ජනාධිපතිතුමායි, ශ්‍රිලනිපයයි අතර සාකච්ඡා ඊයේ තිබුණා. ඒකට ජනාධිපතිට අමතරව අගමැති, මුදල් ඇමති, දිනේෂ්, සාගර වගේ කට්ටියත් සහභාගී

වෙලා හිටියා.

සාකච්ඡා බොහෝම සුහදව තිබුණා කියලා තමයි ආරංචි උනේ. ශ්‍රීලනිපය ඉදිරිපත් කරපු යෝජනා 15 ගැන ගැඹුරෙන් සාකච්ඡා කලාලු.

මෛත්‍රී නං කිව්වේ ආණ්ඩුව සර්ව පාක්ෂික සමුළුවක් තියන්න එකඟ උනා කියලා. ඒ විතරක් නෙවෙයි එතනින් එහාටත් ගිහිල්ලා විද්වත් වගේම ආගමික සමුළු දෙකක් තියන්නත් එකඟ වෙලා.

දැන් ඔන්න සර්ව පාක්ෂික සමුළුවවට මාර්තු 23 කියලා දිනයත් තීරණය කරලා.

ශ්‍රීලනිපය පෑත්තෙන් නං පෙන්නුවේ ජයග්‍රාහී හැඩයක්.

ඊළඟට ඊයේ ජානීපෙ රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර ඉල්ලා අස්වුණා. රට වටේටම කෝල් දලා ඉල්ලා අස්වෙන එකද හොද නැත්තං ඉන්න එකද කියලා අහලා, කට්ටියගෙන් ආපු පීඩනය දරා ගන්න බැරිව ජයන්ත අයින් උනා.ඒක සද්භාවයෙන් සිද්ධ උනා නං වැඩේ සිද්ධ වෙන්න ඕනි මිට සතියකට ඉස්සෙල්ලා.

කොහොම හරි වාසු තවමත් නිරුපද්‍රිතව වගේම දේශපාලන වශයෙන් නිර්වස්ත්‍රව ඇමතිකමේ ඉන්නවා. රටේ රාළ නං මුල ඉදලම කිව්වේ ජනාධිපතිතුමයි, ශ්‍රිලනිපයයි අතර සාකච්ඡා කියන්නේ තවත් දේශපාලන ගැටයක් කියලා. ඒ ස්ථාවරයෙන් එක දශමයක් එහාට මෙහාට වෙන්න රටේ රාළ ලෑස්ති නෑ.

 

මෙතනදී පොහොට්ටුවට වගේම ශ්‍රීලනිපයටත් තාවකාලික වාසියක් වෙලා තියනවා. පොහොට්ටුව පැත්තෙන් කරලා තියෙන්නේ ඊළඟ පියවරට යනකල් ශ්‍රීලනිපය එක්ක තාවකාලික සටන් විරාමයකට යෑම. ශ්‍රීලනිපයටත් තව ටික දවසක් ගෞරවය බේරාගෙන පොහොට්ටුව ඇතුළේ ඉන්න අවස්ථාව හදා ගෙන. ඔතෙන්ට නියමටම ගැලපෙන්නේ වතුර රත්වේගෙන එනකං කකුළුවා හැලියේ නටනවා කියන එක.

 

ඊළඟට විමල් සහ ගම්මන්පිල සම්පුණයෙන්ම තනි උනා වගේම පරාජය උනා. ඇත්තටම දැන් සුළු පක්ෂ සන්ධානයේ පක්ෂ දහයට ඉතිරි වෙලා තියෙන්නේ රටේ රාළ කියපු විකල්ප තුන විතරයි. එකක් රාජපක්ෂලාට නැවත වටයකින් යටත්වීම, නැත්තං ශ්‍රීලනිපය ගොඩනගන්න සන්ධානයට එකතුවීම. එහෙමත් නැත්තං සජබෙ එක්ක එකතුවීම.

තවත් විකල්ප තියනවා. ඒත් ඒවා කරන්න ධෛර්යයක් එයාලට නෑ. ඒක නිසා ඒවා ගැන කතා කරලා වැඩක් නෑ.

