තුර්කියේ සුපර් ලීග් පාපන්දු තරගයක් විනිශ්චය කළ FIFA බලපත්‍රලාභී තරග විනිසුරුවෙකුට සිදුකළ සාහසික පහරදීමකින් අපකීර්තියට පත්ව
සිටින තුර්කි ක්‍රීඩා සමාජ සභාපතිවරයාට ජීවිතාන්තය දක්වා පාපන්දු තහනමක් පනවා තිබෙනවා.
තුර්කියේ පාපන්දු සම්මේලනය විසින් මේ තහනම පනවා තිබෙන්නේ ‘එම්.කේ.ඊ. අන්කාරාගුජු’ (MKE Ancaragucu) පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති ෆාරුක් කෝජා (Faruk Koca) ට. ඔහුට මෙසේ දඬුවම් කර ඇත්තේ ජායිකුර් ලිසිස්සපෝෂ් (Caykur Rizespor) පිලට එරෙහිව පැවති තරගය අවසානයේදී එම තරගයේ විනිසුරු ලෙස කටයුතු කළ හලිල් මු මෙල (Halil Umut Meler) ට පහර දී ඔහු රෝහල්ගත කිරීමේ නින්දිත ක්‍රියාවට.
අන්කාරාගුජු පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපතිවරයාට පැනවූ ජීවිතාන්ත පාපන්දු තහනමට අමතරව ඔහුගේ කණ්ඩායමට කිසිම නරඹන්නෙක් නැති, දොර අගුළු දැමූ පිටියක ඔවුන්ගේ සත්කාරක තරග පහක් ක්‍රීඩා කිරීමට නියෝග කළ තුර්කි පාපන්දු සම්මේලනයේ විනය කමිටුව යුරෝ 60,000 (පවුම් 66,000)ක දඩයක් ද ගෙවන ලෙසට එම ක්‍රීඩා සමාජයට නියෝග කර තිබෙනවා.
ජායිකුර් ලිසිස්සපෝෂ් (Caykur Rizespor) කණ්ඩායමට එරෙහිව සඳුදා පැවති තරගය ගෝල් 1-1කින් ජය පැරදුමින් තොරව නිමා වූ බව තීරණය කෙරෙන අවසන් විසිල් හඬ නිකුත් වීමත් සමග කෝපයට පත් කෝජා තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමග පිටියට කඩාපැන තරගය විනිශ්චය කළ මෙලගේ මුහුණට දරුණු පහරක් ගැසුවා. ඒ පහරින් මෙල බිම වැටුනු විට අනෙක් පුද්ගලයින් ඔහුට පයින් පහර දුන්නා.
කෝජාගේ පහර මෙලගේ වම් ඇසට යටින් වැදෙන අයුරුත් ඒ පහරෙන් බිම ඇද වැටුනු ඔහු වකුටු වී මුහුණ වසාගෙන සිටියදී අනෙක් අය ඔහුට නොනවත්වා පයින් ගසන අයුරුත් දිස්වන දැඩි පිළිකුල් සහගත දර්ශන පෙනෙන්නට තිබුනා.
ක්‍රීඩකයින්, පුහුණු මණ්ඩලයේ නිලධාරීන් හා ආරක්ෂක භටයින්ගෙන් යුත් විශාල කණ්ඩායමක් ඉක්මනින් පිටියට දිව ඇවිත් ප්‍රහාරය නතර කළ අතර පහර කෑමෙන් කම්පනයට පත්ව සිටි මෙල ඔවුන්ගේ ආධාරයෙන් දෙපයින් නැගිටින විට ඔහුගේ ඇසක් ඉදිමී තිබුනා.
මේ පහර දීම ඡායාරූප ශිල්පීන් විසින් විවිධ කෝණවලින් ඡායාරූපගත කර තිබූ අතර ඒ වන විට සජීවිව විකාශය වෙමින් තිබුනු තරග විස්තර වැඩසටහනේද මේ ප්‍රහාරය දර්ශනය වුනා.
