ඉදිරි මහ මැතිවරණයෙදි වෙන වෙනම තරඟ කර මැතිවරණයෙන් පසු ආණ්ඩුවක් සැදීමට එක්වීම වඩාත් වාසිදායක බවට 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ හිතවතුන් ආණ්ඩුවට සහය දක්වන පක්ෂවල නායකයින්ට එත්තු ගන්වමින් සිටින බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.


බැසිල් රාජපක්ෂගේ අනුගාමිකයින්ගේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ සහෝදර පක්ෂ වෙන් වෙන්ව තරග කිරීම මගින් මහමැතිවරණයේදී වැඩි ආසන ප්‍රමාණයක් දිනාගෙන මැතිවරණයෙන් පසුව 2/3 බලයක් සහිත ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, ‍ලංකා කම්කරු කොංග්‍රසය. ඩග්ලස් දේවානන්ද, අතවුල්ලා ඇතුළු මහත්වරුන්ගේ පක්ෂ වෙන වෙනම තරග කර ඔවුන් ලබාගන්නා ආසන ප්‍රමාණය එක් කර ගනිමින් ඉදිරි මැතිවරණයෙන් පසු බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව ඔවුන් පෙන්වා දී ඇත.

එමෙන්ම මේ වන විට ඇතිවී තිබෙන දැඩි ඉල්ලුම මත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු සකස් කිරීමේ දැඩි අර්බුදය මෙමගින් සමනය වනු ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

දැනටමත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නියෝජිතයන්ට ඇතිවී තිබෙන තත්වය මත නාමයෝජනා ලැයිස්තුවෙන් 50% ක් ලබා ගැනීමට ඇති හැකියාව ද අවම වෙමින් ඇති බව ඔවුන්ගේ අදහසයි.

මේ වන විට එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන විපක්ෂය දැඩිව දුර්වල වී බෙදී වෙන්වී සිටින අවස්ථාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහෝදර පක්ෂ වෙන වෙනම තරග කිරීම නිසා විශාල වාසියක් අත්කර ගත හැකි බවට ද ඔවුන් කරුණු දක්වා ඇත.

විශේෂයෙන් මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමට අකමැති සුළු ජාතික ඡන්දදායකයන් ආණ්ඩුව වෙත ග්‍රහණය කර ගැනීමට මෙමගින් අවස්ථාවක් ලැබෙන බවත්, එමගින් තොණ්ඩමන්, අතාවුල්ලා ඩග්ලස් දේවානන්ද ආදී සුළු ජාතික පක්‍ෂ නියෝජිතයන්ගේ පක්ෂ වෙනම තරග කිරීම හරහා ඔවුන්ට නතු ඡන්ද පදනම මගින් ආසන දිනා ගත හැකි වනු ඇති බවත් ඔවුන්ගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ  ඉතා නුදුරේදීම සහෝදර පක්‍ෂ නායකයන් මෙන්ම පොදුජන පෙරමුණ නායක අගමැති මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡා කරනු ඇති බව ද ඉහත ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්