අයර්ලන්ත ජාතික සුප්‍රකට ගායිකාවක සහ ගි පද රචිකාවියක වූ ෂිනෙඩ් ඕ කොනර් පසුගිය වසරේ (2023) ජූලි මස විසිහය වැනිදා ලන්ඩන් නුවර ඇයගේ නිවස්නයේදී මියගියාය.

තවමත් හෙළිදරව් නොවූ  හෝ ප්‍රසිද්ධියට පත් නොකළ හේතුවකින්, මරණයට පත් වූ ඕ කොනර්, මිය යන තෙක්ම ලොව පුරා සංගීත ලෝලීන්ට ඇය ජනප්‍රිය දක්ෂ ගායිකාවක් පමණක් වූවාය.

එහෙත් ඇය බරපතල සමාජ ක්‍රියාකාරිනියක වූ බව, සමාජයේ අවවරප්‍රසාදිත ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන්, සමාජ සාධාරණත්වය වෙනුවෙන් අසීමාන්තිකව නොනවත්වා සටන් වැදුන අරගලකාරියක බව නව පරපුරේ සංගීත ලෝලීන් දැන නොසිටි තරම්ය.

irish singer sinead oconnor performs at paradiso amsterdam news photo 1621370492jpeg

ඇය කුඩා කාලයේ තම නිවස තුළ දීම අපයෝජනයට ලක් වූ බව ඇය ප්‍රසිද්ධියේ නොබියව කියා සිටි කාරණයකි, ඒ නිසා ඇයගේ ජිවිත කාලය පුරාම එවැනි හිංසනයන්ට ලක් වූ ප්‍රජාව වෙනුවෙන් ඇය නොබියව සටන් කළාය. ළමා සහ යොවුන් වියේ ඇය ලද ඒ ක්ෂතිමය අත්දැකීම් මෙන්ම, පසු කාලයේදී ඇයගේ අරගලකාරී ස්වභාවය හේතුවෙන් ජනමාධ්‍යයෙන් සහ සමාජයෙන් ලද ගැරහුම් අවමානත් නිසා, ඇය ජීවිතයේ පසු කාලයේ දී මානසික ‍අසමබරතාවයකින් ද තදබල ලෙස පීඩා වින්දාය. ඇයට ජිවිතය කිසි ලෙසක පහසු වූයේ නැත, එහෙත් ඇය කිසිවිටෙක ඇයගේ ජිවත් වීමේ පරමාදර්ශි අරමුණු අත් හලේ ද නැත.

පහතින් දැක්වෙන්නේ පසුගිය වසරේ (2023) අගෝස්තු මාසයේ, නික් ලෙවින් නම් ජනමාධ්‍යවේදීයා විසින් www.huckmag.com වෙබ් අඩවියේ පළකරන ලද ලිපියක් ඇසුරින් සම්පාදනය කළ සටහනකි.

ගායන ජිවිතය සහ සමාජ ක්‍රියාකාරීත්වය

1 6495136
“ මම විරෝධාකල්පී ගායිකාවක්. එළියට දාන්න හිතෙන දේවල් ගොඩක් මගේ පපුව ඇතුළෙ හිරවෙලා තියෙනවා. ප්‍රසිද්ධියට මගේ කිසි ආසාවක් නැහැ” ෂිනේඩ් ඕ කොනර් ඇයගේ Rememberings නම් ව්‍යක්ත මතක සටහන් එකතුවේ එසේ සඳහන් කරන්නීය. ඇයගේ ජිවිතයේ ප්‍රධාන ප්‍රතාපවත් පදාසය තුළ, දේවල් දෙකක් වඩාත් ‍වේදනාකාරී ලෙස එකට ගැට ගැසි ඇත. ඒ ගායනයෙන් ඇය ලැබු ප්‍රසිද්ධියත්, ඇයගේ සමාජ ක්‍රියාකාරීත්වයත්ය.

