හැට දෙලක්ෂයක් ඡන්දය දුන්නේ ඩ්‍රයිවර් කෙනෙක් හදන්නද? රාජ්‍ය පාලකයෙක් හදන්නද? යමක් කෙනෙකුට වැටහෙන භාෂාවෙන් කියාදීම මොනතරම් වටිනවද? වර්තමානයේ වාහනයකට ගොඩ නොවූ කෙනෙක් සොයාගත නොහැකි තරම්ය.

වාහනය පැදෙව්වත් නැනත් එම ක්‍රියාවලිය ගැන බොහෝ දෙනෙක් දන්නේය. රියදුරාට ඉදිරිපස අසුනක් හිමිය. වාහනය හැසිරවීමට සුක්කානමක් නොහොත් වාහනය හසුරවන රෝදයක් බ්‍රේක් පැඩල් එකක්, ක්ලච් එකක් හෝ ගියර් හැඩලයක් වැනි උපාංගය කීපයක් නිසි ලෙස හැසිරවීම වාහනය පාරක ගෙන යාමට අවශ්‍යය. ඉතිං මේ භාෂාවෙන් කථාකරන විට බොහෝ දෙනෙකුට කියන්න යන්නේ කුමක්දැයි වැටහෙනවා විය හැකිය.

එවන් සරල භාෂාවකින්ම රාජ්‍ය පාලකයාගේ භූමිකාව විමසා බැලීමට ඔහු පත් කරගත් ජනතාවට අයිතියක් ඇත.

සරල දේවල සිට සංකීර්ණ දේවල් කියා හඳුනා ගත හැකි බොහෝ කරුණු තිබේ. සරල භාෂාවකින්ම මේ දේවල් කතා කිරීම‌ට තෝරා ගැනීම අතීශය වැදගත් බව නැවතත් සිහිපත් කළ යුතුය.රියදුරු භූමිකාවත් රාජ්‍යපාලක භූමිකාවත් දෙකක් මිස එකක් නොවේ. රිය පැදවීමට කොතරම් හැකි වුවත් ඒ සඳහා බලපත්‍රයක් ගත යුතුය. ඊට අවශ්‍ය සුදුසුකම් ප්‍රමාණයක් තිබේ. වෛද්‍ය පරීක්ෂණයකින් නීර්ණය කරනු ලබන කාරණා ගණනාවක් සම්පූර්ණ විය යුතුය. නිරෝගී, වයස, උස, අතපය ශක්තිය පෙනීම වැනි ශාරීරික සුදුසුකම් ප්‍රමාණයක් සම්පූර්ණනම් පමණක් වෛද්‍ය පරීක්ෂණයෙන් සමත් වෙයි.

ඒ මොනවා සම්පූර්ණ වූවත් පාරේ අභ්‍යාසය අතීශය තීරණත්මකය. වේග ගැන්විය යුත්තේ කොතනද? බ්‍රේක් ගැසිය යුත්තේ කොතනද? ඕවර්ටේක් කරන්න පුළුවන් කොතනද? ගතවන කාලය දරා සිටීමට ගමන අවසානය දක්වා නොනිදා සිටීම, මේ සියළු දෙයින් පසුව ගමනාන්තයට  ලඟාවීමේ අභ්‍යාසය සම්පූර්ණ වනු ඇත. එවන් අවස්ථා විශාල ප්‍රමාණයක් අත්විඳ ඇති රියදුරන් පලපුරුදු රියදුරන් වන්නේය. රාජ්‍ය පාලකයෙකුටත් සුදුසුකම් අවශ්‍යය. සරල දේවල් හා සංකීර්ණ දේවල් ලෙස කථා කරන විට රාජ්‍ය පාලනය සංකීර්ණ ක්‍රියාවලියකි. රාජ්‍ය පාලනය හඳුනා ගැනීම රාජ්‍ය පාලක භූමිකාව සාකච්ඡා කිරීම දැවැන්ත පාඩමකි.

