උදරාබාධයකට ප්‍රතිකාර ගැනීමට පේරාදෙණිය රෝහලට ආ බව කියන 21 හැවිරිදි තරුණියකට එන්නත් දෙකක් දීමෙන් පසු ඇය මිය ගොස් ඇතැයි
පේරාදෙණිය රෝහල් පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ කඩුගන්නාව පොත්තපිටියේ පදිංචි චමුදි සන්දිපනී මධුෂිකා ජයරත්න නම් තරුණියකි.
උදරාබාධයක් නිසා පසුගිය 11 වැනි දා පේරාදෙණිය රෝහලේ ඇතුළත් වූ ඇය හත්වන වාටටුවේ ප්‍රතිකාර ලබමින් සිටියාය.
මෙම තරුණියට ඊයේ (12) පෙරවරුවේ වාට්ටුවේ හෙදියක එන්නත් දෙකක් ලබාදුන් අවස්ථාවේ ඇය වේදනාවෙන් කෑ ගසා ඇති අතර පසුව වැසිකිළියට ගොස් වමනය දමා ටික වේලාවකින් මියගිය බව ඇගේ මව වන මායා ඉන්ද්‍රානි පැවැසුවාය.
" මගේ ළමයට බඩේ අමාරුව හැදිලා ඉස්පිරිතාලේට ගෙනාවේ. කොටලිගොඩ එකට ඉස්සෙල්ලාම ගෙනාවේ. ඊට පස්සේ එහෙන් 10 වෙනිදා පේරාදෙණියට ගෙනාවේ. ඊට පස්සේ මගේ අම්මා ICU ඉඳලා දැම්මා උඩ 17 වාට්ටුවට. 3.30ට විතර මගේ දුවට කැනියුලා එකක් ගහලා සේලයින් එකක් දුන්නා. ඊට පස්සේ බෙහෙත් දෙකක් විද්දා. බෙහෙත් දෙක විදිනකොටම මගේ ළමයාට ඇස් දෙකත් එක්ක මොකද්දෝ වෙලා මගේ මැණික කිව්වා මොකද්දෝ වෙන්න එනවා කියලා. ඒ කරලා මගේ දුව එහෙමම ගියා බාත්රූම් එකට. ළමයා සින්ක් එකේ ඔළුව තියාගත්තා. ඔක්කෝම නිල් වෙලා, අතපය නිල් වෙලා මගේ ළමයා කඩාගෙන වැටුණා. මම කෑ ගහද්දි මිසීලා ඇවිත් මගේ ළමයව වාට්ටුවට අරන් එනකොට මම ඇහුවා මොනවද මගේ ළමයට විද්දේ කියලා? මට අද මගේ කෙල්ල නෑ. මට එක කෙල්ලයි ඉන්නේ. මගේ ළමයට වෙන ලෙඩක් තිබුණේ නෑ."
ඒ අනුව තරුණිය මියයෑමේ සිදුවීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පේරාදෙණිය රෝහල සහ පොලීසිය මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද වාර්තා වේ.
තරුණියගෙන් මෘත දේහය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
නිර්වින්දන ඖෂධ දෙකක් භාවිතයෙන් ඉවතට
ගැටළු රැසක් ඇති වූ නිර්වින්දන ඖෂධ දෙක භාවිතයෙන් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඒ වෙනුවෙන් වෙනත් නිර්වින්දන ඖෂධයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති අතර ඒවා හෙට (13) බ්‍රහස්පතින්දා මෙරටට ලැබීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක පැවසීය.