ඕ කොනර් යනු, ඇයට අවශ්‍ය නොවූ නමුත්, මඟහැරිය නොහැකි ‍ලෙස ප්‍රසිද්ධිය ඇය වෙත හඹා ආ, ආශ්චර්යමත් ලෙස ශූර විරෝධාකල්පී ගායිකාවකි. එම ප්‍රසිද්ධිය ඇයට ලෝක මට්ටමේ වේදිකාවක් තනා දුන් විට, ඇය එය යොදා ගත්තේ, තමන්ගේ වෘත්තීමය අභිවෘද්ධියට  නොව අසීරු සත්‍යයන් ලෝකය හා බෙදා ගැනීමටය. එය නිතරම පාහේ ඇයගේ ගායන වෘත්තියට මෙන්ම මානසික සෞඛ්‍යයට ද අහිතකර ලෙස බලපෑවේය.

001e83cd 1600

වයස අවුරුදු පනස් හයේ දී මෙලොවින් සමුගත් මේ ගායිකාව පිළිබඳ වැඩිමනත් කරුණු ලොව පුරා විසිරුණු සංගීත ලෝලින් දැන ගත්තේ, ඇය ජීවතුන් අතර සිටියදී නොව ඇයගේ මරණින් පසුව යැයි කීවොත් එය වඩා නිවැරදිය.  එමනිසා මේ වනවිට, කලා ලෝකය ඇය ගෞරවයෙන් යුතුව ස්මරණය කරන්නේ, ජනප්‍රිය ගීත ලැයිස්තුවල ඉහළින්ම සිටි දක්ෂ සහ ප්‍රසිද්ධ ගායිකාවක පමණක් ලෙසින් නොව, සංස්ථාපිත අධිපති බල අධිකාරින්ට නොබියව අභියෝග කළ වධකාර විරෝධතාකාරියක ද ලෙසය. ඇය සතු, පිටසක්වලින් ඇසෙන්නාක් සේ හැ‍‍ඟෙන අසාමාන්‍ය කටහඬත්, ඇයගේ හදපාරන, දයාවිරහිත ගී පදමාලාත් සේම, රුදුරු සත්‍යය වෙනුවෙන් නොනවත්වා ඇයගේම ජීවිතය අවදානමට ඇද හෙළූ, ඇයගේ සාහසික අවංකභාවයත් පිළිබඳ අයිකනයක් ලෙස සංගිත ලෝලීන් සදහටම ඇය සිහි තබා ගනු ඇත. 

ඕ කොනර් ඇයගේ පළමු ඒකල ගීත ඇල්බමය වන The Lion and the Cobra එළි දැක්වුයේ 1987 වර්ෂයේය.

එහෙත් ඇයගේ සංගීත දිවිය එකවර විශාල සාර්ථකත්වයක් අත්පත් කරගත්තේ, 1990 වසරේ I Do Not Want What I Haven’t Got ගීත ඇල්බමයේ ඇතුළත්ව තිබුණු එක් ගීතයක් නිසා යැයි කිවහොත් එය නිවැරදිය. සැබවින්ම ලෝ ප්‍රකට ගායිකාවක ලෙස ෂිනෙඩ් ඕ කොනර් වෙත, ජනප්‍රියත්වයත් අවධානයත් එකවර ගලා ආවේ, එම ඇල්බමයට ඇතුළත්ව තිබුණු, ඇමරිකානු සංගිතඥයෙකු සහ ගාය‍කයෙකු වන ප්‍රින්ස් ගේ Nothing Compares 2 U, නම් ගීතය පුනර්නිර්මාණයක් ලෙස, ඇය ගේ අද්භූතගණයේ ලා සැළකෙන කටහඬින් ගායනා කිරීමෙන් අනතුරුවය.

861702 thumb full trailer nothing compares showtim

ෂිනෙඩ් විසින් ගායනා කල ඒ ගීතය එක රැයින් මුළු ලෝකයේම සංගීත ලෝලින් ගේ නෙත් සිත් පැහැර ගත් නිර්මාණයක් බවට පත් වූයේය. විචාරකයන් ට අනුව එම ගීතයේ ඇය පෙනී සිටින අයිකෝනික වීඩියෝවේ, එක් කේන්ද්‍රීය මොහොතක දිස්වන, ඇයගේ දෑසින් කඳුළු රූරා වැටෙන  දර්ශනය හේතුවෙන් ඇය සුවිශේෂිතාවක් ඇති ගැහැණියක ලෙස ලෝකය හඳුනාගත්තේය. එම වීඩියෝවේ ඇයගේ නිරූපණය තුළ ප්‍රකට වන ගැඹුරු හැඟීම්බර බවත්, අචල විශ්වාසයත් ඕ කොනර් ගේ ජනප්‍රියත්වය සහ සමාජ ක්‍රියාකාරකම් වෙත ඇයගේ ප්‍රවේශය තුළ දී ද දැකිය හැකිය.

