ලියන්න සිටි කතාවට පෙර ලිවිය යුත්තක් රාත්‍රියෙහි ඇස ගැටුණි. ඒ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට නොව ඒ කිට්ටුව ඇමරිකාවට විරුද්ධව උද්ඝෝෂණය කිරීමට ආ පෙරටුගාමීන් අත්අඩංගුවට ගැනීමත් සමගය.

පෙරටුගාමීන්ගේ විරෝධය සමග විරෝධයක් අපට ඇතත්, එය මර්දනය කළ ආකාරය ගැන ඊට වඩා දරුණු පිළිකුලක් කම්පාවක් ඇත.

 ආණ්ඩුවට කත් අදින හිරු, දෙරණ වැනි මාධ්‍යවලට මේ පුවත සර්ව සාධාරණය. එනම් කොරෝනා අස්සේ මොන උද්ඝෝෂණද පන්නයේ කතා ඔවුන් මවති. මේ අය මේ ආකාරයට කුදලාගෙන ගොස් අහවර කිරීම කළ යුතු එකම වැඬේ ලෙස අරුත් සපයති. මේ ජඩ මාධ්‍ය සිටින තාක් රාජපක්ෂලාට වෙනම ආණ්ඩු මාධ්‍ය වුව වුවමනා නැත. ඒවාට මේ දෙක සමග හැරෙන්නටවත් බැරිය.

''සැබැවින්ම ප්‍රවෘත්ති ලෙස බැලිය හැක්කේ සිරස ප්‍රවෘත්තිය''

සැබැවින්ම ප්‍රවෘත්ති ලෙස බැලිය හැක්කේ සිරස ප්‍රවෘත්තිය. ඒ තුළ කුමන අඩුපාඩු තිබුණත් සිද්ධීන්වල සැබෑව දැකගත හැකිය. රටේ ජල බිඳක් නැතුව දුක් විඳින ජනයා කොපමණද? කෑමක් නැති, වගා කළ අස්වැන්න විකුණාගත නොහැකි, වන අලින්ගෙන් දුක් විඳින පීඩිත මිනිසුන්ගේ ප්‍රශ්න කන්දරාවක් ඒ ප්‍රවෘත්ති තුළ ඇත. සිරස ප්‍රවෘත්ති බලන විට රටේ ප්‍රශ්න කප්පරකි.

දෙරණ, හිරු ප්‍රවෘත්ති බලන විට රටේ ප්‍රශ්න ඇත්තේම නැත. දේශපාලන තක්කඩියෝ දෙපිළ බෙදී කියන රසකතා ටිකක් ඇරුණු කොට කිසිදු ප්‍රශ්නයක් රටේ නැත. රාජපක්ෂලා පැමිණි පසු ඒ තරම් සුපිරි රටක් බවට මෙය පත්වී ඇත.


102261496 2779380965507640 2811311436296647849 n                                          ගෝඨා පාලනය වැඩ පටන් ගනිමින් ඇති බව.....
පෙරටුගාමීන් කුදලාගෙන යෑමට පොලිසිය ලහි ලහියේ ක්‍රියා කිරීම තුළ විද්‍යමාන වනුයේ ගෝඨා පාලනය වැඩ පටන් ගනිමින් ඇති බවය. පොලිසිය හැසිරුණේ සූරපප්පාගේ අරිෂ්ඨය බිව් ගාණටය. කාන්තාවන්ව ජීප් රියට උස්සා විසි කරනු දක්නට ලැබුණි. ජනාධිපති අපේක්ෂකයකු වූ දුමින්ද නාගමුව කුදලාගෙන ගියේ පාතාල කෙරුමකු අල්ලා ගත් ගාණටය. පොලිසිය අපූරුවට වලිප්පුව හැදී තිබුණි.

 මේ ජනපති ගෝඨාගේ පිළිවෙතය. එනම් සුද්ධ කිරීමය. ගෝඨාට නගරයේ කුණු තිබෙන්නට බැරිය. ඒවා කොහේ දානවාද අදාළ නැත. ඔහුගේ ඇහැට නොපෙනීම ප්‍රමාණවත්ය. උද්ඝෝෂණ අදාළ නැත. ඒවා කෙසේ හෝ මෙල්ල කළ යුතුය. ඒ අනුව දැන් පොලිසිය ලයිසන් චණ්ඩි බවට පත්වී ඇත. හමුදාව ලබන වටිනාකම ගන්නට පොලිසියත් වැඩ පෙන්වති. දේශබන්දු තෙන්නකෝන් ඊට ගැළපෙන චරිතයය.

