Text 27

කාදිනල් මැල්කම් රංජිත් පියනමට ඇත්ත අභියෝගයක් තිබේ. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා, සිය ආගම් නිර්මාතෘ දෙවියන් ගැන ආගමේ භක්තිමතුන්ට ඇති වී තිබෙන අවිශ්වාසය හා කලකිරීම සමනය කිරීමයි.

විශේෂයෙන් මීගමුව, කටුවාපිටිය ආසන්නව ජීවත්වන, පාස්කු ඉරිදා ප්‍රහාරයේදී ජීවිත අහිමිවීම, තුවාල ලැබීම හා අනෙකුත් විවිධ අතවරයන්ට මුහුණ දුන් කතෝලික ජනතාවගෙන් සමහරුන්, තමන් මුහුණ දුන් ඒ අතෝරයන්ගෙන් මුදා ගැනීමට දෙවියන් වහන්සේ අසමත් වීම නිසා ඇති වූ කලකිරීමත්, කතෝලික ආගම කෙරෙහිත් එහි නිර්මාතෘ දෙවියන් ගැනත් ඇති විශ්වාසය පළුදුවීමත් නිසා, සුරුවම වන්දනාව අත්හැරීම, පල්ලියට යෑමෙන් වැළකීම, ආගමික කටයුතුවලින් ඉවත් වීම වැනි ප්‍රතිචාර දක්වන බව ආරංචි වෙයි.

Text 28

ඇත්ත වශයෙන්ම, කාදිනල්වරයා, මේ ප්‍රහාරය වැළැක්වූයේ නැත්තේ ඇයි දැයි ඇසිය යුත්තේ තමාගේ දෙයියන්ගෙන්මය. මේ භක්තිමතුන් පාස්කු ඉරිදා, කටුවාපිටිය හා අනෙකුත් පල්ලිවලට ආවේ යේසුන් වහන්සේගේ උත්ථානය සැමරීම සඳහාය. තම දිව්‍ය පුත්‍රයාගේ මරණෙන් පසු උත්ථානය සැමරීමට තමාගේම ශුද්ධ භූමිය වූ පල්ලියට පැමිණි භක්තිමතුන්, සිය ගණනක් සැනෙකින් ඝාතනයට ලක්වීම දෙවියන් වහන්සේට වළක්වා ගන්නට ඉඩ නොතිබිණිද? නැතිනම්, ඔවුන් එසේ ඝාතනය වීම දෙවියන් වහන්සේගේ කැමැත්ත වීද? ඔවුන් ස්වර්ග රාජ්‍යය වෙත, 'ප්‍රාණ පරිත්‍යාගීන්' හැටියට එකතුකර ගැනීම දෙවියන් වහන්සේගේ අභිලාෂය වීද?

මිනිසුන් හැකි ඉක්මනින් තමා වෙත කැඳවා ගැනීම දේව කැමැත්ත නම්, ඔවුන් ප්‍රාණ පරිත්‍යාගීන් නම්, එනිසාම ඔවුන් සාන්තුවරුන් බවට පත් වී ඇති නම්, ඔවුන් වියෝවීම නිසා දුකට, සන්තාපයට පත්විය යුත්තේ ඇයි? ජීවත්වනවාට වඩා හොඳ තත්වයක් ලබාදීමට දෙවියන් ඔවුන් ස්වර්ගය වෙත කැඳවාගත් විට ඒ වෙනුවෙන් දුක් මෙහෙය පැවැත්විය යුත්තේ ඇයි? ඒ දුක උත්කර්ෂයට නැංවිය යුත්තේ ඇයි?

මේ ප්‍රශ්න, 'නිරාගමිකයන්ගේ ප්‍රශ්න' ලෙස පැත්තකට දැමිය හැකි නමුත්, මෙවැනි විනාශයකින් පසු, විශේෂයෙන් කවර හෝ ආගමක සිද්ධස්ථානයක් තුළ වුණු මෙවැනි විනාශයකින් පසු, එවැනි ප්‍රශ්න මතුවීම සාධාරණය.

Text 29 

එනිසා, පල්ලියට පැමිණි ඒ බැතිමතුන් සිය ගණනකට මියයෑමට සැලැස්වීම, දෙවියන් කෙරෙහි වන භක්තිය අභියෝගයට ලක් කරන්නේද? උත්තරය 'ඔව්' ය.

කාදිනල්වරයා එක අතකින් මුහුණ දී සිටින්නේ තම ආගම කෙරෙහි වියැකී ගොස් ඇති මේ භක්තිය පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරුදීමේ දුෂ්කර තත්වයකටය. ඇත්ත වශයෙන්ම ඊට දිය හැකි සාධාරණ පිළිතුරක් නැත. ඒ නිසා ඊට වෙනත් පිළිතුරක් ලබාදීම අවශ්‍යය.