රාජ්‍ය පාලනයේ ක්‍රමවේද, ව්‍යූහාත්මක සැකැස්ම, නීතිරීති සම්ප්‍රදායන් විශ්වාසයන්, පොරොන්දු ඉටු කිරීම සඳහා බැඳී  සිටින වගකීම්, තීන්දු තීරණ ගැනීමේ නිවැරදි බව, යන අතිමහත් කරුණු ප්‍රමාණයක කථාවක් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් පවතී. ඕනෑම ශිල්පියෙක් තම කාර්යයේ නිරත වන විට පරිණතකම හොඳින්ම විදහා පෙන්වයි. රියදුරාද, ගස්කපන්නාද, සාත්තුසේවකයාද, පිරිසිඳු කරන්නාද යන ඕනෑම අයෙකුට ශිල්පීය දක්ෂතාවය හිමිය.

එක් අවස්ථාවක නිවාස කීපයක් අතර නාගරික පරිසරයක විදුලි රැහැන්, දුරකතන රැහැන් අතර ගසක් කපා ඉවත් කිරීමට සැරසෙන ගස් කපන්නන් තිදෙනෙක්ගේ උත්සාහය දුටුවෙමි. අසල්වැසියන් කිහිප දෙනෙක් භීතියෙන් පසුවුවද තවත් කීප දෙනෙක් උසුළු විසුළු මට්ටමේ පසුවිය. ගෙවල් කීපයකට අලාභ වේදැයි විමසිලිමත් විය. නමුත් එම ගස් කපන කණ්ඩායම කිසිදු අතුරු ආන්තරාවක් නොමැතිව දැවැන්ත ගස අදියරෙන් අදියර කපා බිම හෙලන ලදී. ඒ ඔවුන්ගේ ශිල්පීය දක්ෂතාවයයි. ගස් කපන්නන්ගේ ශිල්පීය දක්ෂතාවය ගැන අවට සිටි සියල්ලෝම පහන් හැඟීමෙන් කතා කළ බව මතකය.

මේ සියලු අතුරු කාරණා කතාකරන්ඩ උත්සාහ ගන්නේ රාජ්‍ය පාලක භූමිකාව ගැන සරල භාෂාවකින්ම කථාකල යුතු නිසාමය.

SIRISENA

ජනාධිපතිගේ ස්වයං විවේචනාත්මක දැකීම !

ව්‍යාවස්ථාමය බැඳීම, නීතිරීති සම්ප්‍රදායන් රාජ්‍ය පාලකයාටත් අදාලය. එම මූල ධර්මයන් අත්හැර තමන්ගේ අභිමතාර්තයන් අරඹයා ක්‍රියාත්මක වීමේදී එය අසාර්ථක වූ විට ව්‍යවස්ථාව හා නීති රීතිවලට බැට දීමට ඉදිරිපත්වීම ගරු කටයුතු ක්‍රියාවක් නොවන්නේය.

දැන් අප ඉදිරියේ බරපතල සංවාදයක් බිහිකර ඇත. 18 ත් වැරදියි, 19ත් වැරදියි මටත් වැරදුනා යන්න ජනාධිපතිවරයාගේ අදහසයි.

ලාංකීය දේශපාලන කරලියේ විවෘත සංවාදයන් හමුවේ ස්වයං විවේචනාත්මක දැකීම අතීශය අගය කළ යුතු භාවිතාවකි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අගය කළ යුතුමය. එතුමා දකිනදේට අමතරව ජනතාව දකින දේ ඉදිරිපත් කිරීමේදී ඉවසා සිටීමට හැකිනම් එයත් ශ්‍රේෂ්ඨ භාවිතාවකි. එතුමාට සිහිපත් කර දිය යුතු දේවල් නම් බො‌හෝය. අවුරුදු කිහිපයක භූමිකාව කුඩා ලිපි තීරුවකින් සම්පූර්ණ කිරීම කොතරම් දුෂ්කරද? රාජ්‍ය පාලක භූමිකාව තුල ශිල්පීය දක්ෂතාවය, අවංකකම, කැපවීම, ධෛර්යය, පොරොන්දු,රැකිම පැමිණි කාර්යය සඳහා තිබෙන අධ්‍යාත්මික සූදානම, රටේ පළමු පුරවැසියා වන විට මේ සියල්ලටම විවෘත්ත වන්නේය. 

