1200 x 80 DMirror

 
 

‘‘බේබී... බේබී... දොර අරින්න... මෙන්න බේබිගෙ යාළුවෙක් ඇවිත්...’’

ඩයිරිය අතට ගෙන හිතට නැගුණ සිතුවිලි ගොන්නක් අකුරු කරමින් සිටින මොහොතේ දොරට පිටතින් සිට කමල ඇන්ටිගේ හඬ කාමරය තුළට විත් මගේ දෙසවන් තුළට රිංගී ය.

‘යාළුවෙක්...! මේ වෙලාවෙ...!! කවුද මේ වෙලාවෙ මං හම්බවෙන්න එන යාළුව...?’ යැයි සිතමින් ම දොර අබියසට පා නැගූ මා දොර විවර කළේ කැලඹුණු මානසික තත්ත්වයකින් යුතුව ය.

‘‘හානේ...! දුලීකා...!! දෙයියනේ...! මං නං හීනෙකිංවත් හිතුවෙ නෑ ඔයා මේ වෙලාවෙ එයි කියල...’’ යැයි පවසන අතර ම මම ඉදිරියට පැන දුලීකා වැලඳ ගත්තේ කමල නැන්දා අප ඉදිරියේ සිටින බව ද අමතක කරමිනි.

‘‘පිස්සි... අර ඇන්ටි බලාගෙන ඉන්නව’’

මගේ උරිස මත උවන හොවාගත් දුලීකා රහස් හඬින් වදන් මුදාහළේ දකුණ සවනට පමණක් ඇසෙන සේ ය. කමල නැන්දා මගෙත් දුලීකාගේත් උණුසුම් වැලඳගැනීම කුමන ආකාරයෙන් අර්ථ ගන්වා ගත්ත ද, ඇය එදෙස බලා සැනසුම් සුසුම් හෙළනවා මිස වෙනත් කිසුදු ප්‍රතිචාරයක් නොදක්වන බව මට විශ්වාස ය. ඒ, දුලීකා මගේ හොඳ ම යෙහෙළිය බව ඇය හොඳින් ම දන්නා බැවිනි.

මම වහා දුලීකාගේ උණුසුමෙන් මිදුණෙමි. ඒ සමග ම ‘‘යං දුලී... අපි කාමරේ ඉඳගෙන ම කතා කරමු යැයි’’ පවසා ඇගේ අතින් අල්ලාගෙන කාමරය තුළට පිවිසුණෙමි.

‘‘බේබී... මිස් මොනවද දන්නෑ බොන්නෙ... කුල් ඩ්‍රින්ක් එකක් ගෙන්න ද තේකක් ගේන්න ද...?’’

කමල නැන්දා ඉතාමත් සුහදව පුරුදු පැනය ම විමසී ය.

‘‘නෑ නෑ... මොනවත් එපා නැන්දෙ... මං ගෙදරින් කාපු ගමන් ආවෙ.’’

මා කිසිවක් පැවසීමට ප්‍රථමයෙන් කමල නැන්දා වෙත පිළිවදන් සැපවූයේ දුලීකා ය.

‘‘ඔය දැං එපා කිව්වට නැන්දෙ... තව ටිකකිං එයාම කියයි බොන්න ඕනෙ මොනවද කියල. එතකොට මං නැන්දට කියන්නංකො,’’ යැයි මා පැවසුවේ කමල නැන්දා ඉක්මනින් ම පිටමං කිරීමේ අටියෙනි.

‘‘හරි බේබි... එහෙනං මොනව හරි බොන්න හිතුනහම මට කියන්නකො,’’ යැයි පැවසූ කමල නැන්දා පිටව ගියා ය; එසැණින් දොර වසා දැමූ මා යළි දුලීකා වැලඳගත්තේ මේ මොහොතේ මගේ තනි නොතනියට සිටින එකම යෙහෙළිය ඇය බැවිනි.

ඇය මා ද, මා ඇය ද එකිනෙකා තදින් වැලඳගෙන කොපමණ වේලා ගතවූවා දැයි නොදැනිණ. නමුදු මගේ උරිස උණුසුම් දිය දහරකින් තෙත්වන බව හැඟුණ සැණින් මම පියවි සිහියට එළඹුණෙමි. මගෙ දකුණතින් ඇගේ උරිසට මඳක් පහළින් ස්පර්ශ කරන විට ඇගේ උරිස මතින් ද උණුසුම් තෙත් ගතියක් දැනිණ. එතෙක්, දෙදෙනා ම හඬා ඇති බව දෙදෙනාට ම නොවැටහිණ.

