සය හැවිරිදි බව විශ්වාස කෙරෙන කුඩා දැරියකට ලිංගික අපයෝජනයක් කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වීමත් සමඟ පසුගිය දා ඒ පිළිබඳව මහත් ආන්දෝලනයක් හටගත්තේය.
විශේෂයෙන් ම එයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට පමුණුවන මෙන් සමාජ ජාල ඔස්සේ ප්‍රබල හඬක් මතුවිය.
එහෙත් ඒ සම්බන්ධයෙන් හඬ නගන ක්‍රියාධරයන් සහ නීතිවේදීන් පවසන්නේ එම දැරිය අපයෝජනයට ලක් කළ පුද්ගලයා හෝ කණ්ඩායම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වීමේ මන්දගාමී ස්වභාවයක් හෝ කිසිසේත්ම නීතිය ක්‍රියාත්මක නොවීමේ ස්වභාවයක් දක්නට ලැබෙන බවය.
විශේෂයෙන්ම 'බලපෑම්වලට යට වී පරීක්ෂණ යට ගසන' බවට ඔවුහු පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට චෝදනා කරති. ඒ අතර අපයෝජනයට එරෙහිව හඬ නැගූ පුද්ගලයන්ගේ ෆේස්බුක් ගිණුම් අත්හිටුවා ඇති බව තවත් චෝදනාවකි.
පොලිසියට සහ ළමා ආරක්ෂක අධිකාරියට කළ පැමිණිලි සම්බන්ධයෙන් නිසි පියවර නොගෙන ඇති බැවින් එයට මැදිහත් වන මෙන් ඉල්ලා සිටිමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් යුනිසෙෆ් හෙවත් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල වෙත ද ලිපියක් භාර දී තිබේ.
ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බවය.
චෝදනාව:
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව යුනිසෙෆ් සංවිධානය වෙත භාර දුන් ලිපිය
බාල වියේ දැරියක අපයෝජනයට ලක්වීම සම්බන්ධයෙන් තමන් මීට සති කිහිපයකට ඉහතදී පොලිස් අපරාධ විමර්ශන කාර්යාංශයට සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ද පැමිණිලි කළ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ, නීතිඥ සේනක පෙරේරා බීබීසී සිංහල සේවයට කියා සිටියේය.
ඔහු සඳහන් කළේ, සිය පැමිණිල්ල භාරගෙන ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන බවට ඒ දෙපාර්ශවයම සඳහන් කළ නමුත් 'සතුටුදායක මට්ටමින්' පරීක්ෂණ පැවැත්වෙන හැඩක් දකින්නට නොමැති බවය.
"මේ වෙනකොට ඒ අදාළ දුරකතන අංක සහ වීඩියෝ පටය ඔස්සේ ගිහිල්ල කටයුතු කරන බවක් අපි නම් දකින්නේ නැහැ. විශේෂයෙන්ම ඒ සඳහා අධිකරණයෙන් නියෝග අරගෙන විමර්ශන ආරම්භ කරන බවක් අපිට පේන්නේ නැහැ."
දැරිය අපයෝජනය කිරීම සම්බන්ධයෙන් තමන් කිසිවෙකුට චෝදනා නොකරන නමුත් කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් තමන්ට 'යම් යම් තොරතුරු' ලැබී තිබෙන බව පවසන නීතිවේදී සේනක පෙරේරා, එසේ චෝදනා ලබන පුද්ගලයා සිය සංවිධානය සමඟ අදහස් හුවමාරු කරගැනීමට උත්සහයක් දරමින් සිටින බවත් සඳහන් කළේය.
"අපිට ලැබිල තියෙන තොරතුරු අනුව මේක යම්කිසි බලපෑමක් මත වහගෙන ඉන්න තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ."
දරුවාගේ ආරක්ෂාව:
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය සමග සමීපව ක්‍රියා කරන නීතිවේදිනී අචලා සෙනෙවිරත්න බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් කියා සිටියේ, අදාළ අපයෝජනය සිදු වී මාසයකටත් වැඩි කාලයක් ගත වී ඇති බැවින් මූලික විමර්ශන සඳහා මෙතරම් ප්‍රමාද වීම කිසිසේත් ම පිළිගත නොහැකි බවය.
පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ දැනුවත් කිරීමක්
"වීඩියෝ එකේ තියන විදියට මේ දරුවා අවුරුදු හයක පොඩි දරුවෙක්. මුලින්ම ඒ දරුවා මේ වෙලාවේ ඉන්නේ මොන තත්ත්වයකද කියන එක හොයන්න ඕන. ඒක ලොකු කාලයක් ගන්න පුලුවන් දෙයක් නෙවෙයි," ඇය පැහැදිලි කළාය.
"එකක් කාලය ගත වීමත් එක්ක සිදුවෙච්ච දේ ගැන ඒ දරුවා කියන්න පුළුවන් තත්ත්වයක ඉන්න්නව ද, නැද්ද කියන එක. අනිත් එක අධිකරණය තමා දරුවාගේ ඉස්සෙල්ලම භාරකාරය වෙන්නේ."
එබැවින් සිය දියණියට සිදු වූ අපචාරය සම්බන්ධයෙන් දෙමව්පියන් නීතියේ පිහිට නොපතන්නේ නම් අධිකරණය, නොඑසේනම් නීතිය, දරුවාගේ වගකීම භාරගෙන නීතිය ක්‍රියාවට නැගිය යුතු බව නීතිවේදිනී අචලා සෙනෙවිරත්න අවධාරණය කරන්නීය.
විශේෂයෙන් ම ළමා අපචාරයක් සම්බන්ධයෙන් පියවර ගැනීම පිණිස ළමා ආරක්ෂක අධිකාරිය පැමිණිල්ලක් ලැබෙන තුරු බලා සිටිය යුතු නැති බව පෙන්වා දෙන ඇය වැඩිදුරටත් කියා සිටියේ, එබැවින් දැරියට නිසි රැකවරණ සැපයීම, මානසික සෞඛ්‍ය පහසුකම් ලබාදීම සහ නීතිය ක්‍රියාවට නැගීම පිණිස අපචාරය සිදු වී මාසයකටත් වැඩි කලක් ගතවන තුරු බලා සිටීම ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවය.
"මුලින්ම දරුවාගේ පැත්තෙන් පියවර ගන්න ඕන. මේ දරුව ඉන්නේ මොන ශාරීරික, මානසික තත්ත්වයකද වගේ ඒ ළමය වෙනුවෙන් කරන්න ඕන දේ ඉස්සෙල්ල මැදිහත් වෙලා කරන්න ඕන."
ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රතිචාරය:
තමන්ට එල්ල වන චෝදනා ගැන ප්‍රතිචාර දක්වමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ පවසන්නේ එසේ චෝදනා මතුවීම ගැන තමන් 'ආඩම්බර වන' බවය.
"මොකද, එයින් අදහස් වන්නේ ළමයින් පිළිබඳව තියන කැපවීම මහජනතාවගේ සහ සංවිධානවල," ඔහු පැවසීය.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් සිය ආයතනයේ පොලිස් නිලධාරීන් යොදවා "ඉතා ම විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති" බව පවසන මහාචාර්ය මුදිත විදානපතිරණ, අදාළ වීඩියෝ පට රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමුකරන බව ද කියා සිටියේය.
"ඊට අමතරව ඒ සම්බන්ධ බවට සැක කෙරෙන කිහිප දෙනාට අපි නියෝග ලබාගෙන තිබෙනවා පැමිණ සාක්ෂි දෙන්නයි කියල."
අදාළ අපචාරයන්ට සම්බන්ධ කිසිවෙකුට නීතියෙන් පලා යාමට ඉඩ නොතබන බවට ද සභාපතිවරයා ප්‍රතිඥා දුන්නේය.
සේව් ද චිල්ඩ්රන්:
ට්විටර් පණිවුඩයක් නිකුත්කරන සේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකා ආයතනය, අපයෝජනවලින් සහ ප්‍රචණ්ඩත්වයෙන් සෑම දරුවෙකුම ආරක්ෂා කිරීමේ වැදගත්කම අවධාරණය කර තිබුණි.
දරුවන් ආරක්ෂා කිරීම සඳහා පවතින ක්‍රමවේද සහ ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම පිණිස ආණ්ඩුවට සහය දෙන අතරවාරයේ, ළමා අපයෝජන පිළිබඳ නිරන්තර විමසිල්ලෙන් සිටින මෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද එහි දැක්වේ.
ළමා අපයෝජනයක් පිළිබඳ වාර්තා වූ සැනින් 1929 ශ්‍රී ලංකා ළමා දුරකතන සේවය අමතා ඒ පිළිබඳ දැනුම්දෙන ලෙස සේව් ද චිල්ඩ්රන් ශ්‍රී ලංකා ආයතනය සහ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය උපදෙස් දෙති.
ළමා අපචාර 'ඉහළ ගිහින්'
2020 වසරේ පළමු දින 15 ඇතුළත පමණක් ළමා ලිංගික අපයෝජන 54 ක් වාර්තා වී ඇති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගිය දා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කළේය.
ඒ අතරින් ළමා අපයෝජන 34 ක් සම්බන්ධ විමර්ශන අවසන් වී තිබෙන බව ද ඇමතිවරයා කියා සිටියේය.
2012 සිට 2020 දක්වා කලාය තුළ ශ්‍රී ලංකාවේ විවිධ පළාත්වලින් ළමා අපයෝජන සිදුවීම් 5891 ක් වාර්තා වී තිබේ.
දිගින් දිගටම වාර්තාවන ළමා අපචාර පිළිබඳව කරුණු දක්වමින් මහාචාර්ය මුදිත විදානපතිරණ කියා සිටියේ පසුගිය සමයේ ළමා අපයෝජන වාර්තාවීම ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබුණ බවය.
"මා හිතන්නේ ජාතික ළමාරක්ෂක අධිකාරිය ගැන විශ්වාසය වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ නිසාම පැමිණිලි කිරීම් වැඩිවීමකුයි අපි දකින්නේ."
කෙසේ වුවත් එසේ වාර්තා වන්නේ සමස්ත අපචාර අතරින් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් බව ද ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.
ළමා අපයෝජකයන් 'දිරිමත් කිරීමක්'
මෙවැනි අපචාරවලට ලක්වීම මගින් දරුවන්ගේ ළමා විය පමණක් නොව සමස්ත අනාගතය ද විනාශවන බව පෙන්වාදෙන ළමා ආරක්ෂක ක්‍රියාධරයන් අවධාරණය කරන්නේ අපයෝජකයන්ට එරෙහිව නීතිය ක්‍රියාවට නොනැගීම අපයෝජකයන් දිරිමත් කරන්නක් ද වන බවය.
ළමා අපචාරවලට වැට බැඳීම සහ අපයෝජනයට ලක් වන දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම පිණිස ළමා අපචාර විභාග කිරීමේ අධිකරණ ක්‍රියාදාමයේ පැහැදිලි වෙනසක් විය යුතු බව ඇතැම් නීති විශාරදයන්ගේ ස්ථාවරය වී තිබේ.
විශේෂයෙන්ම අපයෝජනයට ලක් වූ දරුවන් අධිකරණය ඉදිරියට කැඳවා ඔවුන් "නැවත නැවතත් අතවරයට ලක් කරනු" වෙනුවට ඔවුන්ට නිර්නාමිකව සාක්ෂි දීමේ අවස්ථාව සලසා දීම මෙන්ම විශේෂ ළමා අධිකරණ පිහිටුවීම කෙරෙහිද බලධාරීන්ගේ ප්‍රමුඛත්වය හිමි විය යුතු බව එවක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වූ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මීට වසර කිහිපයකට ඉහතදී බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.
ඒ වෙනුවෙන් අලුත් නීතියක් කෙටුම්පත් කෙරෙමින් පවතින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා 2013 ජුලි මාසයේ සඳහන් කළ නමුත් ළමා අපචාර විභාග කිරීම පිණිස ශ්‍රී ලංකාව තුළ මෙතෙක් එවැනි විශේෂ ළමා අධිකරණ පිහිටුවා නැත.
(සරෝජ් පතිරණ BBC සිංහල සේවය)