කොරෝනා ව්‍යසනය පැරදවීමට හා පවතින තත්වය පිළිබඳව අදහස් විමසීමට ඒ සඳහා ව්‍යවස්ථාමය බලය සහිත පාර්ලිමේන්තුව යළි කැඳවනවා වෙනුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම අගමැති නිල නිවසට කැඳවා කරන සාකච්ඡාවක් ඵල සහිත දෙයක් ලෙස දකින බවත් විශේෂයෙන්ම මෙම ව්‍යසනයට මුහුණදීම සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු බොහෝ දෙනා ඉල්ලා තිබියදී එවැන්නක් නිර්මාණය කිරීමට පවා මේ වන තෙක් කටයුතු නොකළ තත්වයක් තුළ මෙලෙස සියලු හිටපු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඵලදායී නොවන බැවින් මැයි 04 දින කැඳවා ඇති රැස්වීමට තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙකුත් සහභාගී නොවන බවත් සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායාකගේ අත්සනින් අගමැති මහින්ද රාජපක්ෂ වෙත ලිපියක් යොමු කර ඇත.

පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ටම ලබන සඳුදා (මැයි 04) අරලියගහ මන්දිරයට කැඳවීමට අගමැති මහින්ද රාජපක්ෂ විසින් තීරණය කර ඇත්තේ, කොරෝන වසංගතය තත්වයක් පැවතියදී බරපතල ලෙස මතුව ඇති ව්‍යවස්ථා අර්බුදයට විපක්ෂයේ නම් සහනයක් ලබා ගැනීමේ අරමුණිනි.

theleader.lk වෙත වාර්තා වන පරිදි දෙමල ජාතික සන්ධානය අගමැතිවරයාගේ ආරාධනය පිළිගෙන අරලියගහ මන්දිරයට යාමට නියමිත නමුත්, එක්සත් ජාතික පක්ෂය හා සමගි ජන බලවේගය මේ සාකච්ජාවට සහභාගිවීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීන්දුවක් ගෙන නොමැත.

එහෙත්, මෙම සාකච්ජාවට සහභාගී නොවන ලෙසට රනිල් වික්‍රමසිංහට හා සජිත් ප්‍රේමදාසට එම පක්ෂවල ප්‍රධානින් ගෙන් දැඩි බලපෑමක් එල්ලවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.

අගමැතිවරයාගේ ආරාධනය පිළිගෙන එම රැස්වීමට සහභාගී වියයුතු බවට එජාපයේ ප්‍රබලයින් දෙදෙනෙකු එම පක්ෂයේ  නායක රනිල් වික්‍රමසිංහට දැඩි ලෙස බලපෑම් කරමින් සිටින බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවෙතත්, මේවනවිට අප වෙත ලැබී ඇති නොනිල වාර්තා වලට අනුව සමගි ජන බලවේගය ද අගමැතිගේ සාකච්ජාව වර්ජනය කිරීමට බොහෝදුරට ඉඩතිබේ.

රටේ වත්මන් වාතාවරණයත් සමග ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යයි කියමින්, අගමැති මහින්ද රාජපක්ෂ විසින් හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන සදුදා (මැයි 04) අරලියගහ මන්දිරයට කැඳවා ඇත්තේ, මතුව ඇති ව්‍යවස්ථා අර්බුදයේ කොටස්කරුවන් බවට විපක්ෂයේ නායකයින් කොටුකර ගැනීමේ උපායමාර්ගයක් ලෙස යයි සමාජ මාධ්‍යය ඔස්සේ අදහස් දක්වන දේශපාලන ක්‍රියාකාරීන් අවධාරණය කරමින් සිටිති.

