theleaderlk 01

අවුරුදු සමයේදී මල් පිපෙන Erythrina variegata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එරබදු විශේෂයේ මලකි.

''එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටටම සිරියාවයි''


මේ අවුරුදු සමයේ නිතර අසන්නට ලැබෙන ඉතා ජනප්‍රිය ගීතයකි. නමුත් ගීතයෙන් විස්තර කෙරෙන එරබදු මල් අද දක්නට නොලැබෙන තරම් ය.

බොහෝවිට එරබදු ලෙස අදවන විට ඡායාරූප සහ වීඩියෝ දර්ශන පලවන්නේ පිටරටින් රැගෙන ආ විසිතුරු ශාකවල ඒවා ය.

එබැවින් අතීතයේ පටන් ගැමියාගේ ජීවිතය හා බැඳුණු, 'අපේ එරබදු' මොනවා ද යන්න සහ ඊට සිදුවූ දේ කුමක් ද යන්න මෙම ලිපියෙන් සාකච්ඡා කෙරේ.

 

'අපේ එරබදු' ලෙස පැරැණි ගැමියා හඳුනාගත් ශාක විශේෂ දෙකක් තිබේ. ඒ 'එරබදු' සහ 'යක් එරබදු' ය.


ඉන් අවුරුදු සමයේදී මල් පිපෙන, අවුරුද්ද හා බැඳුණු එරබදු විශේෂය වන්නේ Erythrina variegata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එරබදු ශාකය වේ.


අප්‍රේල් මාසය වන විට මල් හට ගන්නා සමයේ දී එම එරබදු ශාකයේ පත්‍ර හැලී යයි. එමනිසා ඉතා අලංකාර, රතු පැහැති මලින් ගස පිරී යයි. නමුත් එම විශේෂයේ එරබදු ශාකයක් හෝ මලක් දැකීම අදවන විට කළුනික සෙවීම තරම් දුෂ්කර ක්‍රියාවක් බව උද්භිද විද්‍යාඥයෝ පවසති.

මේ එරබදු ශාකය හැඳින්වීමට එරමුදු, කටු එරමුදු , වැට එරබදු යන නම් ද භාවිත කෙරේ.


එරබදු ශාකයට ඉංග්‍රීසි බසින් නම් කිහිපයක් භාවිත කෙරේ. ඒ, Coral tree , Indian Coral tree, Thorny dadap යන නම් ය.

 

යක් එරබදු (කටු කෑල) උද්භිද විද්‍යාත්මකව හඳුන්වන්නේ Erythrina fusca ලෙස වන අතර ඒවායේ මල් හට ගැනීම සාමාන්‍යයෙන් පෙබරවාරි සහ මාර්තු වන විට සිදු වේ.

 

මේවා 'අපේ එරබදු' ලෙස ජන ජීවිතය හා බැඳී තිබුණ ද එම ශාක විශේෂ දෙකම ශ්‍රී ලංකාවට අවේණික ශාක නොවන උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර පැවසුවේය. එමෙන්ම ඒවා වනාන්තර ආදී ස්වභාවික පරිසර පද්ධතිවල දක්නට නොලැබෙන බව ද ඔහු සඳහන් කළේය.

මීට අමතරව කඳුකරයේ තේ වතු ආශ්‍රිතව පොහොර සහ සෙවන ලබා ගැනීම සඳහා හඳුන්වා දුන් විදේශීය එරබදු විශේෂයක් තිබේ.

දඩබ් (Dadap) ලෙස හඳුන්වන, උද්භිද විද්‍යාත්මකව Erythrina subumbrans යන විශේෂය සෙවන ලබා ගැනීමට සහ නයිට්‍රිජන් තිර කිරීමට තේවතුවල වගාකර ඇත. එමෙන්ම විසිතුරු ශාක ලෙස හඳුන්වා දුන් එරබදු විශේෂ කිහිපයක් දක්නට ලැබේ. ඒවායේ වසර පුරාම මල් දක්නට ඇත.



