අනුරාධපුර ශුද්ධ භූමි ප්‍රදේශයේ ඉදි කළ සඳහිරු සෑය, ගතවුණ ඉල් පුර පසළොස්වක පොහොය දින සාසනයට පූජා කෙරිණ.



එහිදී මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට අනුව, සඳහිරු සෑ නිමිත්ත, 2009 මැයි 19 වෙනිදා නිම වූ තිස් අවුරුදු වර්ගවාදි යුද්ධයේදී දිවි පිදූ (29,000ක්) සහ තුවාල ලැබූ හෝ අබාධිතවූ (37000ක්) රණවිරුවන්  66000ක් වෙනුවෙන් ඉදි කළ අනුස්මරණ සිහිවටනයක් හෙවත් War Cemetery යුධ ස්මාර්කයකි. මේ සාරාංශ කළේ  ඩයනා උදයංගනීගේ දිනපතා ලංකාදීප පත්‍ර යට පිටුවක් පුරා ලියූ  වාර්තාවය.  

උතුරු දකුණු අරගලයෙන් මියගිය සහ පිඩා විඳී සංඛ්‍යාවෙන් 66000ක් ලෙස ගණනය කිරීම නිසාම සඳහිරු සෑය War Cemetery  බවට පත්වේ.

බෝම්බ පුපුරා තැන තැන මස් ගුලි සේ විසිරී කුඩු පට්ටම්වූ සිවිල් ජනතාව ප්‍රමාණයෙන් 100000ට අධිකය. දිවි පිදූ එල්ටීටීඊ සටන්කාමින් 50000ස් ගණනකි. ඉන්දීය හමුදා සාමාජිකයන් 1500කි. පොලිස් සාමාජිකයන් 1000කට වැඩිය. මෙසේ කොටස් කර දැක්වෙන ප්‍රමාණයෙන් 175000ක් දෙනා සඳහිරු සෑ ප්‍රාර්ථනාවෙන් පිටස්තර අය වෙති. හෙවත් අතට අවියක් නොගත් කිසිවෙකු ගැන රාජපක්‍ෂලාට කිසිදු හැඟීමක් නැත.

 

මේ අතර,  ගාමිණි දිසානායක, ලලිත් ඇතුලත්මුදලි, ලක්‍ෂමන් කදිර්මාර්, ආදි දේශමාමක විශිෂ්ඨ මිනිසුන් ද වේ. එපමණක් නොවේ.  මහින්ද රාජපක්‍ෂ ලංකාදීප වාර්තාවට අනුව, සිහිපත් කළ ඩෙලර් ෆාම්, කෙන්ට් ෆාම්, සිරිමා බෝධිය ආදි ස්ථානවල මැරුම් කෑ කිසිවෙකු හෝ මේ සඳහිරු සෑ ප්‍රාර්ථනාවෙන් ආදරයට කරුණාවට ලක් නොවේ.  අරන්තලාවේ කරුණා අම්මාන් මුල්ව ඝාතනය කළ බුදධ පුත්‍රයන්ද අයත් නොවේ.

 

මහාචාර්ය අගලකඩ හාමුදුරුවන්ට අනුව සඳහිරු සෑය බෞද්ධ ඉගැන්මට අනුව,  වෛරය නම් අශුද්ධ පාපී කල්පනාව යාවත්කාලීන  කරවීමට අනුරාධපුර අටමස්ථාන ශුද්ධ පරිශ්‍රයෙහි ඉදි කළ සිහිවටනයකි.

256642425 4673522109374918 5070635687854094893 n

එළාර නම් සිය ප්‍රති මල්ලවයාට බුහුමන් දැක්වූ උත්තර මනුෂ්‍යත්වයෙන් උතුරා ගිය දුටුගැමුණු සම්ප්‍රදාය ගැන අබමල් රේණුවක් තරම් දෙයක් දැන සිටියා නම් හෝ භාරතය එක් සේසත් කළ අශෝධ අධිරාජයා බුදු දහම ආශ්‍රයෙන් ධර්මාශෝක බවට පත්වීම ගැන යම් අවබොධයක් ඇතිව සිටියා නම්, ලංකාව ධර්මද්වීපයක් වුණේ එතුමා විසින් එවූ ධර්ම පණිවිඩය ලැබීමෙන් පසුව බව දැන සිටියා නම් මහින්ද රාජපක්‍ෂලා මෙසේ කතා කරන්නේ හෝ මෙවැනි ඉදි කිරීමක් කරන්නේ නැත.

