''මැතිවරණ කල් දාන්න, ඡන්ද නැති කරන්න හිතන්න එපා.

අසීමාන්තිකව දුක් විඳින ජනතාවගේ කේන්තිය පිට කරන්න ප්‍රජාතාන්ත්‍රිකව ඉතිරි වෙලා තියෙන එකම අවස්ථාව මැතිවරණය විතරයි. ඒක උදුරා ගත්තොත් කොහොමත් ඉතින් ගිලෙන්න යන මිනිහට කෝකත් එකයි කියන තියරිය බලපාන බව මතක තියාගන්න.'' එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසිය.

සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයකට සහභාගී වෙමිනි.

ඔහු එහිදී මෙසේද පැවසිය.


2048 දී සංවර්ධිත රටක් ගැන කීවට ඒකට අවශ්‍ය මූලික අත්තිවාරම් දාලද?

'' ජනාධිපති 2048 ක් ගැන කියන්නේ බොරුවක්. එතකොට එයාට අවුරුදු සීයත් පැනලා. ඒ කාලේ වෙනකොට එතුමා නැහැ. 2015 දීත් අපිට එයා කිව්වේ එහෙමයි. මාස 60 න් සංවර්ධිත රටක් කියලා කිව්වා. 2023 වෙනකොට දළ දේශීය නිෂ්පාදනය දෙගුණයක් කියලා කිව්වා. හැබැයි ඒ ආණ්ඩුව ආපු ගමන්ම මහ බැංකුව කැඩුවා. මහ බැංකුව කඩල අපිටත් පාරේ යන්න බැරි තත්ත්වයට පත් කරලා, ණය බරින් මිරිකලා අධික පොලියට ණය අරගෙන, මහා භාණ්ඩාගාරේ ඩොලර් මිලියන 7.7 ඉතුරු කරලා ගියා. ඒක තමයි ඇත්ත. මාස 60 න් අලුත් රටක්, පංච විධ ක්‍රියාවලියක් ගැන කිව්වා. මේ විදිහට ම තමයි 2048 ගැනත් කියන්නේ.  අවම වශයෙන් 2048 දී සංවර්ධිත රටක් කරන්න හදන්නේ ඒකට අවශ්‍ය මූලික අත්තිවාරම් දාලද?

ලෝකයේ දියුණු රටවල් ඒ රටවල් වල අයවැයෙන් 5%-6% ප්‍රතිශතයක් දානවා research and development වලට.  මේ ආණ්ඩුව එහෙම වෙන් කරලා නැහැ. ඒ නිසා අවම වශයෙන් ඇත්තටම 2048 දී සංවර්ධිත රටක් කරන්න ඕන්නං, මේ එන අය වැයේදී වත් ඒ විදිහේ මූලික ප්‍රතිපත්ති principles අනුගමනය කරන්න කියලා අපි ඉල්ලනවා.

'' දේශපාලකයෙකුට වඩා දහ පහළොස් ගුණයකින් රාජ්‍ය නිලධාරීන් දුෂිතයි ''

මේ බදු පැනවීම හරහා මොකක්ද වෙන්නේ, කෝප් කමිටුවේ සාමාජිකයෙක් විදියට මම දකිනවා, දේශපාලකයෙකුට වඩා දහ පහළොස් ගුණයකින් දුෂිතයි රාජ්‍ය නිලධාරීන්. හැම එක්කෙනාම නෙමෙයි හැබැයි . බොහෝ අය. මේ රාජ නිලධාරීන් දූෂණයට ලක් වෙන්නේ ඇයි? තමන්ට හරි ආදායමක් නොලැබෙන හින්දා. සරලව බැලුවොත් පොලිසියක OIC කෙනෙකුට ඕඅයිසී කෙනෙක් විදියට වත් ඉස්කෝලෙක ප්‍රින්සිපල් කෙනෙකුට ප්‍රින්සිපල් කෙනෙක් විදියට වත්, ජීවත් වෙන්න පුලුවන්ද? සමාජ විෂමතා වෙනස් කරන්න මූලික පියවර අරන් තියෙනවද?