ඒ හැම තලයකටම අදාලව ජනතා මතයක් නිර්මාණය වන්නේය. ජනාධිපති තනතුරට එන්නේ නම් ඒ හැම ‌දෙයකටම මුහුණ දිය යුතුය. පැමිණි කාර්යය සඳහා තිබෙන අධ්‍යාත්මික සූදානම ගැන නම් අපට ඇති පදම් දේශනා ලැබිණි.ජනතාවට රටට අහන්නට ලැබුණු දේවල් කෙසේද? පොලොන්නරුවේ ගැමි ගෙදරකින් පැමිණි, ගැමි සුවඳ සහිත සරල නිරහංකාර මානවයෙක්, දිර්ඝ දේශපාලන අත්දැකීම් සහිත වගකීම් දැරිය හැකි වංචා දූෂණවලින් තොර ධෛර්යමත් මිනිසෙක්.

Mahinda Maithri

අධ්‍යාත්මික කරුණු ටොන් ගානකට වඩා භාවිතාවේ වැදගත්කම :

කිසියම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් මෙවැනි අධ්‍යාත්මික කරුණු ටොන් ගානක් කතා කලත් ඔහු භාවිතාවෙන් ඔප්පු කරන දේ මත ඔහුගේ අවසානය තීරණයවීම අනිවාර්යය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අවසානය ඛෙදනීය අවසානයක් නොවිය යුතුය. ඔහු නියෝජනය කලේ රටේ බලාපොරොත්තුවයි. ඔහු මුහුණ දෙන ඛේදනීය අවසානය රටේ ඉච්චා භංගත්වයට පාර කපනු ඇත. ජනාධිපතිවරයා මට වැරදුනා යැයි කියන කථාව තුල බරපතල දේවල් ප්‍රමාණයක් තිබේ. එතුමා කියන දේ සම්පූර්ණ කිරීමට මෙන්ම නොකියවෙන දේවලුත් ජනතාවට කියන්නට තිබේ.

හරි බරි ගැසී වාඩිවී අසන්නට කථාවක් අපට තිබේ. නිශ්චිත එල්ලයකට ගොඩනගාගත් බලවේගයක් අතර සමාජ බලවේගයන් ඒකරාශී කර ගනිමින් ජයග්‍රහණය කරා ගමන් කල බවක් ජනාධිපතිවරණයේදී සිදුවිණිද? 2015 ජයග්‍රාහීවූ යහපාලන බලවේග ගැන කොතරම් උදම් ඇනුවත් එහි තිබූ සත්‍ය තත්වය කුමක්ද?

දීර්ඝ කාලීන පරිශ්‍රමයකින් ගොඩනගාගත් නායකත්වය සමග විශ්වාසනීය බැඳීමක් ගරුත්වයක් සහිත එකතුවක් සහපාලන එකතුව තුල පැවතුනිද? එම අවස්ථාවේ පෙල ගැසුණු බලවේගවල ස්වභාවය මෙසේ දැකිය හැක. දීර්ඝ කාලයක් බලය අහිමිවීම හේතුවෙන් මොනවිදිහට ‌හෝ බලය ගැනීමේ මානසිකත්වයෙන් හෙබි එ.ජා.ප බලවේගය විධායක ජනාධිපතිධූරය සහිත පාලන ක්‍රමය ගැන ජනතාව තුල තිබූ අතිමහත් විරෝධය සමග පෙල ගැසුණු ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගයය. 