ඇයගේ සමස්ත සංගීත වෘත්ත්තීය පුරාම ඇය වෙත තිබුණු රැඩිකල් අවංකභාවයත්, පරිධියේ වෙසෙන අවවරප්‍රසාදිත ප්‍රජාව පිළිබඳව, සෙස්සන්ට තේරුම් ගැනීමේ සීමාවෙන් ඔබ්බෙහි තිබුණු සහකම්පනයත් විසින් නිරන්තරයෙන් සමාජය තුළ කොන් වූ, පිටස්තරයන් බවට පත් වූ ජනතාවට ගෞරවණීය ජීවිතයක් පිළිබඳ අපේක්ෂාවක් ලබා දුන්නේය.

GettyImages 997812516

ගතානුගතික සමාජයේ බල අධිකාරයේ පුපුරුවා හැරීම සඳහා වූ ඇයගේ බොහෝමයක් නිර්දය චණ්ඩිකම් ඇරඹුනේ Nothing Compares 2 U ගීතයෙන් ඇය ලද ජනප්‍රියත්වයෙන් පසුවය. නැවත ද සිහිපත් කරන්නේ නම් ඇය ලද ජනප්‍රියත්වය  ඇය යොදා ගත්තේ සමාජයෙන් විතැන්ව සිටින ජනතාවගේ අයිතින් වෙනුවෙන්ය. එවැනි ක්‍රියා මඟින් ඇයගේ ගායන සහ පෞද්ගලික ජිවිතයට විය හැකි හානිය පිළිබඳ ඇය යන්තමින් හෝ සැළකිලිමත් වූයේ නැත.

ෂිනේඩ් නිතරම පාහේ සංගීත වී‍ඩියෝවල පෙනී සිටියේ මුළුමනින් මුඩු කළ හිසකින් යුතුවය. ස්ත්‍රීන්ගේ නිර්මාණාත්මක හැකියාවට නොව, ස්ත්‍රීත්වයට සංගීත කේෂත්‍රයේ මිලක් නියම වීම පිළිබඳව ඇය දැඩි ලෙස විරෝධය පෑවාය. විචාරකයන්ට අනුව ඇය නොනවත්වා පවත්වා ගත් මුඩු හිසක් සහිත පෙනුම මතක් කර දුන්නේ, කාගෙත් සුරතලියක් වීමේ ඉඩකඩ ලබා දෙන ස්ත්‍රි පෙනුම ඇය ප්‍රතික්ෂේප කරන බවකි. ඇයගෙන් පසුව ජනප්‍රිය තලයේ ගීත ගායනයට පැමිණි බොහොමයක් ස්ත්‍රීන්, ෂිනෙඩ් ඕ කොනර්ගේ අයිකෝනික පෙනුම අනුගනමය කරන්නට වූහ.

ළමා අපයෝජනයට විරෝධය පෑම


1992 වසරේ ඔක්තෝබර් මාසයේ, ඕ කොනර් මාධ්‍ය වාර්තාවල ප්‍රධාන සිරස්තලය බවට පත් වූයේ  දෙවන පාවුළු පාප්වහන්සේගේ පින්තූරයක් Saturday Night Live(SNL) නම් ඇමරිකානු සජීවි රූපවාහිනී වැඩසටහනක ඉරා දමමින්, ‘සෑබැ සතුරා සමඟ සටන් කරන්නැයි’ පැවසීමෙන් අනතුරුවය. එක මොහොතකින් ඇය සමාජයෙන් පිටමං කළ චරිතයක් බවට පත් වූ අතර ප්‍රධාන දහරාවේ මාධ්‍යය විසින් නොනවත්වා ඇයට අවමන් කිරීමටත්, ඇයගේ ප්‍රතිරූපය විනාශ කරමින් ඇයට දරුණු ලෙස පහර ගසන්නටත් විය. ඉන්පසු සංගීත ඉදිරිපත් කිරීම් වලදි නිරන්තරයෙන් ප්‍රේක්ෂාගාරයේ ද සංගීත ක්ෂේත්‍රයේ බලපෑම් සහගත පුද්ගලයන්ගේ ද විවිධ නොපණත්කම්වලට  ඇයට මුහුණ දිමට සිදු වුයේය.