ජනපති ගෝඨා නියම ස්වරූපයට රූපාන්තරණයවෙමින් පවතී. එනම් මේ එහි ආරම්භයය. හමුදාව සහ පොලිසිය මත ප්‍රශ්න විසඳන තැනට ඔහු පැමිණ ඇත. රට හමුදා පාලනයකට තල්ලු වන බව දෙමළ ජාතික සන්ධානය කියන විට එය අපට පෙනෙනුයේ එතරම් වැදගත් නැති හිස් කෑකෝවක් ලෙසය. එහෙත් සිදුවෙමින් පවතිනුයේද එයමය. 

අප අමතක නොකළයුත්තේ හමුදා පාලනයක් තුළ ඉදිරියේදී මෙල්ල කර ගැනීමට ඇත්තේ උතුරට වඩා දකුණ බවය. ඒ වන විට රිදෙන අයට උපරිම රිදී තිබෙන්නට හැකිය. මේ රටේ බහුතර පිරිසක් බලාපොරොත්තු වූ ගෝඨා බිහිවෙමින් තිබේ. එහි ප්‍රතිඵල රටටම බුක්ති විඳිය හැකිය. මේ පෙරහැරේ කසකාරයෝ බව උඩ විසිවන පෙරටුගාමීන්ගෙන් තහවුරු විය.

දිලිත් ඉස්සීම :
Dilith Jayaweera tex 1506
උතුරු නැගෙනහිර පුරා විද්‍යා සංරක්ෂණය සඳහා පත් කළ කමිටුවේ අවසානයට ඇති නම හැමදෙනාම අංක එකට කතා කරන නම බවට පත්වී ඇත. ඒ දිලිත් ජයවීරය. ඔහු දෙරණ නාලිකාවේ ප්‍රධානියාය. ගෝඨාභය ජනපති කිරීමේ සටනේ ප්‍රචාරකවාදියා ඔහුය. නැති දේවල් මවා පෙන්විය හැකි මැජික්කාරයා වූයේ ඔහුය. 

ගෝඨා ආණ්ඩුවේ දිලිත් යනු මහා කෙරුමෙකි. ඉදිරියේදී ආණ්ඩුවේ දැන්වීම් කලාවම ඔහුගේ අත්අඩංගුවට පත්වනු ඇත. මේ දිලිත්ගේ කාලයයි. ඔහුව පුරාවිද්‍යා සංරක්ෂණයට දැම්මේ ඇයිද යන්න ගැන බොහෝ කතා ඇත. ඒවා කීම නොවටී. එහෙත් කිවයුතු දේ නම් මේ ගෝඨාගේ ගොඩ නැගීම බවය.

චන්ද්‍රිකා – හැරී

චන්ද්‍රිකා කාලයේදී මෙරට ධනපතියා හැරී ජයවර්ධන විය. චන්ද්‍රිකා සමයේදී ඔහු ලංකාවම තම සාක්කුවේ දමාගෙන ක්‍රියා කළේය. විශාල ගොවිපොළවල් හැරී මිලදී ගන්නා විට පොදු කතාබහ වූයේ හැරී ගත්තට එහි නියම හිමිකාරිය චන්ද්‍රිකා බවය. 

එනම් දිනෙන් දින විශාල වන හැරී පුම්බනුයේ චන්ද්‍රිකා බවත්, අවසානයේ මේ දෙක දෙකක් නොව, එකක්ය යන විග්‍රහයක් සමාජගත විය. ඒවා කොතෙක් සත්‍යයද යන ලිහා ගැනීම ලේසි නැත. එහෙත් එහි සත්‍යයක් ගැබ්වී නැතැයිද කිව නොහැකි තරම්ය.

මහින්ද – ධම්මික

Dhamika mRඉන්පසු චන්ද්‍රිකාගේ යුගය අහවර වී මහින්ද යුගය උදාවිය. මහින්දගේ මතුවීමත් සමග හැරීගේ අභාවයත් දිස්විය. ඒ වෙනුවට ඒ තැන ධම්මික පෙරේරාට මාරු විය. 

චන්ද්‍රිකා කාලයේ මෙන්ම මහින්ද කාලයේද ධම්මිකගේ බොහෝ දේ රාජපක්ෂලාගේ බවට කතා විය. කෞතුකාගාරය ඉදිරිපිට නිවස ධම්මිකගේ වුවද එහි සැබෑ හිමිකරු නාමල් යැයි කතාවක් විය. ධම්මික දිනෙන් දින මෙරට මහා ධනපතියා වන විට එහි රහස, මැජික් එක ඇත්තේ මහින්ද අතේ යැයි කතාව තදට සමාජ ගතවිය. 

