල භූමියක එකට අරගල කරන්න තමයි අපිත් උත්සාහ කරන්නෙ. ඒ නිසා තවදුරටත් ඔවුන් සමග සාකච්ඡාවක් අපිට ඉතුරු වෙලා තියෙනවා."

 

4) සාකච්ඡාව අවසන් වෙලා මාධ්‍ය වෙත ඔබ කියා සිටියා උතුර පීඩාවට පත් කරන සියලු ප්‍රශ්න සදහා අඛණ්ඩ මැදිහත්වීමක් සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා. මෙම හමුවේදී ඔබ අවබෝධ කරගත් දෙමළ ජනයා මුහුණ දෙන ප්‍රශ්න දකුණේ සමාජයට ජනගත කිරීමට හා දකුණේ පාලකයන්ට ඉදිරිපත් කරමින් ඒ වෙනුවෙන් සටන් කිරීමට ඔබ නායකත්වය දෙන අන්තරේ මොන විදිහට ද ඉදිරියේදී මැදිහත් වන්නේ?

 

"උතුරේ ජනතාවගේ ගැටලු වෙනුවෙන් අන්තරේ පෙනී ඉන්නවා කියන එක අපි හිතන්නෙ නෑ දකුණේ ජනතාවට අලුත් අත්දැකීමක් වෙයි කියලා. මොකද යුද්ධය අවසන් වුණු 2009 වසරේ පටන්ම අන්තරේ විදිහට අපි උතුරේ ජනතාවට විශේෂ වූ ප්‍රශ්න තිබෙන බව පිළිගනිමින් ඒ සඳහා වූ අරගලයක් දකුණේ ජනතාව අතර ඇති කරන්න අඛණ්ඩ උත්සාහයක හිටියා. මතවාදීව ගැටුණා. නමුත් අපි බලාපොරොත්තු වුණ තරමටම දකුණු සමාජය ඒ අදහස් භාරගන්න සූදානමක හිටියේ නෑ. ඒක දකුණේ ජනතාවගෙ වැරැද්දක් නෙවෙයි. ඒ තමයි පාලකයෝ ජනතාව අතර ව්‍යාප්ත කරල තිබුණ මතවාදය. ඒ වගේම දකුණේ ජනතාව ගෝඨාභය රාජපක්ෂගෙ මිනීමරු ආණ්ඩුවට විරුද්ධව පසුගිය අවුරුද්දේ ආරම්භ කරපු අරගලයට උතු⁣රේ ජනතාව ඒ විදිහටම සම්බන්ධ වුනේ නෑ. ඒක උතුරේ ජනතාවගෙ වැරැද්දක් නෙවෙයි. එතන තියෙන්නෙත් දකුණ ගැන උතුරේ ජනතාව අතර පාලකයො හදපු, අදටත් නඩත්තු කරන සතුරු ආකල්පය. නමුත් දැන් වෙනදට වැඩිය උතුරේ නොවිසඳුණු ගැටලු ගැන අරගලයක් දකුණේ ඇති කරන්න විශාල විභවයක් සමාජය තුළ ඇති වෙලා තියෙනවා. දකුණේ ජනතාව ගැන මෙතෙක් දරපු ආකල්පවලට වැඩිය වෙනස් අදහසක් උතුරේ ජනතාව අතරත් ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි කියන්නෙ උතුර දකුණ එකතු කරන්න පුළුවන් ජනතා අරගලයට විතරයි කියලා. ඒ වෙනුවෙන් අන්තිම දහදිය බිංඳුව වෙනකම් අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න අපි කටයුතු කරනවා."

 

5) මේ වන විට රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට දෙමළ ජනයාට එරෙහි යුද්ධය මූලික හේතුව වූ බව ඔබ මෙම සාකච්ඡාවේදී පිළිගෙන තිබෙනවා, යුද්ධය ආර්ථික අර්බුදයට හේතුවක් වු ආකාරය ඔබ විස්තර කරන්නේ කොහොමද?

