මේ දිනවල රටේ මතභේදයට තුඩුදී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය පිළිබඳ ගැටලුව ඉමක් කොනක් නොමැති, පැටලුනු නූල් බෝලයක

ස්වභාවට පත්ව ඇත්තේ එය විසඳීමට මැදිහත්වන පාර්ශවද අර්බුදයට ලක්කරමිනි. 

ක්‍රිකට් සභාපතිගේ වියදම් ගැන ප්‍රශ්න කරන විට කෝප් සභාපතිගේ හස්ත සංඥාව කුමක් ද?

 

2022 ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ T-20 ලෝක කුසලානය(පිරිමි) ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිත විශේෂ විගණන වාර්තාව ඇතුළු කරුණු විමර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්, පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හමුවට (නොවැම්බර් 14 වැනිදා) කැඳවනු ලැබුණි.

පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර එහිදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේවන විට පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටතද ප්‍රබල සංවාදයක් මතුවී තිබේ.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර ලබැඳියාවන් අතර ගැටුමක් තිබේ ද යන්න පිළිබඳවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විමර්ශනවලට අමතරව දැන් ඒ පිළිබඳවද පරීක්ෂණයක් පවත්වන ලෙස කතානායකවරයා වෙත ඉල්ලීම් ද ඉදිරිපත්ව තිබේ.

පාර්ලිමේන්තුවේ මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අධිකරණ විනිසුරුවරුන් තුන් දෙනෙකු ද ඉවත්ව ඇති පසුබිම තුළය.


විපක්ෂ නායකවරයා එල්ල කළ චෝදනාව

කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේය.

නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කතානායකවරයාට දැනුම්දී සිටියේ ඊට පෙරදින ( නොවැම්බර් 14 වැනිදා ) කෝප් කමිටුව රැස්වූ අවස්ථාවේදී එහි සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් හස්ත සංඥාවක් සිදුකරන ආකාරය දැක්වෙන රූප රාමුවක් ඇති බවත් ඔහු විසින් නියම් හෝ අනියම් ආකාරයෙන් සාක්ෂිකරුවන් ලබා දෙන උත්තර හැසිරවීමට කටයුතු කරන බවයි.

එහිදී විපක්ෂනායකවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළ කළේය.
 
"කෝප් කමිටුවේ යම් යම් කරුණු විමසීමේදී අපි දැක්කා රූප රාමුවක්. ඒ රූප රාමුවේදී අපි දකිනවා කෝප් එකේ සභාපතිවරයා මෙහෙම කටට ඇඟිල්ල තියලා යම් කිසි පුද්ගලයෙකුට උපදෙස් දෙනවා උත්තර දෙන්න එපා කියලා, අපි හිතන විදිහට. ඒ දැක්කේ රූප රාමු විතරයි දැන් එළියට ඇවිල්ලා තියෙන."

"හැබැයි ඒ රූප රාමුවලට මැච් කලොත් ඒ රූප රාමු ඇතුලේ අපේ සාමාජිකයෝ දක්වපු අදහස් බොහොම බරපතලයි."


"ඒ කියන්නේ කෝප් එකේ සභාපතිවරයා නියම් හෝ අනියම් ක්‍රමයකින් උපදෙස් දෙනවා හෝ හසුරුවනවා සාක්ෂිකරුවන් ලබා දෙන උත්තර පිළිබඳව. ඒක බරපතල කාරණාවක්. ඒ නිසා මේ පිළිබඳව විශේෂයෙන් කතානායකතුමා පරීක්ෂණයක් කරන්න."


"හේෂා මන්ත්‍රීතුමා සහ මරික්කාර් මන්ත්‍රීතුමා එකේ සාමාජිකයින්. ඔවුන්ගේ පවා වරප්‍රසාද උල්ලංඝණය වෙලා තියෙනවා. "

"කෝප් කමිටුවේ සභාපතිවරයා ඉන්නේ ක්‍රිකට් බෝඩ් එක සාක්ෂි දෙන එක හසුරුවන්න නෙමෙයි නේ. ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලීමක් කරනවා." විපක්ෂ නායකවරයා පැවසීය.
 