මහින්ද රාජපක්ෂ පාලනය තුල පීඩාවට පත් ව්‍යාපාරික පැලැන්තිය,  ප්‍රජාතන්ත්‍ර විරෝධී අත්තනෝමතික පාලන තන්ත්‍රය සමග ගැටුණු කම්කරු, ශිෂ්‍ය හා පොදු ජනතා බලවේග විවිධවූ වාර්ගික අරමුණු සඳහා කල්ලි ගැසුණු කණ්ඩායම්, (සහරාන් පවා උදව්කරන ලද්දේ කාටද යන්න දැන් හෙලිදරව් වෙමින් ඇත.) බෙදුම්වාදී යුද්ධය නිමාවත් සමග දෙමළ ජනතාව අතර කල යුතුව තිබූ ඉක්මන් සහ අත්‍යාවශ්‍ය මැදිහත්වීම් ප්‍රමාදවීම හා දෙමළ ජනයා අතර විශ්වාසය දිනා ගැනීමට මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වීම දෙමළ ජනතාව වෙනස් පාලකයෙක් පිලිගැනීමට තිබූ කැමැත්ත, දීර්ඝ කාලයක් පුරා ආර්ථික නිශ්පාදන ක්‍රියාවලියේ එකතැන පල්වීම, සමහර ක්ෂේත්‍රතුල සිදුවී ඇති බරපතල කඩා වැටීම් හමුවේ එදිනෙදා ජීවත්වීම බරපතල ඛෙදනීය තත්වයක් වූ බහුතර ජනතාව විධායක ජනාධිපතිධූරය දෙවරකට වඩා දරමින් තුන්වරකට සූදානම්වීම හා පවුල්වාදය ඉහවහායාම විසින් සමාජය තුල ඇතිවූ අප්‍රසන්න හා අපුල දනවන රාජපක්ෂ භූමිකාව සමග ගැටුණු බලවේග, ජාත්‍යන්තර දේශපාලන වටපිටාව තුල පැන නැගි නව ගැටළු, ඇමරිකන් අවශ්‍යතාවයන්, ඉන්දීය අවශ්‍යතාවයන්, චීන අවශ්‍යතාවයන් අතර ලංකාව ගොදුරු බිමක් වීමේ ප්‍රවණතාවය හා මේ සියල්ලටම අමතරව ලාංකීය ජනමනස තුල කිඳා බැස ඇති ගැලවුම්කරුවන් විසින් තමන් බේරා ගනු ඇතැයි චින්තනය, නොදන්නා දෙවියන් එසේත් නැතිනම් මොනවා හෝ වෙලාවකින් නැකතකින් සියල්ල නිවැරදි කරණු ඇතැයි සිතමින් දිවිගෙවන සමාජයක් වීම.

සංවිධානාත්මක මග පෙන්වීමක අවශ්‍යතාවය :

එම වටපිටාව තුල ජනාධිපති ධූරය වෙනස් කල පමණින් මහජන ප්‍රාර්ථනා ඉටුවන්නේ නැත. එයින් පසුවත් නිශ්චිත එල්ලයකට දැක්මක් ගොඩනඟමින් සංවිධානාත්මක මග පෙන්වීමක් අවශ්‍යව තිබුණි. ඒ සඳහා  යාන්ත්‍රණයක් නොවීය. 

