පොදු අවකාශයක් තුළ රැඳී සිටි පෙම්වත් යුවළ කිහිපයක් පොලිස් අත්අඩංගුවට ගැනේ. කාර්ගිල්ස් ෆුඩ් සිටි වෙළඳසැල තුළදී කාන්තාවක් ප්‍රසිද්ධියේ පහරකෑමට ලක් වේ.

මේ පසුගිය සතියේ සමාජ මාධ්‍ය අවකාශය තුළ විශාල අවධානයකට ලක් වූ සිද්ධීන් දෙකකි. 

මෙවන් සිදුවීම් මගින් පිළිඹිබු වන්නේ අප ජීවත් වන සමාජයේ පුද්ගල සහ සමාජ නිදහස කොතරම් සීමාවට ලක්ව තිබේද යන්නයි. ඉහත පළමු සිදුවීම තුළ පුද්ගල නිදහසේ අවකාශයට ප්‍රචණ්ඩ ලෙස කඩා වදින්නේ රාජ්‍යයේ මර්දනකාරී උපකරණයක් වන පොලිසීයයි. නමුත්, දෙවන සිදුවීමේදී කාන්තාවකට ශාරීරික ප්‍රහාර එල්ල කරමින් නීතිය අතට ගෙන හැසිරෙන්නේ පුද්ගලික වෙළඳ ආයතනයක සේවක පිරිසකි. එම ප්‍රහාරය වැලැක්වීම සඳහා අදාළ ආයතනයේ කළමනාකාරීත්වය මැදිහත් වී ඇති බවක්ද නොපෙනේ. මෙම සිදුවීම් දෙකෙන් සංකේතවත් වන්නේ මෙරට රාජ්‍යයේ ආධිපත්‍ය සහිත පොදු අවකාශය තුළ මෙන්ම ඊනියා නිදහස් වෙළඳපලේ අවකාශය තුළද පුද්ගල නිදහස ප්‍රචණ්ඩ ප්‍රහාරයන්ට ලක්වෙමින් පවතින බව නොවේද? 

වත්මන් වික්‍රමසිංහ පාලනයට සෘජුව හෝ වක්‍රව සහාය දක්වන ඇතැම් ලිබරල්වාදීන්ද ඉහත සිදුවීම් දෙක කෙරෙහි විවේචනාත්මකව අදහස් දක්වා තිබිණ. නමුත්, ඔවුනට මගහැරෙන කාරණය නම්, දැන් වික්‍රමසිංහ පාලනතන්ත්‍රය මහේක්ෂ තලයේ හැසිරෙමින් සිටින්නේ ඉහත සිදුවීම් දෙකේදී පොලිස් නිළධාරීන් සහ කාර්ගිල්ස් සේවකයින් ක්‍ෂුද්‍ර තලයේ හැසිරුණු ආකාරයටම බවයි.

පොලිස් ආඥාපනත වෙනස් කිරීමට යයි

පොලිස් නිළධාරීන් පෙම්වත් යුවළවලට පොදු අවකාශයේ ගැවසෙන්නට තිබෙන නිදහස සීමා කරන විට, වික්‍රමසිංහ පාලනතන්ත්‍රය සමාජ මාධ්‍ය අවකාශය තුළ අදහස් ප්‍රකාශනය සඳහා ඇති නිදහසට සීමා පනවන්නට ප්‍රයත්න දරයි. කාර්ගිල්ස් සේවකයින් නීතිය අතට ගෙන කාන්තාවකට පහර දෙන විට, වික්‍රමසිංහ පරිපාලනය ඉතාම සාමකාමී විරෝධතාවලට පවා පොලීසිය යොදවා පහර දෙන්නේ මූලික නෛතික පරාමිතීන් පවා නොතකා හරිමිනි. ආන්දෝලනයට ලක්ව තිබෙන විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පණත් කෙටුම්පත මගින් ගම්‍ය වන්නේ වත්මන් පාලනතන්ත්‍රය පුද්ගලික සහ සමාජ නිදහස සීමා කිරීමට කොතරම් උත්සුකභාවයක් දක්වන්නේද යන්නයි. ජන වරමක් නොමැති ජනාධිපතිවරයා මහජන උද්ඝෝෂණ මැඩ පැවැත්වීමට දරන ප්‍රයත්නය කොතරම්දැයි පසුගිය වසර පුරාම දැක ගන්නට ලැබිණ. ඉතාම සාමකාමී නිහඬ විරෝධතාවලට පවා පොලිස් පහරදීම් සිදු කරන ලද්දේ මූලික පුරවැසි අයිතීන් පිළිබඳව කිසිදු තැකීමක් නොකරමිනි. මහජන විරෝධය හමුවේ හකුළා ගන්නට සිදු වූ ප්‍රති-ත්‍රස්ත පණත මගින් ගම්‍ය වූයේ ආණ්ඩුව කෙරෙහි විවේචනාත්මක වන ඕනෑම අයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස සැලකීමේ නැඹුරුතාවකි. සුජාතභාවය පිළිබඳ බරපතල අර්බුදයකට මුහුණදෙමින් සිටින වත්මන් පාලනතන්ත්‍රය විවෘතවම මර්දනීය දිශාවකට හැරෙමින් සිටින්නේ නියමිත පරිදි පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ පවා පැවැත්වීමෙන් තොරවය.