මෙතනදී රටේ රාළ කියන්නේ රාජපක්ෂලාගේ දේශපාලන උපාය ජයග්‍රහණය කළා කියලා. ඇත්තටම දේශපාලන උපායශීලීත්වය අතින් නං රාජපක්ෂලා සුපර් මෑන්ලා තමයි. නැත්තං මෙච්චර සමාජ විරෝධයක් තියෙද්දි මේ ආණ්ඩුව මෙහෙම නොවැටී තියෙයිද? කොහොම හරි මෙතනදී රටේ රාළගේ ඔළුවට එන්නේ විමල්ලා ආයින් කලාට පස්සේ බැසිල් කියපු කතාව.

 

අන්තවාදී නොවන ජාතික ආණ්ඩුවක් සදහා සියලු දෙනා එකතු වෙන්න ඕනි කියලා බැසිල් කියලා තිබුණා. රටේ රාළ කියන්නේ බැසිල්ගේ ඒ ප්‍රකාශය ඇතුළේ තමයි රාජපක්ෂලාගේ ඊළඟ දේශපාලන උපක්‍රම හැංගිලා තියෙන්නේ.

 

නව යටත් විජිත සිස්ටම් එක වගේ එකකට මාරුවීමේ සුදානම !


ඔයාලට මතක ඇති මීට අවුරුද්දකට විතර උඩදී රටේ රාළ ඔය කතාව කිව්වා. රාජපක්ෂලාට තියන අවසන් උත්තරය ජාතික ආණ්ඩුවක් කියලා. ඇත්තටම ජාතික හා ජාත්‍යන්තර වශයෙන් රාජපක්ෂලාට එල්ල වෙන පීඩනය ඇතුළේ දැන් තියන එකම හා අවසන් උත්තරයක් ඒක.

ඉතිහාසයේ සුද්දා දෙවෙනි ලෝක යුද්දෙන් හොම්බ බීම ඇණගෙන තවදුරටත් යටත් විජිත පාලන කරගන්න බැරි තත්වයට පත් උනා. ඒ වෙලාවේ සුද්දා කළේ තමන්ගේ උපක්‍රම වෙනස් කරලා යටත් විජිතවාදයෙන් නව යටත් විජිතවාදයට මාරු වෙන එක. රාජපක්ෂලත් මේ කරන්න හදන්නේ ඒ ජාතියේ වැඩක්. තමන්ගේ යටත් විජිතය අන්සතු වෙන්න ඉස්සෙල්ලා නව යටත් විජිත සිස්ටම් එක වගේ එකකට මාරු චෙන එක.

ඇත්තටම එදා රටේ රාළ කිව්ව ජාතික ආණ්ඩුව දැන් තියෙන්නේ අතේ දුරින්. දැන් ඒකේ කසකාරයෝ එන්න පටන් අරන්. මහින්දගේ වගේම බැසිල්ගේ කතාවලින් ඒක පේනවා.

 

ඊයේ රනිල්ගේ කතාවෙනුත් සතා එළියට පැන්නා. රනිල් කියන්නේ ඔක්කොම එකතු වෙලා ඉස්සෙල්ලා රට බේරගෙන ඉමු කියලා. ඊට පස්සේ මැතිවරණයකට තරඟ කරමුලු. ඇත්තටම ඒක බැලූ බැල්මට පට්ට ප්‍රගතිශීලී සංකල්පයක්. අනේ ඔහොම මෙයාල කීපාරක් රට බේර ගත්තද?

 

ඊළඟට රටේ රාළ කියන්නේ ඊයේ රාජපක්ෂලා ශ්‍රීලනිපයත් එක්ක කරපු සාකච්ඡාවේදී සර්ව පාක්ෂික කතාව ගත්තේ ඒ අදහසින්. ඒක හෙමින් සැරේ ජාතික ආණ්ඩුව පැත්තට හරවන්න පුළුවන්.