බාල වියේදී ළමා අපයෝජනයට ලක් වුණු දැරියක ලෙස ෂිනේඩ් ඕ කොනර්, කතෝලික පල්ලිය විසින් සිදු  කරන ලිංගික අපයෝජන ක්‍රියා සහ ඒවා සැඟවීමට ගන්නා සංවිධානාත්මක උත්සාහයන් පිළිබඳ නිතරම සිය හඬ අවධි කිරීමට සූදානමින් උන්නාය. විධිමත් විමර්ෂණාත්මක අධ්‍යයනයන්ගෙන් අනතුරුව, හරි හැටි විභාග නොකෙරුණු, ක‍තෝලික පල්ලියට විරුද්ධව සිදු කෙරුණු ලිංගික අපයෝජනවලට සම්බන්ධ පැමිණිලි 2000 ක් පමණ ඇති බව, ‍ෆ්‍රැන්සිස් පාප් වහන්සේ 2017 වසරේදී  ප්‍රසිද්ධියේ පිළිගත්තේය. එහෙත් 1992 වසරේ දී, ලෝකය එයට සවන් දීමට සූදානම්ව සිටියේ නැත.

attachment Sinead SNL

“මම අයර්ලන්ත ජාතික කාන්තාවක්. ඒවගේම මම අපයෝජනයට ලක් වුණු දැරියක්”  පාප්තුම‍ාගේ පින්තූරය ඉරා දැමීමෙන් පසු එම සිදුවීම පිළිබඳ ඇයගේ සෘජු ස්ථාවරය කියා පාමින් ජනමාධ්‍යය වෙත ඇය ලියූ විවෘත ලිපියක එසේ සඳහන් වී තිබුනි.  ජනප්‍රිය තරු තම ජීවිතවල ක්ෂතිමය අත්දැකීම් හෙළිදරව් කිරිම එතරම් ජනප්‍රිය නොවූ කාලයක, එම ලිපිය කලා ලෝකය කම්පනය කරවන සිදුවීමක් විය. “ මා අපයෝජනය වුණු හේතුව, ශුද්ධ වු රෝමානු අධිරාජ්‍යයේ පූර්ණ අවසරය ඇතිව බ්‍රිතාන්‍යයන් මගේ ජනතාවගේ අනන්‍යතාව සහ සංස්කෘතිය ඔවුන්ගෙන් උදුරාගත් සැටි කියැවෙන, මගේ ජනතාවගේ ඉතිහාසයයි. ඔවුන් එය අත් හැරියේ මුදලට සහ ජ‍ෙසුස් ක්‍රිස්තුන්ගේ නාමයෙනි”

අම්මා සහ ළමා අපයෝජනය



ෂිනෙඩ් ශාරීරික ලිංගික සහ මානසික අප‍යෝජනයන් ලෙස හඳුන්වා දිය හැකි, ළමා කාලයේ දී, තම මව ඇයට සැළකූ කෲරත්ව පිලිබඳ සිය මතකය නිතරම පාහේ සිහිපත් කරන අතර, 1987 ව‍සරේදී එම ක්ෂතිමය අත්දැකීම පිළිබඳව, Troy නමින් ගීතයක් ද එළි දැක්වුවාය. එය සැබවින්ම අයර්ලන්ත ගැහැණු දරුවන් උස් මහත් කරන පීඩාකාරී ස්වභාවය පිළිබඳව හෙළිදරව් කරන නිර්මාණයක් ලෙස විචාරකයන්ගේ පැසසුමට ලක්වූයේය.