546hdgමහාචාර්ය රංජිත් බණ්ඩාර විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේ සිදුකළ ක්‍රියාවක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කර සිටියේය.
 

'ඉන්න මන්ත්‍රීවරු චුදිතයෝ හොරු වෙයි'
 
මේ අතර සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අදහස් දක්වමින් පැවසුවේ කෝප් කමිටුව හමුවට ක්‍රිකට් ආයතනය ගෙන එන ලැබුවහොත් අවසානයේදී සිදුවන්නේ සිටින මන්ත්‍රීවරු ටික චුදිතයෝ හෝ හොරු බවට පත්වී ක්‍රිකට් ආයතනය හොඳ පිරිසිදු සුදු ඇඳගත් පිරිසක් ලෙස එලියට යාම බවය.
 

"ක්‍රිකට් ආයතනයට විරුද්ධව රිදෙන ප්‍රශ්නයක් අහන හැම මොහොතකම කෝප් කමිටුවේ සභාපතිවරයා හෑන්ඩ් සිග්නල් දෙනවා ඔයා මේකට උත්තර දෙන්න එපා, ඔයා වාඩිවෙන්න කියලා ඒක එතුමා භාරයේම තියා ගත්තා."


"ඉතින් එහෙනම් මේ රටේ ප්‍රශ්න විසඳන්නේ , ක්‍රිකට් එක හොරකම් කළා කියලා රටම පිළිඅරගෙන තියෙන වෙලාවේ මේ හොරු ටික බේරන්න මේ කෝප් කමිටුවේ සභාපතිවරයා විකිණෙනවා නම් අපි කෝප් කමිටුවේ වාඩිවෙන එක තේරුමක් නෑ."

"ඒ නිසා කතානායකතුමාගෙන් අපි ගෞරවයෙන් ඉල්ලනවා කෝප් කමිටුව ඉස්සරහට ක්‍රිකට් ආයතනය ගේන එක නතර කරන්න එපා."


"මේ ක්‍රිකට් ආයතනයේ මේ හොරකම් වංචා වෙලා තියෙනව නම් හෝ නැත්නම් මේ රටට දැන ගන්න අවශ්‍ය නිසා ලබන 27,28 සහ 29 යන දවස් වලට අපි සාමාජිකයෝ එකතු වෙලා දිනයක් යොදා ගත්තා. ඒ දිනයට මේ සභාපතිවරයා නැතිව මන්ත්‍රීවරු කණ්ඩායමක් දාලා විමර්ශනය කරන්න අවශ්‍ය පරිසරයක් හදන්න. මොකද මේ සභාපතිවරයා එක්ක මේක විසඳනව නම් වැඩක් වෙන්නේ නැහැ." මන්ත්‍රීවරයා පැවසීය.
 
 
කෝප් කමිටු සභාපති ගැන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු මොකද කියන්නේ ?
 
මේ අතර සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් එස්.එම්. මරික්කාර්, චමින්ද විජේසිරි සහ නලීන් බණ්ඩාර ද අදහස් දක්වමින් පවසා සිටියේ කෝප් කමිටුවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තදබල ගැටළු සහගත තත්ත්වයක් පවතින බවය.

කෝප් කමිටුවේ සභාපතිවරයා වෙනුවට වෙනත් වැඩබලන සභාපතිවරයෙකු පත්කොට ක්‍රිකට් ආයතනය සම්බන්ධ විමර්ශනය කරන ලෙස තමන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බව චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා පැවසීය.


එහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත පවසා සිටියේ රූප රාමු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස විපක්ෂය විසින් ගෙනෙන යෝජනාවට විරුද්ධ නොවන බවයි.


එමෙන්ම එවැනි විමර්ශනයක් සිදුකරන බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත කෝප් කමිටුව හමුවට කැඳවන දිනයේදී වැඩබලන සභාපතිවරයෙක් යටතේ එම විමර්ශනය කිරීම සිදුකළ යුතු බව ද ඔහු පැවසුවේය.

මේ අතර ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අදහස් දක්වමින් පැවසුවේ විගණනය සම්බන්ධයෙන් කටයුතු කරන කෝප් කමිටුවට එල්ල වන මෙම චෝදනා රටේ අභාග්‍යයට කරුණක් බවයි.


