මේ ලිපිය ලියන්න ඕන කියන අදහස හිතට නැගුණු වෙලාවෙ ඉඳල ම පැන නැගුණු ප්‍රශ්නයක් තමයි ලාල් කාන්ත ගැන ලියනව ද, Monara YouTube channel එක ගැන ලියනව ද, එහෙමත් නැතිනම් ‘බඹරු ඇවිත්’ ගැන ලියනව ද කියල.
කොහොම වුනත් මේ ලිපියට ඔය කියන නිමිති තුන ම අදාළයි. ඒ නිමිති තුනට මූලික වුණේ මොකක් ද කියල කියන්න හරිම අමාරුයි. ඒක හරියට අර කලින් ආවෙ බිත්තරය ද කිකිළි ද කියන ප්‍රශ්නය වගේ. හැබැයි ඇත්ත ම තත්ත්වය නම් ධර්මසේන පතිරාජ ‘බඹරු ඇවිත්’ නිර්මාණය නොකළා නම් මේ කිසිම දෙයක් කතා වෙන්නෙ නැහැ. ලාල් කාන්ත ‘බඹරු ඇවිත්’ පිළිබඳ එයාගෙ අදහස කියන්නෙත්, ‘බඹරු ඇවිත්’ ගැන අදහස මොකක්ද කියල Monara YouTube channel එක ලාල් කාන්තගෙන් අහන්නෙත් ධර්මසේන පතිරාජ ‘බඹරු ඇවිත්’ නිර්මාණය කරපු නිසා. ඒ නිසා ප්‍රමුඛත්වය දිය යුත්තේ ධර්මසේන පතිරාජට සහ ඔහුගේ නිර්මාණයට. ඒ ගැන වාද විවාද ඇත්තෙ ම නෑ.
තත්ත්වය එහෙම වුනත් YouTube channel අටෝරා සියකටත් වඩා විකාශනය කරන මේ පුංචි දූපතේ නරඹන්න ප්‍රිය උපදවන YouTube channel එකක් හොයාගන්න එක හරිම අපහසුයි. එබඳු පසුබිමක මට ලාල් කාන්ත Monara YouTube channel එක එක්ක බඹරු ඇවිත් සිනමා නිර්මාණය ගැන කතා කරපු සාකච්ඡාව අහන්න හේතු සාධක තුනක් ම තිබුණා. එක ‘බඹරු ඇවිත්’ සිනමා නිර්මාණය. දෙක ලාල් කාන්ත. තුන Monara YouTube channel එක. ඒත් මම මෙතනදි පළමුවෙන් ම කතා කරන්නෙ Monara YouTube channel එක ගැන; මොකද ඒ YouTube channel එක ‘ICE CHOCKS’ කියන මේ වැඩසටහන ඉදිරිපත් කරන ආකාරය අනෙක් channelවලට සාපේක්ෂව හරිම වෙනස් සහ නැවුම්. සමහර විට මේ ආකෘතියෙ සම්මුඛ සාකච්ඡා වෙනත් YouTube channel එකක හෝ කිහිපයක විකාශනය වෙන්නත් ඇති. නමුත් මම එහෙම වැඩසටහනක් නරඹපු පළමු අවස්ථාව මේක.
ගහ හඳුනන අයට කොළ පෙන්වීම
හතර වටින් ම ලයිට් ගහපු, මොකක් හරි දර්ශන තලයක් ඉස්සරහ ඉඳගෙන දෙන්නෙක් මූණට මූණ බලාගෙන කරන සාකච්ඡාවකට වඩා මේ සාකච්ඡාව වෙනස් සහ නැවුම්. මෙබඳු සාකච්ඡාවක් කරන්න යම් වියදමක් දරන්නත් වුවමනා බව ඇත්ත. සමහර විට ඒ වැඩසටහන පටිගත කරපු රෙස්ටෝරන්ට් එකෙන් යම් අනුග්‍රහයක් ලබා දුන්නා ද දන්නෙ නැහැ. මොකද වැඩසටහන අතර විවිධ කෑම වර්ග ඉදිරිපත් කරන්නෙ ඇගේ අමාරුවකට වෙන්න බැහැ නෙ. එහෙම වුණ එක අවුල් කියල මම කියන්නෙ නෑ. ඒක එහෙම විය යුතුයි. මොකද මේ හැම තත්ත්පරයක් පිටිපස්සෙම මුදල් ඉපයීමේ අදහසක් තියෙනවා නෙ. ඇතැම් විට මේ වැඩසටහන ජාතික ජන බලවේගය කියන දේශපාලන සංවිධානයේ ප්‍රචාරක කටයුත්තක් ද දන්නෙත් නැහැ. ඒකත් අවුලක් නෑ. ඒ පක්ෂය වුනත් එහෙම නැවුම් මාවතකට පිවිසෙන එක හොඳයි.