 

"මෙහෙමයි, ආර්ථික අර්බූදයට හේතුව යුද්ධය කියල අපි සඳහන් කරලවත් පිළිගෙනවත් නෑ. මේ ඇති වෙලා තියෙන අර්බූදය ලෝක පරිමාණයි. ලංකාවෙදි අර්බූදය තීව්‍ර වෙන්න බලපාපු තවත් එක හේතුවක් විදිහට යුද්ධයත් පෙන්වලා දෙන්න පුළුවන්. නමුත් එකම හේතුව යුද්ධය කිව්වොත් ඒක දේශපාලනිකව වැරදියි. මේ අර්බූදයට ඍජු වගඋත්තරකාරයෝ මේ රට මෙතෙක් පාලනය කරපු පාලකයෝ. ඔවුන් අනුගමනය කරපු ප්‍රතිපත්ති. වි⁣ශේෂයෙන්ම 1977 සිට ක්‍රියාත්මක කරපු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය. ගෙවුණු ඉතිහාසයේ තිබ්බ යුද්ධයයි, ගතවෙමින් තියෙන ඉතිහාසයේ අපි මුහුණ දෙන ආර්ථික, දේශපාලන අර්බූදයයි දෙකම මේ නව ලිබරල් ප්‍රතිපත්තිය කරපින්නගත්ත පාලකයන්ගෙ උවමනාවට අටවපු උගුල්. ඒ උගුල් අටවන්න පාලකයන්ට රුකුල් දුන්නෙ අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ අධිරාජ්‍යවාදී අරමුණු සහිතව කටයුතු කරන මූල්‍ය සංවිධාන. මෙතෙක් ක්‍රියාත්මක කරපු විනාශකාරී, විෂම ආර්ථික වැඩපිළිවෙල පිටිපස්සේ ඔය මූල්‍ය සංවිධාන හිටියා. ඒ නිසා මේ රටේ පාලකයොයි ඒ පාලකයන්ව පාලනය කරපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ අධිරාජ්‍යවාදී සංවිධානයි ඔක්කොම මේ අර්බූදයේ වගඋත්තරකාරයෝ."

 

kjahsjs

 

6) යුද්ධයට සහාය දුන් එවක ජනතා විමුක්ති පෙරමුණේ සිටි අන්තරේ අයත්, ඔබට සමීප දේශපාලන පක්ෂය වෙන පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ අන්තරේට අනුබද්ධ ශිෂ්‍ය භික්ෂු බල මණ්ඩලය උතුරේ ශිෂ්‍ය සංගමය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පිළිගන්නවාද? උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ නිජභූමිය ලෙසත් දෙමළ ජනයාට ස්වයං පාලනයට හා ස්වයං නීර්ණයට හිමිකම් ඇති බවත් ඔවුන් පිළිගනු ඇතැයි ඔබ විශ්වාස කරනවා ද?

 