යහපාලන අරමුණ නිශ්චිත අරමුණක් ලෙස තිබූ බව 2015 දී කෙනෙකුට තර්ක කල හැක. නමුත් එම අරමුණ, ඉටුකර ගැනීමේ ක්‍රමවේදය ලෙස පැවතියේ එකිනෙකාගේ ධාරාවන් තුල ගොඩනගාගත් ව්‍යූහයන් හරහා ක්‍රියාත්මක වීමය. බරපතල හිඩැසක් මේ ව්‍යායාමය තුල පැවති බව දැන් හොඳින්ම ඔප්පුවී හමාරය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා අපේක්ෂකත්ව භූමිකාවේදී සටන් වැදුනු යහපාලන ධාරාවේ පොදු අපේක්ෂකයා විය. නමුත් ජයග්‍රහණය කල පසු නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් වනවා වෙනුවට ශ්‍රී.ල.නි.ප. යේ සභාපති ජනාධිපතිවරයා විය. යහපාලන බලවේගයට ආරම්භයේදීම වැරැද්දීය. මෙවැනි තත්වයකදී තනි පුද්ගලයකුගේ අධ්‍යාත්මය තුල සීමාවන් සොයා බැලුවාට පලක් නැත. ආරම්භක මොහොතේ කරගත යුතුව තිබූ බොහෝ දේ මගහැරී ඇත.

සමස්ථ රටේ පාලනය සඳහා මහජන නියෝජිත ආයතන බොහෝ ප්‍රමාණයක් පවතී. පාර්ලිමේන්තුව, පලාත් සභා, ප්‍රාදේශීය සභා විශාල ප්‍රමාණයකි. ඒ සමගම විශාල රාජ්‍ය ආයතන ව්‍යූහය රට සතුව පවතී. අමාත්‍යංශ හා අමාත්‍යංශවලට අදාල ආයතනික ව්‍යූහය, ප්‍රබල ව්‍යූහයකි. මහජන නියෝජිත ආයතන හා රාජ්‍ය ආයතන ව්‍යූහය මහජන අවශ්‍යතා ඉටුකිරීම සඳහා සක්‍රිය දායකත්වය සපයයි.

පක්ෂය බාරගත් පසු එය දිනවීම අවශ්‍යතාවයකි:

මෑත ඉතිහාසය තුල මහජන නියෝජිත ආයතන හා රාජ්‍ය ආයතන ව්‍යූහය මහජන අවශ්‍යතා ඉටුකිරීම හොඳින්ම පවත්වාගෙන ගොස් තිබේද? විකෘති තත්වයන් පැනනැගී ඇති අවස්ථා බොහෝය.

ආණ්ඩුවක් පත්වන්නේ එම ආයතන මෙහෙයවන මහජන උවමනාවන් ඉටු කිරීමටය. මහජන අවශ්‍යතා ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙන් නිර්ණය කරන ලද අමාත්‍යංශ ගණනාවක් තිබියදී ජනාධිපති කාර්ය සාධක බලකාවල භූමිකාව කුමක්ද? මුල සිටම පොට පටලවාගෙන ඇත්තේ කවුරුන්ද? නිශ්චිත ක්‍රමවේදයක් පවත්වාගෙන නොයාම විසින් ඛේදජනක ඉරනමකට ජනතාව පත්වී තිබේ. ආර්ථිකය, සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනත් ගැටළු සම්බන්ධයෙන් පවතින තත්වය එසේමය.

පක්ෂය බාරගත් පසු එය දිනවීම අවශ්‍යතාවයකි. ඒ සඳහා වෙනම වැඩකර පෙන්වීමට අවශ්‍යය. අමාත්‍යංශ තිබියදී කාර්ය සාධක බලකා අවශ්‍ය වන්නේ ඒ නිසාය. පටලැවිල්ල අතිමහත්ය. ලාංකික ජනතාව මේ පටලැවිල්ලෙන් ගලවා ගත යූතුය. මහින්ද දේවත්වයෙන් වැඩම්වුවත් ඔහු හමගසා ඉවරකරත් මේ පටලැවිල්ලෙන් ගැලවිය නොහැක.‍

අඩුපාඩු මෙන්ම අගය කල යුතු දේවල් :

මහින්ද රාජපක්ෂගේ අඩුපාඩු මෙන්ම අගය කල යුතු දේවලුත් ලාංකීය ජනතාවගේ මනසේ පවතී. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේත් අඩුපාඩු මෙන්ම අගය කල යුතු දේවල්ද බොහෝ තිබේ. රනිල් වික්‍රමසිංහ මහතාගේද අඩුපාඩු මෙන්ම අගය කල යුතු දේවල්ද බොහෝ තිබේ. ජනතා විමුක්ති පෙරමුණ දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් කොන්ග්‍රසය හා අනෙකුත් පක්ෂවලටද අඩුපාඩු මෙන්ම අගය කල යුතු දේවල්ද තිබේ.