 

මැදමුලන පරම්පරාව දන්නේ කරුණාලා, පිලේලයාන්ලා, කේපීලා වැනි මිනී මරුවන් එක්ව හෙට දවසේ දමිළ ජාතිවාදය අලෙවි කරමින් බලය ගැනීමට ගඩොල් ස්මාර්ක ඉදි කිරීම පමණකි.

 

ප්‍රභාකරන් විනාශ කළ පුවත අසා වහා ලංකාවට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, කටුනායකදී මහ පොළොව සිඹ සනිටුහන් කළ දේශ ප්‍රේමය, මාතෘ භූමිය කෙරෙහි පවත්නා කැපවීම යථාර්ථයක් කිරීමට සාකල්‍යයෙන්ම අසමත්වූ  බව රාජපක්‍ෂ පාලනය අදටත් තහවුරු කරමින් සිටියි. රාජපක්‍ෂලා 66000ක් බිළි දී බේරා ගත්තා කියන භූමියෙන් කොටස් මේ වනවිට  රාජපක්‍ෂලා විසින්ම විදේශිකයන්ට  විකුණමින් සිටිති.

යුද ජයග්‍රහණය රටේ සමස්ථ ජනතාවගේ අපේක්‍ෂා වුණාට, ලෝකයට ණයවී කොමිස් කුට්ටි යටිමඩි ගසන රටේ උරුමය අනාගතයට උගස් කරන සංවර්ධනයක් නම් කිසිවෙකු අපේක්‍ෂා කළේ නැත.

කින්නියා හා කුරාඤ්ඤන්කුලම් අනුවේදනීය සිද්ධිය මිනී මැරීමක් බව රජය පාර්ශ්වය කියයි. මේ සිද්ධිය නිසාම ගෙවුණ බදාදා ලංකාදීපයට 'කල්‍යාණි රන් දොරටුව' විවෘත කිරීම අලුක්කාලක් පමණ පුංචි සිද්ධියක් වී ඇත.

රාජපක්‍ෂලා රුපියල් 9896ක් වැයවන මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ 2014දීය. එදාත් ත්‍රිමලේ කින්නියා හා කුරාඤ්ඤන්කුලම් අතර රටේ පුරවැසියන් ගමන් කළේ පෙරියක හෙවත් පාලම් පාරුවකය. ජනතා අවශ්‍යතා සහ රාජපක්‍ෂලා අතර, වෙනස එසේය.

 

කුපිතවූ ගම්මු මන්ත්‍රී නිවෙසට ප්‍රා.ලේ.කාර්යාගයට පහර දෙති. තැනින් තැන ටයර් පුළුස්සති. දිසාපති ප්‍රාන ඇපයට අරන්. මේ දවසක එක් සිද්ධියක් පමණකි. වසංගතය ඩොලර් හිඟය අතර කෙරෙන මාර්ග සංවර්ධනය ජනහිතකාමි නොවන බවට තවත් කරුණු අවශ්‍ය නොවේ.

 

තෙල් පිරිපහදුව වසා දමා ඩෙලර් ඉතිරි කිරීමට, පැට්රල් ඩීසල් ගෙන්වීම යනු කුමක්ද? රට වටේ කරක් ගසන චීන පොහෙර නැව යනු කුමක්ද? රටම කතා කරන ඉන්දීය පොහොර මිලදී ගැනීමෙන් හොරා කෑවේ ශෂේන්ද්‍ර රාජපක්‍ෂද? සඳහිරු සෑය ඉදි කොට ඉතිහාසයේ දොරට තට්ටු කළ  රාජපක්‍ෂලා පල් හොරුන් ගැවසෙන සිරිපිනා මුඩුක්කුවට සේන්දු වෙමින් සිටින්නාහ.

අගමැති වරයාගේ අනුරාධපුර ප්‍රකාශයට අනුව, 2009 මැයි 19 වෙනිදායි අවසන් වන තිස් වසර ආපසු අතීතයට ගණන් කළ නතර වෙන්නේ 1979 වසර ළඟය. ඒ වසරේ රටේ ඒකීය භාවයට එරෙහි හෝ ප්‍රබල ජන වාර්ගික සිද්ධින්  වාර්තා නොවේ. සත්තකින්ම ගැටුමේ බීජය රෝපනය වුණේ 56දී වන අතර, යුදමය පරිසරය 1983 කළු ජූලියෙන් ආරම්භ විය.