තෙල් සංස්ථාව පෙට්‍රල් ඩීසල් විකුණන්නෙත් IOC පෙට්‍රල් ඩීසල් රිකරණය එකම ගානට. පෙට්‍රෝලියම් එකට පාඩුයි. IOC එකට මිලියන ගණන් ලාබයි. ෆුඩ් සිටි එක ලාභ ලබද්දී සතොස පාඩු ලබනවා. මේවා වෙනස් කරන්න ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා වෙනුවට, රට සවාරි යමින් ඉන්නවා. මේ යනවා මේ එනවා හරියට සීත ඍතුවට ලංකාවට එනවා වගේ. ඒ නිසා අපිට පැහැදිලියි එහෙම කිසිම සැලැස්මක් නැහැ.

''මේ රටේ උගත් බුද්ධිමත් පරම්පරාව රටින් පන්නන, පලිගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා''

විශ්වවිද්‍යාල ආචාර්යවරු ගැන විපක්ෂ නායකතුමා කතා කළා . ඒ වගේම තමයි වෛද්‍යවරු. අධ්‍යාපනයෙහි සෞඛ්‍යයයි තමයි රටක මූලිකම දෙක.  එතකොට රටේ පවා පොදු බදු ප්‍රතිපත්තිය ට මේක අනුකූල කරලා, මේ රටේ උගත් බුද්ධිමත් පරම්පරාව මේ රටින් පන්නන, පලිගැනීමේ ක්‍රියාවලියක් මේ රට තුළ සිද්ධ වෙනවා.

ජේ ආර් ජයවර්ධන මැතිතුමාගේ කාලේ වෛද්‍යවරු කොළඹින් පිට පළාත්වල සේවය කරන්න ගියාම, ඔවුන්ගේ දරුවන්ට කොළඹ ඉහළ ඉස්කෝල ලබාදෙන ක්‍රමයක් තිබුණා. ලෝකයේ ඉතාම ඉහළ අයිකුවූ ක්‍රමයක් තියෙන ඉහල වෛද්‍ය ක්‍රමය සම්පූර්ණයෙන් කඩා වට්ටලා මොකක්ද මේ කරන්න හදන්නේ. ජනාධිපතිතුමාටයි රාජපක්ෂ කල්ලිය ටයි ලෙඩක් දුකක් හැදුනහම ඒ අයට සිංගප්පූරුවට යන්න පුළුවන්. ඇමරිකාවට යන්න පුළුවන්. හැබැයි මේ වෛද්‍ය ක්‍රමය කඩන් වැටුනහම මොකක්ද වෙන්නේ.

''අද ඉස්පිරිතාලෙකට යන්නේ අයෙත් ගෙදර එන බලාපොරොත්තු අත ඇරලා ''

''මේ සෞඛ්‍ය කාබාසිනියා කරපු බාල බෙහෙත් මාෆියා කාරයන්ගේ පාරාදීසයක් බවට පත් කරපු මිනිස්සු මරන බෙහෙත් ගේන, ඒකට අනුකූලතාවය දක්වන, මේ සෞඛ්‍ය ඇමැතිවරයාව රකින්න ඒ හොරුන්ව රකින්න, ඒගොල්ලො මහා උජාරුවෙන් පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෑගහලා සහයෝගය ලබා දෙනවා.

සති දෙකකට කලින් සෞඛ්‍ය ඇමැති ඇවිල්ල කියනවා හදිසි මිලදී ගැනීම් නැවැත්තුවලු. අපි දන්නවා මේ අවුරුද්ද පුරාවටම හොරකම් කලේ හදිසි මිලදී මිළදී ගැනීම්වලින්. අර bupivacaine කියන නිර්වින්දන බෙහෙත රුපියල් බිලියන 3.2 කට ගෙනහල්ලා, රුපියල් මිලියන 320ක් ම පගා ගැහුවා. මේ අමාත්‍යාංශයට අවුරුද්දට වෙන්කරලා තියෙන මුදල් වලට ප්‍රදානයන් කරලා ඉවරයි. ඊළඟ මාස දෙක හමාරට අමුතුවෙන් මිලදී ගැනීමක් කරන්න දෙයක් නැහැ. ආයෙ හදිසි මිලදී ගැනීම සිංදුව අහන්න වෙන්නේ අයවැය සම්මත වෙලා ජනවාරි මාසේ විතර ආවට පස්සෙ.

ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අහනවා ඔබ හදිසි මිලදී ගැනීම් නැවැත්තුවා නම් මේ අවුරුද්ද මේ දක්වා කාලය තුළ මොන බෙහෙත් ද  ගෙන්නුවේ, කවුද ගෙන්නුවේ කොච්චරක්ද ගෙන්නුවේ,කොච්චරක් ගෙව්වද තව කාටද ගෙවන්න තියෙන්නෙ ඒ ගෙවපු පිළිවෙල මොකක්ද, කියන එක මේ පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන්න.

ඒ වගේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ කොච්චර බෙහෙත් ගෙනාවා ද ? මොනවද ගෙනාවේ ? කොයි ඉස්පිරිතාල වලට ද බෙදුවේ ?  ඒවට කොච්චර ගෙවන්න තියෙනවද කියන එක මේ සභාවට හෙළි කරන්න. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය , වෛද්‍ය සැපයීම් අංශය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, මේ තුනම ඒකාබද්ධව ඒ වාර්තාව පාර්ලිමේන්තුවට සභාගත කරන්න කියලා අපි ඉල්ලනවා.

''ආණ්ඩුවත් එක්ක සතුටින් ඉන්නේ ඩීල් දාන හොර ටයිකෝට් කල්ලිය විතරයි''

මේ රටේ මිනිස්සුන්ට බෙහෙත් නැති කරලා ළමයින්ගේ අධ්‍යාපනය නැති කරලා තුන්වේල කාපු මිනිස්සුන්ගේ බඩගින්න වැඩි කරල වතුර බිල වැඩිකරල, කරන්ට් බිල වැඩිකරල, තෙල් මිල වැඩි කරලා ගෑස් මිල වැඩි කරලා, අද මේ සමාජයේ ඉන්න හැම මනුස්සයාම පීඩාවට ලක් කරලා තියෙන්නේ. අඩු කොයි මනුස්සයා ද මේ ආණ්ඩුවත් එක්ක සතුටින් ඉන්නේ. ඕන්නම් කුරුඳුවත්තේ ඉන්න ඩීල් දාන හොර ටයිකෝට් කල්ලිය විතරයි.  මේ රටේ ගොවියා කම්කරුවා ධීවරයා රජයේ සේවකයා පෞද්ගලික අංශයේ සේවකයින් කුලී වැඩ කරන සේවකයින් ගෘහණිය මේ රටේ තරුණ පරම්පරාව මේ හැම එක්කෙනාම තරහින් වෛරයෙන් තමයි මේ ආණ්ඩුවත් එක්ක ඉන්නේ.

ප්‍රශ්න එච්චර තියෙද්දි තුන්වැනි වතාවටත් කරන්ට් බිල වැඩි කරන්න යනවා. මං දන්න විදියට විදුලිබල පනත අනුව අවුරුද්දකට දෙපාරයි වැඩි කරන්න පුළුවන්. මේ වන විටත් දකුණු ආසියාවේ තුන්වෙනියට ඉහළම කරන්ට් බිල තියෙන්නෙ අපේ රටේ. දැන් මේ ගේන්න තියෙන එකක් ගෙනහල්ලා විදුලි බිල වැඩි කළොත් දකුණු ආසියාවේ ඉහළම විදුලිබිල තියෙන රට බවට අපිව පත්වෙනවා. මෙතන ඉන්න පාර්ලිමේන්තුවේ සේවක මහත්තුරුන්ගෙන් සහ පාර්ලිමේන්තුවේ සහකාර ලේකම් මහත්මයාගෙන් අහන්න කැමතියි , ඔබතුමාට ගෙවන්න පුලුවන්ද කරන්ට් බිල ලැබෙන පඩියට . ඔය බිල ආයි පාරක් වැඩි කරල බදු ගහලා, එතකොට මොකද වෙන්නේ මේ රාජ්‍ය අංශය, තනිකර දූෂණයට දූෂණයට වංචාවට යොමුවෙන තැනටමයි තල්ලු කරන්නේ.

