මාර්තු 25 දා විශ්‍රාම යාමට නියමිත පොලිස්පති චන්දන වික්‍රමරත්නට එක් දිනකට හෝ සේවා දිගුවක් නොදෙන ලෙසට

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති වික්‍රමසිංහට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තාවේ.

අද පස්වරුවේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී, පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට විරෝධය පළකර ඇත්තේ, ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ, මහින්දානන්ද අළුත්ගමගේ, චින්තක මායාදුන්නේ, සනත් නිශාන්ත, සහන් ප්‍රදීප්, සංජීව එදිරිමාන්න, මධුර විතානගේ ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසකි.

2022 මැයි 09 සිදුවූ කලහකාරී තත්වය මර්ධනය කිරීමට පොලිස්පති චන්දන වික්‍රමරත්න කිසිදු පියවරක් නොගත් බවට මෙහිදී චෝදනා කර ඇති එම මැති ඇමතිවරුන්, අරගලකරුවන් තමන්ගේ ගෙවල් දොරවල් දේපල මුළුමනින්ම ගිනිබත් කරද්දී පොලිස්පති චන්දන වික්‍රමරත්න කිසිවක් නොකර අරගලකරුවන්ට සහය දැක්වූ බවට දැඩි ආවේගයෙන් යුතුව ප්‍රකාශ කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමට එරෙහිව මතයක් ගොඩනගමින් සිටින්නේ, අරගලයට සහය දැක්වූ දේශපාලන පක්ෂ, නීතිඥ සංවිධාන හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් බව ද එම පිරිස අවධාරණය කර ඇත.

තවද වසන්ත කරන්නාගොඩ, දයා රත්නායක හා රොෂාන් ගුණතිලක කමිටු වාර්තාවෙන්ද පොලිස්පති චන්දන වික්‍රමරත්න 2022 මැයි 09 වනදා ඇතිවූ සිද්ධීන් මැඩ පැවත්වීමට උත්සහ නොගත් බවටත්, පොලිස්පතිවරයා ලෙස රාජකාරී පැහැරහැර ඇති බවටත් නිර්දේශ ලබාදී ඇතැයි ඇතැම් මන්ත්‍රීවරුන් පවසා තිබේ.

එලෙස කොමිසමකින් චෝදනා ලැබුවකුට සේවා දිගුවක් ලබා දිය නොහැකි බව මැති ඇමතිවරුන් කිහිපදෙනෙකුම අදහස වී තිබේ.

පොලිස්පති ධුරය සදහා නිර්දේශ වී ඇති දේශබන්ධු තෙන්න්කෝන් ට නඩු හා චෝදනා ගොනු වී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂාකිරීමට යාම හා කලහකාරී පිරිස් නීතිය අතට ගෙන ක්‍රියාකිරීමේදී ඔවුන් මර්ධනය කිරීමට පියවර ගත් නිසා බවත් ඇතැම් මන්ත්‍රීවරුන් සඳහන් කර තිබේ.

එසේ  ආණ්ඩුව හා නීතිය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වූ දේශබන්ධු තෙන්නකෝන් හට මේ අවස්ථාවේදී පොලිස්පතිධුරය නොදුනහොත්, මින් ඉදිරියට කිසිදු රාජ්‍ය සේවකයකු ආණ්ඩුව රැකගැනීමට ඉදිරිපත් නොවනු ඇති බව පෙන්වා දී ඇති එම මැති ඇමතිවරුන් පිරිස, ආණ්ඩුව රැක ගන්නා රාජ්‍ය සේවකයින්ව රැකගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන බවට වූ මතයක් ඔවුන් අතරට යාමෙන් ඉදිරියේදී ඕනෑම මොහොතක  ආණ්ඩුව බිඳ වැටීමේ අවධානමක් පවතින බවට ද අනතුරු අඟවා ඇත.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් එසේ අදහස් පළකරද්දී ජනාධිපති වික්‍රමසිංහ සාවදානව ඇහුන්කන් දී සිට ඇති නමුත් කිසිවක් ප්‍රකාශකර නොමැත.


දේශබන්දුට එරෙහි අධිකරණ නියෝගයක් වළක්වාලන අභියාචනාධිකරණ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

මේ අතර බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 28 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

අභියාචනාධිකරණය එම නියෝගය නිකුත් කළේ කොටුව ජනාධිපති මන්දිරයට අරගලකරුවන් ඇතුළු වු අවස්ථාවේ දී එහි තිබී රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂයකට ආසන්න මුදලක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පැමිණිල්ලකට අදාළවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය නිකුත් කළේය.  

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සම සලකා බැලීම සඳහා දින නියම කරන ලෙස ඉල්ලා සිටියේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටී ජේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින කොටුව මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනී සිටින ලෙස නීතිපතිවරයා වෙත උපදෙස් ලැබී තිබෙන බවත් අධිකරණ සේවා කොමිසම හරහා මහේස්ත්‍රාත්වරයාගෙන් උපදෙස් ලබාගෙන කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය එම පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවීමට එහිදී දින නියම කළේය.


සබැඳි පුවත් :

 

  JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්