"නැවතත් අවධාරණය කළ යුතු කාරණය තමයි මේ වන තෙක් කිසිඳු යෝජනාවලියක් යාපනේ මහා ශිෂ්‍ය සංගමය විසින් හෝ වෙනත් උතුරේ සංවිධානයක් විසින් හෝ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට ලබාදීලා නෑ. ඒ නිසා ඔබ විමසන ඔය වැඩපිළිවෙළ ගැන අදහසක් කියන්න අන්තරේ විදිහට දැනට අවබෝධයක් අපිට නෑ. ඉදිරියේදී එහෙම යෝජනාවලියක් අපිට ලැබුණොත් ඒ පිළිබඳව අන්තරේ මේසෙදි, විශ්වවිද්‍යාල ප්‍රජාව තුළ සාකච්ඡාවක් ඇති කරගන්න පුළුවන්. පොදුවේ ගත්තොත් අපි අන්තරේ විදිහට පෙනී ඉන්න කාරණය තමයි උතුරේ සහ දකුණේ ජනතාව ඒකාබද්ධ වූ අරගලයක් මේ පාලකයන්ට විරුද්ධව, ඔවුන්ගේ නවලිබරල් වැඩපිළිවෙළට එරෙහිව ක්‍රියාත්මක කරන්න ඕනි. අපි එක ජනතාවක්. උතුර - දකුණ විදිහට අපිව බෙදුවෙ සිංහල, දෙමළ, මුස්ලිම් සියලුම පාලකයෝ. කා⁣⁣ගෙවත් සුදුහුණු ගාන්න අපි සූදානම් නෑ. හැමෝම තම තමන්ගේ බල දේශපාලන න්‍යාය පත්‍රයන් වෙනුවෙන් ජනතාව ජාති විදිහට, ආගම් විදිහට බෙදුවා. අන්තිමට කේපීලා, කරුණාඅම්මාන්ලා, පිල්ලෙයාන්ලා ආණ්ඩුවේ ඇමතිකම් දරද්දි, පාලකයොත් එක්ක කරට අත දා⁣ගෙන ඉදිද්දි ඔවුන්ගේ අත්සනින් නිකුත් කරපු හැඳුනුම්පතක් ළඟ තියාගත්ත කියල අත්අඩංගුවට ගත්ත සහෝදරවරු දේශපාලන රැඳවියන් විදිහට තවම හිරගෙවල්වල ඉන්නවා. පාලකයෝ බෙදුණේ වෙන්වුණේ නෑ. හැබැයි ඔවුන් ජනතාව, ඒ කියන්නෙ අපිව බෙදුවා. වෙන් කරා. එකිනෙකා සමඟ යුද්ධ කරගන්න ආයුධ අතට දුන්නා. යුද්ධයෙන් පස්සෙත් ඔවුන් එකට ඉන්නවා. අපේ සහෝදරවරු හිරගෙවල්වල ඉන්නවා. ඒ තමයි ඇත්ත. මේක මර උගුලක්. මේ මර උගුලෙන් ගැලවෙන්න නම් උතුරේ ජනතාවට උතුරේ වීම නිසා, දෙමළ වීම නිසා මුහුණ දෙන්න වෙලා තියෙන ප්‍රශ්න තියෙනවා ඒ වෙනුවෙන් අපි අරගල කරන්න ඕනි කියන ස්ථාවරයට දකුණ එන්න ඕනි. උතුරේ ජනතාව තමන්ව තලන පෙළන පාගන පාහර පාලකයන්ට එරෙහිව දකුණේ ජනතාව සමඟ අරගල බිමේදී අත්වැල් බැඳගන්න අවශ්‍යයි කියන ස්ථාවරයට එන්න ඕනි. අන්න එතෙන්ට පාර හදන එක තමයි අන්තරේ විදිහට අපේ කාර්යභාරය."

 

"කුමන හෝ දේශපාලන පක්ෂයක ස්ථාවරයන් ගැන අන්තරේ විදිහට අපිට ස්ථාවරයන් ඉදිරිපත් කරන්න බෑ. අන්තරේ කියන්නේ බහුජන ව්‍යාපාරයක්. බහුජන ව්‍යාපාරයක් වුණාම ඒකට හැදෙන සීමාකම් ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපි දිගටම විශේෂයෙන්ම දේශපාලන රැඳවියන්ගේ ගැටලුවට, අතුරුදහන් වූවන්ගේ ගැටලුවට විසඳුම් ඉල්ලලා අඛණ්ඩව අරගලයක හිටියා. ඉතිං අපි ඒ ප්‍රගතිශීලි මැදිහත්වීම උතුර දකුණ වෙනසක් නැතිව සමස්ත සමාජය තුළම අඛණ්ඩව සිදු කරන්න කටයුතු කරනවා."

 

"ආර්ථික අර්බුදයට වර්ග සංහාරය හේතුවක් කියලා පිළිගත්තා"

 

අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යෝජනාවලියක් නොදුන් බවට කරන ප්‍රකාශයට පරස්පරව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ නායක අලගරාස විජයකුමාර පවසන්නේ යාපනයේ පැවති හමුවේදී තම යෝජනාවලියට අදාළ කරුණු සාකච්ඡා කළ බව සහ ඉංග්‍රීසි හා දෙමළ භාෂාවලින් තම යෝජනා ලබාදුන් බවයි.

එමෙන්ම අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් ආර්ථික අර්බුදයට වර්ග සංහාර යුද්ධය හේතු වු බවට පිළිගත් බව බිබිසි සිංහල සේවය නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු ලෙස දෙමළ සිසු නායකයා ප්‍රකාශ කළේය.