නාලිකාවේ අවධානය පිණිස...
ඒ පොඩි පොඩි අඩුපාඩු කොහොම වුනත් වැඩසටහන පවත්වාගෙන යන ආකාරය වගේ ම එය ඉදිරිපත් කරන ආකාරයත් ඉතාම ආකර්ෂණිය යි; නැවුම්. දැන් සමහර YouTube channel තියෙනවා ඒවයෙ ඉදිරිපත් කරන්නා හෝ ඉදිරිපත් කරන්නිය සම්පත් දායකයාගෙන් හෝ දායිකාවගෙන් ප්‍රශ්න අහන්නෙ හරියට පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේ. එහෙමත් නැති නම් අධිකරණයේ තෝල්ක මුදලි ප්‍රශ්න කරනවා වගේ. තවත් සමහර අය ප්‍රශ්න කරන්නෙ ප්‍රශ්න කරන කෙනාගෙ දැනුමේ ඌනතාවය රැකෙන විදියට. එහෙමත් නැතිනම් තමන් යම් දැනුමක් ලබාගැනීමේ අරමුණෙන්. එහෙම තත්ත්වයක් පවතින මොහොතක මේ වැඩ සටහන ඉදිරිපත් කරන තරුණිය (කලින් සැලසුම් කරගෙන හෝ) ඉතාම සරල විදියට ප්‍රශ්න කරනවා. ඒ වගේ ම වැඩසටහන සංස්කරණයේ දී ඉතාම නිර්මාණශීලි විදියට ඒ වැඩෙත් කරල තියෙනවා. වැඩ සටහන අවසන් කරද්දි පවා සිනමා නිර්මාණයේ අවසාන දර්ශනය තිරයේ දර්ශනය කරන එකත් ඇත්තට ම නැවුම්.
හැබැයි ‘ICE CHOCKS’ නමැති වැඩසටහන පිළිබඳ, එහෙමත් නැතිනම් ඒකට සහභාගි වෙන පිරිස, ඉදිරිපත් කරන්නිය ඇතුළු කිසිවකුගෙ නම් සඳහන් නොවීම අඩුපාඩුවක්. ඒක channel එකේ තීරණයක් ද දන්නෙ නැහැ. නමුත් ඒ කොටස තිබුණා නම් වටිනවා. මොකද ඒ වැඩසටහන ඉදිරිපත් කරන තරුණිය හඳුනාගන්න ප්‍රේක්ෂක ජනතාව කැමතියි. channel එකේ බලධාරියො ඒක තේරුම් නොගැනීම නම් අඩුවක්. ඒ හැරුණ ම මේ විදියෙ වැඩසටහනක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් Monara YouTube channel එකට ස්තුතියි කියල නොකියා ම බැහැ.