කොළඹ අග නගරයේ නාගරික වතු නිවාස වල ජනතාව ගෙදර ලයිට් දෙකයි දාන්නෙ . අද පඩියක් අරං වතුර බිලයි ලයිට් බිලයි ගෙවලා ඉතුරු වෙන සොච්චමෙන් තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. එතකොට ඉස්සෙල්ලම වියදම කපන්නේ ළමයින්ගෙ ටියුෂන් වලින්. ඉස්සර ඉස්කෝලෙ පටන් ගන්නකොට සපත්තුවක් සල්ලි වලට ගන්නෙ දැන් සපත්තු කුට්ටම රෙපයාර් කරන්න යන්නේ. ඉරිදාට කුකුල් මස් කිලෝ එකක් ගත්ත කට්ටියට අද මාසෙට එකපාරක්වත් ගන්න බැහැ. එළවළු තුනක් එක්ක කාපු අය එක එළවළුවක් කන්නේ.. මේ නායකයාට, කොළඹ මිනිස්සු කැන්වසින් යවන්න හුරේ දාන්න කටවුට් ගහන්න එයාට මිනිස්සුන් ඕන. ජනතාව විඳින දුක බලන්න එයා කැමති නැහැ.

අපි පැහැදිලිව කියන්න කැමතියි අධ්‍යාපනය විනාශ කරන්න එපා සෞඛ්‍ය විනාස කරන්න එපා. පොදු බදු ප්‍රතිපත්තිය වෙනස් කරන්න බැරි නම් ඒ අයට take home එක වැඩි කරන්න allowance එකක් හරි අඳුන්වලා දෙන්න.


එච්චර පොරක් නම් ඡන්දය තියන්න බය ඇයි ?

මේගොල්ලෝ කියනවා ජනාධිපතිතුමා අරක කලා මේක කළා කියලා. එච්චර පොරක් නම් ඡන්දය තියන්න බය ඇයි. විජයදාස රාජපක්ෂ ඇමතිතුමා කැබිනට් පත්‍රිකාවක් දාලා තියෙනවා ඡන්ද ක්‍රමය කඩිමුඩියේ වෙනස් කරන්න. ඒ අස්සේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ජනමතවිචාරණයක් තියන්න ඕනලු. ඔය මොනව කරන්නත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ඕන.  ඒක අපි ලබා දෙන්නේ නෑ කියන එක කියන්න කැමතියි. ජනාධිපති ක්‍රමය වෙනස් කරනවා නම් ඒක ජනවරමක් සහිත අලුත් ආණ්ඩුවකින් කරන්න ඕන.

එක්සත් ජාතික පක්ෂය පොළොවට හාන්සි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි. පොහොට්ටුව නන්නත්තාර වෙලා තියෙන්නේ. මහ පොළොවේ යථාර්ථය තේරුම් අරගෙන ජනතාවට කොකා පෙන්නන්න ලෑස්ති වෙන්න එපා. මතකයිනෙ අරගලය ආපු වෙලාවේ මහ රජානෝ ත්‍රිකුණාමලයේ නේවි කෑම්ප් එකට පැනලා ගියේ. කට්ටිය ඕන හීනයක් දකින්න හැබැයි උදේ නැගිට්ටහම හරියට ජීවත් වෙන්න.

ඒ නිසා මැතිවරණ කල් දාන්න ඡන්ද නැති කරන්න හිතන්න එපා. අසීමාන්තිකව දුක් විඳින ජනතාවගේ කේන්තිය පිට කරන්න ප්‍රජාතාන්ත්‍රිකව ඉතිරි වෙලා තියෙන එකම දේ මැතිවරණය විතරයි. ඒක උදුරා ගත්තොත් කොහොමත් ඉතින් ගිලෙන්න යන මිනිහට කෝකත් එකයි කියන තියරිය බලපාන බව මතක තියාගන්න.''.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්