Anura MR

එවැනි තත්වයක් තුල ජනතා විමුක්ති පෙරමුණ සිය ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ, කොරෝනා ව්‍යසනයට මුහුණ දීමට හා පීඩාවට පත් ජනතාවට සහන සැපයීම පිළිබඳ සාකච්ඡා කිරීමට නම් කළයුතු හොඳම දේ වන්නේ ජනාධිපතිගේ හා අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයින් සියලු දෙනා කැඳවා අදාළ කාර්යය සඳහා ඔවුන්ගේ සහය ලබාගැනීම බවයි.

''මීට පෙර අගමැතිවරයා ලෙස ඔබතුමාගේ ප්‍රධානත්වයෙන් කැඳවූ පක්‍ෂ නායකයින්ගේ සාකච්ඡාවට අප පක්‍ෂය සහභාගී වූ බවද එහිදී අප පක්‍ෂයේ අදහස් හා යෝජනා ඉදිරිපත් කළ බවද මෙහිලා සඳහන් කරමු.'' යයි එම ලිපියේ  සඳහන් වේ.

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ගේ අත්සනින් යුතුව නිකුත්කර ඇති එම ලිපියේ මෙසේද දැක්වේ.

''අනෙක් අතට අප්‍රේල් 30වැනිදාට පසු රාජ්‍ය මුදල් වියදම් කිරීමට බලයක් නොමැති බවට අදහසක්ද පාර්ලිමේන්තුව විසුරුවා හැර මාස 3ක් තුළ අභිනව පාර්ලිමේන්තුව කැඳවීමට නොහැකි වීම මගින් මතුවන ව්‍යවස්ථාමය ගැටලුවක් පිළිබඳවද සමාජය තුළ මේ වනවිට සාකච්ඡාවක් මතුවී තිබේ. පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරු 225ම අරලියගහ මැදුරට කැඳවනු ලබන්නේ ඉහත ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීමට නම් එවැනි සාකච්ඡාවකින් ව්‍යවස්ථාමය ගැටලුවකට විසඳුම් ලබාගත හැකි වන්නේ නැත.

එබැවින් මෙම රැස්වීම කැඳවන්නේ ඉහත ගැටලුව සඳහා නම් ඒ සඳහා ගත යුතු නිවැරදි පියවර වන්නේ,

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාවට අනුව හදිසි තත්වයක් තුළ පාර්ලිමේන්තුව යළි කැඳවීම හෝ නොඑසේ නම්,

මෙවැනි තත්වයක් තුළ ගත හැකි ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම බව අපි දැඩිව විශ්වාස කරමු.

එසේ නොමැතිව ව්‍යවස්ථාවට අනුව කටයුතු නොකිරීම මගින් ආණ්ඩුව විසින්ම නිර්මාණය කරමින් තිබෙන අර්බුදය පිළිබඳව හිටපු මන්ත්‍රීවරු දැනුවත් කිරීම ප්‍රතිඵලදායක නොවන බව අප විශ්වාස කරන හෙයින් මැයි 04 වන දිනට කැඳවා ඇති රැස්වීමට මා ඇතුළු අප පක්ෂයේ හිටපු මන්ත්‍රීවරු සහභාගී නොවන බව මෙයින් දන්වා සිටිමු.''

cartoon 01.05.2020

ආණ්ඩුවේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් මත ජනාධිපතිවරයා දැඩි ස්ථාවරයක රඳවා,  අගමැතිවරයා නම්‍යශීලි බවක් පෙන්වමින් මෙවැනි සාකච්ජාවක් කැඳවා ඇත්තේ, COVID-19 වසංගත තත්වය ශ්‍රී ලංකාවේ සමාජ, ආර්ථික  ක්‍රියාවලියට මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයට ද බරපතල බලපෑමක් එල්ල කරමින් තිබියදීය.

ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා දින නියම කර තිබුණ ද රටේ පවත්නා තත්වය මත එදිනට ඡන්ද විමසීම සිදුකළ හැකිද යන්න තවමත් අවිනිශ්චිත බව පෙනෙන්නට තිබේ.

