ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචි අත්හිටුවමින් එහි කටයුතු මෙහෙය වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුව සහ ඊට අදාළ ගැසට්

නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (නොවැම්බර් 7) අතුරු තහනම් නියෝග නිකුත් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති ෂම්මි සිල්වා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරනු ලැබීය.

ඒ අනුව ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා අතුරු පාලක මණ්ඩලයක් පත් කරමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම වළක්වාලමින් අධිකරණය විසින් එක් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

එසේම අමාත්‍යවරයා විසින් පත්කරන ලද අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින්ට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් තවත් අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම පෙත්සම්කරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ කටයුතු වලට බාධා කිරීම වළක්වාලමින් විනිසුරු මඩුල්ල විසින් ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත තවත් අතුරු නියෝගයක් නිකුත් කරනු ලැබීය.


අධිකරණ තීන්දුව වැරදි බව ලක්ෂ්මන් කිරිඇල්ල කියයි

මෙම අතුරු තහනම් නියෝග දින 14 ක කාලයකට බලපැවැත්වෙන බව එම නියෝගයේ දැක්වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 05 වන ඉරිදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනුව එම ආයතනය කටයුතු මෙහෙයවීම සඳහා අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කළේය.

එම අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් ලෙස විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්, අයි.ඉමාම් , රෝහිනී මාරසිංහ, අයිරාංගනී පෙරේරා, අර්ජුන රණතුංග, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ සහ එම්. එච්. ජමාල්ඩීන් යන අය නම් කර තිබේ.

පෙත්සම් විභාගය ආරම්භ වූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් "ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්වාධීනව කටයුතු කිරීමට අවකාශ සලසන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මීට පෙර ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දී තිබුණා. එහෙත් පසුගිය කාලයේ ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු වලට අනවශ්‍ය ලෙස මැදිහත් වුණා. බලපෑම් සිදු කළා. පසුගිය ඉරිදා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් ගැසට් නිවේදන නිකුත් කළා.” යැයි කියා සිටියේය.

“ක්‍රීඩා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරලා”

“එම ගැසට් නිවේදනය තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවා එහි කටයුතු මෙහෙයවීම සඳහා අතුරු පාලක කමිටුවක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබුවා. එම ගැසට් නිවේදනයේ අන්තර්ගත කරුණු එකිනෙකට පරස්පරයි. එක් ගැසට් නිවේදනයක සඳහන් වෙනවා රජයේ විගණකාධිපතිගේ වාර්තාව අනුව අදාළ ආයතනය අත්හිටුවීම කටයුතු කළ බව. අනෙක් ගැසට් නිවේදනය සඳහන් වෙනවා අක්‍රමිකතා හා දූෂණ විමර්ශනය කිරීමේ අරමුණින් අදාළ අත්හිටුවීම සිදු කළ බව. මෙම කරුණු එකිනෙකට පරස්පරයි. මෙවැනි අත්හිටුවීමක් සිදු කිරීමට පෙර ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ඊට අදාළ නොතිසි නිකුත් කොට ක්‍රිකට් ආයතනයෙන් කරුණු විමසීමක් සිදු කළ යුතුයි. එය තමයි ස්වභාවික යුක්ති ධර්මය. එසේ නොකොට යම් ආයතනයක් තහනම් කර ඊට අදාළ විමර්ශන සිදු කිරීම යුක්ති සහගත නැහැ. එසේම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදු කළ මෙම ක්‍රියාව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය දැන සිටියේ නැහැ. ඒ නිසා තමයි මේ පිළිබඳව සොයා බැලීමට අමාත්‍ය මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනු කමිටු පත් කිරීමට කටයුතු කර තිබෙන්නේ.” ජනාධිපති නිතීඥවරයා සඳහන් කළේය.

“මේ තුළින්ම පෙනී යනවා අමාත්‍යවරයා අත්තනෝමතික ලෙස කටයුතු කර තිබෙන ආකාරය. එසේම අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම ක්‍රියාව ක්‍රීඩා පනතේ 32 සා 33 යන වගන්ති වලට පටහැනියි" යනුවෙන් සඳහන් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මෙම ක්‍රියාව තුළින් විෂයභාර අමාත්‍යවරයා තම බල සීමාව ඉක්මවා ගොස් අත්තනෝමතික ආකාරයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල දින 14ක කාලයක් සඳහා බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු තහනම් නියෝග නිකුත් කළ අතර මෙම පෙත්සම යළි ලබන 16 වැනිදා කැඳවන ලෙස නියෝග කළේය.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා, ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සාමාජිකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත නොතීසි නිකුත් කෙරිණි.

මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නොමැත.

(උපුටා ගැනීම- BBC සිංහල සේවය)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්