අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ [CID] හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ගමන් ගන්නා

අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බවට බුද්ධි අංශ මගින් තොරතුරු අනාවරණය කර ඇතැයි නීතිපතිවරයා විසින් අද (දෙසැම්බර් 04 වැනිදා) අභියාචනාධිකරණය හමුවේ දැනුම් දෙනු ලැබීය.

ජීවිත තර්ජනයකට මුහුණපා සිටින තමන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශානි අබේසේකර විසින් ගොනුකළ රිට් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මෙම දැනුම කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විකුම් කළුආරච්චි යන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබුණි.

 

ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කර තිබුණි.

ශානි අබේසේකරට බරපතළ තර්ජනයක්
 
අදාළ පෙත්සම අධිකරණය හමුවේ අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙත්සම්කාර ශානි අබේසේකරට එල්ල වී තිබෙන තර්ජනවල ස්වභාවය දැක්වෙන වාර්තාවක් වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ බුද්ධි අංශය විසින් ඒවා ඇති බව සඳහන් කළේය.

එම වාර්තාවට අනුව පෙත්සම්කාර ශානි අබේසේකරට බරපතළ තර්ජනයක් පවතින බව අනාවරණය කර ඇති බවත් ඔහු ගමන් ගන්නා අවස්ථාවකදී රිය අනතුරකට ලක් කොට ඔහු ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව එම බුද්ධි අංශ වාර්තාවේ සඳහන් කර ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
 
මෙහිදී පෙත්සම්කාර ශානි අබේසේකර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට ලබාදී ඇති ආරක්ෂාව පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව කියා සිටියේය.

පැරණි යතුරුපැදියක් හා පොලිස් නිලධාරීන් තුන් දෙනෙකු පමණක් ඔහුගේ ආරක්ෂාවට යොදවා ඇතැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය පෙත්සම්කරුට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදෙන ලෙස වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය විසින් පොලිස්පති වෙත නියෝගයක් නිකුත් කර තිබුණත් එය මේ දක්වා ඉටුවී නොමැති බවටත් චෝදනා කළේය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කිරීම සඳහා එය ලබන 14 වැනිදා කැඳවන ලෙසත් නියෝග කරනු ලැබීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, එවකට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්, වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.
 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්