"දඟ ගෙයි දඩුවම් සියුමැළි වැඩි නම්

අලුගෝසුවනේ එල්ලාපන්..

කටු ඉඹුලේ අප එල්ලාපන්"……

 

 

මේ ගීතය මුලින් ම ඇසුණු දා මට අද වගේ මතකය. එවකට මා සිටියේ අටවැනි පන්තියේ වුව ද, එදත් මා මනුෂ්‍යන්ගේ එකම පංතියක් ගැන සිහින දුටුවෙමි. කටු ඉඹුල ඇත්තේ අපායේ ය. එහෙත් ශ්‍රී ලංකාවේ සිර ගෙවල් තුළ කටු ඉඹුල ඇති බව විජය කුමාරතුංගයන් ගේ හඬින් මම ඇසුවෙමි. ශ්‍රී ලංකාව නම් දෙව් විමන, අපායක් කර වුන් කවුද?

එසේ සිතමින් මා විජයගේ "වේදනා" කැසට් පටයේ තවත් ගීතයක් ඇසුවෙමි.

"උපන් බිමට පිටුපා
කෞතුක මන්දිරයක මිදුලට බැස
සිටිනා වීරයිනේ…
නුඹය මෙදා අප විඳින ගැහැට ට
වග උත්තරකරුවෝ……."‍

ඒ අපාගත නිර්මාතෘවරුන්ගේ පිළිරූ, අදටත් ගෝල්ෆේස් හි වැඩ සිටිත්. හිස් මතට කපුටෝ වසුරු හෙළති.

"දෙස බස රැස ගැන මතුරා මන්තර
ඉන්ද්‍රජාලයින් රවටා ජන කැළ
ලක් මව ඇස් ඉස් මස් ලෙ විකුනා
සිහසුන රකගත් කාලය
මතකද වීරයිනේ…"

 

 

මව්බිම සහ දේශපාලනඥයින්ගේ අධම උත්ප්‍රාසය, මේ ගීතයෙන් දැනෙන විට නන්දා මාලනිය ගේ තවත් ගීතයක් මා සවන් වැකුණි.

"පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැනසෙන විට පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී…
ගුගුරා දෙස් දේවී"……

 

 

එය සොබා දහමේ අමරණීය ස්වරයයි. මිනිසා විසින් සොබාදහම ට විරෝධීව කරන සෑම ක්‍රියාවක් ම, යළි මිනිසා වෙතට ම පාරාවළල්ලක් වී පැමිණෙයි.

"පැණි කුරුල්ලනේ - නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා…." 

 

දැන් පුංචි පුතාට පෙන්වීම ට කුරුල්ලන් නැත. කුරුල්ලන්ට ද "කුරුළු උණ" වැළඳී ඇත.

විෂෙන් විෂ නැසිය යුතුය. අපට කොරෝනා රෝගයට එන්නත් අවැසි නැත. "සංචරණ සිහින" සුමංගල ශබ්දකෝෂයේවත් මා දැක නොමැත. අපට විෂ විදින පෙනයක් අවැසි ය. මන්ද යත්, ඉහෙන් කණින් විෂ වැගිරෙන ලෝක විසුමට ය.

"නා කොළ අන්දම් පෙන නොවටින්නේ
බෝකොල අන්දම් පෙනය දියන්නේ
පෙනේ නැතුව අපි කොහොම ද ඉන්නේ
පෙනේ දියන් - නයි හාමී…"

 

මීයන් ගිල්ල ගැරඬින් ගේ ඔළු, නයි පෙන සේ තවදුරටත් නොදකිමු.

 

- අමිල තේනුවර

(මුහුණු පොතේ සටහනකි)

 

 

 


 

THE LEADER TV 

 

 

මැති ඇමති සැප වාහන වෙන්දේසියේ විකුණයි! 

 

 

සතොස අරක්කු පැන්නුවේ ලොක්කාගෙ පාටියට? 

 

 

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58