ගමේ ඉනි වැට අහිමි වීම සහ එරබදු ගහ වැනසූ කෘමි උවදුර


''අපි සාමාන්‍ය එරබදු කියලා හඳුන්වන Erythrina variegata දැන් ගොඩක් දකින්න අඩුයි. ඒ නිසා අපි 2020 රතු දත්ත පොත සකස් කිරීමේ දී vulnarable species කියන (වඳවීමේ ක්‍රියාවලියට පත්වීමට ආසන්න) කාණ්ඩයට තමයි දාලා තියෙන්නේ. අපි පොඩි කාලේ මේවා වැටවල් වලට වවලා තිබුණේ. ඒ නැතත් වතුර කිට්ටුව, වෙල් අයිනේ තිබුණා ගම්වල. එකක් සජීවී වැටවල් හදන සංකල්පය දැන් අඩුවෙලා. මේවා දුර්ලභ වෙන්න වැඩිපුරම හේතුව විදියට මම හිතන්නේ Erythrina Gall Wasp කියන කෘමියගෙන් වෙන හානිය වෙන්නැති කියලා.'' යනුවෙන් උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර BBC සිංහල සේවයට ප්‍රකාශ කළේය.



Erythrina Gall Wasp (Quadrastichus erythrinae) ලෙස හඳුන්වන එම කෘමියා (කුඹලෙක් වැනි කෘමියෙකි) පළමු වරට ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන, ඌ මගින් අනාගතයේ දී ශ්‍රී ලංකාවේ එරබදු ශාකවලට තර්ජනයක් විය හැකි බවට 2006 දී පළමු අනතුරු ඇඟවීම සිදු කළේ කේරළ කෘෂි විශ්වවිද්‍යාලයේ, කෘෂිකර්ම කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ ආචාර්ය කේ.ඩී ප්‍රතාපන් විසිනි. ඔහු සිය සොයාගැනීම් විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් මගින් ප්‍රකාශයට පත්කර ඇත.

රත්නපුරයේ සිට කලවාන දක්වා ද කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින් ද මෙම කෘමි හානිය සිදු වූ එරබදු ශාක හඳුනාගත් ආචාර්ය කේ.ඩී ප්‍රතාපන් මහනුවර, මාතලේ සහ නුවරඑළිය වැනි තේ වගාව සහිත කඳුකර ප්‍රදේශවලට එය ව්‍යාප්ත වුවහොත් සැලකිය යුතු ආර්ථික පාඩුවක් සිදුවිය හැකි බවට 2006 වසරේ දී පෙන්වා දුන්නේය.

බරපතල පළිබෝධයක් ලෙස හඳුනාගෙන ඇති එම කෘමියා චීනය, ගුවාම්, හොංකොං, ඉන්දියාව, ජපානය, මොරිෂස්, පිලිපීනය, සිංගප්පූරුව, තායිවානය, තායිලන්තය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් ද වාර්තා වී තිබේ.


උද්භිද විද්‍යාත්මකව Erythrina fusca ලෙස හඳුන්වන යක් එරබදු (කටු කෑල) ශාකයේ මලකි.



'අපි මේ කෘමියා ගැන විශේෂ අවදානයක් යොමු කරන්න ඕනා'

 

''මම දන්නා විදියට එරබදු ශාකයට හානි කරන මේ ජීවියා (Erythrina Gall Wasp) අපේ රටේ ආගන්තුක, ආක්‍රමණික ජීවියෙක් විදියට සලකලා නෑ.
පලිබෝධකයෙක් විදියට සැලකිල්ලක් දෙන්නෙත් නෑ. මේ වගේ දේශීය ශාකයක් විනාශ කරන්න පුළුවන් සතෙක් නම් අපි ඒ ගැන විශේෂ අවදානයක් යොමු කරන්න ඕනා. මම මෑතක දී අවුරුද්ද හා බැඳුනු එරබදු මල් දැක්කේ නෑ.'' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන BBC සිංහල සේවයට පැවසුවේය.

මෙම ලිපිය සමග පළ කර ඇති එරබදු සහ යක් එරබදු මල් ඇතුළත් ඡායාරූප දෙක කොළඹ දියසරු උද්‍යානයේ දී සහ මහනුවර වරාතැන්න-හත්කිඳ පරිසර ආරක්ෂණ ප්‍රදේශයේ දී ආචාර්ය ජගත් ගුණවර්ධන විසින් කලකට පෙර ලබාගෙන තිබිණි.