‘‘දුලී... මට ඇත්ත කියපං... එදා මොකද්ද උණේ... ඊයෙ මොනවද වෙලා තියෙන්නෙ... සඳුදයින් පස්සෙ මොකද වෙන්නෙ...? මට මේ කිසිම දෙයක් පැහැදිලි නැ දුලී... මට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුළුවන් උඹ විතරයි දුලී,’’ යැයි විමසන අතර ම මම දුලීකාගේ දෙවුරෙන් අල්ලා ඇගේ උවන මගේ උවනට සම්මුඛ වන සේ හරවා ගතිමි; ඇය කිසිවක් ම නොපවසා හිස බිමට නැඹුර කරගත්තා ය. මම ඇගේ බාහු යුග්මයෙන් අල්ලාගෙන සෙමෙන් සෙමෙන් පිටුපසට තල්ලු කරගෙන ගොස් සයනය මත වාඩි කරවූයෙමි.

‘‘ඇයි දුලී ඔයා ඔය විදියට කතා නොකර ඉන්නෙ... මොකක් හරි නරක දෙයක් සිද්ද වෙලා ද... එහෙම නැත්නං සිද්ද වෙන්න යනව ද...?’’

ඇය අසලින් ඉඳගත් මම ඇගේ සවිධගින් අල්ලා මඳක් ඉහළට ඔසවන අතර ම විමසුවෙමි.

මඳක් හෝ මුව නොසෙල් වූ දුලීකා ඉදී රත් පැහැ ගැන්වුණු ලොවි ගෙඩි දෙකක් වන් දෙනෙත්, එබඳු ම යැයි අනුමාන කළ හැකි මගේ දෙනෙත් මත රඳවා තත්ත්පර කිහිපයක අනිමිස ලෝචනයක යෙදුණා ය. ඉක්බිති දොර දෙස අවධානය යොමු කර ‘‘කෝ... ප්‍රින්සිපල් ඇන්ටි ගෙදර ඉන්නව ද...?’’ යැයි විමසුවේ බලගතු යමක් පවසන්නට සුදානමෙන් මෙනි.

‘‘නෑ... අම්ම අද වයි එම් බී එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එකක ලෙක්චර් එහෙකට ගියා. එද්දි දෙක පහුවෙයි.. ඇයි...?’’

‘‘හම්මෝ... එහෙනං හොඳයි. මං ආවෙ නැන්ද මට බණීවි ද දන්නෑ කියල හිත හිත...’’

‘අපේ අම්ම මොකට ද දුලීට බණින්නෙ... දුලී වැරැද්දක් කරල නෑ නෙ... මෙතන මං නොදන්න මොකක් ම හරි පටලැවිල්ලක් තියෙනව. අදනං කොහොම හරි මේක දැනගන්න ඕන.’

‘‘ඒ මොකට ද බං අපේ අම්ම උඹට බණින්නෙ... ඇයි... අපෙ අම්මට පිස්සු කියල හිතුව ද.. අනික උඹ මොන වරදක් කරාට ද...?’’

මා එසේ විමසුවේ කිසිවක් ම නොදන්නා ළමයෙකු ලෙස වුව ද එහි සැඟවුණ අරුත වූයේ සිදුවී ඇති හෝ සිදුවන්නට නියමිත කුමක් හෝ දෙයක් දුලී දන්නා බව පිළිබඳ පූර්ණ අවබෝධයක් මට ඇති බවයි.

‘‘වරද... වරද මං උඹේ හොඳ ම යාළුව වෙලත් මෙච්චර හරියක් වෙනකං මොනව කරාද කියල උඹේ අම්ම අහයි කියල. මොකද අම්මල අද ඔතන ඉන්නෙ අපේ වයස පහු කරල. එයාල දන්නව කාගෙ හරි හොඳම යාළුව කියන්නෙ එයාගෙ යාළුවගෙ හැම දෙයක් ම දන්න කෙනා කියල. ඔවු... එයා කරන හොඳ - නරක හැම දෙයක් ම දන්න කෙනා කියල.’’

දුලීකා වේගයෙන් කියවාගෙන ගියේ මා වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරන ආකාරයෙනි; මා බරපතළ වරදක් කර ඇති පුද්ගලයෙකු ලෙස සලකමිනි. ඇගේ හඬ කාමරය පුරා දෝකාර දී, බිත්ති මත පතිතව, යළි මගේ දෙසවන් තුළට රිංගන විට දැනුණේ වචනයෙන් පැවසිය නොහැකි කම්පනයකි; වේදනාවකි.