"මේ චෝදනාව එල්ල වන්නේ ක්‍රීඩා අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධවයි. විපක්ෂ නායකවරයා වගේම මේ මන්ත්‍රීවරුන් කෝප් කමිටුව ගැන කරන චෝදනාව දිහා බැලුවම ඒක රටේ අභාග්‍යයට කරුණක්. මම ඉල්ලීමක් කරනවා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් සභාපතිවරයෙක් ලෙස පත් කරලා වෙනම කාරක සභාවක් පත්කරලා ක්‍රිකට් එක සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කරන්න කියලා"


"මේ ක්‍රිකට් එක රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කළ යුතුයි. රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුමත නොකිරිමම ඇති. මම ඉල්ලනවා ඒ කෝප් එකේ සම්පුර්ණ වීඩියෝ පටයක් මට ලබා දෙන්න කියලා. මම උත්තරයක් දෙන්න තියෙන එකක් තියනවනම් මම ලබා දෙන්න සුදානම්. "

"හැබැයි සමාජගත වෙලා තියෙන කොට පෙනී යන දෙයක් තමයි අහන ප්‍රශ්නවලට ලැබෙන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ උත්තරක්. මේකත් විකිණිලා වගෙයි පෙනෙන්නේ." ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේය.

 
කෝප් කමිටු සභාපතිගේ ප්‍රතිචාරය කුමක්ද ?
 
කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය නොකරන්නැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර පැවසුවේය.

තමන්ට එරෙහිව නගන ලද චෝදනාවන්ට පිළිතුරු දෙමින් කෝප් කමිටු සභාපතිවරයා වැඩිදුරටත් මෙසේ පවසා සිටියේය.

"කෝප් කමිටුවට ඉතිහාසයේ කවදාවත් නැති පිරිසක් ඊයේ සහභාගී වුණා. ස්වාධීනව අවස්ථාව ඉල්ලලා ආපු පිරිසකුත් හිටියා. "

"කෝප් කමිටුවේ කටයුතු පාලනය කරන්න මධුර විතානගේ මන්ත්‍රීතුමා සාක්ෂි දරයි මම කිව්වා එක්කෙනෙක් කතා කරන්න එක පාරට කියලා. අපේ විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලා තුන්දෙනෙක් හිටියා. අහන්න එයාලා ආවේ වෙන පරමාර්ථයකින්."


"අපිට කිසිම දේශපාලන පරමාර්ථයක් නැහැ. කෝප් කමිටුව දේශපාලනිකරණය කරන්න එපා. අපි ක්‍රීඩා ඇමතිතුමාගේ නමවත් කිව්වේ නැහැ. ඒ නිසා මේක ස්වාධීන කමිටුවක් විදිහට පවත්වාගෙන යාමේ වගකීම තියෙනවා විපක්ෂ නායකතුමාටත්." ඔහු පැවසීය.

 
ලබැඳියාවේ ගැටුමක් ගැන පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්
 
මේ අතර ( නොවැම්බර් 16 වෙනිදා) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර සම්බන්ධකමක් පවතින බවට ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේදී කරුණු ඉදිරිපත් කරමින් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.

"කැන්ඩි ක්‍රිකට් ප්‍රොජෙක්ට් එකේ උපදේශකවරයකු විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීතුමා කටයුතු කරලා තියෙනවා."


"මම ඒ සියලු ලිපි ලේඛණ සභාගත කරනවා අර ලබැඳියාව අතර ගැටුම් කියන තත්ත්වය තුළ මොහුට තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පළමුවත්, ක්‍රිකට් ආයතනය සමග මෙවැනි සම්බන්ධකම් තබාගෙන කෝප් කමිටුව හමුවේ එම ආයතනය සම්බන්ධ විමර්ශන කිරීමට ඇති හැකියාව ගැන මම ප්‍රශ්න කරන්න කැමති."


"ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ බ්‍රේන් සෙන්ටර් එකක් හදන වැඩසටහනට බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බු උපදේශකවරුන් ලෙස පත්කරන්න කියන කාරණාවත් තියෙනවා. දැන් කවුද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බු එකේ ප්‍රධානියා ? ඒ මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයායි."

"ඉතින් කොහොමද බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් ඔෆ් කලම්බු එකේ සේවය කරමින් එකම පත්කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් බ්‍රේන් සෙන්ටර් එකේ උපදේශන සමාගම විදිහට. කොහමද ඒක කරන්නේ ? ඒක බරපතල ගැටලුවක්."

"ඒ වගේම මම අහන්න කැමතියි රූප රාමුවල ඉන්නවා එක් පුද්ගලයෙක් කෝප් කමිටු රැස්වීමේදී හේෂා සහ මරික්කාර් මන්ත්‍රිතුමන්ලා පිටිපස්සේ. මම ඒ පුද්ගලයා අඳුනන්නේ නැහැ. මට කෝල් එකක් එනවා විදේශ රටකින් කෝප් එකේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ පුතා කොහොමද කෝප් එකේ වාඩිවෙන්නේ කියලා."


"කණිෂ්ක බණ්ඩාර කියන්නේ කෝප් කමිටු සභාපතිගේ පුතා. ඔහු කොහොමද කෝප් කමිටුවේ වාඩි වෙන්නේ? මම අහන්න කැමති කතානායකතුමාගෙන් කෝප් කමිටුවේ වාඩිවෙන්න ? එතුමට සදාචාර අයිතියක් නැහැ කෝප් කමිටුවේ සභාපතිකම දරන්න."විපක්ෂ නායකවරයා පවසා සිටියේය.


එහිදී කතානායක මහින්ද යාපා අබේවර්ධන පිළිතුරු දෙමින් කියා සිටියේ නගන ලද ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් සිදුකළ යුතු බවයි.

මේ අතර දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පැවසුවේ කෝප් කමිටුවේ සාමාජිකයෙක් ලෙස ඉදිරියේදී කෝප් කමිටුවේ සභාපති ලෙස මහාචාර්ය රංජිත් බණ්ඩාර කටයුතු කරන්නේ නම් තවදුරටත් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා සහභාගී නොවී සිටීමට තීරණය කර ඇති බවයි.

 
එල්ලවන චෝදනා ගැන කෝප් කමිටුවේ සභාපති දුන් පිළිතුර
 
තමන්ට එල්ල වන චෝදනා හමුවේ කෝප් කමිටුවේ සභාපති ධුරයෙන් ඉවත් වන්නේදැයි බීබීසි සිංහල සේවය නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්ය රංජිත් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පැවසුවේ එවැනි තීරණයක් ගැනීමට තමන්ට අවශ්‍ය නොවන බවයි.

තමන්ට එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් ඔහු මෙලෙස කරුණු පැහැදිලි කර සිටියේය.


"මම අවුරුදු 30ක් විශ්ව විද්‍යාලයේ ඉගැන්නුවේ. එතකොට 2017 දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල. කොළඹ ව්‍යාපාරික පාසැලේ ප්‍රධානියා මම. අපිට ආරාධනා කළා කන්සෙප්ට් නෝට් එකක් ලියන්න කියලා ක්‍රිකට් ආයතනය ගැන. තිලංග සුමතිපාල ගෙදර ගිය නිසා ඒක වුනෙත් නෑ, අපට සල්ලි ලැබුනෙත් නැහැ."


"මම තමයි ඒ සංකල්ප පත්‍රිකාවේ ලිවීමේ ප්‍රධානියා. ඒක ඇත්ත."

"අනෙක් ප්‍රශ්නය තමයි මගේ පුතාව කෝප් කමිටුවට කැඳවා ගෙන ගියා කියන එක. මගේ පුතා 2022 වසරේ 10 වෙනි මාසයේ 22 වෙනිදා ඉදන් කෝප් එකට යන්නේ. එයා මගේ සම්බන්ධිකරණ ලේකම්. එයා අද හෙට නීතිඥයෙක් විදිහට දිවුරුම් දෙන්න ඉන්නේ. එයාට භාෂා දෙකෙන් වැඩ කරන්න පුළුවන්."