එහෙත් චන්ද්‍රිකා හැරී මෙන්ම එයද ඉන් එහාට කාට හෝ ඔප්පු කළ හැකි දේ නොවුණි. ඔප්පු නොකළද එහි සැබෑවක් ඇතැයි යන ඇදහිල්ලද සමාජයෙන් වඳ නොවුණි. ඒ නිසා දේශපාලකයකු සමග ධනපතියෙක්ද නිර්මාණය වීම පතාගෙන එන ලකුණක් බවට මෙරට දේශපාලනය තුළ ඉතිරි විය. දැන් ඇත්තේ එහි අලුත්ම ගොඩනැගීමය.

ගෝඨා – දිලිත්

ඒ අනුව ගෝඨා පාලනය සමග මෙරට මහා ධනපතියා දිලිත්වීමට ඉඩ ඇත. ඒ සඳහා යන මග ඕනෑවටත් වඩා දැන් හෙළි පෙහෙළි වී අවසන්ය. දැන් අවශ්‍ය ඒ සඳහා කැණීම් කිරීමය. ඒ දේ මනාව සිදුවනු ඇත. හැරී, ධම්මික අබිබවා දිලිත් මතුවනු ඇත. ධනවත් වනු ඇත. 

ඉදිරියේදී චන්ද්‍රිකාට මහින්දට මෙන්ම ගෝඨාටද දිලිත්ගේ බොහෝ දේවල අයිතිය ඇතැයි කියනු ඇත. එහෙත් ඉහත සිද්ධීන් මෙන්ම මෙහිද සියල්ල නිධන් සේ සුරක්ෂිතව ඇත.

සජිත් – මහරාජා

Sajith and Kili 15
යම් හෙයකින් ගෝඨා ජනපති නොවී සජිත් ජනපති වී නම් මෙරට ඊළඟ ධනපතියා ලෙස කිරුළු පළඳිනුයේ මහරාජාය. එහි අනෙක් අයට සාපේක්ෂව වෙනසක් වේ නම් ඒ වෙන කිසිවක් නොව, චන්ද්‍රිකා, මහින්ද, ගෝඨා ධනපතියන් තමන්ගේ බන්ධනයේ තබා ගැනීමට සමතුන් වීමත් සජිත් මහරාජාගේ බන්ධනයෙන් නොගැලවීමත්ය.

තමාගේ පාලනයත් සමග ධනපතියෙක් නිර්මාණය කිරීම එක්තරා විදිහට බැංකුවක් වැනිය. එය පාලකයාගේ පෞද්ගලික බැංකුවක් බඳුය.

මේ රටේ ධනපතියෙකුට පාලකයෙක් විය නොහැකිය. එහෙත් පාලකයෙකුට ඉතා පහසුවෙන් ධනපතියෙකු විය හැකිය. ඒ වෙනුවට ඔවුන් කරනුයේ තමාගේ කාලයේ දස මහා යෝධයකු බිහිකර ගැනීමය. ඒ පිටුපස ලොකු කතාවක් ඇත. ඒ කතාව ගැන වෙන අය කියන කතාව හැර සමාජය වෙන කුමක් දනීද?

මුල් කාලයේ ධනපතියෝ කළේ දිනන අශ්වයන් යැයි විශ්වාස කරන හැමට එක සමානව ඔට්ටු ඇල්ලීමය. දැන් සිදුවන්නේ එක් අශ්වයෙක් ගෙන පෝෂණය කර එහි සියලු බර කරට ගැනීමය. ජය පැරදුම මත එහි විපාක ලැබේ. මේ මොහොතේ දින්නේ දිලිත් නම් ජොකියාය. ඔහු අශ්ව හිමියකු ලෙස හෙට දවසේ අපි දකිනු ඇත.

පුරාවිද්‍යාව සමග ඔහුගේ නම ඇහෙන විට බොහෝ අයට කිතියක් දැනී දඟලන මුත් ඒ අය නොසිතනුයේ ගෝඨා ආණ්ඩුවේ දිලිත්ට ඇඳිය නොහැකි තැන කොතැනද යන්නය. 

මෙතෙක් ආ ක්‍රමය යටතේ ගෝඨා සහ දිලිත් යනු දෙකක් නොව එකක් බව පසක් වනු ඇත. පුරාවිද්‍යා සංරක්ෂණය දිලිත්ගේ නොව ගෝඨාගේ ද ඉදිරි දැක්මක් බව සිතීම කාලෝචිතය.


( ටිරන් කුමාර බංගගමආරච්චි - 2020 ජුනි 14 'රාවය (ravaya.lk) පුවත්පතින් උපුටාගන්නා ලදී )

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්