තුර්කි පාපන්දුවේ ප්‍රධානතම තරගාවලිය වන සුපර් ලීග් තරගයක සිදුවූ මේ අශෝභන සිදුවීම තුර්කියේ ජනාධිපතිවරයා මෙන්ම ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපතිවරයා ද දැඩි ලෙස හෙළා දැක තිබෙනවා.
තරගයේ කළින් ම ගෝලයක් ලබා ගත් අන්කාරාගුජු කණ්ඩායම තරගය ජයග්‍රහණය කරනු ඇතැයි අපේක්ෂා කෙරුනද අවසාන මොහොතේදී ගෝලයක් වාර්තා කරමින් තරගය ගෝල් 1-1ක සමතත්ත්වයෙන් අවසන් කිරීමට ලිසිස්සපෝෂ් කණ්ඩායම සමත් වුනා.
මිනිත්තු 98ක තරගයේ 97 වැනි මිනිත්තුවේදී වාර්තා වූ මේ තීරණාත්මක ගෝලය හේතුවෙනුයි අන්කාරාගුජු සභාපතිවරයා කෝපයට පත්ව මේ පහර දීමට පෙළඹුනේ.
තුර්කි අගනුවර ඇතිවූ මේ සිදුවීමෙන් පැය කිහිපයකට පසුව තුර්කි පාපන්දු සම්මේලනය රටේ ක්‍රීඩා කෙරෙන ඔවුන්ගේ සියළුම ලීග් තරග තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. සුපර් ලීග් තරගාවලිය දෙසැම්බර් 19 වැනිදා යළිත් ආරම්භ වන බව ඔවුන් නිවේදනය කළේ ඊයේ.
වෛද්‍ය පරීක්ෂණයකින් හා තුර්කියේ ජනාධිපති Recep Tayyip Erdoganගෙන් ලැබුනු දුරකථන පණිවිඩයකින් ද පසුව මෙල ඊයේ අන්කාරා නගරයේ රෝහලෙන් නිදහස් කෙරුනා.
ඉදිමුනු ඇසකින් යුතුව මෙල රෝහලෙන් පිටව ගිය ද ඔහුට තවත් වෛද්‍ය ගැටළු නොතිබුනු බව ප්‍රධාන වෛද්‍යවරයා පැවසුවා. ප්‍රහාරයේදී හිසේ ඇතිවූ බිඳීම කාලයත් සමග සනීප වනු ඇතැයි වෛද්‍යවරයා පවසා තිබෙනවා.
තරග විනිසුරු ට පහර දුන් අන්කාරාගුජු පාපන්දු ක්‍රීඩා සමාජයේ සභාපති ෆාරුක් කෝජා පසුදිනයේ ම තනතුරෙන් ඉල්ලා අස්වුනා.
“අන්කාරාගුජු ක්‍රීඩා සමාජයට, අන්කාරාගුජු ක්‍රීඩා ලෝලීන්ට, මම සහ මගේ පවුල ඇතුළත්ව සිටින ප්‍රජාවට තවදුරටත් හානියක් සිදුවීම වැළැක්වීම පිණිස මම එම්.කේ.ඊ.අන්කාරාගුජු සභාපති ධූරයෙන් ඉවත් වන බව නිවේදනය කරන්න කැමතියි” යනුවෙන් සඳහන් එම ක්‍රීඩා සමාජයේ නිවේදනයක් X සමාජ මාධ්‍යයේ පළ කරමින් කෝජා ප්‍රකාශ කර තිබුනා.
ලිසිස්සපෝෂ් කණ්ඩායමට එරෙහිව සඳුදා රාත්‍රියේ පැවති අන්කාරාගුජු කණ්ඩායමේ තරගයෙන් පසුව තමා මරා දමන බවට ෆාරුක් කෝජා තර්ජනය කළ බව තරග විනිසුරු මෙල කියා තිබෙනවා.
තමාගේ මුහුණේ වම් ඇස යට ට කෝජා පහරක් ගැසූ බවත් තමා ඒ පහරින් බිම වැටුනු පසු තවත් දෙදෙනෙක් තමාට පයින් ගැසූ බවත් මෙල Anadolu තුර්කි රජයේ පුවත් ඒජන්සියට පවසා තිබුනා.