"අනෙක් එක කෝප් එකට ස්ටාෆ් නැහැ. අපි අතින් ගෙවාගෙන මිනිස්සු දාගන්න ඕන කියලා ඔබ දන්නවා ද?"

"මම කැමති නැහැ මිනිස්සුන්ට මඩ ගහන්න. කෝප් කමිටුව ඇතුලෙයි කෝප් කමිටුවෙන් එළියේ ක්‍රිකට් බෝඩ් එක ගැන ලබැඳියාව තියෙන අය ඇති. මට ක්‍රිකට් බෝඩ් එකත් කිසිම ලබැඳියාවක් නැහැ."

"මම කරන්නේ ස්වාධීන රැකියාවක්. මට කෝප් කමිටුවේ සභාපතිකම තිබ්බත් එකයි, නැතත් එකයි. මම අවුරුදු 30ක් කොළඹ විශ්වවිද්‍යාලයේ වැඩකළේ."

"මම කොළඹ විශ්වවිද්‍යාලය කෝප් කමිටුව හමුවට ගෙනාවා. මම ඉගෙන ගත්ත පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුන්වෙනි පාරටත් කෝප් කමිටුව හමුවට ගෙනාවා. එතකොට මට විශ්වවිද්‍යාල එක්ක ලබැඳියාවක් නැද්ද ?"

"අද (නොවැම්බර් 17 වෙනිදා) කෝප් කමිටුවේ විශේෂ රැස්වීමක් තියන්න සුදානම්."

"බජට් එක ගැන විවාද කරන්නේ නැහැ. මේ ගැන තමයි පාර්ලිමේන්තුවේ වාද විවාද කරන්නේ."

"අනිත් එක මම මොකටද සභාපතිකමෙන් ඉවත් වෙන්නේ ? ඒක තීරණය කරන්න ඕන කෝප් එකේ ඉන්න මන්ත්‍රීවරුන්. "


"කෝප් කමිටුවට වැඩබලන සභාපති කෙනෙක් පත් කරන්න අවශ්‍ය නැහැ. විපක්ෂ නායකවරයාට කියන්න ඇවිත් කෝප් එකේ ඔබ්සවර් කෙනෙන් විදිහට වාඩිවෙලා අපි මොකද කරන්න කියලා බලන් ඉන්න කියලා."


"මම මෙතනින් එලියට ගියත් මහාචාර්ය රංජිත් බණ්ඩාර. එහෙම නැතිව සිම්පල් සයිමන් වෙන්නේ නැහැ නේ." මන්ත්‍රීවරයා පැවසීය.

 'ඔහු ඉවත් වෙලා වැඩබලන සභාපතිවරයෙක් පත්කරන්න තිබ්බා'
 
මේ අතර ජාතික ජනබල වේගයේ ජාතික විධායක සභික සහ කෝප් කමිටුවේ සභාපති ලෙස කලක් කටයුතු කළ සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවකදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ ක්‍රිකට් ආයතනය සමග ලබැඳියාවක් ඇති බවට වත්මන් කෝප් කමිටු සභාපතිවරයා සියල්ලට පෙර තමන් දන්නා නිසා එම ආයතනයේ විමර්ශනය කිරීමට වැඩබලන සභාපතිවරයෙක් පත් කිරීමට තිබු බවයි.

ඔහු එහිදී මෙසේ වැඩිදුරටත් කරුණු පැහැදිලි කර සිටියේය.


"කෝප් කමිටුව සජීවී විකාශනය නොවූ කාලයේදී එකේ සිටි මන්ත්‍රිවරු මුදලට විකිණුනා. මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධ කෝප් විමර්ශනයේදී ටෙලිෆෝන් කෝල් ආව ඒවා, එතැනදී කට්ටිය හැසිරුණු විදිහ ඇතුළේ හිටිය අපි දැක්කා."


