සම පැහැ ගැන්වීම සඳහා භාවිත කරන ඇතැම් ක්‍රීම් වර්ග (whitening Cream) ශරීරයට ඉතාමත් අහිතකර බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.



පසුගිය දිනෙක කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරී ඒකකය විසින් පිටකොටුව දෙවන හරස්වීදිය ශරීර ආලේපන වෙළඳ සැලක් සම්බන්ධව සිදු කළ වැටලීමකදී, කිසිදු වගකීමක් සහිත තොරතුරක් සඳහන් නොකරමින් වෙළඳසැල තුලදීම ශරීර ආලේපන ඇසුරුම් කිරීමක් සහිත අක්‍රමිකතාවක් අනාවරණය වී ඇති අතර මේ සම්බන්ධව අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු සිදුකර ඇති බවත් අධිකරණයේ නඩු පැවරීමට නියමිත බවත් වාර්තා වේ.

එසේම පිටකොටුව ප්‍රදේශයේ මෙලෙස නීත්‍යානුකූල නොවන ක්‍රීම් සහ දියර වර්ග අලෙවි කළ තවත් වෙළඳසැල් ගණනාවකට මේ වන විටත් අවශ්‍ය නීත්‍යානුකූල කටයුතු සිදු කොට ඇති බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් වැටලීම්, විමර්ශන කටයුතු කොතෙක් සිදු වුවත්, විශේෂයෙන්ම සුදු වීම සඳහා ආලේප කරන මෙවැනි ක්‍රීම් සහ දියර වර්ග සදහා පවතින අධික ඉල්ලුම හේතුවෙන් මෙවැනි නිෂ්පාදන පාලනය කිරීමට බාධාවක් වී ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

 

එබැවින් ශරීර ආලේපන මිලදී ගන්නා විට ශ්‍රී ලංකාව තුළ වගකීමක් සහිත ආයතනයක තොරතුරු ඇතුළු අනෙකුත් තොරතුරු සඳහන් වී ඇති බව තහවුරු කර ගැනීමෙන් පසු ඒවා මිලදී ගන්නා ලෙස කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

උක්ත වැටලීම්, විමර්ශන කටයුතු කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරි ඒකකයේ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඊ. යූ. රන්ජන ගේ මෙහෙයවීමෙන් පියල් සමරනායක, එස්. පී. පුංචිහේවා, ධනුක ගුණරත්න, අරවින්ද ශාලික, යසිත ඉෂාන් යන නිලධාරීන් විසින් සිදු කොට ඇති බවත් මෙවැනි නිෂ්පාදන වෙළඳපොළෙන් ඉවත් කිරීම සඳහා අඛණ්ඩව නීත්‍යානුකූල කටයුතු සිදුකරන බවත් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය මගින් වැඩිදුරටත් වාර්තා වේ.


උපරිම බැරලෝහ ප්‍රමාණයන් ?


පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් නිකුත්කර ඇති විධිවිධාන වලට අනුව සමෙහි ආලේප කරන සියලුම ක්‍රීම් සහ දියර වර්ග වල අඩංගු විය හැකි උපරිම බැරලෝහ ප්‍රමාණයන් දක්වා ඇත. ඒ අනුව කිලෝග්‍රෑමයක අඩංගු විය හැකි අනුමත උපරිම ඊයම්, ආසනික්, රසදිය, සහ කැඩ්මියම් ප්‍රමාණය පිළිවෙළින් 10mg, 3mg, 1mg සහ 3mg වේ.

තවද මෙම ක්‍රීම් ඇසුරුම් වල ශ්‍රී ලංකාව තුළ වගකීම දරන ආයතනයේ විස්තර ඇතුළු තොරතුරු සඳහන් විය යුතු ය.

නමුත් විශේෂයෙන්ම මෙම තොරතුරු සඳහන් නොමැති ශරීර ආලේපන වල අනුමත උපරිම සීමාව ඉක්මවා බැර ලෝහ අඩංගු වන බවත් ඒවා ශරීරයට අහිතකර බවත් පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.
 
 
ඔබ මොනයම් හෝ ආලේපනයක් තෝරා ගැනීමේදී ඒවායේ ප්‍රමිතිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. එසේම, නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වීමේ දිනය, අඩංගු රසායනික ද්‍රව්‍ය සහ භාවිතයට උපදෙස් ලේබලයේ අඩංගු වී ඇත්දැයි පරික්ෂා කර බැලීම ඉතාමත් වැදගත් .

 


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්