හින්දුන් මෙන්ම බෞද්ධයන් ද අයිතිය කියා පාන වන්නියේ පුරා විද්‍යා භුමියක අධිකරණ නියෝග නොතකා අනවසරයෙන් ඉදි කළ චෛත්‍යයක් අබියස සිටි බෞද්ධ භික්ෂුන් පිරිසක් එතැනින් ඉවත් කිරීමට මුලතිව්

මහේස්ත්‍රාත්වරයා පියවර ගෙන තිබේ.

"කියන්න පොඩ්ඩක් මෙතන ඉන්ක්වයරි එකක් යනවා. එහෙමනම් හැමෝටම දෙන්න ඔන. මෙතන උසාවි ඉන්කුවරි එකක්නේ තියෙන්නේ. ස්වාමීන් වහන්සේට කියන්න පොඩ්ඩක්. මං ආපහු යනවනම් එතෙන්ට ප්‍රශ්නයක් වෙනවනේ. මෙතන ඉන්ක්වයරි එකක් යන්නේ. කිසිම කෙනෙකුට උසාවි අවසරයක් නැතුව මුකුත් කරන්න බැ."


 කුරින්දී විහාරය යනුවෙන් නම්කොට කුරුන්තූර්මලෙයි පුරා විද්‍යා භුමියේ අලුතින් ඉදිකර තිබෙන චෛත්‍ය වන්දනා කරමින් සිටි බෞද්ධ භික්ෂුන් පිරිසක් ඉවත් කිරීමට මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා ජුලි 4 වැනිදා පොලීසියට නියෝග ලබා දී තිබුනේ, හින්දුන්ගේද වන්දනාවකට ලක්වු භුමියක අලුත් ඉදි කිරීම් තහනම් කරමින් වසරකට පමණ ඉහත දී ලබා දුන් උසාවි නියෝගයක් නොතකා කටයුතු කර තිබේදැයි විභාග කිරීම සඳහා ස්ථානීය නිරීක්ෂණයකට එක්වෙමිනි.


මුලතිව් අධිකරණයේ නීතිඥයන් ඇතුළු කාර්ය මණ්ඩලය, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ හා පොලිසියේ නිලධාරීන් සමග මුලතිව් මහේස්ත්‍රාත්වරයා කුරුන්තූර්මලෙයි පුරා විද්‍යා භුමිය නීරීක්ෂණය කරන මොහොතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර ඇතුළු කණ්ඩායමක්ද එම ස්ථානයේ පින්තුර ගනිමින් සැරිසරන ආකාරය පළාත් බද මාධ්‍යවේදීන්ගේ කැමරාකාචයට හසුව තිබේ.

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ නව ඉදිකිරීම් සිදු නොකරන ලෙස අධිකරණය ලබා දුන් තීන්දුව නොතකා හරිමින් අලුතින් ඉදිකිරීම් සිදු කර නොමැති බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥයා, 2023 අප්‍රේල් 27 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත්  ටී. සරවනරාජාට දැන්වීම නිසා ස්ථානීය පරීක්ෂාවක් සිදු කිරීමට විනිසුරුවරයා පසුගිය මාසයේ තිරණය කර කළේය.

උසාවි තීන්දුවට පිටුපා යමින් යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මාර්තු 30 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස  මාර්තු 2 වැනිදා මහේස්ත්‍රාත් වරයා විසින් පොලිස් හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දැනුම් දී තිබුනි.

මාර්තු 30 වැනිදා නඩුව කැදවු අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, එම දෙපාර්තමේන්තුවේ පිරිසක් සහ පොලිස් නිලධාරීන් පැමිණ සිටියත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණයට පැමිණ නොසිටි බැවින් විනිසුරුවරයා ඉල්ලා සිටි වාර්තා ඉදිරිපත් කිරීමට තව දුරටත් කාලය ලබා දෙන ලෙස රාජ්‍ය නිලධාරීන් සිදු කළ ඉල්ලීම හමුවේ විනිසුරුවරයා නඩුව අප්‍රේල් 27 වැනිදාට කල් දැමුවේය.