"ක්‍රිකට් ආයතනය ගැනත් මම ඉන්න කාලේ විමර්ශනය කළා. එතැනදී අපිට කාගෙන්වත් බලපෑම් ආවේ නැහැ. "

"එතැනදී සභාපතිවරයා කටයුතු කරන්න ඕන විගණකාධිපතිවරයා ඉදිරිපත් කර තියන ලේඛණ මත. කරුණු ඉදිරිපත් කිරීමට සාමාජිකයින්ට ඉඩ සැලසීම ආදිය මෙන්ම සභාපතිවරයා අපක්ෂපාතිව කටයුතු කළ යුතුයි. ඔහුගේ එවැනි බැඳියාවක් තිබෙනවානම් එහෙම කටයුතු කරන්න බැහැ."

"මම කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරද්දී කාරක සභාවේ ඇමතිවරු හිටියා. ඔවුන්ගේ යටතේ තියෙන අමාත්‍යාංශ කෝප් කමිටුවට කැඳවද්දී ඊට සහභාගිවෙන්න ඒ ඇමතිට ඉඩ දුන්නේ නැහැ. "

"ක්‍රිකට් බෝඩ් එක ගේද්දී එවකට ක්‍රීඩා ඇමති හිටිය දයාසිරි ජයස්කර කෝප් එකේ සාමාජිකයෙක්. මම ඔහුට එන්න ඉඩ දුන්නේ නැහැ."


"එතකොට රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා. ඔහු කළ යුතුව තිබුනේ ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට ගෙන එද්දී විමර්ශනය කරන්න වැඩබලන සභාපති කෙනෙක් පත් කරන එකයි. ඒක හෙළිදරව් නොකිරීම වරදක්."


"මේක ගැන කෝප් කමිටුවේ සාමාජිකයින් වගේම පාර්ලිමේන්තුව තීරණයක් ගත යුතුයි. ඒක ක්‍රිකට් ආයතනයේ ගැටලුවක් නෙමෙයි. රටේ මුල්‍ය පාලනය ගැන බරපතල ප්‍රශ්නයක්. මුළු ලෝකයම බලන් ඉන්නවා."යැයි ඔහු පැවසීය.

 
ක්‍රිකට් ආයතනය මොකද කියන්නේ ?
 
කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවතින ලබැඳියාව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් එම ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ මහාචාර්ය රංජිත් බණ්ඩාර 2017 වසරේ සිට 2018 වසරේ මාර්තු 31 දක්වා එවකට සභාපති ලෙස කටයුතු කළ තිලංග සුමතිපාල ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා වන ව්‍යාපෘතියේ සංකල්ප පත්‍රිකාව සැකසීම සඳහා Colombo School of Business and Management ආයතනය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා එක්ව කටයුතු කළ බවත්, ඒ වෙනුවෙන් ඔහුට කිසිදු ගෙවීමක් සිදුකර නොමැති බවය.

Colombo School of Business and Management ආයතනය කළ සේවයට ගෙවීමක් සිදුකර ඇති නමුත් මහාචාර්යවරයාට කිසිදු ගෙවීමක් පෞද්ගලිකව සිදුකර නොමැති බවත් ක්‍රිකට් ආයතනයට ඔහු සමග කිසිදු ලබැඳියාවක් නොමැති බවද අදාළ නිවේදනයේ දැක්වෙයි.

 
නැවත දැනුම් දෙනතුරු කෝප් කමිටු රැස්වීම් නවතී
 
මේ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (නොවැම්බර් 17) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ නැවත දැනුම් දෙනතුරු කෝප් කමිටු රැස්වීම් නොපැවැත්වෙන බවය.

කෝප් කමිටුවේ වත්මන් සභාපතිවරයා යටතේ තවදුරත් ක්‍රියා කළ නොහැකි බව විපක්ෂයේ මන්ත්‍රීවරු අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියහ.
 

"අද දින දවල් එකට පවත්වන්න තිබුණු කෝප් කාරක සභාවේ රැස්වීම අද නොපැවැත්වෙන බවත්, නැවත දැනුම්දෙන තුරු කොප් සභාවේ රැස්වීම් නොපැවැත්වෙන බවත් මන්ත්‍රීවරුන්ට දැනුම් දෙමි'' යනුවෙන් කතානායකවරයා කියා සිටියේය.

(BBC සිංහල සේවය)

(අවධාරණය කිරීම් අපෙන් - සංස්කාරක )
  

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්