වර්තමාන අභියෝග තුල සියලුම දේශපාලන ධාරාවන් සංකීර්ණ ගැටලුවලට මුහුණ දෙමින් සිටී. පොදු මහජනතාව ඒ සියල්ලටම වඩා වේදනාකාරී අත්දැකීම්වලට මුහුණ දෙමින් සිටී.

ප්‍රධාන කරුණ ලෙස අපට ගතයුතු දේ හඳුනා ගනිමු. මේ සියළු දේශපාලන ධාරාවන් මේ සියළු ක්‍රියාත්මකවීම් කුමක් සඳහාද? මහජන සුබසිද්ධිය උදෙසා මහජනතාව වෙනුවෙන් කරන ලබන කාර්යයන් විය යුතුය. මෙම මූලික තේමාව හඳුනාගන්නා සහ ඒ සඳහා ක්‍රියාත්මක වන දේශපාලන ධාරාවන් හා පුද්ගලයින් පිලිගැනීම හැර ජනතාවට අන් මගක් නොමැත.

නැවතත් මැතිවරණ පොර පිටියකට සූදානම්වන ලාංකීය ජනතාවට එවන් නිශ්චිත අරමුණු සහිත සමාජ සංවිධානයක් නිර්මාණය කර ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තකි.


Sri Lanka people jaffnaජනතා උවමනාවන් බලගැන්වෙන සන්ධිස්ථානයක්:

එළැඹෙන ජනාධිපතිවරණය ජනතා උවමනාවන් බලගැන්වෙන සන්ධිස්ථානයක් විය යුතුය. රටට අවශ්‍ය පාලන රටාව ගැන සංවාදයක් ගොඩනගමින් නිවැරදි දිශාවට ආරම්භක සලකුණු තබන අවස්ථාවක් වීමට ජනාධිපතිවරණ මැතිවරණය පත් කර ගැනීම සුදුසුය. 

ඒ සඳහා ජනතාවට අවශ්‍ය වන්නේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකි. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් කරා ජනතාව පෙල ගැසිය යුතුය.

නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් බිහි කිරීම ප්‍රායෝගිකව කලහැකි දෙයක්ද? අවස්ථා කීපයකදීම පුද්ගල භාවිතාවන් හමුවේ ඔප්පුවී ඇති යථාර්ථය නම් එය කල නොහැක්කක් බවයි. නමුත් වෙනස්වීම් වීප්ලවීය ආකාරයෙන් මෙන්ම ක්‍රමිකව සිදුවීමත් වලංගුය. 

විධායක ජනාධිපතිධූරයේ වර්තමාන බල අධිකාරීත්වයේ මට්ටමට වඩා දැඩි බවක් ප්‍රථම ධූර අවස්ථාවේ ක්‍රියාත්මක විය. නමුත් අදවනවිට එය බො‌හෝ කරුණු ප්‍රමාණයකින් වෙනස්වී ඇත.  මූලික වෙනස්වීම් පිළිගනිමින් සහ ඒ සඳහා අරගල කරන්නේ නම් රටට අවශ්‍ය ජයග්‍රහණ ලබා ගැනීම සාර්ථක වනු ඇත.

