හාල් මිල වැඩිවෙලා යැයි මේ දිනවල හැමෝම කියනවා. ඔබත් වෙළඳපොළට යන කෙනෙක් නම් මේ කතාව ඇත්තක් යැයි ඔබ හොඳටම දන්නවා ඇති. ඇත්තටම හාල් මිල වැඩිවුණේ ඇයි ? 

''ඒකට හේතුව තමයි, මෙරට මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් පවත්වාගෙන යන සහල් වෙළඳපොළේ ඒකාධිකාරයට එරෙහිව අපගේ රජය පටන්ගත් “ශක්ති“ සහල් වැඩසටහන කිසිදු වග විභාගයකින් තොරව වර්තමාන ආණ්ඩුව විසින් දේශපාලන වුවමනාවන් වෙනුවෙන් නවතා දැමීම'' මේ විග්‍රහය ඒ පිළිබඳවයි.

මහා පරිමාණ වී මෝල් හිමියන්ට හිසරදයක් වූ “ශක්ති“ සහල්

ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යවරයාව සිටි කාලයේ “ශක්ති“ සහල් වැඩසටහන සඳහා නායකත්වය ලබාදුන්නේ මා නිසා මෙම වැඩසටහනෙන් වෙළඳපොළේ සහල් මිල පාලනය කර ගැනීමට කෙතරම් සහයෝගයක් ලැබුණාදැයි මා දනිමි. 

මෙම වැඩසටහන අතරමග නතර කර දැමීමට මහා පරිමාණයේ වී මොල් හිමියන් එකළ දැවැන්ත උත්සාහයක් ගත්තේ මෙමගින් සෘජුවම ඔවුන් විසින් උපයා ගන්නා දැවැන්ත ලාභය අඩුවූ නිසාවෙනි. කෙතරම් බාධක පැමිණියත් මා විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ වී ගොවියාට නිසි මිලක් ලබාදෙන අතරම පාරිභෝගිකයාට අඩු මිලට සහල් ලබාදීම සඳහා මෙම වැඩසටහනෙන් විශාල සහයෝගයක් ලැබුණු නිසා. 

මෙම වැඩසටහන ක්‍රියාත්මක වූ කාලයේදී මෙරට වෙළඳපොළේ සහල් මිල වැඩි නොවූ අතර එයට හේතුව මෙම වැඩසටහනේ තිබූ වෙළඳපොළට මැදිහත්වීමේ ශක්තියයි. සහල් වෙළඳපොළ තුළ තරගයක් ඇති කිරීමට තිබූ ශක්තියයි.Shakthi shala 2019.12.20
 
  මේ අනුව, “ශක්ති“ සහල් වැඩසටහන ක්‍රම ක්‍රමයෙන් ඉදිරියට එනවිට මෙරට සහල් වෙළඳපොළ අවශ්‍යතාවයෙන් 3% ක් සපුරාලීමට එයට හැකිවුණා. මේ නිසා, මෙරට සහල් වෙළඳ‍ෙපාළේ තරගයක් ඇතිකිරීමට ශක්ති සහල් වැඩසටහන සමත්වූ අතර මෙම තරගය නිසා මහා පරිමාණ වී මෝල් හිමියන්ට තමන්ට හිතෙන හිතෙන මිලට සහල් විකිණීමට හැකිවුණේ නෑ.  


වැසී යන්න තිබුණු සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් මෙම වැඩසටහන නිසා රැකුණා
 
වැසීයාමේ තර්ජනයට මුහුණ දී සිටි මෝල් 200 ක් !

වැසීයාමේ තර්ජනයට මුහුණ දී සිටි සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් 200 ක් සම්බන්ධ කරගනිමින් අපගේ රජය විසින් “ශක්ති“ සහල් වැඩසටහන ආරම්භ කළේ 2019 මාර්තු 27 වනදායි. මෙම වැඩසටහන පොලොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට, මහනුවර, මඩකළපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක 08 ක ක්‍රියාත්මක කළ අතර මේ සඳහා රජය අයවැය මගින් රුපියල් මිලියන 1000 ක මුදලක් වෙන්කර තිබුණා. 

