වියදම් පාලනයේ දී මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මූලික වගකීමක් පැවරෙන පාර්ලිමේන්තුව එම බලය නිසි ලෙස

භාවිතා නොකිරීම රටේ වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ජනාධිපති වික්‍රමසිංහ අද (18)පැවසීය.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල  ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65කට රන් සහ රිදී සම්මාන පිරිනැමීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති උත්සවය අමතමිනි.

මූල්‍ය කටයුතු සම්බන්ධව වැඩිම කමිටු ප්‍රමාණයක් පත්කර ඇති ලොව එකම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය විනයක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.



හරිත ආර්ථිකයක්, ඩිජිටල්කරණය සහ නව්‍යකරණය සමඟ ආර්ථිකය ඉදිරියට ගෙන යාම පැරණි ක්‍රමවේද අනුව සිදු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එහිදී සියලු රාජ්‍ය ආයතන එක අරමුණක් සහ එක් සැලැස්මක් ඔස්සේ එකම ඒකකයක් ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.




රාජ්‍ය වියදම් පාලනය, සෑම රුපියලකටම උපරිම වටිනාකමක් ලබාගැනීම, ආදායම් ඉහළ නංවා ගැනීම සහ රටේ ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගැනීම යන මූල්‍ය වැඩපිළිවෙළ ඔස්සේ රට ඉදිරියට ගෙන යා යුතු බවත්, ඒ සඳහා ශක්තිමත් පරිපාලන යාන්ත්‍රණයක් රටට අවශ්‍ය බවත් ජනාධිපති වික්‍රමසිංහ සඳහන් කළේය.

ශක්තිමත් ආර්ථිකයක් ඇති කර ගැනීම වෙනුවෙන් කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට (RCEP)  ඇතුළත්වීම මෙන්ම ඉන්දියාව සමග පවතින සබඳතා පුළුල් කර ගැනීමේ වැදගත්කමද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති අතර කෘෂිකර්මාන්තයට ආදළ ආයතනවලින් කොටසක් පළාත් සභා යටතේ සහ තවත් කොටසක් මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වීම එහි දියුණුවට බාධාවක් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, කෘෂි නවීකරණ වැඩසටහනේදී ඒ පිළිබඳවද ප්‍රමුඛ අවධානයක් යොමු විය යුතු බව සඳහන් කළේය.




රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.

ඒ අනුව රාජ්‍ය ආයතන 833ක් ඇගයීමට ලක් වූ අතර 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මානද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15ක් වෙත රන් සම්මාන සහ ආයතන 30ක් වෙත රිදී සම්මාන වශයෙන් සමස්ත සම්මාන 90ක් පිරිනැමීම සිදු විය.

රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමිණි.

මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා Zoom  තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා යටතේ පවතින ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000කට අධික ප්‍රමාණයක් සම්බන්ධ විය.



මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සඳහන් කළේ, රාජ්‍ය මුදල් පාලනය කිරීමේ වගකීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම පාර්ලිමේන්තුවට පැවරී තිබෙන බවත්, එම කටයුත්ත නිසි ලෙස ඉටුකිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න ප්‍රමුඛ පිරිස ඉටු කරන කාර්යභාරය අගය කළයුතු බවත්ය.



අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිර්වර්ධන,  විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි අනූෂා රෝහණදීර, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

{gallery}COPA Awards at Parliament{/gallery}

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්