සැබවින්ම සජීවි රූපවාහිනි වැඩසටහනේ(SNL), ඉරා දමන ලද ජෝන් පාවුළු පාප්තුමාගේ පින්තූරය, ඇයගේ මියගිය මවට අයිතිව තිබුණු එකකි. “මට අවශ්‍ය වූයේ මගේ අම්මාට අයිතිව තිබුණු පාප් තුමාගේ පින්තූරය විනාශ කර දැමීමටය.” ඕ කොනර් තම මතක සටහන් ඇතුළත් කෘතියේ එසේ ලීවාය. “ එය නියෝජනය කලේ බොරුව සහ අප‍යෝජනයයි” එසේම පළමුව කුඩා කාලයේ නිවසේ දී සහ තරුණියක ලෙස අයර්ලන්තයේ මග්දලේනා මානසික උපස්ථනාගාරයේ ජිවත්වන විට ඈ ලද විඳවීම් ඇයට පමණක් අනන්‍ය නොවූ ඒවා බව ඇය හොඳින්ම දැන සිටියාය. ඇයගේ විවෘත ලිපියේ ඇය මෙසේ ලිවාය. “ මගේ ජනතාවගේ කතාව අප්‍රිකානු, යුදෙව්, ඇමරි- ඉන්දියානු සහ දකුනු ඇමරිකානු ජනතාවගේ ද කතාවයි.

සමාජ අසාධාරණයට එදිරිව ගී ගැයීම

o sined
ඕ කොනර්, ඕනෑම ආකාරයක අයුක්ති සහගත තත්වයක් සම්බන්ධයෙන් දැඩි ලෙස සංවේදී වූවා පමණක් නොව ඒ පිළිබඳව දැඩි ලෙස කෝප ගත්තාය. 1990 එළි දැක්වූ ඇයගේ දෙවැනි ඇල්බමයේ ඇතුළත්ව තිබුණු  “Black Boys on Mopeds” ගීතය ඇය ගැයුවේ  බ්‍රිතාන්‍ය පොලීසියේ ම්ලේඡත්වයට සහ එවකට බ්‍රිතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර් ගේ වංකභාවයට විරෝධය පෑම සඳහාය. “ එංගලන්තය යනු රෝසමල් පිරුණු ජෝර්ජ් මහත්මියගේ කල්පිත භූමිය නොවෙයි” ඕ කොනර් එම ගීතයේ ආරම්භයේ දී එසේ ගයන්නීය. “ එය මොබෙඩ් යතුරුපැදි පදින කළු කොල්ලන් මරා දමන පොලිසියේ නිවස්නයි”



ෂිනෙඩ් ඕ කොනර් ඇයගේ ජීවිත කාලය පුරාම LGBTQ+ ප්‍රජාව සමඟ සමීප සැබැඳියාවක් පවත්වා ගත්තාය. 2000 ව‍සරේ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදි ඇය තමන්ව සමරිසි කාන්තාවක් ලෙස හඳුන්වා දුන් අතර වසර පහකට පමණ පසුව තවත් සංවාදයකදී ඇය පවසා සිටියේ තමන් “ හතරෙන් තුනක් විෂම ලිංගික, හතරෙන් එකක් සමලිංගික” ලෙස සැළකිය හැකි බවයි. ඉන් අනතුරුව 2014 වසරේ දි ඇය “ ලිංගික නැමියාව පිළිබඳ කිසිදු ආකාරයක ‍ලේබලයක් විශ්වාස නොකරන බව” පවසා සිටියාය.

ඕ කොනර් ගේ LGBTQ+ ප්‍රජාව සමඟ තිබුණු සැබැඳියාව එක් පාර්ශ්වයකට පමණක් නැඹුරු වූයේ නැත. ඇය 1987 වසරේ ඇයගේ විශ්මයජනක පළමු ගීත ඇල්බමය, The Lion and the Cobra එළි දැක්වුණු විට, ඉහත සඳහන් කළ පරිදි, ඇය පෙනී සිටියේ හිස මුඩු කරගත් ද්විලිංගිකබවක් කියා පාන විලාසිතාවකින් වන අතර,  ඇයගේ එම පෙනුම සමාජ සම්මතය තුළ ගැහැණු පිරිමි ලිංගිකත්වයන් තුළ තම අනන්‍යතාව පැහැදිලිව දැක්විය නොහැකි ජනතාව වෙතට ප්‍රභාමත් අයිකනයක් වූවාය.

sinead

ඉන් වසරකට පසුව ඇය සමරිසි ප්‍රජාවගේ Gay Pride උත්සවයකදී ගීත ගායනා කරමින් ඔවුන් වෙත ඇයගේ සහයෝගය පළ කර සිටියාය. ඇයගේ මරණයෙන් අනතුරුව එම ප්‍රජාවට අයත් සමාජ ක්‍රියාකාරිකයෙකු  ටිව්ටර් පණිවිඩයකින් පෙන්වා දුන්නේ, LGBTQ+ ප්‍රජාව මුහුණ දුන් දුෂ්කර කාල වකවානුවලදී ඇයගේ මැදිහත්වීම දේශපාලනිකව අතිශයින් වැදගත් වූ බවයි.