මෙම වැඩසටහන ආරම්භ කරන අවස්ථාවේදී මහා පරිමාණ වී මෝල් හිමියන් සම්බා වී කිලෝවක් ගොවි මහතුන්ගෙන් රුපියල් 35 කට මිලදීගත් අතර මෙම වැඩසටහන මගින් රජය සහතික කළ මිල වන රුපියල් 41 කට සම්බා වී කිලෝවක් මිලදී ගත්තා.

එම අවස්ථාවේදී වෙළඳපොළේ සම්බා හාල් කිලෝවක් අලෙවි වුණේ රුපියල් 120 ක් වැනි මිලකටයි. 2019 අප්‍රේල් මුල් සතියේදී අපි “ශක්ති“ සම්බා හාල් කිලෝවක් වෙළඳපොළට නිකුත් කළේ රුපියල් 80 ක තොග මිලකටයි. “ශක්ති“ සම්බා හාල් කිලෝවක් රුපියල් 85 ක සිල්ලර මිලකට මෙහිදී වෙළඳපොළට නිකුත් කෙරුණා. 

මේ නිසා, සිදුවුණේ කුමක්ද? වී ගොවියාට සම්බා වී කිලෝවකට රුපියල් 35 කට වඩා වැඩි මිලක් ගෙවමින් මිලදීගැනීමට මහා පරිමාණ වී මෝල් හිමියන්ට සිදුවුණා. ඒ විතරක් නෙවෙයි. මහා පරිමාණ වී මෝල් හිමියන්ට රුපියල් 15-20 ත් අතර මිලකින් තමන් විකුණන හාල් කිලෝවක මිල පහළ දැමීමට සිදුවුණා. එම මිල වාසිය මහා පරිමාණ වී මෝල් හිමියන්ගෙන් පාරිභෝගිකයින් වෙතට ගමන් කළා.
 
“ශක්ති“ නිසා පාරිභෝගිකයාත් ආරක්ෂා වුණා
 
මේ නිසා, ගොවි මහතුන් සහ පාරිභෝගිකයින් සහල් මාෆියාවෙන් ආරක්ෂා කර ගැනීමට සැලසුම් සහගතව නිර්මාණය කර තිබූ ව්‍යාපෘතියක් ආණ්ඩුව මාරුවූ විගස එක රැයකින් නතර කර දැමීම වර්තමානයේ සහල් මිල වැඩිවීමට ප්‍රධාන හේතුව බව සඳහන් කිරීමට සිදුවෙනවා. 

එය එසේ නොවේයැයි රජය අනිවාර්යෙන්ම සඳහන් කරනු ඇති. නමුත්, මෙම වෙළඳපොළ පිළිබඳව මනා අවබෝධයක් තිබෙන බොහෝදෙනා මෙම සත්‍යය හොඳින්ම දන්නවා. යම් යම් දේශපාලන හේතූන් මත මෙම වැඩසටහන හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලදී කඩාකප්පල් කර තිබුණු නමුත් අනිකුත් දිස්ත්‍රික්කවල මෙය ඉතාමත් හොඳින්ම ක්‍රියාත්මක වුණා. 

මෙම සහල් කෙතරම් ගුණාත්මක තත්ත්වයෙන් නිෂ්පාදනය කර තිබුණාදැයි සතොස ඇතුළු මෙරට බොහෝ සුපිරි වෙළඳසැල් ජාලා වලින් “ශක්ති“ සහල් මිලදීගත් පාරිභෝගික ජනතාව හොඳින්ම දන්නවා.
 
 
දේශපාලනය නිසා “ශක්ති“ වැඩසටහන විනාශ කළා
 
වර්තමාන රජය කළ යුතුව තිබුණේ මෙම වැඩසටහනේ යම් යම් අඩුපාඩු තිබුණා නම් ඒවාත් නිවැරදි කර ඉදිරියට රැගෙන යාමයි. නමුත්, ගැටලුව වන්නේ එවිට පසුගිය ආණ්ඩුවට ලකුණු වැටේවී කියා මෙරට බොහෝ පසුගාමී දේශපාලනඥයින් සිතීමයි. 

