රටේ ජනතාව තම තීරණ පදනම් කරගත යුත්තේ නිවැරදි දත්ත සහ සත්‍ය කරුණු මත මිස, සෝෂාව හා බොරු ප්‍රචාර මත නොවේ යයි හිටපු

ජනාධිපති මහින්ද රාජපක්ෂ අවධාරණය කර සිටියි.

වර්ථමානයේ මෙරටේ පවතින ආර්ථික තත්ත්වය අනුව 2015 ජනවාරියේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරැද්දක් ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වනු ඇතැයි ද ඔහු කියා සිටියි. 

හිටපු ජනාධිපතිවරයා එබව සඳහන් කර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි. 

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ. 

 

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුත්තන් පිළිබඳව උණුසුම් සාකච්ඡාවක් මේ අවස්ථාවේ  සිදුවෙමින් පවතී. මහ බැංකු වාර්තාව වල සදහන් වන පරිදි, මා ජනාධිපති ධූරය හෙබවූ අවුරුදු නවය තුළ 2006 සිට 2009 දක්වා යුද්ධය පැවති වර්ෂ හතර තුළ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වාර්ෂික ආර්ථික වර්ධනය  6% ක් විය. 

 

2010 සිට 2014 දක්වා වූ පශ්චාත් යුද වර්ෂ පහ තුළ එය 6.8% ක් දක්වා වැඩි විය. මේ අඛණ්ඩ ආර්ථික වර්ධනය නිසා ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2005 අවසානයේ ඇ.ඩො.1,242 සිට 2014 අවසන් වන විට ඇ.ඩො. 3,819 දක්වා තුන් ගුණයකින් වැඩි විය. 

ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ..

ඒ අනුව මගේ රජය මේ රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය වැඩි කිරීමට ලබා දුන් දායකත්වය 1948 සිට 2005 දක්වා ශ්‍රී ලංකාව පාලනය කළ අනෙකුත් සියලුම ආණ්ඩු කළ දායකත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. කෝවිඩ් - 19  වසංගතය නිසා ඇති වූ ආර්ථික සංකෝචනය හේතුවෙන් 2022 දී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඇ.ඩො. 3,474 ක් දක්වා පහත වැටුණද, මම ඉහත කළ ප්‍රකාශය අදටත් වලංගු ය.

2005 අවසානයේ දී 90% ක් වූ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය 2014 අවසානය වන විට ඉතා සුබදායක ලෙස 69% ක් දක්වා අඩු වී තිබුණි. සියලු කොටස් මිල දර්ශකය 2005 අවසානයේ 1,922 සිට 2014 අවසන් වන විට 7,299 දක්වා ඉහළ ගොස් තිබුණි. මේ සියලු ආර්ථික ජයග්‍රහණ ලබාගෙන තිබුණේ, දිනිය නොහැකි යැයි කියූ යුද්ධය පැවතෙද්දී, 2007 ඇතිවූ ගෝලීය ආහාර අර්බුදය සහ 2008-2009 කාලයේ ඇතිවූ ගෝලීය මුල්‍ය අර්බුදය මධ්‍යයේ ය. 

මේ වකවානුව තුළ ඉතිහාසයේ ඉහළම බොරතෙල් මිල ගණන් පැවතීමත් විශේෂත්වයකි. 2006 සිට 2009 දක්වා මුළු කාලය පුරාවටම බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො.74ක් වූ අතර 2010 සිට 2014 දක්වා බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇ.ඩො.103 ක් විය. 

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 2014 සැප්තැම්බර් මාසයේ අංක 14/285 දරන වාර්තාවේ සදහන් කර තිබුණේ පළමුව, ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික කාර්ය සාධනය කාගේත්  අපේක්ෂාවන් ඉක්මවා ගොස් තිබුණු බවත්, දෙවනුව ශ්‍රී ලංකාව මෑත වසරවල දී කැපී පෙනෙන ආර්ථීක දියුණුවක් ලබා ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල් අතරට එක්වීමේ මාවතේ ගමන් කරමින් සිටින බවත්, තුන්වනුව මෑත වසර කිහිපය තුළ ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන් අතර ශ්‍රී ලංකාව වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කරන ආර්ථිකය බවත්ය.

 

මේ ආකාරයට, 2015 ජනවාරි මාසයේදී මා රටට දායාද කර ගියේ ඉතාමත්ම ශක්තිමත් ආර්ථිකයක් බව ඉතිහාසයේ මනාව සටහන් වී ඇත. නමුත් මා පරාජය වීමෙන් පසු, 2015 දී ආර්ථික වර්ධන වේගය 4.2% දක්වා පහත වැටී 2019 වන විට සෘණ 0.2% න් අවසන් විය. ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය ප්‍රමාණය 2014 අවසානයේ ඇ.ඩො. මිලියන 42,914 සිට 2019 අවසන් වන විට ඇ.ඩො. මිලියන 54,811 දක්වා 28% කින් පමණ වැඩි වී තිබුණි. 2014 අවසන් වන විට 69% දක්වා පහත වැටී තිබුණු දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය, 2019 අවසන් වන විට නැවතත් 82% දක්වා ඉහළ ගොස් තිබුණි. සියලු කොටස් මිල දර්ශකය 2014 අවසානයේ 7,299 සිට 2019 ඔක්තෝබර් අවසන් වන විට 5,990 දක්වා අඩු වී තිබුණි. මේ කාලයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආපස්සට ගමන් කලේ 2015 සිට 2019 දක්වා වසර පහක කාලය තුළ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල මෑත ඉතිහාසයේ අඩුම අගය වූ  ඇ.ඩො. 60 ක් වූ වාතාවරණයක් තුළ ය. 