 

alagarasa

 

1) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට මාර්තු 12 සාකච්ඡවේදි යාපනේ ශිෂ්‍ය සංගමය විසින් හෝ වෙනත් උතුරේ සංවිධානයක් විසින් යෝජනාවලියක් ඉදිරිපත් නොකළ බව වසන්ත මුදලිගේ පවසනවා. එම සාකච්ඡාවේදී අන්තරේ වෙත ලබා දුන්නායැයි කියමින් මාධ්‍ය වෙත ඔබ ලබා දුන් යෝජනා ඔවුන්ට ලිඛිතව හෝ වාචිකව ඉදිරිපත් කළේ නැද්ද?

 

"එදා සාකච්ඡාවේදී යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයයි අනෙකුත් ශිෂ්‍ය සංගමයි එක්ක අපි කතා කළේ මොකක්ද කියලා කියනවානම් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව අතර තියෙන ප්‍රශ්න ඉඩම් අල්ලා ගැනීම, දෙමළ ජනතාවගේ ස්වදේශිය අයිතිය, හමුදා ආක්‍රමණය, PTA ත්‍රස්තවාදය වැළැක්විමේ පනත, බෞද්ධකරණය කිරීම වගේ නොයෙකුත් අපි දුන්න යෝජනා දහය ගැන අපි එදා කතා කෙරුවා."

 

2) දකුණේ අරගලයට හේතුවක් වු ආර්ථික අර්බුදයට දෙමළ ජනයාට එරෙහි වර්ග සංහාරක යුද්ධය මූලික හේතුව වූ බව අන්තරේ නායක වසන්ත මුදලිගේ පිලිගත් බව ඔබ මාධ්‍ය වෙත ප්‍රකාශ කළත් ආර්ථික අර්බූදයට හේතුව යුද්ධය කියලා සඳහන් කරලවත් පිළිගෙනවත් නැතැයි ඔහු ප්‍රකාශ කරනවා, අර්බූදය තීව්‍ර වෙන්න බලපාපු තවත් එක හේතුවක් විදිහටයි ඔහු යුද්ධය හදුන්වන්නේ. ඔබ ඔහු ආර්ථික අර්බුදයට යුද්ධය හේතුවක් වු බව පිලිගත්තයැයි ඔබ කරන ලද ප්‍රකාශය අසත්‍යක් ද?

 

"ඒ වෙලාවේ මම ප්‍රශ්නයක් ඇහුවා ඒගොල්ලන්ගෙන් ආර්ථික අර්බුදයට හේතුව වර්ග සංහාරය ද කියලා, පළවෙනියටම ඒගොල්ලෝ පිළිගත්තා ආර්ථික අර්බුදයට හේතුව වර්ග සංහාරය තමයි කියලා. යුද්ධය තිබ්ච්ච වෙලාවේ නොයෙකුත් ආයුධ ගෙනවා, හමුදාවට ඕනකරන දේවල් ගත්තා, ඒ වගේම ගොඩාක් අපරාධයන් විනාශ කිරිම් නිසා තමයි ආර්ථික අර්බුදය ඇති වුණේ කියන එක තමයි ඒ ප්‍රශ්නයේ අර්ථය. ඒ වෙලාවේ ඒගොල්ලෝ ඒක 'ඔව්' කියලා පිළිගත්තා, මුළුමනින්ම ඒක පිළිගන්නවා කියන එක ඒගොල්ලෝ කිව්වා."

 

3) ඔබ පවසනවා අන්තරේට යෝජනා දහයක් දුන්නා කියලා. වසන්ත මුදලිගේ කියනවා යෝජනා කිසිවක් දුන්නේ නෑ කියලා. ඔබ කියන විදියට එහෙම ඔවුන්ට යෝජනා දුන්නා නම් එම යෝජනාවලට ඔවුන් ප්‍රතිචාර දක්වන්න පටන් අරන් තියෙනවාද? ප්‍රතිචාර දක්වලා නැතිනම් ඔබ ඒ ගැන විමසීමක් හෝ කරලා තියෙනවා ද?

 

"අපේ යෝජනා දහයම අපි භාර දුන්නා. ඒ යෝජනා ගැන තමයි අපි ආයෙත් ආයෙත් ඒ අය එක්ක කතා කෙරුවේ. ඒ සාකච්ඡාවේදී අපි ඒ යෝජනා දහය දීලා දිගටම අපි එයාට කතා කරන්න උත්සාහ කෙරුවත් එයාත් එක්ක සම්බන්ධතාවය හදාගන්න අපිට බැරි වුණා. දිගටම අපි එයා එක්ක කතා කරන්න උත්සාහ කරනවා ඒ ගැන පිළිතුරක් ආවාම තමයි අපිට වැඩි විස්තර කියන්න පුලුවන්."

