ඉන්දියානු මහමැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය (බීජේපී) විශිෂ්ඨ ජයග්‍රහනයක් ලබා ගත්තේය.

එය 2014 ලබාගත් ජයග්‍රහණයට වඩා අති විශිෂ්ඨ ජයග්‍රහනයකි. එහෙත් අපට කතා කරන්නට තිබෙන්නේ මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබු කොන්ග්‍රස් පක්ෂය හා ඒ සමග සන්ධාන ගතවු අනෙකුත් ප්‍රාදේශීය පක්ෂ වලට අත්වු ඉරණම පිලිබඳවය.

මේ පිළිබඳව කතා කරන කල, ඉන්දියාවෙන් ලංකාවට උගත හැකි පාඩම් සහ ආනයනය කිරීමට ඉඩ ඇති ප්‍රවණතා කීපයක්ද නැතුවා නොවේ.

ඉන් එකක් වන්නේ බීජේපීයෙන් යහපාලන ආණ්ඩුවට උගෙනගත හැකි පාඩමයි. ඒ බලයේ සිටින ආණ්ඩුවක් සාමාන්‍යයෙන් ජන ආකර්ෂණයෙන් වියෝවීමකට ලක්වුවද එවැනි ප්‍රවනතාවයක් පරදා තමන් කලින් ලැබු ජයග්‍රනයන් ද ඉක්මවා යන ජන ආකර්ෂණයක් ලබාගතහැකි වුයේ කෙසේද යන්න පිලිබඳවය.

දෙවැන්න කොන්ග්‍රස් පක්ෂයෙන් සහ එහි නායක රහුල් ගාන්ධිගෙන් එජාපයටය. ඒ කොන්ග්‍රසයට අත් වූ දැවැන්ත පරාජය වැනි දෙයක් අනාගතයේදී එජාපයට අත් නොවන්නට නොකළ යුතු මෙන්ම අත්හැරිය යුතු දෑ පිලිබඳවය.

තුන් වනුව පවුල් දේශපාලනය පිබඳවය. එය නම් අපේ සමස්ත ජනතාවට හා සියලු පක්ෂ සඳහාය.

 

මෝදීගේ ආකර්ෂණීය නායකත්ව පෞරුෂය හා නිරාගමික දේශපාලනයේ අනාගතය !

බීජේපීයේ මෙම ජයග්‍රනය පිටුපස ඇති මුලික සාධකය වන්නේ නරේන්ද්‍ර මෝදීගේ ප්‍රායෝගික මෙන්ම ආකර්ෂණීය නායකත්ව පෞරුෂයයි. එසේම එම ජයග්‍රහනයේ නියම හිමිකරුවා මේවන විට ඉන්දියාව තුළ හොඳින් ස්ථාපිත හින්දුත්වය පදනම් කරගත් ජාතිකවාදී දේශපාලන යයි.

කොන්ග්‍රසයේ අන්ත පරාජයත් සමග අවසානයට පත් වූයේ නිරාගමික දේශපාලනයයි (secular politics). පශ්චාත් යටත් විජිත ඉන්දියානු දේශපාලනයේ පදනම වුයේ රාජ්‍ය පාලනයේ නිරාගමික ප්‍රවිශ්ඨයයි. ඒ සඳහා ව්‍යවස්තානුකූල පදනම සැකසුවේ අම්බෙඩ්කාර් ගේ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවයි. බහුවාර්ගික ඉන්දියාවේ දේශපාලන ස්ථාවරත්වයේ පදනමවුයේ එයයි.

මෝදිගේ මැතිවරණ ජයග්‍රහනයේ සුනාමියෙන් බැටකන ඉන්දියානු නිරාගමික දේශපානයේ වියෝව අනාගත ඉන්දියාවේ හැඩතලයට කුමන ආකාර වු වෙනස් කමක් සිදුකරනු ඇත්තේද යන්න අනාගතය විසින් තීරණය කරනු ඇත. හින්දුත්ව දේශපාලනය දශක හතක් තිස්සේ ඉබි ගමනින් පැමිණ මෝදි හරහා එහි කූඨප්‍රාප්තියට පැමිණ තිබේ. අවසානයේ දී වජ්පායිට හෝ අද්වානිට ඉටුකරලීමට නොහැකි වූ දෙය මෝදි විසින් ජයගත්තේය.

 

කොන්ග්‍රස් පක්ෂයේ දුර්වල නායකත්වය :

මෝදි ගේ මෙම ජයග්‍රහනයට ඉමහත් වූ පිටුවහලක් සපයනු ලැබුවේ කොන්ග්‍රස් පක්ෂයේ දුර්වල නායකත්වය සහ පක්ෂ සංවිධානයයි. වර්තමාන පරාජය නේරු ලා ගොඩනැගූ ප්‍රගතිශීලි කොන්ග්‍රස් පක්ෂය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට එම පක්ෂයේ සමාජිකවයට දැන් බලකරමින් සිටී.