 නව ඉදිකිරීම් සිදු නොකරන ලෙසට අධිකරණය ලබා දුන් තීන්දුව නොසලකා හරිමින් කටයුතු කර නොමැති බවට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා, අප්‍රේල් 27 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කළ අවස්ථාවේ, අධිකරණ තීන්දුව නොතකා ඉදිකිරීම් සිදු කර තිබෙන ආකාරය ඡායාරූප මගින් විනිසුරුවරයාට පැහැදිලි කිරීමට පැමිනිලි පාර්ශවයේ නීතිඥ  වී.එස් ධනංජයන් කටයුතු කළේය.


යළිත් වරක් නිරීක්ෂණ චාර්කාවකට එක් වන ලෙස පැමිනිලි පාර්ශවයේ නීතිඥ වී.එස් ධනංජයන් මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාගෙන් මාර්තු 2 වැනිදා ද කළ ඉල්ලීමට අනුව ජුලි 4 වැනිදා ස්ථානීය පරීක්ෂාව සිදු කර "බිම සිට අඩි 6ක් පමණ උසින් හතරැස් හැඩයට වේදිකාවක් සකසා ඇත. මැටි බිම පොලිෂ් කර ඇත. හුණු බදාම සංයෝගයක් ආලේප කර ඇත." ආදී වශයෙන් සටහන් යොදා ගැනීමට නියෝග කළ විනිසුරුවරයා, පොලීසියට සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත්තේ ඔවුන්ට කීමට ඇති දේ අගෝස්තු 8 වැනිදා ලිඛිතව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

 කුරුන්තූර්මලෙයි ශිව දේවාලය  පිහිටා තිබු ස්ථානයේ මේ වන විට චෛත්‍යක් ඉදිකර තිබෙන නිසා හින්දුන්ට එම ස්ථානයේ ආගමික වතාවත් සිදු කිරීමට  සැලකිය යුතු කාලයක සිට අවස්ථාව අහිමි වී ඇති බැවින් එ සදහා අවස්ථාව සලසා දෙන ලෙස විනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමට අනුව ජුලි 14 වැනිදා එම ස්ථානයේ පුජාවක් සිදු කිරීමට පමණක් අවසරය හිමි වු බව නීතිඥ වී.එස් ධනංජයන් සඳහන් කරයි.

හමුදා අනුග්‍රහයෙන් ඉදිකිරීම්


මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ අලුතින් ඉදිකිරීම් තහනම් කර ඇති පුරාවිද්‍යා භුමියේ උසාවි අනුදැනීමකින් තොරව යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකර ඇති බවට 2022 වසරේ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුනි.

ප්‍රදේශවාසි ජනතාව වෙනුවෙන් එම නඩුව ගොනු කර තිබුනේ උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කාන්දයියා සිවනේෂන්, හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෛරාජා රවිහරන් සහ සමාජ ක්‍රියාකාරික ජී. ජුඩ් ප්‍රසාන්ත් විසිනි.

එම නඩුව 2022 ජුලි 21  වැනිදා දෙවැනි වරට කැඳවු අවස්ථාවේදී අධිකරණයේ විනිසුරු ඇතුළු පිරිසක් ඉදිකිරීම් කරන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව නියෝග කර තිබුනේ එහි අලුතින් ඉදිකිරීම් වහාම නවත්වන ලෙසයි.

2022 වසරේ නොවැම්බර් 24 වැනිදා එම නඩුව යළි කැදවු අවස්ථාවේදී ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් නීතිඥ  වී.එස් ධනංජයන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ අධිකරණ නියෝග නොතකමින් එහි ඉදිකිරීම් තව දුරටත් සිදු වන බවයි. එම ඉදිකිරීම් නතර කරන ලෙසට විනිසුරුවරයා එදින යළිත් වරක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට සහ විහාරාධිපති හිමියන්ට  නියෝග කර කළේය.


 නීතිඥ  වී.එස් ධනංජයන් 2023 මාර්තු 2 වැනි බදාදා මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් ඉදිවන චෛත්‍යයේ නවතම ඡායාරූප මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා වෙත ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබුනේ, විනිසුරුවරයා විසින් දෙවරක්ම ලබා දී ඇති නියෝග කඩකරමින් එම චෛත්‍යයේ ඉදිකිරීම් දිගටම කෙරීගෙන යන බවයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්