 
ඒඩ්ස් රෝගය සහ ගබ්සාව

ඇය එක්දහස් නවසිය අනු ගණන්වල සමාජ අපවාදයට පාත්‍ර වුනු ඒඩ්ස් රෝගය පිළිබඳව සමාජය දැනුවත් කිරීම වෙනුවෙන් පෙනී සිටියාට අමතරව බොහෝ සංවාද වලදී ඒඩ්ස් රෝගීන් සෙසු සමාජය විසින් ගැරහුමට ලක් කිරීම පිලිබඳව විරෝධය පළ කිරිමට ද අමතක නොකළාය.
 
වරෙක ඇය, තමන් ස්ත්‍රිවාදිනියක නොවන බව, ද ගාර්ඩියන් පුවත්පතට ප්‍රකාශ කොට සිටියත්, ඇය නිරන්තරයෙන්ම ඇය ගේ සංගීත භාවිතාව සහ ඇය දැරූ සමාජ භූමිකාව, කාන්තාවන්ගේ දරුවන් බිහිකිරීම සම්බන්ධ අයිතීන් වෙනුවෙන් පාවිච්චි කළාය. ඕ කොනර්, ගබ්සාවට පක්ෂව පැවැති රැළියක දී, කාන්තාව සතු තීරණ ගැනීමේ අයිතිය පිළිබඳ ඩබලින් නුවර දී රැස්ව සිටියවුන් ඇමතූයේ, 2018 වසරේ ජනමතවිචාරණයකින් අනතුරුව, ගබ්සාව අයර්ලන්තය තුළ නීතිගත කිරීමට අවුරුදු විසිපහකට පෙර දීය. එම වසරේදීම(1992) ඇය My Special Child නම් බැලඩ් කාව්‍යය ශානරයට අයත් ගීතයක් තුළින් ඇයගේ දරු කලලයක් ගබ්සා කිරීමේ අත්දැකීම සංවාදයට බඳුන් කළාය. “ මෙය ඔබ දැන ගත යුතුව ඇත, ඔව් ඔබ මට මහෝඝයක් විය” ගීතය තුළ කතා කරන වදන් උච්චාරණය කරන කොටසේදී ඇය මෙසේ ද පවසන්නී. “ඇය තෝරාගෙන ඇත
 
ගායිකාවක සහ සමාජ ක්‍රියාකාරිනියක ලෙස ෂිනෙඩ් ඕ කොනර් නම් පුරාවෘත්තය පිළිබඳ  සළකා බැලීමේදී 1990 වසරේදී ඇය ගැයූ The Emperor's New Clothes නම් ගීතය ඇයගේ ඉදිරි ජීවිතය පිළිබඳ පූර්වඥානයකින් යුතුව කළ නිර්මාණයක් සේ දැක්විය හැකිය. “මට කුමක් සිදුවූවත් මම මගේ ප්‍රතිපත්තිය අනුව ජීවත් වෙමි” ඇය අනුකම්පාවිරහිතව ගැයුවාය. “මම පැහැදිලි හෘද සාක්ෂියක් ඇතිව නිදමි, මම සාමයෙන් නින්දට යමි”ලෝකයාගේ ගැරහුම් අවමන් මැද  ඇය සම්බන්ධයෙන් දෙවැනි පද පෙළ එතරම් නිවැරදි නොවුනත්, කිසිදු සැකයකින් තොරව එහි පළමුවැනි පද පේළිය නම් සත්‍යයකි. සැබවින්ම සංගීත ලෝකයේ ඕ කොනර් වැනි නිර්භය අවංක පුද්ගලයන් හමුවන්නේ ඉතා කලතුරකිනි. ‍
 