 

''යහපාලන ආර්ථික පරිහානියට බාහිර හේතු කිසිවක් නොතිබුණි''

2015 සහ 2019 අතර ශ්‍රී ලංකාවේ සිදු වූ ආර්ථික පරිහානියට බාහිර හේතු කිසිවක් නොතිබුණි. මෙම කාල සීමාව තුළ අපගේ අසල්වැසි රටවල් සියල්ලම ජවසම්පන්න ආර්ථික වර්ධනයක් අත්විඳින ලදී. එම කාලපරිච්ඡේදය තුළදී, ඉන්දියාව සහ බංගලාදේශය 7% ට වඩා වැඩි සාමාන්‍ය  ආර්ථික වර්ධනයක් පෙන්නුම් කළ අතර මාලදිවයින 6% ට වඩා වැඩි සාමාන්‍ය ආර්ථික වර්ධන වේගයක් සාක්ෂාත්  කරගත්තේ ය. ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය වැනි සංවර්ධිත රටවල් පවා එම කාලය තුළ ප්‍රබල ආර්ථික කාර්ය සාධනයක් අත්විඳින ලදී. 

කෙසේ වෙතත්, 2015 සහ 2019 අතර ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය 3.5%ක් වූ අතර, එය කෝවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාව වූ 2021 වසරේ වාර්තා වූ වර්ධන වේගයට සමාන විය. 2015 සහ 2019 අතර ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා රටට ඔරොත්තු නොදෙන තරමේ විදේශීය වාණිජ ණය තොගයක් එකතු වීම එම කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදු වූ බරපතලම හානියයි.  

 

2015 ජනවාරි මාසයේදී මා පරාජයට පත්වන විට තිබුණු ස්වෛරීත්ව බැඳුම්කර තොගය ඇ.ඩො. මිලියන 5,000 ක් වූ අතර එය ඒ අවස්ථාවේ අපට තිබුණු ඇ.ඩො. මිලියන 8,208 ක විදේශ සංචිත වලින් ඉතා මැනවින් ආවරණය විය. කෙසේ වෙතත්, 2015 සහ 2019 අතර ශ්‍රී ලංකාවේ ස්වෛරීත්ව බැඳුම්කර තොගය තුන් ගුණයකින් වැඩි විය. 2015 දී ඇ.ඩො මිලියන 2,150 ක්, 2016 දී ඇ.ඩො මිලියන 1,500 ක්, 2017 දී ඇ.ඩො මිලියන 1,500 ක් 2018 දී ඇ.ඩො මිලියන 2,500 ක් හා 2019 දී ඇ.ඩො මිලියන 4,400 ක් වශයෙන් ස්වෛරීත්ව බැඳුම්කර තොගය ඇ.ඩො මිලියන 15,050 දක්වා වැඩි වී  තිබුණි. 

 

මින් ඇ.ඩො මිලියන 2,000 ක් මගේ පාලන සමයේදී ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර නැවත අලුත් කිරීමට යොදවා තිබූ නිසා, 2015 සහ 2019 අතර ලබාගෙන තිබූ නව ස්වෛරීත්ව බැඳුම්කර වල මුලු වටිනාකම වූයේ ඇ.ඩො මිලියන 10,050 කි. මේ ආකාරයට ස්වෛරීත්ව බැඳුම්කර තොගය ඇ.ඩො. මිලියන 15,050 දක්වා වැඩි වූවද, 2019 අවසානයේ ශ්‍රී ලංකාව සතු මුළු විදේශ සංචිත ප්‍රමාණය ඇ.ඩො. මිලියන 7,642ක් පමණක් විය.

මේ අනුව, 2019 නොවැම්බරයේ මම නැවත අගමැති ධූරයට පත් වූ විට, අපේ රජයට උරුම වූයේ සම්පුර්ණයෙන්ම බිද වැටි තිබුණු ආර්ථිකයකි. කෝවිඩ් -19 වසංගතය පැමිණියේ ඒ ආකාරයට දුර්වල වී සිටි රටකට ය. කොවිඩ් වසංගතය නිසා ආර්ථිකයට සිදු වූ බලපෑම වෙනම සාකච්ඡා කළ යුතුය. රටක ආර්ථික තත්ත්වය තක්සේරු කිරීමට භාවිත කරන මූලිකම දර්ශකය වන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය බව ආර්ථිකය ගැන කරන ඕනෑම සාකච්ඡාවකදී අපි මතක තබා ගත යුතුය. ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉහළ නැංවීමට මගේ 2006-2014 ආණ්ඩුවේ දායකත්වය නිදහසින් පසු පැවති අනෙකුත් සියලුම ආණ්ඩු සිදු කල  සාමුහික දායකත්වය මෙන් දෙගුණයකටත් වඩා වැඩි බව මෙහිදී සිහිපත් කිරීම වැදගත් වේ. 

 

මේ රටේ ජනතාව තම තීරණ පදනම් කරගත යුත්තේ නිවැරදි දත්ත සහ සත්‍ය කරුණු මත මිස, සෝෂාව හා බොරු ප්‍රචාර මත නොවේ. වර්ථමානයේ මෙරටේ පවතින ආර්ථික තත්ත්වය අනුව 2015 ජනවාරියේ සිදුවූ ආකාරයේ තවත් දේශපාලන වැරැද්දක් ශ්‍රී ලංකාවට දරාගත නොහැකි වනු ඇත.

 

මහින්ද රාජපක්ෂ (පා.ම.)
නායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 


 

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්