ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (24)

වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

එසේම පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස දුෂ්මන්ත මිත්‍රපාල කටයුතු කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක් නිකුත් කළේය.

එසේම වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා විසින් ගනු ලැබුණත් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් තවත් වාරණ නියෝගයක්ද අධිකරණය නිකුත් කරනු ලැබීය.

මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුුරු සඳුන් විතාන විසින් මෙම වාරණ නියෝග නිකුත් කළේය.

මෙම වාරණ නියෝග මැයි මස 08 දක්වා බලපැවැත්වෙන බවත් නියෝගවල සඳහන් වෙයි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම තනතුරේ කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් දා වාරණ නියෝගයක් නිකුත් කළ බව පැවසීය.

ඉන් අනතුරුව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයා වශයෙන් කටයුතු කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත් කළ බවත් ඔහු සඳහන් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකාර දුෂ්මන්ත මිත්‍රපාල විසින් පක්ෂයේ විධායක සභාව නමැති රැස්වීමක් ඉකුත් 21 වනදා කැඳවා පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත්කර ගැනීමට කටයුතු කර ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ව්‍යවස්ථාවට අනුව වැඩබලන සභාපති පත්කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එවැනි විධායක සභා රැස්වීමක් කැඳවීමට වැඩබලන මහලේකම්වරයාට බලයක් නොමැති බවත් සඳහන් කළේය. වැඩබලන සභාපතිවරයා වශයෙන් පත්කළ විජයදාස රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන බවත් ඔහු  මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු වශයෙන් කටයුතු කරන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව වෙනත් පක්ෂයක සාමාජිකත්වය දරණ පුද්ගලයෙකුට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දැරිය නොහැකි බව සඳහන් කර ඇතැයි කියා සිටි ජනාධිපති නීතිඥවරයා විජයදාස රාජපක්ෂ, මේ වනවිටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය දරන අයෙකු බැවින් ඔහුට නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත නොහැකි බවත් සඳහන් කර සිටියේය.

විජයදාස රාජපක්ෂ මාසයකට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත් බව සඳහන් කර තිබුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයකුගේ පක්ෂ සාමාජිකත්වය ස්ථිර වන්නේ එය ලබාගත් දින සිට මාස 06ක් ගතවීමෙන් පසුව බවත් ඒ අනුව විජයදාස රාජපක්ෂ ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයක් නොමැති බව පෙනී යන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුනි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා අනතුරුව ඉහත නියෝග නිකුත් කළේය.

විත්තිකරුවන්ට අතුරු තහනම් දැන්වීම් හා නොතිසි නිකුත් කළ ප්‍රධාන දිස විනිසුරුවරයා ලබන අටවැනි දින අධිකරණයේ කරුණු දක්වන ලෙසටද නියෝග කළේය.

සබැඳි පුවත් :

අධිකරණය මෛත්‍රීට දුන් ස්ථිර අතුරු තහනම් නියෝගය කුමක් ද?

විජේදාස පත්කරගත් රැස්වීම අනීතිකයි - ශ්‍රීලනිප උප සභාපති තිලංග

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්