'පොහොට්ටු' පක්ෂයේ නායකයින් කිහිප දෙනෙකු විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා ඔහුගේ නායකත්වයෙන් යුතු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එරෙහිව ගෙනයන ප්‍රහාරය සමතයකට පත් කිරීම සඳහා 'ජාතික චින්තන' ව්‍යාපාරයේ නායක මහාචාර්ය නලින් ද සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මැදිහත්ව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලීමක් මතය.

මේ අනුව, ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ හවුල්කාර පක්ෂවල නායකයින් සහ නියෝජිතයින් අතර ඊයේ (10) රාත්‍රියේ පැවති සාකච්ජාවට එම සන්ධානයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගී නොවුවද මෙවර මහ මැතිවරණයට ශ්‍රීලනිපය සමග එක් සන්ධානයකින් නාමයෝජනා බාර දීම ස්ථිර වශයෙන් ම සිදුවනු ඇතැයි ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු theleader.lk වෙත පැවසිය.   එළබෙන මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවත්, සන්ධානයේ හවුල්කාර පක්ෂ අතර පවතින මත ගැටුම් වහාම සමථ කර ගතයුතු බවටත් අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී පැවති රැස්වීමේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවූ බව වාසුදේව නානායක්කාර කියා සිටියේය.  

මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ නාම යෝජනා සකස් කිරීම පිළිබඳවද ඊයේ රාත්‍රීයේ පැවති මෙම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී ඇත.

 

සිරිසේන පලවා හැරීමේ උවමනාව තියන්නේ කාට ද !

මේ අතර 'පොහොට්ටුවේ' ඇතැම් නායකයින් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉලක්ක කර ගනිමින් ගෙනයන ප්‍රහාරාත්මක මෙහෙයුම සම්බන්ධයෙන් 'ජාතික චින්තන' FB පිටුවේ සටහනක් තබා ඇති මහාචාර්ය නලින් ද සිල්වා, සිරිසේන හා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු නැවත වරක් ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් පන්නා දැමීමට කටයුතු කෙරෙමින් තියෙන බව කියා සිටියි.

NalinDesilvaගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්කරලීම සඳහා සිංහල-බෞද්ධ ජනතාව අතර දැවැන්ත මතවාදීමය කාර්ය භාරයක් සිදු කළ මහාචාර්ය නලින් ද සිල්වා විසින් ''සිරිසේන නැවත යැවීමේ දේශපාලනය'' යන ශීර්ෂයෙන් යුතුව පළකර ඇති එම සටහන කිසිඳු සංශෝධනයකින් තොරව පහත පළකර ඇත.

''නැවත වරක් සිරිසේන හා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු ජාතික හා වාම කේන්ද්‍රීය කඳවුරෙන් පන්නා දැමීමට කටයුතු කෙරෙමින් තියෙන බව පැහැදිලියි. ඉතා පැහැදිලිව පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයට එකතු වුණු ශ්‍රී ල නි පාක්‍ෂිකයන්ට කෙණෙහිළිකම් කරනවා.

මේ උද්ධච්ඡයන් පිටුපස ඉන්නා තැනැත්තාට අවශ්‍ය මෙරට ජනාධිපති වීමට. ඔහු ඒ බව කෙළින් කියන්නේ නැහැ. ඔහු ගෝඨාභය රාජපක්‍ෂට විරුද්ධයි.

ඇතැම් ජනමාධ්‍ය ප්‍රධානියකුට අනුව නම් ඉහත කී තැනැත්තාට අවශ්‍ය ගෝඨාභය රාජපක්‍ෂට අවුරුදු දහයක් ජනාධිපති ධුරය හෙබවීමට අවස්ථාව ලබා දීමට. මා එය විශ්වාස කරන්නේ නැහැ. ඔහු අකමැති ගෝඨාභය රාජපක්‍ෂ අවුරුදු පහක් හරි දහයක් හරි ජනාධිපති පුටුවේ සිටියහොත් ඔහුගේ බලාපොරොත්තුව තමා ඊළඟ ජනාධිපති වීමට.

ජනමාධ්‍ය ප්‍රධානියාට එය නොතේරෙනවා කියා හිතන්න බැහැ. එහෙත් ඔහු උඩින් පෙන්වන්නේ එසේ නොවේය කියා.

 

හෙංචයයින් ලවා පහර දීම !

අද සිදුවන දේ ඉතා පැහැදිලියි. 2015 දී සිරිසේන යහපාලනයට යැවූ පුද්ගලයන් අද ඔහු හා ශ්‍රී ල නි පක්‍ෂයේ කිහිප දෙනකු සජිත් වෙතට යැවීමට කටයුතු කරනවා. ඒ පුද්ගලයන් ප්‍රසිද්ධියේ සිරිසේන විවේචනය කරන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් පොදුජන පෙරමුණේ කිහිප දෙනකු සිරිසේනට විරුද්ධ ව විවිධ ප්‍රකාශ කිරීමට යොදවනවා.