 
''මේ කෘමියා එරබදු ශාකයේ ළපටි පත්‍ර සහ ළපටි කඳ සිදුරු කරලා තමයි බිත්තර දාන්නේ. ඉන් එන කීටයා ශාක පටක වලින් තනාගන්නා ගෝලාකාර ගැටිත්තක් සකස් කර ගෙන, සුහුඹුලෙක් වෙලා එය සිදුරු කරගෙන පිටතට එනතෙක් එහි කල්ගත කරනවා. මේ වන විට තෙත් කලාපයේ බොහෝ ස්ථානවල තිබූ එරබදු ශාක පසුගිය කාලයේ දී විනාශ වෙන්න ප්‍රධානම හේතුව මෙම කෘමි උවදුර බවයි පෙන්නේ. මේක කොයිතරම් දරුණු වෙන්න පුළුවන් ද කියන එකට උදාහරණයක් කිව්වොත් හවායි දූපත්වල එරබදු වලින් 95% විනාශ වුණේ මේ කෘමි උවදුර නිසා. නමුත් මේ පිළිබඳව ශ්‍රී ලංකාව තුළ නිසියාකාර අවධානයක් යොමු වී නොමැති බවක් පෙන්නේ'' යනුවෙන් ආචාර්ය ජගත් ගුණවර්ධන විස්තර කළේය.


එරබදු සහ යක් එරබදු හඳුනා ගන්නේ කෙසේද ?


එරබදු මීටර් 10ක් පමණ උසට වැඩෙන මධ්‍යම ප්‍රමාණයේ ගසකි. වියළි පහතරට, අතරමැදි කලාපයේ සහ පහතරට තෙත් කලාපයේ එරබදු දක්නට ලැබෙන අතර යක් එරබදු එම කලාපවලම ජලය ආශ්‍රිතව වර්ධනය වේ.

 
යක් එරබදු මල තද දම් රතුය. පියාපත් සහ නැවිති දම් පාටය. එරබදු මල දිලිසෙන රතු පැහැතිය. පියාපත් සහ නැවිති තද දම් රතුය.

යක් එරබදු බීජවල කළු වෛරම් දැකිය හැකිය. එරබදු බීජ රතු පාටට හුරු දුඹුරු පැහැතිය. යක් එරබදුවල කඳ කටු සහිත වන අතර පොත්ත දුඹුරුය. එරබදුවල කඳෙහි පොත්ත සුමුදුය. අළුය.

මේවා බීජ වලින් හෝ දඬු මගින් රෝපණය කරගත හැකිය.

එරබදු වලට වඩා යක් එරබදු දැකීම දුර්ලභය. 2020 ජාතික රතු දත්ත ලේඛනයට අනුව යක් එරබදු වඳවීමට ආසන්න (Near Threatened) කාණ්ඩයට ඇතුලත් කර තිබේ.

 
''ඉස්සර එරබදු හඳුන්වන්න Erythrina indica කියන උද්භිද විද්‍යාත්මක නාමය භාවිත කළා. පසුව ඒක Erythrina variegata ලෙස වෙනස් කළා. මම නම් ළඟදී මල් දැක්කේ නෑ. අනික් කාරණය දැන් සීසනල් ෆ්ලවර්ස් පිපෙන කාලයත් වෙනස් වෙලා. දේශගුණ විපර්යාස වගේ හේතු නිසා දැන් ඒවා නිශ්චිත කාලයට පිපෙන්නේත් නෑ. '' යනුවෙන් උද්භිද විද්‍යාඥ, මහාචාර්ය සිරිල් විජේසුන්දර විස්තර කළේය.


එලෙස විද්‍යාත්මක නාමය වෙනස් වීමට හේතු වුණේ Erythrina indica ලෙස නම් කළ මල ඊට පෙර අයෙකු විසින් Erythrina variegata ලෙස නම් කර තිබු බවට පසුව අනාවරණය වීමයි.


එරබදු ශාකය වඳවීමට හේතුව සහ Erythrina Gall Wasp යන කෘමියාගේ ඊට සම්බන්ධතාවය විද්‍යාත්මකව තහවුරු කර ගැනීම ශ්‍රී ලංකාවේ පර්යේෂකයන්ට පැවරී ඇති වගකීමකි.


(ෂර්ලි උපුල් කුමාර)
BBC සිංහල සේවය

 

pe2024 2

worky sin

නවතම පුවත්