ඊළගට මෙයාලා ජාතික ආණ්ඩු මතවාදය ඇතුළේ ශ්‍රීලනිපය හිර කරන්න උත්සහ කරනවා. ජාතික ආණ්ඩුවක ඇමති ධූර 45 දක්වා යන්න පුළුවන්. ඕනි නං ඊටත් එහාට යන්න පුළුවන්. ඒක කැරට් අලය තමයි මෙයාලා ශ්‍රිලනිපයට එක තැනකදි පෙන්නන්නේ. ඒකට ශ්‍රීලනිපයේ කොටසක් රැවටිලා අනාථ වෙන්න පුළුවන්.


ජනාධිපතිගේ විශේෂ ආර්ථික සභාව !


ඊළඟට ජනාධිපතිතුමා විශේෂ ආර්ථික සභාවක් පිහිටවන්න කැබිනට් අනුමැතිය ගත්තා. ඒකේ ඉන්න කට්ටිය දැක්ක ගමන් රටේ රාළට නං දෙයියෝ සිහිවුනා. ගෝඨාභය, මහින්ද, බැසිල්, බන්දුල, ජොනී, මහින්දානන්ද, රමේෂ්, කබ්රාල්, ගාමිණි සෙනරත්, ආටිගලයි තව මහ බැංකුවේ ඒක්කෙනෙකුත් ඉන්නවා.

PHOTO 2022 03 10 11 28 08PHOTO 2022 03 10 11 28 09

ඉතිං ඔයිට වැඩිය හොදයි නේ කැබිනට් එක දවසට කබ්රාල්ටයි. මහ බැංකුවේ අනිත් කෙනයි, ආටිගලයි එතෙන්ට ගෙන්න ගත්ත නං. ඇත්තටම මේ කළේ කැබිනට් එක මඟෑරලා, රටේ ජනතාවගේත් ඇස් වහලා රාජපක්ෂලාගේ විකුණං කන කොමිස්කාර ආර්ථික ප්‍රතිපත්තිය බාධාවකින් තොරව ගෙනියන්න පුළුවන් ක්‍රමයක් හදාගැනීම.

ජාතික ආණ්ඩුව එනකං යන්න හදා ගත්ත ක්‍රමය තමයි ඒක. ඒ කියන්නේ බටහිරට හා ඉන්දියාවට ඕනි විදිහට රටේ ආර්ථික හැසිරවීම. දැන් කෙලින්ම ඉන්දියාව කතා කරලා කියනවා ඊළඟට කෙරෙන්න ඕනි මොකද්ද කියලා. ඒක හරියට විග්‍රහ කරගන්න පෙරේදා ඉන්දියන් විදේශ ඇමති ජයසංකර්ගේ ටිටර් පණිවිඩය හොදට බැලුවොත් තේරෙනවා. ඇත්තටම රටේ රාළ කියන්නේ මේ ජාතික ආණ්ඩු සංකල්පය පිටිපස්සේ ඉන්දියාව ඉන්නවා.

ආණ්ඩුව ඊයේ රුපියල පාකරන්න ගත්ත තීරණය ගන්න ඇත්තේත් ඉන්දියන් උපදෙස්වලට අනුව වෙන්න ඕනි. ඒක නිසා ජාතික ආණ්ඩුව එන බව කියන එකේ තවත් කසකාරයෙක් තමයි විශේෂ ආර්ථික සභාව. තනිකර ආර්ථික සම්බන්ධ තීරණ ගැනීම පවුල වෙත තියාගෙන. දැන් ඒක කැබිනට් එකටත් නෑ.

 

ඇත්තටම ගත්තොත් ඇයි රාජපක්ෂලාට ජාතික ආණ්ඩුවක් ඕනි. කොටින්ම කිව්වොත් බැරිකමට. මේ රටේ ජනතාව තවමත් ඒක හරියට තේරුම් අරගෙන නැතත් රාජපක්ෂලා ඒක තේරුම් අරන් තියනවා. බලන්න තමන්ගේම බැරිකම තව කට්ටියක්ගේ පිටින් තියලා එයාලගේ බැරිකම පොදු සටන් පාඨයක් කරලා ගේන අපූරුව, බැරිකමෙන් රාජපක්ෂලා ගොඩයන්න හදන හැටි.