 මේ පුද්ගලයන් එක්තරා ආකාරයකින් මා සම්බන්ධයෙන් ද ක්‍රියා කරන්නේ එලෙසින්. මා ඔවුන් කෙතරම් විවේචනය කළත් ඔවුන් සෘජු ව මට දොස් කියන්නේ නැහැ. ඔවුන් ඒ වෙනුවට කරන්නේ තම හෙංචයයින් ලවා මට පහර දීමට සැලැස්වීමයි.

''සිරිසේන එදා රනිල් වෙත යැවුවේත්
අද සජිත් වෙත යැවුණොත්
එසේ කරන්නේත් එකම පිරිසක්.''

සිරිසේනට නැවත ජනාධිපති වීමට බැහැ. ඔහු විශ්වාස කටයුතු පුද්ගලයකු නො වෙයි. එහෙත් දේශපාලනයේ විශ්වාස කටයුතු පුද්ගලයන් අතළොස්සකට වඩා නැහැ. සිරිසේනට මෙවර තමා සමග විශාල පිරිසක් ගෙන යන්න බැහැ. 2015 දී සිරිසේන ඊනියා යහපාලනයට ගියේ ශ්‍රී ල නි පක්‍ෂ මන්ත්‍රීවරුන් යම් පිරිසක් රැගෙන. 2020 දී ඔහුට ඒ හරඹය නැවත කරන්න බැහැ. අද ඔහු එ ජා පක්‍ෂයට ගියත් ඔහු සමග දෙතුන් දෙනකුට වඩා යන එකක් නැහැ.

එහෙත් සිරිසේන වෙනත් අය සමග එකතු වී ශ්‍රී ල නි පක්‍ෂයෙන් වෙන ම ඉල්ලුවොත් උද්ධච්ඡයන් හා ඔවුන්ගේ ගුරුවරුන් උද්දාමයට පත් වේවි. ඒ තම කෙණෙහිළි ක්‍රියා මාර්ගය සාර්ථක වීම නිසා. ඔවුන් එවිට ද 2015 දී මෙන් ම සියළු වරද සිරිසේන පිට පටවාවි. එහෙත් සිරිසේන එදා රනිල් වෙත යැවුවේත් අද සජිත් වෙත යැවුණොත් එසේ කරන්නේත් එකම පිරිසක්.

 

ඇතැම් රාජපක්‍ෂලා විශ්වාස නැහැ..

සිරිසේන විශ්වාස කරන්න බැරි වීම වෙනත් කරුණක්. සිරිසේන කියාවි ඔහුට ඇතැම් රාජපක්‍ෂලා විශ්වාස නැහැ කියා. එයත් ඇත්තක්. එහෙත් සිරිසේන දින පනහේ ආණ්ඩුවේ මහින්ද අගමැති කෙරුවා. එය සුළු වැඩක් නොවෙයි. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය මහින්දගේ අගමැති ධුරය රැක ගන්න ක්‍රියා කෙළේ නැහැ. ඔවුන්ට බද්‍යුද්දීන්ගේ පක්‍ෂයේ සමගිය වඩා වැදගත් වූවා. අද ඔවුන්ගෙන් ඇතැමකු කියනවා එදා මහින්ද අගමැති කළ එක වැරදියි කියා. එහෙත් යහපාලන ආණ්ඩුවේ ඉරිතැලීම් වැඩි කිරීමට සිරිසේන ශක්තිමත් කිරීමේ ක්‍රියාදාමය හේතු වුණා.

අදත් එ ජා පක්‍ෂයට ඒ ක්‍රියාදාමය බලපාන බව පැහැදිලියි. ඒ ක්‍රියාදාමය ගෝඨාභය රාජපක්‍ෂගේ ජයග්‍රහණයටත් අවසානයේ හේතු වුණා.

උද්ධච්ඡයන් පිරිසක් එදා මහින්ද අගමැති කිරීම පසුව වැරදි යැයි කිවුවත් ඔවුන් උඩඟු කමෙන් මත් වී පොදු ජන පෙරමුණේ සාමාජිකත්වය ගත් විට ඔවුන්ගේ මන්ත්‍රීකම් රැකුණේ සිරිසේනගේ කීමට මහින්ද අමරවීර ඒ සාමාජිකත්වය ගත් පුද්ගලයන් එක්සත් ජනතා නිදහස් සංධානයේ මන්ත්‍රීන් බවට කතානායකට යුවූ ලිපියක් නිසා.

පොදු ජන පෙරමුණේ උද්ධච්ඡයන්ට මේ කිසිවක් මතක නැහැ. මේ උද්ධච්ඡයන් යහපාලනය සමග ගෑවී සිටිය බවත් නුගේගොඩ රැස්වීමේ වේදිකාවට ගොඩ නොවූ බවත් බොහෝ දෙනාට මතක ඇති.

''ශ්‍රීලනි පක්‍ෂය පොදු ජන පෙරමුණ සමග එකතු වී මීළඟ මැතිවරණය තරග කළත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම අසීරුයි. එය කළ හැකි වන්නේ ඉතා තදබල ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් පමණයි. එහෙත් පොදු ජන පෙරමුණට ජාතිකත්වයක් නැහැ.''

එක් එක් දිස්ත්‍රික්කයේ මනාප ප්‍රශ්න නිසා ඇති වන තත්වය බොරදියේ මාළු බෑමට පොදු ජන පෙරමුණේ ප්‍රබලයන් කිහිප දෙනකු ක්‍රියා කරනවා. ශ්‍රී ල නි පක්‍ෂය පොදු ජන පෙරමුණ සමග එකතු වී මීළඟ මැතිවරණය තරග කළත් තුනෙන් දෙකක බහුතරයක් ලබා ගැනීම අසීරුයි. එය කළ හැකි වන්නේ ඉතා තදබල ජාතිකවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් පමණයි. එහෙත් පොදු ජන පෙරමුණට ජාතිකත්වයක් නැහැ.

අද පොදු ජන පෙරමුණේ ඇතැම් ප්‍රබලයන් ජාතිකත්ව ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැහැ. ඔවුන්ට ඇත්තේ වෙන ම න්‍යාය පත්‍රයක්. ඒ න්‍යාය පත්‍රයේ ජාතිකත්වය යන්න ගෑවිලාවත් නැහැ. ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානය ලෙස තරග කර තුනෙන් දෙකක් ලබා ගැනීමට උත්සාහ කරන්නේත් නැහැ. ඔවුන්ට අවශ්‍ය ශ්‍රී ල නි පක්‍ෂය කෙසේ හෝ සජිත් වෙතට යවා තුනෙන් දෙක ලබා නොගැනීමට!

ඔවුන් ඉන්පසු එ ජා ප මන්ත්‍රීන් පිරිසක් හකීම් බද්‍යුද්දීන් ආදීන් සමග එක් වී තුනෙන් දෙක ලබා ගැනීමට උත්සාහ කරාවි. ඒ ගණුදෙනු දේශපාලනය වෙතට නැවත යෑමක්.

ඒ තුනෙන් දෙක සමග දහනවය සම්පූර්ණයෙන් ම ඉවත් කිරීමට ඔවුන් කටයුතු කරාවි. එ සමග ද්විත්ව රටවැසියන්ට ඇති බාධකත් අහිමි වේවි. අප දහනවයට විරුද්ධ වුණත් මේ ද්විත්ව රටවැසි වගන්තිය අහෝසි නොකළ යුතු යැයි යෝජනා කරනවා. මා ඊයේ ලිපියෙන් පෙන්වීමට උත්සාහ කෙළේ එයයි.

''අද කළ යුත්තේ සිරිසේන හා සුළු පිරිසක්වත් සජිත් වෙතට යැවීම නොව
ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ රඳවා ගෙන තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට කටයුතු කිරීමයි. එසේ නොකරන්නන් අවසානයේ දී කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ දුර්වල කිරීමයි.''

මගේ ලිපිය නිසා වැඩ වරදීවි යැයි සිතෙන පොදු ජන පෙරමුණේ ධන කුවේරයන් තම හෙංචයියන් ලවා මට පහර දෙනවා. එහෙත් ඔවුන්ට මා දක්‍ෂිණාංශික පිළට ගියේ යැයි කිසි දිනෙක කියන්න බැරි වේවි.

අද කළ යුත්තේ සිරිසේන හා සුළු පිරිසක්වත් සජිත් වෙතට යැවීම නොව ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සංධානයේ රඳවා ගෙන තුනෙන් දෙකේ බලයක් ලබා ගැනීමට කටයුතු කිරීමයි. එසේ නොකරන්නන් අවසානයේ දී කරන්නේ ගෝඨාභය රාජපක්‍ෂ දුර්වල කිරීමයි.

(උපුටා ගැනීම් : කාලය (Kalaya) FB පිටුවෙන් )

සබැඳි පුවත් :

''ශ්‍රීලනිපයට ගැහිල්ලෙන් වෙන්නේ ජනපති තනිවෙන එකයි'' -දයාසිරි කියයි  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්