ජනතාවට අවශ්‍ය වන්නේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකි. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයන් කරා ජනතාව පැමිණිය යුතුය. නව ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවක් කරා සමස්ථ රටම අවතීර්ණ විය යුතුය. ඊට අවශ්‍ය ආරම්භක සංඥාව තේරී පත්වන ජනාධිපතිවරයා විසින් ලබාදිය යුතුය.

ජනාධිපතිධූරයේ දිවුරුම් දෙන මොහොතේම ඔහු ඉදිරියේ වූයේ කුමන දේශපාලන පක්ෂයක් වුවත් එහි සියලු වගකීම්වලින් ඉවත්වී නිර්පාක්ෂික පුද්ගලයකු විය යුතුය. 

රටට අවශ්‍ය නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකි. ඔහු සියලු ජාතීන්ගේ එනම් සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියල්ලන්ගේම ජනාධිපතිවරයායි. බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් සියලු අංශයන්ගේ ජනාධිපතිවරයායි. 



ජනාධිපතිවරණයේදී පොදු අවශ්‍යතාවයක්:

ජනාධිපතිවරණයේදී පොදු අවශ්‍යතාවයක් උදෙසා එ.ජා.ප. පාක්ෂිකයන් තම පක්ෂ අරමුණු පැත්තකින් තබා පොදු අපේක්ෂකයෙකුට එකඟවීමට නිහතමානී කැපවිමක් කරන්නේ නම්, ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයා පොදු කාරණයක් වෙනුවෙන් පොදු අපේක්ෂකයා දිනවීමට නිහතමානී කැපවීමක් කරන්නේ නම් ජ.වි.පෙ. සාමාජිකයෝ පොදු අරමුණක් වෙනුවෙන් පක්ෂයේ අරමුණු ඉවසා   සිටින්නේ නම් අනෙකුත් ධාරාවන්වල ක්‍රියාකාරීන් රටේ පොදු යහපත වෙනුවෙන් දරා සිටිමින් කැපකිරීම් කරන්නේ නම් ඒ සියල්ලන්ගේ ඡන්දයෙන් ජනාධිපති වන එම කවරෙකු ‌හෝ වුවත් එම කැපකිරීම, නිර්පාක්ෂික වීම ඉල්ලා සිටීමට ජනතාවට අයිතියක් ඇත.

ජනාධිපති අපේක්ෂකයන් කවුරුන්ද යන සාකච්ඡාව මේ දිනවල ප්‍රබල ලෙස මතුවී තිබේ. රටට අවශ්‍ය මහජනතාවට වඩාත් වැදගත් ක්‍රමවේදයක් නිර්මාණය කර ගැනීමට කුමක් කල යුතුද යන්න නොසලකා අපේක්ෂකයන් තෝරාගැනීම ඵලක් නොවන බව ඉතිහාසයේ අත්දැකීමයි.

කවුරුත් නොහඳුනන කොහේ හෝ මුල්ලකින් ඇදගත් භූතයෙක් වේදිකාවට නොගත යුතුය.  මෑත ඉතිහාසයේ ජනතාව සමග ගැඹුරු දීර්ඝ හඳුනාගැනීමක් සහිත, රට දන්නා දේශපාලකයෙක් නිශ්චික වැඩපිලිවෙලක කොටස් කරුවෙක් ලෙස පිලිගැනීම ජනතාවට වඩාත් යහපත් වනු ඇත. 

මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ, කරූ ජයසූරිය, ගෝඨාභය රාජපක්ෂ, සජිත් ප්‍රේමදාස, චම්පික රණවක, අනුර කුමාර දිසානායක, ටිල්වින් සිල්වා, ලාල් කාන්ත කුමාර ගුණරත්න, ආර් සම්බන්ධන්, රවුෆ් හකීම්, කුමාර වෙල්ගම හෝ රට දන්නා කවුරුන් වුවත් අපේක්ෂකත්වය ලබා ගැනීම අපට ප්‍රශ්නයක් නොවේ.

images
අපේක්ෂකත්වය ගත් තැනැත්තාට කොන්දේසියක් :

