ජපානය දෙසින් හමනා දුඟද සමාජ මාධ්‍ය පුරා ඉතිරි පැතිර යමින් තිබේ.
තම ලිංගික පැවැත්මේ අභිරහස අනපේක්ෂිතව හෙලිදරවු වූ මොහොතක තමන් විසින්ම උත්තේජනය සපයන ලද බැතිමතුන් පිරිසකගේ වියරු කෝපයට වරෙක තමන්ගේම වීරයා වූ භික්ෂුව ගොදුරුවී සිටිනයුරු ජනයා අභිරුචියෙන් නරඹමින් සිටිති.
නමුදු ඒ රූප රාමු නරඹන විට කැපී පෙනෙනා දෙයක් තිබේ. ඒ භික්ෂුවගේ අඳනය යට සදාචාරය සොයනා බැතිමතුන්ගේ වියරු කෝපය හමුවේ පිටවෙන වදන් විසින් ඔවුන්ගේද සිල් රෙදි යට ඇති සදාචාරය නිරුවත් වන බවයි.
ගැටලුවට මුහුණ පා සිටිනා භික්ෂුව ලංකාවෙහි චිර ප්‍රසිද්ධ චරිතයකි. අනුගාමිකයන්ට ඒ විරුවෙකි. ජාතියේ ගැලවුම්කරුවෙකි. බුදුන්ටද දම් දෙසන්නට හැකි තරම් බොදුනුවෙකි. බොදු සිංහයෙකි. එහෙත් මැදහත්ව බලනා අයට ඒ භික්ෂුව පෙනෙනුයේ වෙනත් ආකාරයකටය. ඒ අන්ත ජාතිවාදී, අන්තවාදී එමෙන්ම සුපේශල ශික්ෂාකාමී බව වෙනුවට මැරවර පැවැත්මක් විදහන චරිතයක් ලෙසිනි. එසේම රාජ්‍ය බලයෙහි යතුරු ඇත්තන් ගේ ආරක්ෂාව යටතේ අත්තනෝමතික ලෙස හැසිරෙන්නෙකු ලෙසිනි.
දැන් ඒ භික්ෂුව තමන් විසින් වපුරන ලද දෙයෙහි අස්වැන්න නෙලාගනිමින් සිටී. තමන්ගේ දෙපා වඳින්නට පොරකෑ සැදැහැවතුන්ගේ හිසට පැහැරීම එතරම් සුළුවෙන් තකන්නට බැරි බව භික්ෂුව ඉදිරියට කඩා පනිනා පිරිස සැබෑ වියත් බසින් කියාදෙමින් සිටිති. ඔවුන් විසින් කියනා වදන් තුළ ඇත්තේ තමන් මෙතෙක් විශ්වාස කළ රන් රුව මැටි ගොඩක් බව පෙනී යාමේ අපේක්ෂා භංගත්වයේ බිහිසුණු කමයි.
එහෙත් අප කෙසේ වත් අමතක නොකළ යුතු දෙයක් මෙහි තිබේ. මේ මෙවන් සිදුවීම් වල පළමුවැන්න හෝ අවසානය නොවන බවයි. එසේම මේ ප්‍රතිචාර යනු කෙසේවත් සැබෑ ගැටළුව කෙරේ පිවිසීමක් හෝ සැබෑ විසඳුමක් ද නොවන බවයි. අප ක්ෂණික ආවේගයන් මුදා හරිමින් යළි සතියෙන් සියල්ල අමතක කර සෑ වටා පළතුරු වට්ටි පුදමින් තවත් වරක් රැවටෙනු හැර සිදුවන වෙනත් සෙතක් නැති. එසේම මෙවන් අවස්ථාවල තම කෝපය පිට කරනා බෞද්ධයන් විසින් මනුෂ්‍යත්වයට කරනා හානිය ද සුළු පටු නැත.