 

මේ වෙලාවේ මේ ආර්ථික අර්බුදයට රාජපක්ෂලාට උත්තරයක් නෑ. හරි වැඩපිළිවෙලක් නැතිව උත්තරයක් තියනවා කියලා රාජපක්ෂලා ඔළුවෙන් හිටගෙන කිව්වත් රටේ රාළ නං පිලිගන්නේ නෑ. ඇත්තටම මේ ප්‍රශ්නයට රාජපක්ෂලා එක්ක උත්තරයක් හදන්න බෑ.

ඊළගට රාජපක්ෂලාට එන ජාත්‍යන්තර පීඩනය සුළු පටු එකක් නෙවෙයි. මෙච්චරකල් තිබුණ ප්‍රශ්නවලට අමතරව දැන් පාස්කු ප්‍රශ්නයත් ජාත්‍යන්තරයට ගිහින්. කොහොම උනත් පාස්කු ප්‍රශ්නය ඉස්සරහා ආණ්ඩුවට දැනටමත් කට උත්තර නෑ. දැන් ඒ ගැන වාර්තාවක් ජිනීවා කොමිසමෙන් ඉල්ලනවා. ආණ්ඩුව යවන වාර්තාට සමාන්තරව තවත් වාර්තාවක් කතෝලිකයන් සභාවෙන් යවයි.

ඒක නිසා ආණ්ඩුව බොරු වාර්තා යවලා බේරෙන්නේ බෑ.

දැන් ආණ්ඩුවට මේ ප්‍රශ්න ටිකෙන් බේරෙන්න තමයි ජාතික ආණ්ඩුවක් ඕනි. ඒ වගේම ජාතික ආණ්ඩුවක් හදනවා නං ආණ්ඩුව රනිලුත් ඕනි.

 

මේ වෙලාවේ පොහොට්ටුව එක්ක ජාතික ආණ්ඩුවක් හදන්න රනිල් කැමති වෙයිද? ඊළඟට තියෙන ප්‍රශ්න ඒක. රටේ රාළ කියන්නේ දැන් රනිල් කැමති වෙන්න තියන ඉඩ වැඩී. ඒ රනිල් මෙහෙම බාබා වගේ පාර්ලිමේන්තුවේ හිටියා කියලා එජාපයට සෙතක් වෙන්නේ නැති බව රනිල් දන්නවා.

 

ඇවිලෙන ආණ්ඩු විරෝධය දැන් එජාප මල්ලට වැටෙන්නේ නෑ. ඔක්කොම යන්නේ සජබෙට, ජාතික ජන බලවේගයට නැත්තං 43ට. ඒක නිසා රනිල් මේකට එයාගේ කෛරාටික දැනුම දාලා උත්තරයක් හෙව්වොත් රනිල්ටත් දැන් තියන එක උත්තරයක් තමයි ජාතික ආණ්ඩුව. ඒක නිසා තමයි රනිල් දැන්ම ඉදන්ම රට බේරගමු කියන පදය ගහන්නේ.

රනිල් ජාතික ආණ්ඩුවට එන ඒක තීරණය වෙන්නේ රනිල්ට ඒ ආණ්ඩුවේ දෙන බල පංගුවේ ප්‍රමාණය අනුව. රනිල්ට පොඩි ඔෆර් එකක් නං දෙන එකක් නෑ. ඊළඟට රනිල්ට සල්ලි වලින් ඔෆර් තියන්නත් බෑ. රනිල් අහනවා ඇත්තේ එජාපයේ බලයේ පංගුව මොකද්ද කියන එක.

දැනට එන ආරංචිවල හැටියට ඒ ගැන මීට මාස හය හතකට උඩදී හැදුණ එකඟතාවය ආයෙත් අලුත් වෙලාලු. ඒකෙන් එජාපයට ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර පහක් දෙනවලු. සමහරවිට වෙන්නත් බැරි නෑ.එ හෙම වෙනවා නං රනිල් එක්ක සජබේ කණ්ඩායමක් එනවා. ඒක ෂුවර්. ඕනි නං නම්වලින් කියන්නත් පුළුවන්.