 
ඇය කිසි දිනෙක ඇයව නැවත සොයා යෑමටත්, ඇය ලියූ ගැයූ ගේය පද තුළින් මතුවුණු කාරණා වෙනුවෙන් ජිවත් වීමටත් කිසිවිටෙක පැකිළුනේ නැත. 2014 වසරේ, ඇය විසින් නිකුත් කළ දසවැනි සහ අවසන් චිත්‍රාගාර ඇල්බමයට ශිර්ෂපාඨය යොදා තිබුනේ “ මම ලොකුකම් පාන්නේ නැහැ, මොකද මමයි ලොක්කා” ලෙසිනි - එය ඇය තුළ කිසි දිනෙක නැතිකර නොගත් හාස්‍යය මුසු නිර්මාණ ශක්තිය සංගීත ලෝලින්ට සිහි පත් කරවීමේ ඉඟියකි. 2018 වසරේදී ආගම සම්බන්ධයෙන් ඇය ගේ තිබුණු කැළඹුනු සහගත සබැඳියාවෙන් අනතුරුව ඇය  ඉස්ලාම් ධර්මය වැලළඳගත් බව නිවේදනය කොට, එතැන් සිට ඇයගේ පුද්ගල නාමය ෂුහාදා සදක් ලෙස දන්වා සිටිය ද සංගීත ලෝකයේදි ඇය ෂිනෙඩ් ඕ කොනර් ම වූවාය. ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීමේ ඇයගේ ක්‍රියාව ඇය හැඳින්වූයේ “දේවධර්ම ශාස්ත්‍රඥයෙකුගේ  බුද්ධිමය චාරිකාවෙ ස්වභාවික සමාප්තියක් ලෙසිනි”
sinead o connor
ඇය සැබවින්ම එක් ජීවිතයක් තුළ ජිවිත ගණනාවක් ගත කළ ගැහැණියක් විය, ඒහෙත් ඒ සියළු ව්‍යායාමයන්ගේ අරමුණ වූයේ, ඇය ඇතුළුව අසාධාරණයට සහ පීඩාවට ලක්වුණු, සමාජය තුළ පරිධියට විසිවුණු ජනතාවට හඬක් ලබා දිමය. කලා විචාරකයන් පවසන පරිදි ඕ කොනර් යනු ඇයගේ කාලයට වඩා ඉදිරියෙන් ජීවත් වූ ගැහැණියක් වූ අතර ඇයගේ දළදඬු අවංකභාවය වෙනුවෙන් ජීවිතයේ ඉතා ඉහළ මිලක් ඇය ගෙවා දැමූ නමුත් කිසිවිටෙක යටත් නොවූ, ශූර නිර්මාණකාරියකි. වර්තමාන යුගය තුළ සාමාන්‍යයෙන්, ජනප්‍රිය තරු සමාජ සහ දේශපාලනික කාරණා වෙනුවෙන් මැදිහත් වීම සමාජය විසින් අපේක්ෂා කරන දෙයක් වන අතර ඔවුන් මානසික සෞඛ්‍ය පිළිබඳ සංවාද මතු කරන විට ඔවුන්ව ප්‍රංශසාවට ද ලක් වන්නේය. එහෙත් මීට වසර තිහකට පමණ ඉහත දි ෂිනේඩ් ඕ කොනර් ඒ කාරණා පිළිබඳ හඬ අවධි කිරීම නිසා සමාජයේ අපහාසයට උපහාසයට මෙන්ම පීඩාවට ද ලක් වූවාය. ඉඳින් මේ නිර්භීත සහ ශූර ගැහැණිය මේ ලෝකයෙන්  වේලාසන සමු ගත්තේ  ඇයගේ සැබෑ වටිනාකම තේරුම්ගැනීමට හැකියාව තිබුණු යුගයක වීම සැබවින්ම ශෝචනීය තත්වයකි.
සෙසු මූලාශ්‍ර - www.democracynow.org/www.thenationalnews.com වෙබ් අඩවි
 

107100523 10219572135468943 8995555283426683952 n

සටහන - සුභාෂිණී චතුරිකා

2024.01.14 වැනි දින අනිද්දා පුවත්පතේ මුල් වරට පලවිය. 

අවධාරණය කිරීම් ඡායාරූප අපෙන්


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්