මීට පෙර අවස්ථාවක දී භික්ෂුවක් කාන්තාවක සමග සිටින දසුන් පෙලක් සමාජ මාධ්‍යයට මුදාහරිනු ලැබිණි. ඒ දසුන් පෙලෙහි තිබූ සංවේදීම කොටස වූවේ කාන්තාවගේ කුඩා දියණියන් දෙදෙන කැමරාව මග හරින්නට දැරූ සානුකම්පිත උත්සාහයයි. සැදැහැවතුන්ගේ කෝපවේගය මැද අසරණ වූ ඒ දැරියන් දෙදෙන ගැන කිසිවකුට හෝ වගක් තිබුණේද නැති. අපි අපට තුවාලයක් සිදුවූ සැණින් අනෙකාට විය හැකි තුවාල වල දරුණුකම නොතකා හරින්නට පෙළමෙන්නෙමු. ඛේදය එයයි.
භික්ෂුවගේ අඳනය යට සදාචාර සොයනා සමාජය සැම විටම සැබෑ ගැටළුව මගහරිමින් සිටී. බරපතලම කරුණ නම් එයයි. භික්ෂුවගේ අඳනය යට සදාචාරය සොයනා සමාජයට ඒ භික්ෂුව සමස්ත සමාජයම ගිල්වන අන්ධකාරය ගැන වගේ වගක් නැත. ජාතිවාදයේ විෂ පතුරන, අන්තවාදයට උඩගෙඩි දෙන, අන් මිනිසුන්ගේ අයිතිවාසිකම් අහෝසිවන ආකාරයට කරනා මැදිහත්වීම්, දේශපාලන බලයෙන් මත්ව කරනා අත්තනෝමතිකකම් යන මේ කිසිවක් ඒ සමාජයට අදාල නැත. අදාල වන්නේ භික්ෂුවගේ යටි කයෙහි හිරියෙහි කම්පනය පමණි. ඒ අනුව බලන විට කම් සැපෙහි නොගැලෙමින් නැතිනම් අසුනොවන සේ ගැලෙමින් භික්ෂුව පෙරකී සියළු දේ හරහා මිනිස් සමාජය පරිහානියට ලක් කිරීම සැදැහැවත් සමාජයට ගැටළුවක් නොවේ.
භික්ෂු සමාජය පරිහාණියට පත්වන විට වගකිව යුතු නායක හිමිවරුන් ඒ නොදුටු සේ සිටීම තත්වය තවත් නරක අතට හරවයි. තමන්ගේ සංඝයෙහි පිරිපහදු කල යුතු තැන් මගහරිමින් කසාවතෙහි ආවරණය යට සමස්ත සමාජයම අන්ධකාරයෙහි ගිලී යද්දී නිහඬව සිටින භික්ෂු සංස්ථාවට අවසන සිදුවන් ඇත්තේ තමන් විසින්ම උත්කර්ෂයට නංවන ලද සැදැහැවත් සමාජය කුපිතව පෙරලා දෙන පහර හමුවේ එපා එපා ලැජ්ජයි කියන්නට පමණි.
සමස්ත සමාජය මෙන්ම භික්ෂු සමාජය ද කඩිනම් වෙනසක් ඉල්ලා සිටී. භික්ෂු සංස්ථාවෙහි අර්බුදය හට ගන්නා නියම තැන නොසොයා නැතිනම් ඒ නොදුටු සේ සිටීම තත්වය තවත් බරපතල අතට හරවනු ඇත. අද වන විට භික්ෂු සංස්ථාවෙහි ප්‍රධාන භීතියක්ව ඇත්තේ සසුන පවත්වා ගැනීමට භික්ෂූන් නැතිවේය යන බියයි. මේ බිය හේතුවෙන් අති බහුතරයක් භික්ෂූන් නිවෙස්හී සිය දෙමාපිය සෙවණෙහි දයාව ලැබිය යුතු කුඩා දරුවන් සසුන්ගත කිරීමට මහත් වෙරක් දරති. මෙසේ සසුන වෙත ගෙන එනු ලබනා කුඩා දරුවන්ගේ පසුබිම අපට ඉතා පැහැදිලිය. එසේම සසුන්ගත කිරීම පිණිස දක්වන හේතුද පැහැදිලිය.