පොදුවේ කිව්වොත් සජිත්ට සජබේ වයසක සෙට් එක පරිස්සම් කර ගන්න වෙයි. තරුණ අයත් තුන හතරක්.

 

එතනදී රනිල් බලාපොරොත්තු වෙනවා ඇත්තේ අගමැතිකම. රනිල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා බටහිර අල්ලගෙන මොනවා හරි ටිකක් කරයි. ඒ ප්‍රතිරූපය රනිල්ට තියනවා. ඊට පස්සේ ලෝක ආර්ථික අර්බුදය අස්සේ රට බේරාගත්තා නායකයා විදිහට රනිල් එජාපය උස්සන්න හිතනවා ඇති. එජාපය කියන්නේ බලයත් එක්ක ටක්ගාලා නැගිටින පක්ෂයක්.

 

එජාපය ශක්තිමත් කර ගන්න ගමන් සජබය වට්ටන්න රනිල්ට ඕනි. මේ ජාතික ආණ්ඩුව හැදෙනවා නම් ඒක හැදෙන්නේ සජබය දෙකට බෙදාගෙන. මේකට තව පක්ෂවලින් ගැලවිලා එන්න පුළුවන්. විශේෂයෙන්ම දෙමළ සන්ධානයෙන්, මුස්ලිම් කොංග්‍රසයෙන්, රිෂාඩ්ලා එන්න බැරි නෑ. මේක තමයි ඊළඟට රඟ දක්වන්න නියමිත නාටකය. ඒක එහෙම උනොත් එතනදී කීප දෙනෙක් එළියට වැටෙනවා.

අනිවාර්යෙන්ම ශ්‍රීලනිපයට ඉතුරු වෙලා තියන දෙයක් අරන් එළියට බහින්න වෙනවා. සජිතටත් ලොකු ඩැමේජ් එකක් වෙලා එළියේ හිටී. 43 ත් හිටී.

එයාලට සිංහල බෞද්ධ පදනමට කතා කරන්න චරිතයක් නැති වෙනවා. ඉන්නේ ගලගොඩ අත්තේ ඥාණසාර හාමුදුරුවෝ විතරයි. ඒක නිසා ඒ ජාතික ආණ්ඩුවේ පාඨළීටත් මිලක් තියෙයි.

ඊළඟට විපක්ෂේ ප්‍රබල කෑල්ලක් බවට ජාතික ජන බලවේගය පත් වෙන්න ඉඩ තියනවා. 43 ටත් යමක් හැදෙයි. ඒ වෙලාව වෙනකොටත් ජවිපෙ අනුගමනයට කරමින් ඉන්නේ ටිල්වින්ගේ මූලධර්මවාදී ප්‍රතිපත්තියම නං ඒකටත් බඩු හම්බ වෙයි.

ඔන්න ඔය සන්දර්භය ඇතුළේ තමයි එතකොට 2024 ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා හැදෙන්නේ. බලමු එයා කවුද  කියලා. මෛත්‍රීද, සජිත්ද, අනුරද, පාඨළීද කියලා. නැත්තං කරූද? ඩඩ්ලිද? ශීරානී බණ්ඩාරනායකද කියලා.

ඔයාලට හිතෙයි රටේ රාළ සුරංගනා කතා කියනවා කියලා. කමක් නෑ දැනට එහෙම හිතේ තියාගෙන ඉන්න අපට අනාගතේ දවසක මේ ගැන කතා කරන්න පුළුවන් වෙයි.

එහෙනම් ගිහින් එන්නම්.

බුදු සරණයි. ජයවේවා

 

Priynatha witharana

මීට
රටේ රාළ


(Priyanjith Vitharana ෆේස්බුක් පිටුවෙන්...)

 

 

Leader Whats app

 

 

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්