ඒ අතර කරලියට ආ කතිකාවක් වී තිබෙන්නේ අප්‍රේල් මස අවසානයෙන් පසු රජයේ මුදල් වියදම් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට තිබේද යන්නයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මූල්‍ය පිළිබඳ බලය හිමිවන්නේ පාර්ලිමේන්තුවටය. ඒ අනුව මුදල් අනුමත කිරීම පාර්ලිමේන්තුව විසින් සිදු කරනු ලැබේ. එම මුල්‍ය බලය පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XVII පරිච්ඡේදයේ සඳහන් වේ.

 

එකම වගන්තිය සාක්ෂි ලෙස පෙන්වීම:

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවාහැර අවස්ථාවක, මුදල් වියදම් කිරීමට බලතල ලැබෙන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 [03] ව්‍යවස්ථාව යටතේ විග්‍රහ කෙරේ.

act 150.3

එම වගන්තිය උපුටා දක්වමින් විපක්ෂයේ දේශපාලනඥයන් පෙන්වා දෙන්නේ අප්‍රේල් අවසානයෙන් පසු රජයේ මුදල් වියදම් කිරීමේ බලයක් ජනාධිපතිවරයාට නොමැති බවය. රටේ පවතින වාතාවරණය තුළ අභිනව පාර්ලිමේන්තුව ජුනි 02 වැනිදාට ප්‍රථම රැස්වීමේ හැකියාවක් ද නොමැතිවූ නිසා ව්‍යවස්ථාමය ගැටලුවක් මතුවන බව ද ඔවුහු පවසති.

එහෙත් එම වගන්තියම උපුටා දක්වමින් ආණ්ඩු පක්ෂය තර්ක කරන්නේ විපක්ෂය සඳහන් කරන පරිදි ජනාධිපතිවරයාට මුදල් වියදම් කිරීමේ ගැටලුවක් හෝ ව්‍යවස්ථාමය අර්බුදයක් පැන නොනගින බවය.

සමාජ කතිකාවට හේතු වී ඇති මෙම ගැටලුව ශ්‍රේෂ්ඨාධිකරණය හරහා විසඳා ගත යුතු බවට ද යෝජනා ඉදිරිපත් වී ඇත.

 

පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස කළ ඉල්ලීම:

මේ අතර අප්‍රේල් 27 වෙනි දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඒකාබද්ධ ලිපියක් යවන එක්සත් ජාතික පක්ෂය ඇතුළු විරුද්ධ පක්ෂ කිහිපයක නායකයෝ, කොරෝනා වෛරසය පැතිර යාම හමුවේ උද්ගතව ඇති තත්ත්වය සලකා බලා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මාර්තු දෙවෙනිදා දුන් නියෝගය ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් කරති.

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ නියෝගය ආපසු කැඳවීමට නොහැකි නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලතල ප්‍රකාරව විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට පියවර ගන්නා ලෙසත් රනිල් වික්‍රමසිංහ, ආර් සම්බන්ධන්, සජිත් ප්‍රේමදාස, පාඨලී චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුයුදීන් සහ රාවුෆ් හකීම්ගේ අත්සනින් ජනාධිපතිවරයා යොමු කළ ලිපියේ දැක්වේ.

 

ජනාධිපතිගේ ස්ථාවරය !

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී ඇත්තේ පැරණි පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපතිවරයාගේ කිසිඳු අදහසක් නොමැති බවයි.

ව්‍යවස්ථා අර්බුදයක් ගැන ජනාධිපතිවරයා කතා නොකළත්, ව්‍යවස්ථාවට පටහැණිව ක්‍රියාකිරීමට තමා සූදානම් නැති බව ඔහු කිහිප වරක්ම සඳහන් කර ඇත. ‘ව්‍යවස්ථාවට පිටින් ක්‍රියාකරන්නට එපා’ යයි ඔහුගේ ප්‍රධාන ආධාර කණ්ඩායම වන මහානායක ස්වාමීන්වහන්සේලාගෙන්ද ලැබී ඇති උපදේශයයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්