පැටි වියෙහිදී තම අභිමතයෙන් තොරව- බොහෝ දරුවන් පැවිදි බිමට ගනු ලබනුයේද එසේ නිවැරදි තීරණයක් ගත හැකි වයසකදී නොවේ. සසුන්ගත කරනු ලබනා පිරිසෙන් කොටසක් තම අධ්‍යාපනය හමාර කොට උපැවිදි වෙති. තවත් පිරිසක් එවන් ඉලක්කයකට පවා නොයා උපැවිදි වෙති. තමන් සිටිනුයේ තමන්ට නොගැලපෙන බිමක බව වටහාගෙන ගන්නා එවන් පියවරක් අතිශය සාධාරණය. එසේ උපැවිදිව සමාජයෙහි ඉතා වැදගත් චරිත බවට පත් පුද්ගලයන් ගැන අපට අප්‍රමාණ උදාහරණ තිබේ. මේ අතර තවත් පිරිසක් තමන් සසුන් ගත කරන ලද්දේ තම අභිමතයෙන් තොරව වුව භික්ෂු ජීවිතය තම මාර්ගය සේ තෝරාගෙන සමාජයට යහපතම සදති.
බුදුන් වහන්සේ ගිහි දිවිය හැර යාම තෝරා ගන්නා පිරිසට යෝජනා කළ මාර්ගය ගිහි දිවියෙහි සිටින්නවුන්ට යෝජනා කළේ නැත. උන්වහන්සේ මේ මාර්ගයන් දෙක ඉතා මැනවින් තේරුම් ගත් සේම ඒ දෙපාර්ශවයටම ඇවැසි මගපෙන්වීමද ලබා දුන්නෝය. එහෙත් අද භික්ෂු සංස්ථාව මෙන්ම සමාජයද ඇත්තේ අවුල් ජාලයක බව ඉතා පැහැදිලිය. මේ දෙපාර්ශවයට ඇවැසි මගපෙන්වීම ලබා දෙන්නට භික්ෂු සංස්ථාව මෙන්ම ගිහි සමාජය ද අසමත්ය.
අප අද දවසේදී භික්ෂු සංස්ථාවෙහි ඛේදය එහි වර්තමාන අපගමනයන්ගෙන් වටහා ගන්නට තැත් කරන්නේ නම් අප අල්ලාගනු ඇත්තේ ගැටළුවෙහි වල්ගය පමණි. තම පැටිවියෙහිදී අන් අයගේ තේරීමක ගොදුරක් බවට පත්වන චරිතයක් තමන් වයසින් වැඩෙන විට දක්වන ප්‍රතිචාර ඒ දක්වා ඔහු පත්වන පසුබිමින් බැහැරව කල්පනා කිරීමෙන් අපට කිසිදාක හෝ විසඳුමක් නොලැබෙනු ඇත.
මේ සියළු අර්බුද මැද බුදුන්ගේ සැබෑ අනුගාමිකයන් සේ සිය පැවැත්ම රැකගන්නා සැබෑ භික්ෂූන්ද සිටින බව උන්වහන්සේලාගේ ගෞරවය පිණිස සටහන් කළ යුතුය. අවාසනාවට අද නැත්තේ එවන් භික්ෂූන්ගේ ප්‍රමාණවත් මැදිහත්වීමක් පමණි. මේ අද දවසේ ඇවැසිම මැදිහත්වීමය.
(චුලානන්ද සමරනායක)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Chulananda Samaranayake මුහුණු පොතෙනි.
සබැඳි පුවත් :
ව්‍යාපෘතියක් ෆේල් උනාම සමාජයකට වෙන දේ - (ආචාර්ය මහේෂ් හපුගොඩ)
මාගල්කන්දේ #හෑයියා - (චින්තන ධර්මදාස)