පිළිගත නොහැකි තර්කය
දැන් මම කැමතියි ලාල්ගෙ කතාව ගැන ටිකක් ලියන්න. සිනමා නිර්මාණය පිළිබඳ ලාල්ගෙ කියවීමට විරුද්ධ වෙන්න මට කිසිම අයිතියක් නෑ. හැබැයි ලාල් ඉදිරිපත් කරන එක තර්කයක් තාර්කික නැහැ කියලයි මට හිතෙන්න. ඒ තමයි හෙලන් (මාලානී ෆොන්සේකා) පේදුරු මුදලාලිගේ ම දරුවෙක් කියල ලාල් ඉදිරිපත් කරන තර්කය. මොකද එහෙම වුණා නම් හෙලන් තමන්ගෙ අම්මට, ඒ කියන්නෙ සෙලෙස්තිනාට (රූබි ද මෙල්) වික්ටර් (විජය කුමාරතුංග) ගැන කියන මොහොතෙ හෙලන්ගෙ අම්මගෙ හැසිරීම ඊට වඩා හුගක් වෙනස් වෙන්න තිබුණ. හැබැයි හෙලන්ගෙ අම්මා පේදුරු මුදලාලි එක්ක: ආදර හෝ ප්‍රේම හෝ ලිංගික සම්බන්ධයක් තියෙන්න ඇති. ඒක හෙලන්ගෙ අම්මගෙ ඉරියව්වලින් ටිකක් විතර පැහැදිලි වෙනවා. නමුත් ලාල් ඉදිරිපත් කරන අදහස චිත්‍රපටයේ ඉඟියකින්වත් ඉදිරිපත් කෙරෙන්නෙ නැහැ. මොකද අයිය කෙනෙකුයි නංගි කෙනෙකුයි හෝ අක්ක කෙනෙකුයි මල්ලි කෙනෙකුයි අතරෙ ලිංගික සම්බන්ධතාවක් ඇති වෙන්න ඒ දෙපාර්ශ්වයේ ම දෙමවුපියෝ දැනුවත්ව ඉඩ තියන්නෙ නැහැ.
දැන් කාට හරි තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන් හෙලන්ගෙ අම්මත් පිරිමි කිහිප දෙනෙක් ම ඇසුරු කරන්න ඇති, ඒ නිසා හෙලන් කාගෙ දරුවෙක් ද කියල එයාගෙ අම්ම දන්නෙ නැතුව ඇති කියල. නමුත් ප්‍රායෝගික තලයෙදි ඒක එහෙම වෙන්න බැහැ; වෙන්න බැහැ නෙවෙයි ඇත්තට ම වෙන්නෙ නැහැ. මොකද පිරිමියා නොදන්නවා වුනාට ගැහැනිය දන්නවා තමන්ගෙ කුසයේ වැඩෙන්නෙ කාගෙ දරුවෙක් ද කියල.
ලාල් කාන්ත නම් රස විඳින්නා
ලාල් කාන්තගේ ඒ අදහස පිළිබදව ප්‍රතිවිරුද්ධ අදහසක් තිබුණට එයාගෙ අනෙක් අදහස් පිළිබඳව කිසිම තර්කයක් නැහැ. ඇත්තට ම ‘බඹරු ඇවිත්’ කියන්නෙ නිකම්ම නිකම් වැල්ලෙ මිනිස්සුන්ගෙ ජීවිත ගැන කියන කතාවක් නෙවෙයි. ඒ කතාව දේශපාලනිකයි. අපි ඒ දේශපාලනය කියවා ගත යුතුමයි. ඉතිං ඒ නිර්මාණයේ යටි පෙළින් කියවෙන දේශපාලනය කියවා ගන්න ලාල්ට ඒ තරම් අපහසු නෑ. ඒක එයාට අතැඹුලක් වගේ. මොකද ලාල් කාන්ත කියන්නෙ පොතක්, සිනමා නිර්මාණයක්, නාට්‍යයක් හෝ වෙනත් කලා නිර්මාණයක උඩු පෙළ විතරක් කියවන කෙනෙක් නෙවෙයි. ඒක මම දැනගත්තෙ ඉෂාක් බෙෂවිෂ් සිංගර්ගෙ The King of the Fields කෘතියේ සිංහල පරිවර්තනය වුණ ‘ගොවි රජ්ජුරුවෝ’ කෘතිය පිළිබඳව 1999 හෝ 2000 අවුරුද්දෙ ලාල් පුද්ගලිකව ම මාත් එක්ක දක්වපු අදහස් එක්ක. මේ කෘතිය සිංහල භාෂවට පරිවර්තනය කළේ ගාමිණී වියන්ගොඩ. නිකුත් වුණේ 1999 අවුරුද්දෙ.