“මම උඹව ඉවර කරනවා කියා ෆාරුක් කෝජා මටත් අනෙක් විනිසුරු නිළධාරීන්ටත් කීවා. ඉන්පසු මට කතා කරමින් ‘මම උඹව මරනවා’ කියලා තර්ජනය කළා” මෙල Anadolu ට ප්‍රකාශ කළා.
ඉදිමුනු වම් ඇසක් හා මුහුණට තබා ගත් අයිස් බෑගයක් සහිතව මෙල ආරක්ෂක නිලධාරීන් වටකර ගෙන පිටියෙන් පිටත්ව යන අයුරු ඡායාරූප හා වීඩියෝ පටවලින් දිස්වෙනවා. ඔහු රෝහලට ගෙන ගොස් තිබෙන්නේ ගිලන් රියකින්.
මෙලා ට පහර දුන් පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගත් බව තුර්කි අධිකරණ ඇමති Yilmaz Tunc පැවසුවා. අත්අඩංගුවට ගත් තිදෙනා අතර ෆාරුක් කෝජා ද සිටිනවා. කෙසේ වෙතත් චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කෝජා කියා තිබෙන්නේ තමා මෙලගේ මුහුණට ගැසුවේ අතුල් පහරක් පමණක් බව.
“මේ සිද්ධිය ඇතිවුනේ තරග විනිසුරුගේ වැරදි තීරණ හා තරහ අවුස්සන හැසිරීම නිසා. මගේ අරමුණ වුනේ විනිසුරුට කටින් ප්‍රතිචාර දක්වමින් ඔහුගේ මුහුණට කෙළ ගැසීමට. ඒ අතරතුර තමයි මම විනිසුරුගේ මුහුණට අතුල් පහරක් ගැහුවේ. මම ගහපු ඒ පහරෙන් එයාගෙ ඔළුවෙ බිඳීමක් ඇතිවන්න ඉඩක් නැහැ” යැයි කෝජා පැවසූ බව Anadolu ප්‍රකාශ කරනවා.
“තරගය විනිශ්චය කළ ජගත් පාපන්දු සම්මේලනයේ (FIFA) බලපත්‍රයක් ඇති හලිල් මු මෙල විනිසුරුට සිදුකළ අමානුෂික හා නින්දිත ප්‍රහාරය අපි තරයේ හෙළා දකිනවා” යැයි තුර්කි පාපන්දු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.
අනතුරුව, සියළුම තරග කල්දැමූ සම්මේලනය ‘අමානුෂික ප්‍රහාරයට’ වගකිය යුතු අයට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන බව ද ප්‍රකාශ කළා.
සිද්ධියට වගකිය යුතු ක්‍රීඩා සමාජය, එහි සභාපති, සමාජයේ කළමනාකරුවන් හා විනිසුරු මෙල ට පහර දුන් අපරාධකරුවන් සියළු දෙනා ට ම ඉතාමත් තදින් දඬුවම් කරන බව ද සම්මේලනය සඳහන් කළා.
“පාපන්දු ක්‍රීඩාවේදී තරග බිමේත් ඉන් පිටතත් ප්‍රචණ්ඩත්වයට කොහෙත්ම ඉඩක් නැහැ” යනුවෙන් FIFA සභාපති ජියානි ඉන්ෆන්ටීනෝ (Gianni Infantino) ඔහුගේ ‘ඉන්ස්ටග්‍රෑම්’ කතාවල සඳහන් කර තිබෙනවා.
“තරග නිලධාරීන් නැතිව පාපන්දු ක්‍රීඩාවක් නැහැ. ක්‍රීඩාවෙන් සතුටු වීමට නම් එහි විනිසුරුවන්, ක්‍රීඩකයන්, ක්‍රීඩාලෝලීන් හා සේවක මණ්ඩලයට ආරක්ෂාව තිබිය යුතුයි. හැම මට්ටමකදී ම මෙය තදින් ම ක්‍රියාත්මක කරන ලෙසට මම අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ජගත් පාපන්දු සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී