බන්ධනාගාරවල මිනිසුන් ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව

එක්සත් ජනරජ පෙරමුණේ නායකයා පවසයි.

සාමාන්‍යයෙන් දාහක පිරිසක් තබා ගත හැකි තැන්වල පන්දාහකට අධික පිරිසක් තබාගෙන සිටින බව මෙන්ම බන්ධනාගාර ඇතුලත තත්ත්වය බෙහෙවින් නරක බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පෙන්වා දෙන්නේ.

කොළඹ සහ මැගසින් බන්ධනාගාරවල නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු මන්ත්‍රීවරයා කියා සිටියේ බන්ධනාගාර නිලධාරීන් ද ගැටළු රැසකට මුහුණ දෙන බවයි.

“අපි අද දිනයේ කොළඹ ප්‍රධාන බන්ධනාගාරයේත්, ඒ වගේම මැගසින් බන්ධනාගාරයෙත් රිමාන්ඩ් රැඳවියන් පරික්ෂා කිරීමට ගියා. ඉතාම කණගාටුදායක තත්ත්වය ඇතුළේ තියෙන්නේ. ඇත්ත වශයෙන්ම සාමාන්‍යයෙන් දාහකට පමණ ඉඩ තියෙන තැන පන්දාහකට අධික පිරිසක් රිමාන්ඩ් ගත වෙලා ඉන්නවා. බොහෝ දෙනෙක් මේ යුක්තිය මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත්ත අය. සමහර අය අවුරුද්දකටත් වැඩි කාලයක් ඉන්නවා.”

රස පරික්ෂක වාර්තා සහ නඩු පමාව හේතුවෙන් සිරවු පිරිසක් මෙන්ම ඇප ගෙවාගත නොහැකි වු පිරිස් ද බන්ධනාගාර තුළ සිටින බව ද හෙතෙම පැවසීය.

මත්ද්‍රව්‍ය නිවාරණයට නිවැරදි වැඩපිළිවෙලක් සකස් නොකොට කොපමණක් අත්අඩංගුවට ගනු ලැබුව ද ඉන් ඵලක් නැතැයි කී මන්ත්‍රීවරයා ඒ හරහා මත්ද්‍රව්‍ය හෝ පාතාලය මර්දනය වු බවක් පෙනෙන්නට නැතැයි පැවසීය.

“අපි බොහොම පැහැදිලිව රජයෙන් ඉල්ලා සිටිනවා මේ නිකන් මිනිස්සු ගාල් කරන්නේ නැතුව වැරදි වලට විධිමත් ආකාරයට මේ මත්ද්‍රව්‍ය වැඩපිළිවෙල පරාජය කරන්න ඕනෙ. එහෙම නැතුව  අච්චර ගානක් අත්අඩංගුවට ගනියි, මෙච්චර ගාණක් අත්අඩංගුවට ගනියි කියලා කරලා මේකේ තේරුමක් නෑ. එහෙම මත්ද්‍රව්‍ය රටේ අඩු වෙලත් නෑ. පාතාල ලෝකේ මර්දනය වෙලත් නෑ. ඉතින් ඒක බව අපිට රට පුරා වෙඩි පත්තු වෙන එකෙන් අපිට පේනවා.”

වැටුප් ප්‍රශ්න, නවාතැන් ප්‍රශ්න මෙන්ම හිරකරුවන් දිනපතා ප්‍රවාහනය කිරිම වැනි ගැටලුවලට බන්ධනාගාර නිලධාරින් ද මුහුණ දෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

එබැවින් තාක්ෂණය භාවිතා කරමින් අලුත් ක්‍රියාමාර්ගයක් ගන්න අධිකරණ ඇමතිවරයාගෙන් සහ රජයෙන් එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 (චතුරංග මේදිස්)


patali 1



worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්