ඔහුගේ පිළිතුර වන්නේ, මේ විනාශය වළක්වාගත හැකිව තිබුණු (දෙවියන් හැරුණු කොට) වෙනත් අය (මිනිසුන්) සිටින බවත්, ඔවුන් සිය වගකීම හරිහැටි නොකිරීම නිසා විනාශය වුණු බවත්ය.

ලාංකික කිතුනු ජනතාවගේ නායකයා බවට ස්වයං උත්කර්ෂයෙන් පත් සිටින ( ඔහු ලංකාවේ කිතුනු ජනයාගේ එකම නායකයා නොවේ. කොළඹ පදවියේ රදගුරු වන ඔහු අනෙක් පදවිවල සිටින රදගුරුවරුන් අතර සමානයෙකි. ඒ ඒ පදවියේ බලය ඇත්තේ ඒ ඒ පදවියේ රදගුරුටය. ඒ නිසා ඔහු කතෝලික නායකයන් අතර එක් කෙනෙකි. එකම වෙනස නම්, සෘජුවම වතිකානුවෙන් ලැබෙන කාදිනල් පදවියක් ඔහුට හිමිවී තිබීමයි.

Text 30

කාදිනල් පදවිය ලබන්නන් සුවිශේෂ වන නමුත්, ඔවුන්ට විශේෂ ආගමික හා සිවිල් බලයක් ලැබෙන නමුත් අත්‍යවශ්‍යයෙන්ම ඔහු කතෝලික ජනතාවගේ එකම නායකයා නොවේ. රදගුරු පදවිය දැරීමට කාලසීමාවක් තිබේ.

එහෙත්, වතිකානුවෙන් සෘජුවම ලැබෙන කාදිනල් තනතුර දිවි ඇති තෙක් දැරිය හැක්කකි. පාප් වහන්සේ කෙනෙකු පත් කිරීමේදී කාදිනල්වරයෙකුට ඡන්දයක් හිමිය.) මැල්කම් රංජිත් පියනම, සිය අනුත්තර නායකයා හැටියට පිළිනොගන්නා කිතුනු ගිහි පැවිදි දෙකොටසම හැමදා සිටි අතර, මේ වන විට ඔහුගේ හැසිරීම ගැන බලවත් විවේචනයක් දක්වන කතෝලික භක්තිවන්තයන්‌ගේ ගණන වැඩිවෙමින් තිබේ.

ඊට බලපා ඇත්තේ, කාදිනල් මැල්කම් රංජිත්ගේ දේශපාලන ප්‍රකාශයයි. ආගමික නායකයන්ට දේශපාලන ප්‍රකාශ කළ නොහැකි යැයි කිසිවෙකු කියන්නේ නැත. එහෙත්, එවැනි ගෞරවයට පත්වූවකු, කිසිම පදනමක් නැති, ආධානග්‍රාහී, පාක්ෂික, සමහරවිට සිය ආගමික සංස්ථාවේ ප්‍රතිපත්තිමය කාරණාවලට පවා එරෙහි, කරුණු හැටියටත් වැරදි දේ කියන කරන විට ඒ හැසිරීමේ මූලය කුමක් දැයි සොයා බලන්නට සිදුවීම සාධාරණය.

ඒ විදියට කාදිනල් හිමි කියන කරන දේ සලකන විට, බැලූ බැල්මට පෙනෙන්නේ, ඔහුගේ කටින් පිටවන්නේ පොහොට්ටුවේ හෙවත් මහින්ද රාජපක්ෂලාගේ හඬ බවයි.

Text 31

කටුවාපිටිය දේවස්ථානය නැවත ආගමික මෙහෙය සඳහා විවෘත කිරීමෙන් පසු කාදිනල්වරයා කළ කතාව, කිසිවෙකු විසින් ඔහුට කටපාඩම් කරවූවාක් වැන්න. මනුවරණ එසේ කියන්නේ, ඔහු පොතක් බලාගෙන එහි ඇති දේ කියවූ නිසා නොවේ. ඔහුගේ අදහස්, මෙවැනි මොහොතකදී වෙනත් කාටවත් කියන්නට වුවමනා වී තිබුණු දෙයක් කාදිනල්ගේ කටින් කියවූවාක් වැනි හැඩයක් පෙනෙන නිසාය.