‘‘දුලී... මේ අහපං බං... එදා සිද්ද වෙච්ච දේ මොකද්ද කියල මං දන්නෑ... උඹලවත්, කාංචනා මිස්වත්, අම්මවත් මට මේ ගැන කිසිම දෙයක් කියන්නෑ... ඔක්කොම නිකං හැසිරෙන්නෙ කසාය බීපු ගොළුවො වගේ. ඉස්සරහට මොන කෙහෙල් මලට මූණ දෙන්න උනත් එදා උණේ මොකද්ද කියල මං දැනගන්න ඕන නැද්ද... කියපං දුලී කියපං... මං ඒක දැනගන්න ඕනෙ නැද්ද...’’

මම දුලීකාගේ දෙවුරෙන් අල්ලා කිහිප විටක් ම සෙලවූයේ ඇය මා ඉදිරියේ සිටින යෙහෙළියක නොව සැතිරියක සේ සලකමිනි. මගේ ආවේගය පාලනය කරගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් කම්පා වන්නට හෝ පශ්චාත්තාප වන්නටත් ප්‍රථම ඇය ප්‍රතිචාර දැක්වූවා ය.

‘‘අහිංසනා... මේ වෙලාවෙ අපි වැඩ කරන්න ඕනෙ හැඟිම්වලට වහල් වෙලා නෙවෙයි. එහෙම උනොත් මේ සේරම අවුල් වෙනව. ඒ නිසා ඉවසපං... මොළේ කල්පනා කරල වැඩ කරපං. මේක හරියට රබර් බෝලයක් වතුර යට තියල අල්ලගෙන ඉන්නව වගේ වැඩක්. කොයි වෙලාවෙ උඩට මතුවෙයිද දන්නෑ...’’

‘‘හරි බං හරී... කොයික කරන්නත් මං ඇත්ත තත්ත්වෙ දැනගෙන ඉන්න ඕනෙ නෙ... දැං බලපං... බ්‍රහස්පතින්ද ඉඳල ම උඹල ඔක්කොම මාත් එක්ක හැංගි මුත්තං සෙල්ලං කරනව. මං උඹලව හොයන්න ට්‍රයි කරනව. උඹල එක තැනක හැංගිලා ඉඳල, මං හොයන්න එන්න හදද්දි ම ආයෙත් වෙන තැනක හැංගෙනව. ඉතිං මං අවුල් යන්නැද්ද...?’’

මා එසේ පවසා අවසන් වන්නටත් පෙර ම දුලීකා ඇගේ දෙනෙත් විසල් කරමින් මා දෙස බලා සිටියේ මගේ උවන පුරා විසකුරු සතෙකු ගමන් කරනවා සේ දුටු විලසිනි.woan

‘‘හැංගෙනව...! හැංගෙන්න දෙයක් නෑ... හංගපු දේවල් ඔක්කොම...,’’ යැයි පැවසූ දුලිකා එම වාක්‍ය සම්පුර්ණ නොකර ම මෙතෙක් අහිංසනාගේ උවනතෙහි අලවා තිබූ ඇගේ දෙනෙත් ඉවතට ගෙන කාමරය පුරා පා කර හැරියා ය.

දුලීකාගේ මුවෙන් නිකුත් වූ වදන් මගේ කන් බිහිරි කරවන්නට සමත් වූ සේ ම ඇය බිත්ති සිසාරා පා කර හළ ඇගේ දෙනෙත් යළි මගේ උවනතෙහි අලවන විට මගේ සමස්ත සිරුර ම ගිනිගෙන දැවෙන්නා මෙන් හැඟිණ. වෙසෙසින් ම ඇගේ මුවෙන් නිකුත් වූ අවසන් වදන් තුන වූ ‘‘හංගපු දේවල් ඔක්කොම...’’ යන්න මගේ මුළු ආත්මය ද දවා හළු කළා බඳු විය.

‘‘දෙයියනේ...! මොනවද බං ඒ ‘හංගපු දේවල් ඔක්කොම’ කිව්වෙ...?’’

‘‘හංගපු දේවල් මොනවද කියල උඹ දන්නව නෙ... අන්න ඒව... ඒවා දැන් ප්‍රසිද්ධ රහසක් වෙලා තියෙන්නෙ...’’