"අපි සාකච්ඡාවට ගෙනාපු දේවල් තමයි ත්‍රස්තවාදය වැළැක්විමේ පනත. අපිට ඒක අලුත් දෙයක් නෙමෙයි, පුරුදු දෙයක් අපිට. දෙමළ ජනතාව දිගටම යටපත් කරගෙන තමයි ඉන්නේ. ඒකේ කෑල්ලක් හැටියට තමයි ත්‍රස්තවාදය වැළැක්විමේ පනත වැඩ කරන්නේ. ඉඩම් අල්ලා ගැනිම්, උතුර හා නැගෙනහිර යා කරන විසඳුමක්, හමුදාව විසුරුවා හැරිම, බෞද්ධකරණය කිරිමේ ක්‍රියාවලිය 200කට ආසන්න වු විහාරයන් හදමින් පවතිනවා. ඒ ඇයි කියලා කියනවා නම් අපේ පළාත් විනාශ කරලා දාලා බෞද්ධකරණය කිරීම ඒ වගේම දෙමළ ජනතාවගේ නොයෙකුත් ගැටලු එදා අපි කතා කළා" යැයි සාකච්ඡාව පිළිබඳව වැඩිදුර විස්තර කරමින් යාපනය සරසවියේ සිසු නායකයා කියා සිටියේය.

 

දෙමළ ශිෂ්‍ය නායකත්වය අන්තරේට ලිඛිතව ලබාදුන් බව කියන ඉල්ලීම් මාලාව

 

  1. උතුරු නැගෙනහිර පළාත් නිජභූමිය කොටගත් දෙමළ ජනතාව තමන්ගේම භාෂාවක්, ආගමක් සහ සංස්කෘතික අනන්‍යතාවක් සහිත සුවිශේෂී ජාතියක් බව පිළිගත යුතුය.
  2. ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාත් දෙමළ ජනතාවගේ පාරම්පරික නිජබිම බව පිළිගත යුතුය.
  3. දෙමළ ජනයාට ස්වයං පාලනයට හිමිකම් ඇති බව පිළිගත යුතුය.
  4. සියලුම ජාතීන් ඇතුලත්ව, දෙමළ ජාතිකයන්ට ද ස්වයං නිර්ණ අයිතිය ඇති බවත් ඒ හරහා තමන්ගේ දේශපාලන ඉරණම තීරණය කිරීමට ඔවුන්ට අයිතියක් ඇති බවත් පිළිගත යුතුය.
  5. ජාත්‍යන්තරව අධීක්‍ෂණය කෙරෙන ජනමත විචාරණයක් හරහා දෙමළ ජනයාට තම දේශපාලන ඉරණම තීරණය කිරීමට අවස්ථාවක් දිය යුතු බව පිළිගත යුතුය.
  6. දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද වර්ග සංහාරය, යුද අපරාධ, මානව වර්ගයාට එරෙහි අපරාධ සහ බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සඳහා ජාත්‍යන්තර යුක්ති යාන්ත්‍රණ හරහා යුක්තිය ඉටු කළ යුතු බව පිළිගත යුතුය.
  7. දෙමළ නිජබිමේ වාඩිලා සිටින ආක්‍රමණික සිංහල යුද හමුදාව වහාම ඉවත් කළ යුතු බව පිළිගත යුතුය.
  8. ආක්‍රමණය කර තිබෙන දෙමළ ජනතාවගේ ඉඩම් වහා නිදහස් කළ යුතු බව පිළිගත යුතුය.
  9. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි සංශෝධනය අහෝසි කර දෙමළ ජනතාවට තම දේශපාලන අභිලාෂයන් ඉදිරිපත් කිරීමට දේශපාලන අවකාශයක් ස්ථාපිත කළ යුතු බව පිළිගත යුතුය.
  10. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර, දීර්ඝ කාලයක් බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කිසිදු කොන්දේසියකින් තොරව වහාම නිදහස් කළ යුතු බව පිළිගත යුතුය.

 


JW

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්