රාජපක්‍ෂලා ඉතිහාසය බුද්ධාගම පමණක් නොව, උතුරු දකුණු ආරවුලේ කෙටි ඉතිහාසයවත් දන්නේ  නැත.

2018දී සිදු කළ පාස්කු ප්‍රහාරය නම් මහා ම්ලේච්ඡ මිනිස් ඝාතනය අදටත් නිම නොවී පවත්නා මේ උතුරු දකුණු කෝන්තරය, වැනි තවත් තිරිසන් දේශපාලන කුමන්ත්‍රණයක් බව රටේ බහුතරය සැක කරති.

 

1956දී සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ මුවාවෙන් කළ දේශපාලන තක්කඩිකමෙන් එතෙක් පැවති උතුරු දකුණු මිනිස් බැම්ම විනාස කෙරිණ. පාස්කු ප්‍රහාරය නීතියක් නැති රටේ දෙවියන්ට කියන නඩුවක් බවට පත්ව ඇත. 1958 ඇතිවූ වර්ගවාදි කෝළාහලය හේතුවෙන් ඓතිහාසික නාගදීප විහාරස්ථානය බිමට සමතලා වූ බව වර්තමානයට රහසක් නොවේ.

 

එහෙත් අදටත් නිරීක්‍ෂණය කළ හැකි නාගදීප ශුද්ධ භූමියේ විහාර ගෙට පිවිසෙනෙකුට එහි ඇඳි විහාර බිතු සිතුවම් අතර, පූජ්‍ය නවදගල පදුමකිත්ති හිමියන්ගේ සිතුවමට යටින් නිරූපිත ගිහි මිනිසාගේ චිත්‍රය ඔබ දැක තිබේද? බෞද්ධ විහාර ගෙයක බිත්ති සිතුවමක්වූ ඒ මිනිසා  ආර්. රාමචන්ද්‍රන් නම් වේ. හින්දු භක්තිකයෙකුවූ ඒ විශිෂ්ඨ මිනිසා විහාර බිතු සිතුවම් අතර, රැඳෙමින්  ගෞරවයෙන් පුද  ලබන්නේ ඇයි? වසර 60ක් පුරා නාගදීප විහාරවාසි භික්‍ෂුන් මුහුණ දුන්  දුෂ්කර කාලයන්හී සිව් පසයෙන් සත්කාර කළේ  එතුමා වන බැවිනි.

 .

 බිතු සිතුවම් රූ මෙන් පැවති ඒ සිංහල දෙමළ සහෝදරත්වය බෞද්ධ හින්දු ඥාතිත්වය විනාස කොට, මේ රට දෙකඩ කළ සාපය තිස් අවුරුදු යුද්ධයක් බවට පෙරළිණ. එහෙව් අතීතයක් ඇති මේ වර්ගවාදි  යුද්ධයට මැදිවූ ආණ්ඩුවේ සොල්දාදුවන් 66000ක් පමණක් වෙනුවෙන් සිදු කළ මේ ඉදි කිරීම යනු ආත්මාර්ථය, වෛරය කුළු ගන්වා, බෞද්ධ සම්ප්‍රදායේ දැගැබ් සංකල්පය අවභාවිතා කොට අටමස්ථාන ශුද්ධ භූමිය කිළිටි කිරීමකි.

 

තම ප්‍රති මල්ලව එළාරගේ මෘත කලේබරයට බුහුමන් කළ දුටු ගැමුණුගේ විශිෂ්ඨ මනුස්සකම් විසිරී පවත්නා ඒ ශුද්ධ භූමිය, දාගැබක නාමයෙන් ගොඩ නැගූ මේ යුධ ස්මාර්කයේ වෛරයේ මූර්තියේ බර කෙතෙක් කලක් නම් දරා සිටිත්ද?

 

වර්ගවාදි එදිරිවාදිකම් පැවති කාලය පුරා, යම් යම් අවස්තාවල තනිව අසරණව පීඩාවට පත් කොපමණදෝ දමිල ගැහැනුන් මිනිසුන් දකුණේ සිංහල ජනතාවගේ ආරක්‍ෂාව ලැබීය. එසේම උතුරේදී ඒ තරමටම සිංහල ජනතාවට එකී ආරක්‍ෂාව දෙමළ ජනතාව විසින් සලසනු ලැබිය. එපමණක් නොවේ.