මෙම චින්තනය නිසා අළුත් ආණ්ඩුව පැමිණ සතියක් ඇතුළත “ශක්ති“ සහල් වැඩසටහන සඳහා රජයේ වී තොග ලබාදීම නතර කළා. මේ නිසා, මෙතෙක් කාලයක් මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ  මාෆියාවෙන් ගොවියා සහ පාරිභෝගිකයා රැකගැනීම සඳහා සටන් කළ “ශක්ති“ සහල් වැඩසටහනත් මියගියා. මේ නිසා, ණය ගෙවා ගැනීමට නොහැකිව අසරණව සිටි සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන් 200 ක් පමණ සෘජුවම අසරණ වී තිබෙනවා. 

මෙම වී මෝල් හිමියන් මෙම වැඩසටහන මගින් ලැබූ ආදායම් වලින් ඔවුන් මීට පෙර ලබාගෙන තිබුණු ණය මුදල් ගෙවා දමමින් සිටි අතර මෙම වැඩසටහන නතරවීම නිසා ඔවුන් පමණක් නොව බැංකු පවා දුෂ්කරතාවයට පත්වී තිබෙනවා. 

මෙම වැඩසටහන විධිමත් අයුරින් ක්‍රියාත්මක කළ වැඩසටහනක් වූ අතර ඒ සඳහා ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍යංශය, කෘෂි කර්ම අමාත්‍යංශය, ආහාර දෙපාර්තමේන්තුව, වැඩසටහන ක්‍රියාත්මක වූ දිස්ත්‍රික්ක 08 දිස්ත්‍රික්ක ලේකම්වරුන්, වී අලෙවි මණ්ඩලය සහ ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමුපකාර සංගමය සම්බන්ධ වී තිබුණා. 

මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේ ජීවන වියදම් කමිටුව විසින් පත්කළ ආහාර කොමසාරිස්තුමිය ප්‍රධානීත්වය දැරූ කමිටුවක් මගිනුයි.   
 

''රජය සතුව වී තොග නොමැති නිසා සහල් වෙළඳපොළේ අද තරගයක් නෑ''
 

අපගේ රජය පරාජයට පත්වන විට වී අලෙවි මණ්ඩලය සතුව මෙට්‍රික් ටොන් 42,000 ක පමණ වී තොග තිබුණි. අප අදහස් කරගෙන තිබුණේ මෙම වී තොග වෙළඳපොළේ ස්වභාවය අනුව ක්‍රමානුකූලව අදියර වශයෙන් වෙළඳපොළට නිකුත් කිරීමටයි. 

වී අලෙවි මණ්ඩලයට සහ මහා භාණ්ඩාගාරයට අලාභයක් නොවන පරිදි මෙම වී තොග නිකුත් කිරීමට අප සැලසුම් කර තිබුණා. නමුත්, නව රජය විසින් වී අලෙවි මණ්ඩලය සතුව තිබූ සියළුම වී තොග තමන්ට හිතවත් වී මෝල් හිමියන් කිහිප දෙනෙකුට ලබාදුන්නා. දැන් රජය සතුව වී තොග නෑ. මේ නිසා, මේ වනවිට මෙරට සහල් වෙළඳපොළ තුළ කිසිදු තරගකාරීත්වයක් නෑ.  

Shakthi text2 
මේ නිසා, වර්තමානයේ සහල් මිල වැඩිවීමට හේතුවී තිබෙන්නේ රජය විසින් අත්තනෝමතිකව “ශක්ති“ සහල් වැඩසටහන මේ ආකාරයෙන් කඩා සුණු විසුණු කර දැමීමයි. තමන්ගේ ක්‍රියාව සාධාරණීකරණය කිරීමට රජය විසින් ඉදිරියේදී විවිධ තර්ක විතර්ක ඉදිරිපත් කරාවි. නමුත්, සත්‍ය දිය යට එබූ රබර් බෝලයක් මෙන් නැවතත් ඉහළට පැමිණීම නවතාලීම අසීරුයි.
 

ආචාර්ය හර්ෂ ද සිල්වා

සබැඳි වීඩියෝ:


ශක්ති සහල් පොලොන්නරුවේදී වෙළඳපොළට හඳුන්වා දුන් ආකාරය.  
 
ශක්ති සහල් තව තවත් ඉදිරියට ගොස් ජාත්‍යන්තර ප්‍රමිතියේ "රන්කෙත" කීරි සම්බා සහල් සන්නාමය හඳුන්වා දුන් අවස්ථාව.

ජීවිත එළිය කළ ශක්ති සහල්

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්