ඔහුට අනුව, 'රටේ දැන් සිටින නායකයන්ට කොන්ද පණ නැත. මේ පරිස කොන්ද පණ ඇති පිරිසකට පාලන බලය ලබා දී ගෙදර යායුතුය.'

පාස්කු ඉරිදි ප්‍රහාරය සමග නායකයන්ගේ කොන්දේ ඇති සම්බන්ධය කුමක්ද? කොන්ද පණ ඇති නායකයෝ සිටියෝ නම්, දෙවියන් වහන්සේටවත් වළක්වාගත නොහුණු පාස්කු ප්‍රහාරය වළක්වාගත හැකිව තිබුණිද? නායකයන්ට කොන්ද පණ නැතිනම්, සර්වබලධාරී දෙවියන් වහන්සේට, ඒ වගකීම භාරගෙන බැතිමතුන් මරණයෙන් වළක්වාගත හැකිවී නොතිබුණිද?

දැන් ඉන්නේ කොන්ද පණ නැති නායකයන් බව අලුතෙන් කිව්වේ කාදිනල් හිමි වුණත්, හැමදාම එය කියන්නේ රාජපක්ෂලාය. ( රාජපක්ෂලාගේ කොන්දේ ඇති පණ ගැන, අත්තිඩියේදී ඝාතනය කෙරුණු ලසන්ත වික්‍රමතුංගගේ පටන්, රතුපස්වලදී ඝාතනටය කෙරුණු අහිංසකයන් තිදෙනා, යාපනයේදී ඝාතනය කෙරුණු නිමලරාජන් හරයා කටුනායකයේදී ඝාතනය කෙරුණු රොෂේන් චානක දක්වා පිරිස විසින් කියා දී තිබේ. ලසන්ත කතෝලිකයෙකි. රතුපස්වලදී හමුදාව, ආරක්ෂාව පතා දිව ගිය අහිංසකයන්ට එලව එලවා පහරදුන්නේ, වෙඩි තැබුවේ, වැලිවේරිය කතෝලික පල්ලියේ දේව මණ්ඩපයටත් හානි කරමිනි. රොෂේන් චානකත් කතෝලිකයෙකි. ඒ රාජපක්ෂ භීෂණ කාලයේ කාදිනල් රංජිත්ගේ කටට මෙවැනි පනක් තිබුණා අප දැක නැත.)

එනයින්, කාදිනල් හිමිගේ කටින් ආවේ අන් කිසිවක් නොවේ, රාජපක්ෂලාගේ හඬය. රාජපක්ෂලාගේ පණ ඇති කොන්ද ගැන හොඳින් දන්නා රටට කුමන වැරදි ඇතිවා වුණත්, දැන් ඉන්නා පන්නයේ නායකයන් ලැබීම වාසනාවකි. ඔවුහු ජාතිවාදියෝ නොවෙති. ආඥාදායකයෝ නොවෙති.

Text 32

කාදිනල් හිමිගේ සිහින නායකයන් පිරිස අප්‍රේල් 21 වැනිදා වන විට බලයේ සිටියේ නම්, එදිනෙන් පසු ආරම්භවීමට නියමිතව තිබුණේ රජය විසින් අනුදක්නා ලද, පහසුකම් සපයන ලද හා ආරක්ෂාව සපයන ලද මහා මුස්ලිම් සංහාරයකි. මුල් අවස්ථාවේ දී සහජීවනය ගැන දෙසූ කාදිනල් හිමි පසුව මීගමුවේදී මුස්ලිම් විරෝධී සැකසංකා ඇති වන ආකාරයෙන් කතා කළ හැටි කවුරුත් දනිති.

අදටත්, කතෝලික පල්ලියේ පාදිලිවරුන් මුස්ලිම් විරෝධයක් තම පල්ලිය හරහා පතුරන බව ප්‍රසිද්ධ ඇත්තකි. පෙර කී ආකාරයේ මුස්ලිම් සංහාරයක් සිදු නොවන තැනට වැඩ සැලසීම ගැන ස්තූති වන්ත විය යුත්තේ දෙවියන්ට නොවේ. 2015 දේශපාලන වෙනස ඇති කළ ජනතාවටය. ඊට දායකවූ නායකයන්ටය.

රජයේ ඔත්තු සේවා දුර්වල කළ බවට කාදිනල් හිමි කියන කතාවද අලුත් කතාවක් නොව. රාජපක්ෂලාගේ පරණ නිර්මාණයකි. පාස්කු ප්‍රහාරය වුණේ ඔත්තු අංශවල දුර්වලතාවක් නිසා නොවන බව සාමාන්‍ය සිහි බුද්ධියක් තිබෙන, සාධාරණ ලෙස හිතන ඕනෑම කෙනෙක්, අඩු ගණනේ මේ වන විට දනිති.