ලිබරල්වාදී නරුමවාදය 

රනිල්ගේ කයිය ගැන මගේ කයිය... - (කේ. සංජීව)
වික්‍රමසිංහ පාලනයේ මෙම ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ ලිබරල්-විරෝධී චර්යාවෙන් මහත්ම අපහසුතාවට පත්ව සිටින්නේ ආණ්ඩුවට සහාය දක්වන මෙරට ඊනියා ලිබරල් සිවිල් සමාජ කොටස්ය. දැන් වික්‍රමසිංහ-හිතවාදී ලිබරලුන් හට පැවරී ඇති නව කාර්යභාරය වී තිබෙන්නේ මෙතෙක් කලක් තමන් විසින්ම නියෝජනය කරන ලද මූලික මිනිස් අයිතීන්, භාෂණයේ නිදහස, බහුත්වවාදය යනාදී දේ සියතින්ම වළ දැමීමේ කාර්යභාරයයි. නොඑසේනම්, එම ලිබරල් වටිනාකම් විනාශ කරන්නා වූ අත්තනෝමතික පාලනතන්ත්‍රයක හැසිරීම් යුක්තිසහගත කිරීම සඳහා න්‍යාය සම්පාදනය කිරීමට ඔවුනට සිදුව තිබේ. එය ඉතාම දරුණු දඬුවමක් බවට සැකයක් නැත. නමුත්, අවාසනාවකට ලාංකීය ලිබරල්වාදීන් වික්‍රමසිංහ පාලනයට සෘජුව හෝ වක්‍රව සහාය ලබා දෙන තාක් කල් ඔවුන්ට මේ අප්‍රියජනක සහ ලැජ්ජාසහගත දඬුවමෙන් මිදිය නොහැකි වනු ඇත. මේ නව තත්ත්වය තුළ ආචාරධාර්මික අර්බුදයකට පත්ව සිටින ලාංකීය ලිබරල්වාදීන්ගේ මානසික තර්කණය පැහැදිලි කළ හැක්කේ 'නරුමවාදී දෘෂ්ටිවාදයක්' ලෙසයි. 

දෘෂ්ටිවාදය පිළිබඳ ප්‍රචලිත මාක්ස්වාදී තේරුම් කිරීමක් වූයේ මාක්ස් ඔහුගේ ප්‍රාග්ධනය කෘතියේ සඳහන් කළ පරිදි "ඔවුන් එය දන්නේ නැහැ; නමුත්, ඔවුන් එය කරමින් සිටිනවා"ය යන්නයි. මෙහිදී දෘෂ්ටිවාදය සලකන ලද්දේ සමාජ යථාර්තය පිළිබඳ අනවබෝධයක් තුළින් ජනනය වන්නක් ලෙසයි. සමාජ යථාර්තය පිළිබඳ සාවද්‍ය තේරුම් ගැනීමක් ලෙසයි. නැතහොත් යථාර්තය මත පළඳවන ලද මිත්‍යාමතික මුහුණු ආවරණයක් ලෙසයි. මීට වෙනස්ව, ජර්මානු චින්තකයෙකු වන පීටර් ස්ලොටර්ඩික්ව උපුටා දක්වමින් ශිෂෙක් පෙන්වා දෙන්නේ සමකාලීන යුගයේ දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ නරුමවාදී මාදිලියකින් බවයි. නරුමවාදී විෂයන් සමාජ යථාර්තය පිළිබඳව දැනුවත්ය. යථාර්ථය සහ ඒ මත පළඳවන ලද දෘෂ්ටිවාදීමය මුහුණු ආවරණය අතර පවත්නා පරතරය ගැනද දැනුවත්ය. එම මුහුණු ආවරණයෙන් ඉටු කෙරෙන උවමනා එපාකම් ගැන හොඳින්ම දැනුවත්ය. නමුත්, ඔවුන් දිගින් දිගටම හරියට එම දෘෂ්ටිවාදී ආවරණය සැබෑවක් වන්නාක් සේ එය වෙනුවෙන් පෙනී සිටියි. 

