ඩිජිටල් පද්ධති අනිසි ලෙස භාවිතා කිරීමේ අවධානම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සඳහා වන සයිබර් ආරක්ෂණ පනත

ස්ථාපිත කිරීම හරහා කිසිඳු මාධ්‍යයක් වාරණයට ලක් නොවන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් අවධාරණය කරයි.

ජාතික තොරතුරු හා සයිබර් ආරක්ෂණ මූලෝපායික සැලැස්ම යටතේ, සයිබර් ආරක්ෂණ පනත මේ වසර තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු රාජ්‍ය අමාත්‍යවරයා, ඒ හරහා සයිබර් ආරක්ෂණ අධිකාරිය ස්ථාපිත කිරීමට හැකියාව ලැබෙන බව ද  කියා සිටියේය.


එමෙන්ම ඩිජිටල්කරණය මගින් ඇතිවිය හැකි අහිතකර බලපෑම්වලින් පුරවැසියාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එක් එක් ආයතනවල දත්ත ආරක්ෂා කිරීම, වෙබ් අඩවි ආරක්ෂා කිරීම වැනි කාර්යයන් සයිබර් ආරක්ෂණ පනත හරහා  පේක්ෂා කරනව බවද රාජ්‍ය අමාත්‍ය කනක හේරත් කියා සිටියි.


ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය හෙවත් SRILANKA CERT මඟින් සංවිධානය කළ 15 වැනි ජාතික සයිබර් ආරක්ෂණ සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි  වෙමිනි. බත්තරමුල්ලේ පිහිටි වෝටර්ස්එජ් හෝටලයේ දී අද (23) පෙරවරුවේ මෙම සමුළුව පැවැත්විණි.

"තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් ආරක්ෂා කරගැනීම" යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව සඳහා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ වෘත්තිකයන් රැසක් සහභාගි වූ අතර සයිබර් ආරක්ෂණය පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට මෙම සමුළුව සඳහා ප්‍රවේශ පත්‍ර ලබාගැනීමේ අවස්ථාව සලසා දී තිබුණි.

මෙහිදී තොරතුරු හා සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රකාශයඑළිදැක්වුණු අතර එහි මුල්ම ප්‍රකාශනය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳයේ සභාපති රොහාන් මුත්තයියා විසින් තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් වෙත පිළිගැන්විණි.

ඊට අමතරව සයිබර් ආරක්ෂණ සතිය වෙනුවෙන් සංවිධානය කළ "Hacking Challenge" තරඟාවලියේ ජයග්‍රහාකයන්ට ත්‍යාග පිරිනැමීම ද ඇමැතිවරයා අතින් සිදුවිය.



පසුගිය 2006 වසරේ දී ආරම්භ කර තිබෙන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය අද වනවිට ගෝලීය මට්ටම දක්වා වර්ධනය වී තිබෙන අතර ලොව පිළිගත් ආයතන සමඟ එක්ව ශ්‍රී ලංකාවට අයත් සයිබර් අවකාශය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටී.
 

මෙම සමුළුවේදී වැඩිදුරටත් අදහස් පළකළ රාජ්‍ය ඇමැති කනක හේරත් මෙසේද සඳහන් කළේය.


''සයිබර් ආරක්ෂණ පනත මේ වසර ඇතුළත පාර්ලිමේන්තුවට''

" 15 වැනි වරට සයිබර් ආරක්ෂණ සමුළුව අද දින ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනවා. එය ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසඳය විසින් සංවිධානය කර තිබෙනවා. සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශය දැනුවත් කිරීම අද වනවිට ඉතාම වැදගත් වෙනවා. වර්තමානයේ  අපේ තොරතුරු ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවේ දී අනුමත වී තිබෙනවා. ඒ අනුව මේ වර්ෂයේ අවසානය වනවිට සයිබර් ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්න පියවර ගන්නවා. ඒ වගේම සයිබර් ආරක්ෂණ පනත අද වනවිට භාෂා පරිවර්තනය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙනවා. ඒ සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබුණු විගස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ දී ඒ සඳහා අනුමැතිය ලැබුණු පසුව සයිබර් ආරක්ෂණ අධිකාරිය පිහිටුවන්නත් ඒ සඳහා අවශ්‍ය නීති හා රෙගුලාසි ක්‍රියාත්මක කරන්නත් හැකියාව ලැබෙනවා.


සයිබර් ආරක්ෂණ පනත මඟින් බලාපොරොත්තු වෙන්නේ එක් එක් පුද්ගලයාගේ මෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ එක් එක් ආයතනවල දත්ත ආරක්ෂා කිරීම, වෙබ් අඩවි ආරක්ෂාව වැනි කාර්යයන් සිදු කෙරෙනවා. එසේ නොමැතිව සමාජ මාධ්‍යයට වාරණයක් ඇතිවන ආකාරයේ කිසිඳු තත්ත්වයක් මෙයින් ඇති වන්නේ නැහැ. ඇතැම් විට සාමාජ මාධ්‍ය ක්‍රිකාකාරීන් ද මේ සඳහා කැමැත්තක් දක්වයි. මේ පනත ක්‍රියාත්මක වීම තුළින් අපේ රටේ සිදුවන සයිබර් ප්‍රහාර සහ පෞද්ගලිකව සිදුවන තර්ජනයන්, ගැටළුවලින් ආරක්ෂා කර ගන්න හැකියාවක් ලැබෙනවා. අද වනවිට සමාජ මාධ්‍ය තුළ තිබෙන යම් යම් ක්‍රියාදාමයන් නිසා අපේ රටේ දරුවන්ගේ ජීවිත හානි වූ අවස්ථා තිබෙනවා.


'' සයිබර් ආරක්ෂණ පනත තුළින් කිසිඳු මාධ්‍යයක් වාරණයට ලක් නොවේ''

මේ සියල්ල ආරක්ෂා කර ගන්න මේ පනත මඟින් හැකියාව ලැබෙනවා. සමාජ මාධ්‍ය  කිසිවෙකුට අකටයුත්තක් නොවන ආකාරයෙන් හරියාකාරව, හැසිරවීම තමයි මෙහිදී වැදඟත් වෙන්නේ. ඒ නිසා මේ පනත මඟින් එවැන්නක් කරන්න හැකි වෙනවා. එසේ නොමැතිව කිසිදු ආකාරයකට සමාජ මාධ්‍ය සඳහා වාරණයක් පැනවෙන්නේ නැහැ" යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේය."

තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනය හා වේගවත් ඩිජිටල්කරණය හමුවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ලොව සියලුම පාහේ රාජ්‍යයන් විශේෂ අවධානයක් යොමුකර ඒ සඳහා අවශ්‍ය නීති රෙගුලාසි හදුන්වාදීමට පියවර ගෙන තිබෙන අතර එවැනි පසුබිමක ශ්‍රී ලංකාවේ ද තොරතුරු තාක්ෂණ අංශයේ සංවර්ධනයත් සමඟ සයිබර් ආරක්ෂණය සඳහා විශේෂ අවධානයක් යොමුකර ඇත.

ගෝලීය සයිබර් ආරක්ෂණ දර්ශකයට අනුව සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ  81 වෙනි ස්ථානයේ වන අතර එහි  පළමු ස්ථානයේ පසුවන්නේ බෙල්ජියම ය. එම  දර්ශකයට අනුව දකුණු ආසියානු කලාපයේ ඉදිරියෙන් සිටින්නේ බංග්ලාදේශය වන අතර එම ස්ථානය  35 වේ. ඉන්දියාව  52 ස්ථානයේ පසුවේ.
 

මෙවර සයිබර් ආරක්ෂණ ජාතික සමුළුවේ දී සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ගෝලීය හා ජාතික වශයෙන් පවතින ගැටළු හදුනා ගැනීම සහ ඊට විසඳුම් ළඟාකර ගැනීමට අපේක්ෂා කෙරේ. ඊට අමතරව මේ සඳහා ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කළයුතු කඩිනම් තාක්ෂණික ප්‍රතිසංස්කරණ මොනවා ද යන්න සම්බන්ධයෙන් ද අවධානය යොමුකර තිබෙන අතර සයිබර් ආරක්ෂණ ජාතික සමුළුව අත්‍යවශ්‍ය කාරණාවක් බවද පෙන්වාදෙයි.

අද පැවැති සයිබර් ආරක්ෂණ ජාතික සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කළේ ආචාර්ය එන්රිකෝ කැලන්ඩ්‍රෝ විසිනි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිලධාරි ජයසිරි අමරසේන, එහි පර්යේෂණ, ප්‍රතිපත්ති හා ව්‍යාපෘති ප්‍රධානී  ආචාර්ය කනිෂ්ක කරුණාසේන සහ තාක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරීන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගි වී සිටියහ.

 

{gallery}cyber security{/gallery}

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්