Text 33

ඒ ගැන තේරුම් ගැනීමට අවශ්‍ය කරුණු කාරණා මේ වන විට මහජන පරිමණ්ඩලයේ ඕනෑ තරම් තිබේ. එසේ තිබියදී, මාස තුනකට පසුවත්, ඔත්තු සේවා දුර්වල කිරීමක් ගැන කාදිනල්වරයා මතුරන්නේ ඔහුට සිහිබුද්ධිය අහිමිවීමෙන් නොවේ. රාජපක්ෂ අගතීන්ගෙන් හිස පිරී ඇති බැවිනි. කාදිනල්වරයා මේ කරන්නේ, ඊළඟ ජනාධිපතිවරණය දක්වා යන පොහොට්ටු දේශපාලනය පෝෂණය කිරීමක් මිස අන් කුමක්ද?

අනෙක් අතට පාස්කු ප්‍රහාරයේ වගකීම පැහැර හැරීම ගැන සොයන්නට මේ වන විට පරීක්ෂණ කිහිපයක් පැවැත්වෙයි. ජනාධිපතිගේ කමිටුව මූලික සෙවීම කළ අතර, දැන් පාර්ලිමේන්තු කාරක සභාවක් ඒ ගැන පරීක්ෂා කරයි. ඒ අතර නීතිපතිවරයාගේ නියමය පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ විමර්ශන අනුව, අපරාධමය වශයෙන් වගකිව යුතු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ. ඒ අතර, මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක්ද විභාග වෙයි.

රටේ සාමාන්‍ය නීතිය හා අධිකරණ පද්ධතිය ඇතුලේ ගත හැකි උපරිම ක්‍රියාමාර්ග මේ ආකාරයෙන් ගෙන තිබේ. කාදිනල් රංජිත් කියන්නේ මේ කිසිවකින් තමා සෑහීමකට පත් නොවන බවයි. ඉතින් ඔහු සෑහීමකට පත්කළ හැක්කේ යළිත් බලයට ගෙන ආවොත්, රාජපක්ෂවරුන්ටම පමණකි.

අයිසිස් නායකයා පිටරටක ජීවත්වන බවටද කාදිනල් හිමි එහිදී බොරුවක් කීවේය. ඒ ජාතිවාදය වපුරන 'දිවයින' පුවතක් මත පිහිටාය. මේ ප්‍රහාරය කළ වුන් හා අයිසිස් සංවිධානය අතර සම්බන්ධයෙක් නැති බවත්, තමන් සංවිධානයක් හැටියට පිළිගන්නා ලෙස සහරාන් ප්‍රමුඛ කල්ලිය අයිසිස් සංවිධානයෙන් ඉල්ලා සිටි නමුත් ඊට ප්‍රතිචාර ලැබී නොතිබුණු බවත්, පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියේ සාක්ෂි දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න කීවේය.

Text 34

එවැනි තත්වයක් තිබියදී, පිටරටක ඉන්නා අයිසිස් නායකයෙකු ගැන කාදිනල් හිමිට දිව්‍ය ඥාණයක් පහල වුණේ කෙසේද? ඒ ඥානය අප්‍රේල් 21 වැනිදාට පෙරත් ප්‍රයෝජනයට ගෙන, පාස්කු ඉරිදා දේව මෙහෙයන් නවත්වා මේ විනාශය වළක්වාගත හැකිව තිබුණේ කාදනල් හිමිට නොවේද?

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන, මානව අයිතිවාසිකම් ගැන ඔහු කියන දේ, හුදෙක් නොදැනීම නිසා කියන ඒවා නොවේ. රෝමයේම නැවතී සිට බයිබලය හොඳින් හදාරා, ලෝකයට විවෘත වී ඇති, භාෂා හයකට වැඩි ගණනක් දන්නා කාදිනල්වරයා, ජාත්‍යන්තර සම්බන්ධතා ගැන හොඳින් දනී.

එහෙත් දැන් ලෝකයේ කවුරුත් දන්නා ඇත්ත, ලංකාවේ අහිංසක නොදැනුවත් මිනිසුන් ඉදිරියේ නැත්ත බවට පත් කරමින් සිටී. ඒ ඔහුගේ ජීවිතයෙන්ම කැප වී ඇති බව පෙනෙන රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ ව්‍යාපෘතිය මුදුන්පමුණාවා ගැනීම සඳහාය.

(අනිද්දා -මනුවර්ණගේ සතිය: 2019 ජුලි 28)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්