බන්ධනාගාරගත රැදවියන් බන්ධනාගාරයෙන් නිදහස් වු පසු ඔවුන් සමාජයට වඩාත් ඵලදායී පුද්ගලයින් බවට පත් කිරීම අරමුණු කරමින් සියලු

බන්ධනාගාර තුළ කර්මාන්ත ස්ථාපිත කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ කාර්මික සංවර්ධන මණ්ඩලය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේ.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ ඉදිරිපිටදී බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම පෙබරවාරි 12 වැනිදා අදාළ ගිවිසුමට අත්සන් තැබුවේ ය.

ඒ අනුව බන්ධාගාර තුළ කර්මාන්ත ස්ථාපිත කිරීමට මෙරට ව්‍යවසායකයින්ට, කර්මාන්තකරුවන්ට වැඩි අවස්ථාවක් හිමි වන අතර, කර්මාන්ත තුළ පුහුණුව ලබන රැදවියන් සදහා කාර්මික සංවර්ධන මණ්ඩලය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහතික පත්‍ර පිරිනමනු ලබයි.

 

බන්ධනාගාරගත රැදවියන්ගේ දඩුවම් විදින කාලය වඩාත් අර්ථවත්ව ගත කිරීම, ඔවුන්ගේ බන්ධනාගාරගත කාලය සංවර්ධන කටයුතු සදහා යොදා ගැනීම, බන්ධනාගාරයෙන් නිදහස් වු පසුව තමන්ගේම කර්මාන්තයන් සිදු කරමින් කටයුතු කිරීම සදහා රැදවියන්ට අවස්ථාව ලබාදීම මෙහි අරමුණ වී තිබේ.

 

“බන්ධනාගාර තුළ දැනට රැදවියන් විසින් නිරත වන කර්මාන්ත කටයුතු සදහා මේ තුළින් තවත් ශක්තියක් ලැබෙනවා. මේ වන විට රැදවියන් එකොළොස් දහසක් පමණ බන්ධනාගාරගතව සිටිනවා. ඔවුන්ගෙන් පන් දහසක් පමණ මේ වන විට විවිධ කර්මාන්තයන්හි නියැලී සිටිනවා. නව ගිවිසුම අත්සන් කිරීම තුළින් ඉතිරි හය දහසත් කර්මාන්ත කටයුතු සදහා යොදවා ගත හැකියි. මේ තුළින් බන්ධනාගාරගත රැදවියාට මෙන්ම රටටත් විශාල වාසියක් ලැබෙනවා. රැදවියන් බන්ධනාගාරගතව සිටින කාලය තුළ ඔවුන් වෙනුවෙන් රජය ඔවුන් වෙනුවෙන් දරනු ලබන වියදම වෙනුවෙන් කිසියම් මුදලක් උපයා දිමේ හැකියාව මේ තුළින් ලැබෙනවා.”

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අදහස් පළ කළ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේය.

එමෙන්ම බන්ධනාගාරයෙන් නිදහස් වු පසුවත් ඔවුන්ට පුහුණුව ලැබු කර්මාන්තයෙහි කටයුතු කරමින් සමාජයට වැඩදායී පුද්ගලයෙක් විය හැකි බව ද ඔහු කියා සිටියේය.

 

බන්ධනාගාරගත රැදවියන් රටට සමාජයට ඵලදායී පුද්ගලයෙකු බවට පත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති සාරංග අලහප්පෙරුම වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් පැවසීය.

 

“බන්ධනාගාරගත රැදවියන් රටට සමාජයට ඵලදායී පුද්ගලයෙකු බවට පත් කිරීම මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙහි ප්‍රධාන අරමුණයි. බන්ධනාගාර පරිශ්‍රයන් තුළ කර්මාන්ත ස්ථාපිත කිරීම සදහා යොමු වන ලෙස ව්‍යවසායකයින්ට සහ කර්මාන්තකරුවන්ට ආරාධනා කරනවා. ගරු අධිකරණ අමාත්‍යතුමා සහ කර්මාන්ත අමාත්‍යතුමා මේ සදහා අවශ්‍ය උපදෙස් ලබාදීම කරනු ලැබුවා. දුප්පත් බවින් මිදීමට ආර්ථිකමය වශයෙන් ශක්තිමත් විය යුතුයි. විවිධ හේතුන් නිසාවෙන් බන්ධනාගාරගත වන රැදවියන්ට දක්ෂතාවයෙන් පිරිපුන් පුද්ගලයෙකු වශයෙන් ශක්තිමත්වීමට මෙය හොද අවස්ථාවක්.”

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එන්. රණසිංහ ඇතුළු අධිකරණ අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට එක්වුහ.

WhatsApp Image 2024 02 12 at 12.47.35 1

(චතුරංග මේදිස්)

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්