මෙහිදී ක්‍රියාත්මක වන මානසික තර්කණය වන්නේ "ඔවුන් කරන්නේ කුමක්දැයි ඔවුන් හොඳින්ම දනී; නමුත් ඔවුන් දිගටම එය කරමින් සිටී"ය යන්නයි. දැන් වික්‍රමසිංහ පාලනයට සහයෝගය දක්වන ඉංග්‍රීසි කතා කරන ලිබරල්වාදීන් මෙන්ම සිංහල කතා කරන ඊනියා පශ්චාත් නූතනවාදී පඬිවරුන්ද ක්‍රියාත්මක වන්නේ මෙම නරුමවාදී දෘෂ්ටිවාදයට අනුව නොවේද? වත්මන් පාලනතන්ත්‍රයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ ලිබරල්-විරෝධී ස්වභාවය ගැන ඔවුන් දැනුවත්ය. අද පවතින්නේ වෙනස් මත දැරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ සහ විරෝධතා දැක්වීමේ මූලික අයිතීන් නොඉවසන අධිකාරීමය පාලන තන්ත්‍රයක් බව ඔවුහු දනිති. අත්තනෝමතික ලෙස මැතිවරණ නොපවත්වා සිටින තත්ත්වයක් තුළ ජනතා ස්වාධිපත්‍යයේ මූලධර්මය ඇස් පනාපිට උල්ලංඝනය කෙරෙමින් තිබෙන බව ඔවුහු දනිති. ආර්ථික අර්බුදය විසඳීමේ වික්‍රමසිංහ ප්‍රවේශය තුළ දරිද්‍ර සමාජ කොටස් තව තවත් පීඩනයට ලක් වන බවත් මෙරට ව්‍යාපාරික-දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ 'මාෆියා ධනවාදී' අභිලාෂයන් ආරක්ෂා වන බවත් ඔවුහු හොඳින්ම දනිති. විශේෂයෙන්ම අවිධිමත් අංශයේ ශ්‍රමික ප්‍රජාව සහ විරැකියාවෙන් පෙළෙන ජනයා ආර්ථිකය සංකෝචනය කිරීමේ වික්‍රමසිංහ-අයි.එම්.එෆ් උපායමාර්ගයෙන් වැඩිම පීඩනයකට ලක්වෙමින් සිටින බව ඔවුහු දනිති. නමුත්, මේ සියල්ල දන්නා නරුමවාදී විෂයන් තව දුරටත්  තම දේශපාලන ස්වාමියා හට සහාය දීම සඳහා විවිධ හේතූන් සොයා ගැනීමටද එතරම්ම සමත්ය!  

භූ-දේශපාලනය මෝඩයෝ!

Screenshot 2023 10 02 at 18.59.03
කෙසේ වුවත්, නරුමවාදී දෘෂ්ටිවාදය ක්‍රියාත්මක වන්නේ කිසියම් බල දේශපාලනික තර්කණයකට අනුව බවද මෙහිදී අවධාරණය කළ යුතුව තිබේ. වික්‍රමසිංහ හිතවාදී ලිබරල්වාදීන් එළිපිට නොකියන එම දේශපාලනික තර්කණය වටහා ගැනීමට අප හැරී බැලිය යුත්තේ දේශපාලන ආර්ථිකය නමැති විෂය ක්ෂේත්‍රය දෙස පමණක් නොවේ. ඒ සමග සමීපව බැඳුණු තවත් විෂය ක්ෂේත්‍රයක්, එනම් භූ-දේශපාලනය, දෙසද අප හැරී බැලිය යුතුය. බටහිර ලෝකයේ ඇතැම් ලිබරල් න්‍යායවේදීන්ගේ වියුක්ත දේශපාලන විශ්ලේෂණ තුළ මග හැරෙන දේශපාලන ආර්ථිකයේ වැදගත්කම අවධාරණය කරමින් ශිෂෙක් 'දේශපාලන ආර්ථිකය මෝඩයෝ!' (political economy, stupid!) යන උද්දෘතය ඉදිරිපත් කළේය. එපරිදිම, අප දැන් ලාංකීය ලිබරල්වාදීන්ගේ වික්‍රමසිංහ හිතවාදීත්වයේ රහස නිරාවරණය කරගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු උද්දෘතය වන්නේ 'භූ-දේශපාලනය මෝඩයෝ!' යන්නයි. 