උනුන් කා කොටා ගත් ඒ ක්‍රියාවන් නිවැරදි නොවූ බව කී යාපනේ දමිළ මිනිසුන් ගැහැනුන් කී දෙනෙකු එල්ටීටීඊ කාඩරයන් විසින් විනාස කරන ලද්දේද? දමිළ මානව හිමිකම් ක්‍රියාකාරිනියක ලෙස ප්‍රකට රාජිනී තිරාණගම (1954-1989) නම් යාපනේ විශ්වවිද්‍යාලයේ තිස්පත් හැවිරිදි කතිකාචාර්යවරිය ඊට එක් නිදසුනකි.

 ඒ වනවිට ඇය දයාපාල තිරාණගම නම් දකුණේ සිංහලයෙකුට දාව දරුවන් දෙදෙනෙකු බිහි කළ මවකව සිටියාය. ඇය කළ  වරද කුමක්ද? සිදුවෙමින් පැවති වර්ගවාදයේ සැබෑව විග්‍රහ කරමින් රාජන් හුලේ සහ තවත් කිහිප දෙනෙකු සමග එක්ව ලියා පළ කළ බිඳුණ තල්ගස නම් කෘතිය බවට සැක කරති.

 

මේ ඉතිහාසය ආකාස්මිකව ඔහේ ලියැවුණා විය හැකිය. එහෙත් සසුනට පූජා කළ සඳහිරු සෑයට සමගාමීව, කෝපායි පිහිටි එල්ටීටීඊ සුප්‍රකට යුද ස්මාර්කය  කඩා  බිඳ එකී භූමිය සමතලා කොට, හමුදා ගොඩනැගිල්ලක් ඉදි කළ සිද්ධිය ඒෂියා නිවුස් වෙබ් අඩවිය 2011-09-03-දින වාර්තාව සිහිපත් කළ යුතුවේ.

 

ගඩොල් කෝටි දෙකහමාරක්, සිමෙන්ති කොට්ට එක් ලක්‍ෂ හැත්තෑ පන් දහසක්, වැලි කියුබ් පහළොස් දහසක් යටකොට, අඩි 283ක් උසට, අඩි 225ක විශ්කම්භය ඇතිව රුවන්වැලි සෑයට අභියෝග කරමින් ගොඩ නැගූ සඳහිරු සෑය යනු වෛරයේ පමණක් නොව, අකෘතඥභාවයේද ප්‍රති මූර්තියකි. බුදුන් උදෙසා කළ පූජාවක් නොවේ.

අනුරාධපුර සුද්ධ භූමියෙහි මේ යුධ ස්මාර්කය ඉදි වුණේ මහා සංඝයා වහන්සේගේ ආශිර්වාදයෙන් නොවේ. දැඩි විරෝධය මධ්‍යයේය. ඒ නිසාම,  මේ සඳහිරු සෑය නම් යුද්ධ ස්මාර්කය ඉදි කළ එවුන්ට පමණක් නොව සකල ජනතාවම බිලි ගන්නා සාපයක් විය හැකිය.

2015 ජනවාරි 9 වෙනිදා මහින්ද රාජපක්‍ෂ මැදමුලන ගෙදර ජනේලයක එල්ලී රට බෙදා වෙන් කළා කියා වැළපුණ අවස්ථාවේ ඇයි සර් අරූ මරලා හරි දිනුවේ නැත්තේ කියා නමින් නොදන්නා නූගත් පුද්ගලයෙකු විලාපය ලෝකයට අසා සිටියහ. ඒ ගිරුවා පත්තුවේ නූගත් හේන් ගොවියෙකු විය මැදමුලන වලව්ව ආශ්‍රයෙන් ජය පරාජය තේරුම් ගත් ආකාරයයි.

එහෙත් ජාතියක් සතුටු කළ නීලා වික්‍රමසිංහ නම් ගායිකාව කොළඹදී ඒ ප්‍රකාශයම යළි උච්ඡාරණය කළාය. ඒ කියන්නේ දුටු ගැමුණු යුගයේත් පැවතිරටේ සදාචාරයට රාජපක්‍ෂා කළ හානිය නොවේද? 