ඇගේ පිළිතුර පවසා නිමවීමටත් පෙර කාමරයේ දොරට තට්ටු කරන හඬක් ඇසුණ බැවින් අපි දෙදෙනාගේ ම අවධානය ඒ වෙත යොමු කළෙමු. අප දෙදෙනා ම සිතුවේ ඒ කමල නැන්දා විය හැකි බවයි.

‘‘ඇයි නැන්දේ... අපි කියන්නත් ඉස්සෙල්ල ඔයා බොන්න දෙයක් හැදුව ද...?’’ යැයි විමසූ දුලීකා ඇදෙන් නැගිට දොර අබියසට ගමන් කිරීමට සුදානම් වනවාත් සමග ම ඇසුණු කටහඬින් අපි දෙදෙනා ම විමතියටත්, බියටත් පත්වුණෙමු.

‘‘නෑ දුව... මේ මම... දොර අරින්න දුව...’’

‘‘දෙයියනේ අම්ම...!’’

‘‘දෙයියනේ ප්‍රන්සිපල් නැන්ද...’’

අපි දෙදෙනාට ම එක විට කියවුණි. එහෙත් ඒ වදන් කාමරයෙන් පිටතට ඉගිල නොගිය බව අප දෙදෙනාට ම විශ්වාස ය.

‘‘උඹ අර පුටුවට පලයං... අර මේසෙ ළඟ තියෙන පුටුවට පලයං...’’

රහස් හඬින් වුව ද මා පැවසුවේ ඉතා වේගයෙනි. දුලීකා පොත් මේසය අසල තිබූ අසුනේ අසුන් ගන්නවාත් සමග ම මම දොර අබියසට ගොස්, කිසිදු වෙනසක් නොපෙන්වා දොර විවෘත කළෙමි.’’

‘‘අම්මෙ... ඇයි අද ඔයා අර කියපු ලෙක්චර් එකට ගියේ නැද්ද... ආ... අම්මෙ... මේ... මේ... දුලී ආව මාව බලන්න...’’

ඍජුව ම පොත් මේසය දෙස දෙනෙත් විසි කළ මව ‘‘ආ... මට දූගෙ අම්ම කිව්ව දුව මෙහේ ආව කියල... ආ... මේ ලෙක්චර් එක කරල ඉවර වෙලා තමයි මං ආවෙ දුව...’’ යැයි පවසමින් ම කාමරය තුළට පැමිණි අම්මා පොත් මේසය අසල තිබූ අනෙක් අසුනේ අසුන් ගත්තා ය.

‘‘නැන්දෙ... මං ආව අහිංසනා බලල යන්න. දැං මොකුත් ලෙඩක් නෑ කියන්නෙ නැන්දෙ...’’

දුලීකා පැවසුවේ ඇගේ චිත්තභ්‍යන්තරයේ පැවති බිය තුරන් කරගැනීමේ අටියෙනි.

‘‘ආ... ඔවු දුව... අපි එදා ම ඩොක්ටර් කෙනෙක් චනල් කරා. එහෙමකට අසනීපයක් නෑ කිව්වෙ. ඒත් බෙහෙත් වගයක් දුන්න. ඒක බීල බලන්න කිව්වෙ...’’

මව පැවසුවේ අමුලික බොරුවකි. එදා සිදුවීමෙන් පසු මේ දක්වා මා කිසිදු වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් නොකළ බව දන්නේ අපේ පවුලේ අය පමණි. එහෙත් එය පැවසුවහොත් මව අසීරුතාවට පත්වන බැවින් මම ද මුනිවත රැක්කෙමි.

‘‘ආ... එහෙම ද... කෝ අහිංසනා මට ඒ වගක් කිව්වෙ නෑ නෙ...’’ යැයි පැවසූ දුලිකා මා දෙස ඇගේ දෙනෙත් යොමු කළේ ‘ඇයි උඹ ඒක මට හැංගුවෙ...?’යන වදන් එම දෙනෙත් තුළ සටහන් කරමිනි.

‘‘කොහෙද ඉතිං... කියන්න වෙලාවක් උණේ නැහැ නෙ අම්මෙ... මෙයා ආපු ගමන් ම ඊයෙ උගන්නපු ගුත්තිල කාව්‍යයෙ කවි කියවන්න පටන් ගත්ත නෙ...’’

‘යකෝ... මේකි ඇගට පතට නොදැනි නැන්දට බොරු කියන හැටි...’

දුලීකා එසේ සිතන බව මට සක් සුදක් සේ පැහැදිලි ය. එහෙත් මේ මොහොතේ මව බොරුකාරියක් බව හැඟවීමට වඩා මා බොරුකාරියක වීම වඩාත් ගුණදායක ය.