මේ සාකච්ඡාවෙදි මම නොදැන හිටපු තවත් කාරණයක් දැනගත්තා. ඒ තමයි තල මල පිපුණාම මහා අභාග්‍යසම්පන්න කාලයක් උදාවෙනව කියල ජනප්‍රවාදයේ එන කතාවේ විද්‍යාත්මක පදනම. හැමෝ ම කියනවා තමයි තල මල පිපුණා ම අහල ගම් හතක කිසිම බෝගයක් හැදෙන්නෙ නෑ කියල; ඒක මහා අවාසනාවන්ත සිදුවීමක් කියල. නමුත් ඒකට හේතුව කිසිම කෙනෙක් ඉදිරිපත් කරේ නෑ. අඩුම වශයෙන් ජනශ්‍රැති පර්යේෂකයකුගෙන් පවා මම මේ පිළිබඳව ඇහුවම ඔහු ඒකට නිසි පිළිතුරක් දුන්නෙ නැහැ. නමුත් මේ සාකච්ඡාවෙදි ලාල් ඒ සිද්ධිය සම්බන්ධයෙන් වන විද්‍යාත්මක තත්ත්වය පැහැදිලි කරා. ඒක සිනමා නිර්මාණය සමග සම්බන්ධ නොවුනත් ඒ කාරණය දැන ගත්ත එක ඉතාම වටිනවා. ලාල්ට ඒ සිද්ධිය පැහැදිලි කරන්න වුනෙත් වැඩසටහන ඉදිරිපත් කරපු තරුණියගෙ පැනයකට පිළිතුරක් විදියට. ලාල් ඒ උත්තරය දෙන්නෙ ඉදිරිපත් කරන්නිය අහපු පැනයකට දෙන ව්‍යංගාර්ථ පිළිතුරක් විදියට. මෙතනදි මම පුද්ගලිකව ඇයටත් ස්තුති කරනව. මොකද ඇය එබඳු ප්‍රශ්නයක් ඇහුවෙ නැතිනම් මේ සිද්ධියේ විද්‍යාත්මක හේතුව සමාජ ගතවෙන්නෙ නැහැ. දන්න අය ඇති. නමුත් බහුතරයක් දෙනා දන්නෙ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය.
නිර්මාණයක තත්තත් භාවය ඇගයීම
කලා නිර්මාණයක තාත්විකත්වය රැක ගැනීමට නම් අදාළ කලා නිර්මාණයට පාදක වන වට පිටාව මෙන් ම එම වටපිටාව තුළ භාවිත කෙරෙන භාෂාව ඒ ආකාරයෙන් ම භාවිත කළ යුතු බවට වන කදිම සාක්ෂියක් ද ලාල් මෙහි දී මතු කළා. ‘බඹරු ඇවිත්’ සිනමා නිර්මාණයේ ඇතැම් තැනෙක සමාජය විසින් ‘කුණු හරුප’ ලෙස සැලකෙන වදන් පවා භාවිත කෙරෙන බව එය නරඹපු අයට මතක ඇති. ඒ වගේ ම එදිනෙදා ජීවිතයෙ දි භාවිත කරන වදන් පවා කිසිම පැකිළීමකින් තොරව ම භාවිත කරනවා. ඒ, //බඩුවක්, ටොප් බඩුවක්, උස්සන්න/උස්සනවා, මුංගෙ අම්මලාට, බඳින්න නෙවෙයි... කොටන්න, කොටල මාරුවෙන්න, ඒකි වේස ගෑනියෙක් නෙවෙයි, පට්ට බැල්ලි, පුක ලෙවකනවා// යනාදි වචන.
එම තත්ත්වය කෙරෙහි ලාල් දක්වන දක්වන ආකල්පය ඉතාම සාධනීය යි. ඒ, යහපත් සහ සාධනීය භාවය තවත් පැහැදිලි කරනවා නම් කිසියම් කලා නිර්මාණයක්, කලා නිර්මාණයක් ලෙස ම බාරගැනීම. ‘බඹරු ඇවිත්’ සිනමා නිර්මාණයේ භාවිත කරන බොහෝ වදන් හෝ සිද්ධි යනු බාහිරින් එල්ලන යමක් නෙවෙයි. ඒ සියල්ල ම නිර්මාණයට අත්‍යවශ්‍ය අංග. හැබැයි ඒ බව වටහාගන්න පුළුවන් වෙන්නෙ කලාව, කලාව විදියට රස විඳින සහ කියවාගන්න පුළුවන් පුද්ගලයන්ට විතරයි. එතන දි පවා ලාල් කාන්ත නමැති පුද්ගලයගෙ රසඥතාව මැනවින් පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ, ඔහු අදාළ නිර්මාණයේ භාවිත කරන වදන් පිළිබඳව සදාචාරවාදී අදහස් කිසිවක් මතු නොකරන බැවින්.