මෙරට ලිබරල්වාදී බුද්ධිමය ශ්‍රේණියක් ගොඩ නැගී විකාශනය වීමට විශාල වශයෙන් දායක වූ සාධකයක් නම් 1980 දශකයේ සිට ව්‍යාප්ත වූ විදේශ ආධාර ලබන රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වයයි. එම සංවිධාන අතුරින් බොහොමයකගේ වැඩ සටහන් රාමුගත වූයේ යුරෝපීය සහ උතුරු ඇමෙරිකානු දේශපාලන ලිබරල්වාදී දෘෂ්ටිවාදී පිළිගැනීම් මතය. එය කිසිසේත්ම පුදුමයට කාරණයක් නොවේ. මන්දයත්, ලංකාවේ පමණක් නොව දකුණුදිග ලෝකයේ සෙසු බොහෝ තැන්වල මෙසේ ලිබරල් රාජ්‍ය නොවන සංවිධාන ජාලයක් නිර්මාණය වූයේ බ්‍රෙටන්වුඩ්ස් ආයතනවල මූල්‍ය ප්‍රතිපත්තිවල ඇති වූ වැදගත් පරිවර්තනයක් කරණ කොටගෙනය. එනම්, ගෝලීය දකුණේ රාජ්‍යවලට මූල්‍ය ආධාර සහ ණය සැපයීමට සමාන්තරව එම රටවල සිවිල් සමාජ සංවිධානවලටද ආධාර කළ යුතුය යන ස්ථාවරයට ඔවුන් පැමිණීමයි. තදනන්තරව මෙම ප්‍රතිපත්තිය ඊනියා වොෂින්ටන් සම්මුතිය සමගද ගැලපිණ. 1991 දී සීතල යුද්ධය අවසාන වීමත් සමග එක්සත් ජනපදය ප්‍රමුඛ ඒක-ධ‍්‍රැවීය ලෝක පර්යායක් නොහොත් ඊනියා ලිබරල් ජාත්‍යන්තර පර්යායක් ගොඩ නැංවීමේ ප්‍රයත්නය සමගද ගැලපිණ. ලංකාවේ ව්‍යාප්ත වූ එන්.ජී.ඕ ලිබරල්වාදී දේශපාලනය පිළිබඳව කොතරම් විවේචන පැවතුණද විශේෂයෙන්ම මෙරට බහුතරවාදී ජාතිකවාදයේ ආධිපත්‍ය තුලනය කිරීම සඳහාත් ක්‍රියා පටිපාටිමය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහාත් ඒවායින් සාධනීය මෙහෙවරක් ඉටුව තිබේය යන්න මගේ අදහසයි. 

නමුත්, දැන් එම ලිබරල්වාදී බුද්ධිමය ශ්‍රේණිය උභතෝකෝටික ගැටලුවකට මැදිව සිටී. එක් අතකින්, දේශීය තලයෙහි ඔවුන් සාම්ප්‍රදායිකව වැඩි හිතෛශී බවක් දක්වනු ලබන දේශපාලන නායකත්වය දැන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අමු අමුවේ උල්ලංඝණය කරන ප්‍රභූ-තාන්ත්‍රික පාලනයක් නිර්මාණය කරමින් සිටියි. අනෙක් අතින්, ජාත්‍යන්තර තලයෙහි ඔවුන් වැඩි හිතෛශී බවක් දක්වන දේශපාලන කඳවුර එම දේශීය ප්‍රභූ-තාන්ත්‍රික පාලනයට උපායමාර්ගික සහයෝගය දක්වන තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබේ. මේ දෙවන කාරණය එක් සරල ප්‍රවාදයක් මගින් වටහාගත හැකිය. එනම්, එක්කෝ කිසියම් ගෝලීය දකුණේ රටක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හෝ නැතහොත් එම රට තුළ තමන්ට ඇති භූ-දේශපාලනික අභිලාෂයන් යන දෙකින් එකක් තෝරා ගන්නට සිදුවන විටෙක ඊනියා බටහිර ප්‍රජාතාන්ත්‍රික බලවතුන් තෝරාගනු ලබන්නේ දෙවැන්න බවයි. සැබවින්ම, පළමුවැන්න ඔවුනට නිතරම වැදගත් වනුයේ දෙවැන්නට යටත්වය. (මේ සඳහා පසුගිය සියවසේ ජාත්‍යන්තර දේශපාලන ඉතිහාසයෙන් ඕනෑතරම් සාක්‍ෂි ඉදිරිපත් කළ හැකිය). 