‘‘ඉතිං... ඒක කොච්චර හොඳ ද... ඉගෙනගන්න ළමයි උනාම එහෙම තමයි... හරි... ඔය දෙන්න කතා කර කර ඉන්නකො... මං චේන්ජ් එකක් දාගන්නං... දුව තවම මොනවත් බිව්වෙත් නෑ නේද... මං කමලට කියන්නං ඔයාලට බොන්න මොනව හරි දෙන්න කියල,’’ යැයි පවසන අතර ම ඉඳ සිටි අසුනෙන් නැගී සිටි මව කාමරයෙන් පිටව ගියා ය.

‘‘කවද ඉඳල ද බං උඹ අම්ම ඉස්සරහත් ඔය වගේ බොරු කියන්න ඉගෙනගත්තෙ. මගෙ අම්මේ... කටේ දිවේ ගෑවෙන්නැතුව ඒක කියපු ලස්සන...’’

දුලීකා එසේ පැවසුවේ මා පිළිබඳ අප්‍රසන්නතාවකින් ද, විමතියකින් ද යන්න නිශ්චය කරගැනීමට නොහැකි වූයේ ඇගේ වුවන පුරා ඇඳී තිබුණේ හිස් ම හිස් අවකාශයක් වූ බැවිනි. එහි කිසිදු ලකුණක් සොයාගැනීමට නොහැකි විය.

‘‘කරන්න දෙයක් නැ බං... එහෙම කරන්න වෙනව... විශේෂයෙන් ම මේ වගේ වෙලාවක. ඒක නෙවෙයි... මොකද්ද උඹ අර කියපු කතාව... මට ඒකෙ අග මුල දැනගන්න ඕන.’’

‘‘අග මුල දැනගන්න...! බලාගෙන හිටපං... දැං අගයි මුලයි දෙකම පාදගන්න නැන්ද ඒවි. පිං සිද්ද වෙයි... නැන්ද මගෙන් අහන ප්‍රශ්නවලට උත්තර හදාගන්න ඉඩ දෙනව ද... නැත්නං විත්තිකාරයො පැත්තක ඉද්දි අහක ඉන්න මටයි හිරේ ලගින්න වෙන්නෙ. මේහ්... දැන් නං ඒ මොනවත් ම කියන්න බෑ... මට දැං ඕන ඉක්මනට ම මෙහෙන් යන්න...’’

ඉවර නෑ...

ජයසිරි අලවත්ත

2022/04/12

 



Trans+National New Left MagazineOpiuma Left'හිතුවක්කාර වරා මල' දැන් පාඨක ඔබ  අබියස- ජයසිරි අලවත්තජයසිරි අලවත්ත
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 


වජ්ජා’වජ්ජ - මින් පෙර පළවූ කොටස්


වජ්ජා’වජ්ජ 13 - 'මේ වැඩේ සල්ලිවලින් විතරක් කරන්න බෑ සචේති' : කොටස් වශයෙන් පළවන ප්‍රබන්ධ කතාව


වජ්ජා’වජ්ජ 12 : අම්මට පරචිත්ත විජානන ඥානය ලැබිල ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 11 : දැං මට බය නෑ... මට ඔයාව විශ්වාසයි (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 10:  දුවෙකුට අම්මට කියන්න බැරි දෙයක් නෑ දුව.. (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 09 : ඔයාට හැම එකක් ම විහිළු නේ ද...? (ජයසිරි අලවත්ත)

වජ්ජා’වජ්ජ 08 : වාන් දොර විවර කළ යුතු මොහොත ය මේ...

වජ්ජා’වජ්ජ 07 - වචන විදියට පිට වෙන්නෙ හිතේ තියෙන අදහස් 

වජ්ජා’වජ්ජ 06 : අහිංසකට වෙච්ච දේ මටත් වෙයි ද ? ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 05 : ඔය ‘මිස්’ කෑල්ලට මං ආස ම නෑ... - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 04 :පොත් බලනවයි කියවනවයි කියන්නෙ වැඩ දෙකක් - ජයසිරි අලවත්ත ලියයි

වජ්ජා’වජ්ජ 03 - ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය..

වජ්ජා’වජ්ජ 02 - ජයසිරි අලවත්ත ලියයි

මලට රිදෙව්වොත් දෙවියොත් අමනාප වේවි - වජ්ජා’වජ්ජ අද සිට...

 
The Leader TV අද වීඩියෝ 


 

Leader Whats app

 

 

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58