එසේ නොකරන්නට කොන්ග්‍රසය දේශපාලනික ඩයිනෝරයකු වීම වලක්වාගත නොහැක්කක් බව ඉන්දියානු විචාරකයන් ගේ මතය වී තිබේ. ඒ සමගම ඔවුනට විසිඑක්වන සියවසේ ඉන්දියාව යනු කුමක්ද යන්න පිලිබඳවත් නැවත අධ්‍යනය කළ යුතුව තිබෙන බව ඉන්දියාවෙන් ඇසෙන හඬකි.

ඉන්දියාව යනු කුමක්දැයි ජනසමාජය විසින් අර්ථගන්වා ඇති අතර, ඔවුන්ගේ අදහස වඩාත් තේරුම් ගෙන ඇතැයි පෙනෙන්නට ඇති පක්ෂය ජයග්‍රහනය කිරවා තිබේ. වර්තමාන කොන්ග්‍රසයට මේ කිසිවක් වැදගත් නොවුයේය.

පවුල්වාදයෙන් මුසපත්ව සිටි කොන්ග්‍රස් පක්ෂය නිවැරදි සහ ජනතාවාදී දැක්මකින් පහස නොවින්දේය. දශක දෙකකට අධික කාලයක් ස්වභාවික නායකයකු පරිනාමය කරගැනීම අතපසු කළේය. එසේම කලින් කලට පුත්කුමරා අභිෂේකයට සකස් කරන තෙක් දේශපාලන ආගන්තුකයන් යොදා රට පාලනය කරවුයේය.

2014 තෙක් පැවති ක්‍රොන්ග්‍රස් රජය නරේන්ද්‍ර මෝදි නම් වූ දේශපාලන චරිතය නිෂ්පාදනය කොට සමාජයට දායාද කොට දුන්නේය. 2014 මෝදි ලෝක් සභාව තුළ ලබා ගත්තේ ආසන 282 කි. මෙවර බිජේපිය ආසන 303 ක්ද තම සන්ධානය තවත් ආසන 47 ක්ද මුලු ආසන 582 ක් සහිත ලෝක් සභාව තුළ දිනා ගැනිමට සමත්ව තිබේ.

මෙවර කොන්ග්‍රසයට දිනාගැනිමට හැකියාව ලැබී ඇත්තේ ආසන 52 කි. එහි සන්ධානගත පක්ෂ තවත් ආසන 33 ක් දිනාගෙන තිබේ. නමුත් තේරී පත්ව ඇති ස්වාධීන මන්ත්‍රීවරු ගණන 108කි. එ අර්ථයෙන් කොන්ග්‍රසය ගිනිය හැක්කේ එරටෙහි තුන්වන පෙලට වැටුණු දේශපාලන බලවේගයක් ලෙසටය.

ඉන්දියානු සමාජය කොන්ග්‍රසයට කියා ඇත්තේ තවදුරටක් තමන් පවුල් දේශපාලනය සහ ඒ තුළ පවතින ප්‍රභූවාදය නොඉවසන බවය.

 

ලංකාවේ දේශපාලනයට ඇති බලපෑම !

ඉන්දියානු දේශපාලනය සහ ශ්‍රී ලංකාවේ දේශපාලනය අතර පවතින්නේ අහසට පොලව මෙන්වු වෙනසකි.

නමුත් එකි වෙනස්කම් මධ්‍යයේ පවා අප රට තුළ අනාගතයේ දී ඇතිවිය හැකි දේශපාලනික ප්‍රවනතාවයන්ට යම් යම් සාධක මගින් ඇති කළ හැකි බලපැම් පිලිබඳව අදහසක් ගැනිමට ඉන්දියාවේ ඇති වූ තත්වය අපට නිර්නායක සහිත මග පෙන්විමක් වනු ඇත.

ඉන් පළමුවැන්න නම් සිංහල ජාතිකවාදය සහ ස්වදේශිකවාදයෙහි නැගීමයි. දෙවැන්න වර්ථමාන යහපාලන ආණ්ඩුවේ දේශපාලනික ශේෂ පත්‍රයට අනුව ජනතාව විසින් එජාපයේ අනාගතය කෙලෙස තීරණය කරනු ඇත්තේ ද යන සාධක යයි. තුන්වැන්න ඉදිරි පලමුව ජනතාවට අභිමුඛ වන මැතිවරනය වන්නේ ජනාධිපතිවරණයද මහමැතිවරනය ද යන සාධක යයි.

මහමැතිවරණයක් පළමුව පැවැත්වෙන්නේ නම් ඉන්දියාවේ කොන්ග්‍රසයට සිදු වූ ලෙසටම එජාපයට බරපතල තත්වයකට මුහුණ දීමට සිදු වනු ඇත. එම ප්‍රතිඵලය සිංහල ජාතිකවාදයේ ජයග්‍රහනය ද සනිටුහන් කරනු ඇත.

එහෙත් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණයක් නම් ඇතිවන ප්‍රතිඵලය පුර්ණ ලෙසටම වෙනස් ප්‍රතිපලයක් වීමට ඉඩ ඇත.

එහෙත් එවැනි වෙනසක් සඳහා සිදු කළ යුතු වෙනස්කම් බොහොමයකි. ඒ සඳහා නම් අපට ඉන්දියාවෙන් ලබාගත හැකි පාඩම් බොහෝය.

Shiral lakthilaka (ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතාගේ FB පිටුවෙන් උපුටා ගන්න ලදී)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්