 

5e68ee234011f63206e7eaaa72786bf41894b584 aout2019 en

මේ අනුව, වත්මනෙහි ඉන්දු-පැසිෆික් කලාපයේ චීනයේ ආධිපත්‍ය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ ක්‍රියාන්විතය ප්‍රමුඛත්වයට පැමිණ තිබෙන තත්ත්වය තුළ ඔවුනට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව තුළ එම ක්‍රියාන්විතයට වැඩිම සහයෝගය දක්වනු ලබන පාලන තන්ත්‍රයක් බලයේ සිටීමය. අයි.එම්.එෆ් වැඩ සටහනද ඉහත ක්‍රියාන්විතයේම අංගයක් ලෙස සැලකීම සාධාරණය. වික්‍රමසිංහගේ සාර්ථකත්වය වන්නේ ඔහු ඉන්දු-පැසිෆික් බල අරගලයේ තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකාව තුළ අයි.එම්.එෆ්-එක්සත් ජනපද අභිලාෂයන් වඩාත් හොඳින් ක්‍රියාවට නැගිය හැකි පාලකයා තමන් බව පෙන්වන්නට සමත් වීමයි. කෙසේ වුවත්, ඔහුගේ පැවැත්ම වියහැකියාවක්ව ඇත්තේ දේශීය අර්බුදයට සමාන්තරව පවතින මෙම ගෝලීය බලවේගවල පෙළ ගැස්ම හමුවේ නිර්මාණය වූ සුවිශේෂී වාතාවරණයක් තුළය. එම වාතාවරණය සාධනීය එකක් යැයි දකින ලාංකීය ලිබරල්වාදීන් බහුතරයකට දැන් සිදුව ඇත්තේ වික්‍රමසිංහ පාලනයේ ප්‍රජාතන්ත්‍ර-විරෝධී සහ ලිබරල්-විරෝධී චර්යාවන් නෑසූ කන්ව සිටීමටය.                                                  

අධිකාරීමය නව-ලිබරල් රාජ්‍යය 

මෙම සුවිශේෂී තත්ත්වය තුළ දැන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන්නේ ශන්තාල් මූෆ් වසංගතයෙන් පසු ලෝකය තුළ නිර්මාණය වනු ඇතැයි බිය පළ කළ ආකාරයේ 'නව-ලිබරල් අධිකාරීමය පාලනයකි.' එම පාලනය තුළ ජන ජීවිතයට අදාළ තීරණාත්මක ගැටළු ගැන තීන්දු තීරණ ගනු ලබන්නේ හුදෙකලා තාක්ෂණ-කළමනාකරණ පන්තියක් විසිනි. ජනතා නියෝජනය යන්න ඒ තුළ කිසිසේත්ම වැදගත් සාධකයක් නොවේ. මැතිවරණ පවා අත්හිටුවා ඇති රටක ජනතා ස්වාධිපත්‍යයක් ගැන කියනුම කවරේද? ලිබරල්වාදී බුද්ධි ශ්‍රේණීන් වත්මන් අධිකාරීමය පාලන තන්ත්‍රය කෙරෙහි නිහඬ අනුමැතියක් දක්වමින් සිටින අතර දැන් මෙරට ප්‍රගතිශීලී දේශපාලනයේ පළමු කර්තව්‍ය බවට පත්ව තිබෙන්නේ අහිමි වූ ජනතා ස්වාධිපත්‍ය නැවත දිනා ගැනීමයි. එය දැන් ලාංකීය සන්ධර්භය තුළ සහශ්‍රක සමාජවාදයේ මූලික නිෂ්ටාවක් බවට පත් විය යුතුව තිබේ. 

එසේම, අහිමි වෙමින් යන පුද්ගල සහ සමාජ නිදහස වෙනුවෙන් අරගල කිරීමද ලිබරල්වාදීන්ගේ අතින් තරුණ වාමාංශිකයින් අතට මාරුවෙමින් තිබෙන බවක් පෙනේ. පසුගියදා බලහත්කාරී ලෙස අත් අඩංගුවට ගන්නා ලද පෙම්වත් යුවළවල අයිතීන් වෙනුවෙන් වැඩිමනත්ම හඬ නැගුවේ රැඩිකල් වාමාංශික තරුණ කණ්ඩායම් වීමෙන් සංකේතවත් වන්නේ ලාංකීය රැඩිකල් ප්‍රජාතාන්ත්‍රික දේශපාලන ධාරාවක වියහැකියාව විය නොහැකි ද?       


නිදහසෙන් පළායාම දේශපාලන සාධකයක් ලෙස - (සුමිත් චාමින්ද)(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


සබැඳි ලිපි :


JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්