 

සතුරාටත් ගෞරව කළ දුටුගැමුණු නර ශ්‍රේෂ්ඨයා ආ ගිය භූමියේ සඳහිරු සෑය ඉදි කොට, ඉතිහාසයට යන්න උත්සාහ කරන රාජපක්‍ෂලා ලාකේය ජන මනසට කළ විනාසය  මෙවැන්නකි.

 

ඉහළම කලා කරුවාගේ පටන් හේන් ගොවියා දක්වා මේ රටේ මිනිසුන්ගේ හිත් විකාර කොට වෛරය වැපිරූ මැදමුලන සමාගමේ හෙට දවස අප ජීවත්වන වර්තමායේ ප්‍රශ්න කෙරෙමින් පවතී.  

මෛත්‍රිය වෙනුවට, වෛරයද, ධර්මය වෙනුවට අධර්මයද, වෙනුවෙන් පෙනී සිටින, මැදමුලන පවුල් භික්‍ෂුන්ගේ අකමැත්ත මධ්‍යයේ මේ ඉදි කිරීම යනු සාංඝික දේපලක් අනවසරයෙන් පරිහරණය කිරීමකි. මෙය සාංඝික වන්නේ දේවානම්පියතිස්ස මහරජු මිහිඳු හිමියන් හමුවේ දන ගසා කළ පූජාවෙනි. පවුලක් විසින් ගසා කමින් සිටින්නේ බුදුන් තෙවරක් වැඩි මේ පින්බිම නොවේද?  

2013 දී War Cemetery සැලසුම්  කළ මුල් අවස්ථාවේම අටමස්ථාන විහාරවාසි භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක් සියලු කාරණා දක්වා, ආණ්ඩුකාර දිවුල්ගනේ සහ අමාත්‍ය ඇස්.ඇම්.චන්ද්‍රසේන  ඉදිරිපිට මේ විනාසය නොකරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දැනුවත් කළහ.

 මුලින් තෝරාගෙන  තිබුණේ ජේතවනාරාමය අබියස ඉඩමකි. භික්‍ෂු විරෝධයෙන් එය හකුලා ගැනිණ. ඉන්පසුව, සමාධි ප්‍රතිමාව සහ අභයගිරි දැගැබ අතර, බිමකඩක් තෝරා ගැනිණ. ඊටද මහා සංඝයා වහන්සේ පෑ විරෝධය හේතුවෙන් යටත් විජිත සමයේ ගව ඝාතනාගාරය පිහිටි වර්මාන භූමිය තෝරා ගැනීමට සිදුවිය. මෙකී ක්‍රියාවෙන් එකී බිම්කඩ යළිත් අපවිත්‍ර නො කෙළෙහිද?  

 

අනගාරික වලිසිංහ හරිශ්චන්ද්‍ර වැන්නන් සිරබත් කමින් කැපවී අන්‍යාගමික පල්ලි කෝවිල් පවා ඉවත් කරවා, බේරා ගත් අනුරාධපුර අටමස්ථාන ශුද්ධභූමියේ යුධ ස්මාර්ක ඉදි කිරීම සුළුවෙන් තැකිය යුතු නැත.  දේශීය ඉතිහාසය සංස්කෘතික චින්තනය හඳුනා නොගත් කිසිවෙකුට කන් නොදෙන හිතුවක්කාර රාජපක්‍ෂලාට අනාගතය මනසින් දකින තෙර නමක් 2013දී මූනටම කියා ඇත්තේ මේ සෑයට තබන ගඩොලක්ම රාජපක්‍ෂාලාට එරෙහිව ගොඩ නැගෙන සාපයක් වන බවය.

 

ඔබ ඊළඟ මැතිවරණයෙන් පරදිනවා. ලියා තියා ගන්න. කියාය. එය නියත විවරණයක් නොවිද? මේ අත් විඳින්නේ කිව්වා නාහන පාලකයන් නිසා රටක ඇදවැටෙන හැටිය. අපට කළ යුත්තේ බලා සිටීම පමණක් නම් නොවන බව සටහන් කර තබමි.

 

නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත් පතේ පළවූ ලිපියකි.)
Chandrasiri Senevirathne 21





සබැඳි ලිපි :

 
 
The Leader TV
 
 

'සඳහිරුසෑ' යුද ස්මාරකය අගමැතිට අපලයක් වෙයි ?

 

නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති... !!
 
 

 
 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්