මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා තමා යැයි ප්‍රකාශ කරන හෙයින් සියලු අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට

ඉදිරිපත් කරන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී ලොකුගේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ට පාර්ලිමේන්තුවේදී ඊයේ (01) අභියෝගයක් කළේය.

මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ ප්‍රශ්න ඇසීම සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාට චෝදනාවක් එල්ල කෙරුණු අවස්ථාවේදී ප්‍රකාශයක් කරමිනි.

 

ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

'' මෙතන මේ සියලු දෙනා පත්වෙලා තියෙන්නේ ජනතා ඡන්දයෙන්. විපක්ෂ නායක තුමා කියන විදියට මෙතන ඉන්න අනෙක් සියලු දෙනා නූගත් අය. එතුමා විතරයි උගතා. මම දන්නවා එතුමාගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය තමයි මෙතන ඉන්නේ. එතුමාගේ පියා මේ රටේ ජනාධිපති වුණා. එතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ රටේ මිනිස්සු දන්නවා. ඔබතුමා අනිත් අයගේ අධ්‍යාපන සුදුසුකම් බාල්දු කරනවා නම් ඔබතුමාගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න. මොකද මේ සියලු විවාද රූපවාහිනිය යනවා. එතකොට මිනිස්සු හිතන්නේ මෝඩයෝ රැළක් මැද ඉන්න එකම උගතා මෙයා කියලයි. මෙතන ඉන්න සියලු දෙනා මෙතුමා ගේ පියාට වඩා අධ්‍යාපනය ලබපු අය. මම ඔබතුමාට අභියෝග කරනවා තමුන්නාන්සේගේ අධ්‍යාපන සුදුසුකම් මේ සභාවට ඉදිරිපත් කරන්න.''

 

 

''රටේ පාලකයෝ කටවල් වහන ගමනක් යනවා'' - විපක්ෂ නායක

 

රට නිවැරදි ගමනකට යනවා නම් ප්‍රතිපත්ති සම්පාදන කරන ස්ථාන ප්‍රශස්ත විය යුතු බවත් විධායකය, ව්‍යවස්ථාදායකය, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන, සංවිධාන, ප්‍රතිපත්ති සම්පාදනයේ විවිධ පාර්ශ්වකරුවන් ඇතුළු සියලු දෙනාම දැනුම කේන්ද්‍ර කර ගෙන කටයුතු කළ යුතු වුවත් අද දැනුම කේන්ද්‍රීය ගමනක් යනවා වෙනුවට ප්‍රතිපත්ති සම්පාදනය කරන ඉහළම තැන කටවහන වැඩපිළිවෙළක් කතාව නතර කරන වැඩපිළිවෙළක්, බුද්ධිමත් ප්‍රශ්න අහන සහ යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේ බාධා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දැනුවත්කම ප්‍රවර්ධනය නොව නොදැනුවත්කම උපයෝගී කර ගෙන රටේ ප්‍රතිපත්ති සම්පාදනය කිරිම සිදුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (01) සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 51 වැනි අදියර යටතේ මුල්ලේරියාව රාහුල විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

 

 මේ වන විට විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේ සිදු කරන කතා නැවැත්වීමට අත්සන් ලේඛනයක් සකස් කරමින් යන බවත් තමා පාර්ලිමේන්තුවේ කිසිදු අවස්ථාවක පෞද්ගලික අවශ්‍යතා හෝ පෞද්ගලික ප්‍රශ්න කතා නොකරන බවත් තමා සෑම විටම කතා කරන්නේ ජනතාවගේ ගැටලු, ආර්ථික ගැටලු ආදිය බවත් ඒ සියල්ල රටට ඔබින රටට වැදගත් වන ප්‍රශ්න වුවත් තමාව හදුන්වන්නේ අනවශ්‍ය දේවල් කතා කරන කෙනකු ලෙස බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායකවරයා ලෙස තමා බංකොලොත් රට ගොඩ ගන්න අවශ්‍ය ප්‍රතිකර්ම ලබා දෙන විට බංකොලොත් කළ පුද්ගලයන්ට එය දරාගත නොහැකි බවත් ජනතාවට සත්‍ය තොරතුරු ලබා දිය යුතු බවත් තොරතුරු සඟවනවා නම් කිසිදු අවස්ථාවක නැවත රට ගොඩගත නොහැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රට බංකොලොත් කළ පුද්ගලයන් අධිකරණයෙන් අනාවරණය වූ පසු තමා එය පාර්ලිමේන්තුව දැනුවත් කරන විට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරී ලෙස පැමිණ තමා අත තිබූ ලිපිගොනු ආදිය මංකොල්ල කෑ බව යි.

 

එම ලිපිගොනුව තුළ තමා විසින් සිදු කරන ලද පර්යේෂණවල සාරාංශය ගැබ්ව තිබූ බවත් එහි තිබූ දැනුම සම්බන්ධයෙන් කතා කරන විට ඔවුන් එවැනි ආකාරයට හැසිරුනේ නම් රටට මේ තත්ත්වයෙන් හෝ පැවැතීම පුදුම සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

 

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 171ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 389ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 51ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 477ක් වැය කර තිබේ.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්