නමුත් එම අපේක්ෂකත්වය ගත් තැනැත්තා ජනාධිපතිධූරයේ දිවුරුම් දෙන මොහොතේම ඔහුගේ පක්ෂ නායක වගකීම අත් හැරිය යුතුය. අප රටේ නීතිය බලවත්ය. නීතිය ඉදිරියේ වගකීව යුතු පොරොන්දුවකට බැඳෙමින් ජනතාව ඉදිරියේ විශ්වාසය ගොඩනගා ගැනීම අත්‍යාවශ්‍යය.  

අවශ්‍යනම් ධූර කාලය අවසන් වූ පසු නැවත පක්ෂ දේශපාලනය කලාට අපට ප්‍රශ්නයක් නැත. නමුත් ධූර කාලය තුල නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් විය යුතුය. මෙවන් ජනතාවාදී නිර්භීත තීන්දුවකට එළැඹෙන, ඊට සූදානම් අපේක්ෂකයා සමග ආරම්භ කල යුතු ගමනකට රටම සූදානම් වන බව නියතය. 

එම ජනාධිපතිවරයාට ලබාදිය යුතු බලතල හා නොදිය යුතු දේවල් පිලිබඳ පුළුල් සංවාදයක් රට තුල ගොඩනැගීම අත්‍යවශ්‍ය කටයුත්තකි.

එසේම ජනාධිපතිධූරය අ‌හෝසි කිරීම ගැඹුරින් විමසා බැලිය යුතු කරුණක් ලෙස පවතී. ලාංකීය සමාජය විධායක ජනාධිපතිධූරය සමග ගෙවන ලද කාලය විශාලය. ඒ සමඟ ගොඩ නඟන ලද ආයතනික ව්‍යූහයන් හා රටාවන් රටතුල පවතිද්දී විධායක ජනාධිපතිවරයා පමණක් ඉවත්කිරීම විකෘතියක් වනු ඇත. ඒකිය රාජ්‍ය සංකල්පය ඒකීය ආර්ථිකයක්, ඒකීය නීතියක් සමග යනවිට ජනාධිපතිධූරයක අවශ්‍යතාවය බැහැර කල නොහැක.

එම ජනාධිපතිධූරය අධිපතිවාදී ජනාධිපතිධූරයක් වෙනුවට රටතුල පැන නැගී ඇති සංකීර්ණ වටපිටාව හමුවේ, පවතින අභියෝග ජයගැනීමට ගැලපෙන තනතුරක් ලෙස නිර්මාණය කර  ගැනීමට ජනතාව පෙලගැසිය යුතුය.විදේශ සම්බන්ධතා ගොඩනැගීම රටේ පෞරුෂය ලෝකයා ඉදිරියට ගෙන යාම, මූල්‍ය  විනය අධීක්ෂණ බලතල ලබා දීම ජාතික ප්‍රතිපත්ති මණ්ඩලයක් මෙහෙයවීම, ඒ සම්බන්ධව පාර්ලිමේන්තුව නිර්දේශ ලබා දීම, එවැනි කරුණු පිලිබඳ මහජන සාකච්ඡාවකින් පසු නිර්ණය කරගත යුතුය. 

අවසානයේ සමස්ථ ජනතාවගේ අනුමැතිය සහිත ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීම උදෙසා සියළු බලවේගයන් පෙරමුණ ගන්නේ නම් මෙරට මීට වඩා යහපත් රටක් වනු ඇත. අළුත් ගමනකට මෙතනින් පටන් ගනිමු. නිර්පාක්ෂික පොදු අපේක්ෂකයා වෙනුවට නිර්පාක්ෂික ජනාධිපතිවරයෙක් සඳහා සටන් වදිමු.

ජී. කුලරත්න (ජවිපෙ හිටපු දේශපාලන මණ්ඩල සභික)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

kularathna

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්