අර්ජුන රණතුංග මේ දවස්වල දෙන ලොරි ටෝක් ඇහෙන විට පුදුම සිතේ.

මුත්තයියා මුරලිදරන් කියන බොළඳ කතා ඇහෙන විට දුක සිතේ. ක්‍රිකට් හදන හැටි ගැන බුකයියෝ දෙන උපදෙස් දකින විට පුටුවෙන් බිමට ඇද වැටේ.

xcfgety54

මැච් ටිකක් පැරදුණු ගමන්ම ක්‍රිකට්වලට අධිපති රණතුංග දෙයියා පොළොව පලාගෙන මතු වෙනවා.

“ඒ කාලේ අපි ක්‍රිකට් ගැහුවේ මෙහෙමයි…” කියාගෙන තමන්ගේ වංසෙ කබල් ගාමින් පම්පෝරි ගහනවා. “ක්‍රිකට් ක්‍රීඩකයන් අද සෙල්ලම් කරන්නේ මුදලට” යැයි කියන අර්ජුන තමා සෙල්ලම් කළේ රට ජාතිය ආගම වෙනුවෙන් යැයි පුරසාරම් දොඩයි. අනේ නිකං පලයන් මහත්තයෝ යන්න. අර්ජුනලා සෙල්ලම් කළෙත් මුදල්ට තමයි.

ක්‍රිකට් කියන්නේ ප්‍රභූ ධනවතුන්ගේ බෝරින් ජීවිතය ගෙවා ගන්න ඔවුන් කරන සෙල්ලමක්. ඒ දවස්වල ක්‍රිකට් ගැහුවේ දවස් ගණන්. දෑතේ දෙපයේ රස්සාවක් නොකර එහෙම දවස තිස්සේ බෝල සෙල්ලම් කරන්න පුළුවන් කාටද? ධනපති ප්‍රභූන්ට පමණයි. අර්ජුනලා කරපු කෙහෙල්මල් කැපකිරීමක් නැහැ. ඔවුන්ගේ ධනවත් දෙමව්පියන් ඔවුන්ගේ සියලු වියදම් දැරුවා. 

 

ඒ අස්සේ මුත්තයියා කියනවා දිවයින පුරා විසිරී සිටින මිණිකැට මුතුකැට හොයාගන්න නම් ක්ලබ් ගැහිලි නවත්තලා පාසල්වල ඉන්න දක්ෂ දරුවන්ව හොයන්නලු. එයාට කියන්න තියෙන්නෙත් අනේ නිකං පලයන් මහත්තයො යන්න කියලා තමයි. එයා හිතන්නේ එයාට අවස්ථාව ලැබුණා වගේ මේ රටේ හැම දක්ෂයටම චාන්ස් එක සාධාරණව ලැබෙනවා කියලයි. මේ රටේ සාමාන්‍ය පාසලක ඉගෙන ගත්ත ඕනෑම මිනිහෙක් දන්නවා පාසලේ ක්‍රිකට් සෙල්ලම් වෙන්නේ කොහොමද කියලා. එතන තියෙන්නෙත් අර්ජුනලගේ ප්‍රභූ ධනේශ්වර ආධිපත්‍යයේම අඩු කුලේ වර්ෂන් එකක්ම තමයි.

ඉස්කෝලේ ක්‍රිකට් ගහන්න පුළුවන් ඒ සඳහා සල්ලි තියෙන දෙමව්පියන්ගේ දරුවන්ට විතරයි. ටීම් එකට තේරෙන්න පුල් එක ඕනා. ක්‍රිකට් ටීම් එකට ගහන කොල්ලො ඉන්නේ පොළොවෙන් අඩි දහයක් විතර උඩින්. මුරලි ඔයා නිකං අහිංසක දරුවන්ට බොරු හීන මවන්නේ නැතුව ඉන්න.



ක්‍රිකට් කියන්නේ එදත් අදත් හෙටත් සල්ලිවලින් සල්ලිවලට කරන සෙල්ලමක්. ඒ සෙල්ලම කරන්නේ තමන්ගේ පාසල වෙනුවෙන්වත් තමන්ගේ රට ජාතිය ආගම වෙනුවෙන්වත් නොවෙයි. තමන්ගේ පුද්ගලික මමංකාරය වෙනුවෙන්. ඒක ඊගෝ සෙල්ලමක්. බලන්න අර්ජුනගේ තියෙන ඊගෝව… “වෙන කිසිම කෙනෙක් ඇඟිලි නොගහා මට විතරක් ලංකාවේ ක්‍රිකට් පාලනය දීපිය” කියලා කියන්න නම් ඔහුට මොනතරම් ඊගෝවක් තියෙන්න ඕනද! එවැනි ඒකාධිපති වියරුවකට හුරේ දාන ක්‍රිකට් ලෝලීන් කෙතරම් නම් නිහීන විය යුතුයිද? මේක තමයි නියම සෙල්ලම. ප්‍රභූ-වහල් සෙල්ලම.


ක්‍රිකට් කියන්නේ මේ රටේ මෝඩ මිනිස්සුන්ගේ කුඩු පැකට් එක. ක්‍රිකට් සෙල්ලමක් යනකොට මේ රටේ මිනිස්සු වැඩ ඔක්කොම දාලා ඒක දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා. රජයේ ආයතනවල සේවකයන් එදාට වැඩ කරන්නේ එක ඇහැක් ටීවී එකට තියාගෙන. පුද්ගලික අංශයේ සේවකයන් එදාට වැඩ කරන්නේ ෆෝන් එක දිහා බලාගෙන. උන් ඉන්නේ මෙලෝ සිහියකින් නොවෙයි. විකට් යනකොට උන්ට ඌරුජුවල් යනවා. එදාට සෙට් වෙන කස්ටර්මර්ගේ ෆයිල් එකට දෙවි පිහිටයි. ක්‍රිකට් තරම් ලංකාවේ වැසියන්ගේ ඵලදායිතාවය සොරා කන මල පෙරේතයෙක් වෙන නැහැ.

ඒ අස්සේ සමහරු ක්‍රිකට් සෙල්ලම්කාරයන්ගේ විනය හදන හැටි ගැන කතා කරනවා. හැබැයි මැච් එකට කලින් දා නයිට් ක්ලබ් ගිහිල්ලා අහු වුණාම ඒක වීරකමක් කියනවා. කාන්තාවක් දූෂණය කරලා අහු වුණාම රටේ සල්ලිත් වියදම් කරලා බේරා ගන්නවා. අරක්කු බීලා වෙරි වෙලා වාහනේ එළවලා මහමග මිනිහෙක් යට කරලා ඝාතනය කළාම සල්ලි දීලා ගොඩින් බේරා ගන්නවා. බිග් මැච් දවසට කාන්තා පාසලට පැනලා ලොකු වීරකමක් කළා කියලා රටේ ජනාධිපතිම කියනවා. ක්‍රිකට් සෙල්ලම්කාරයන් තමයි ලංකාවේ ඉන්න අඩුම විනය තියෙන උන්. විනය… ධර්මය අපට මග වේවා!

(එරන්ද ගිනිගේ)
සමාජ ව්‍යවසායක සහ කර්තෘ
හිටපු ජනාධිපති උපදේශක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 නොවැම්බර් 5

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්