මේ පිළිබඳ ලියන්නට මා පෙළඹ වූයේ, නිලන්ති කොට්ටහච්චි සහෝදරිය විසින් මාලිමාවේ "ගැහැනු එක මිටට" රැලිවල දී කරන සාරධර්ම කතාවල
දී රුවන් බන්දුජීව කවියාගේ මීළඟ මීවිත කාව්‍ය සංග්‍රහයේ එන "මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි" යන පද්‍ය පන්තියේ යම් කොටසක් උපුටා දැක්වීම නිසා ඇති වූ තත්ත්වයක් පදනම් කරගෙන බව ප්‍රථමයෙන් ම සටහන් කරන්නට කැමැත්තෙමි.
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි
දේශපාලකයෙක් කාන්තාවන් සියයක් අපචාරයට පත් කිරීම සමරනු පිණිස ප්‍රිය සාදයක් පවත්වයි - පුවතක්
පියයුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි
සියක් මණිමේඛලා - තනපටි - පබළු පොටවල් තෝඩු ගලවා
පතිනි දේවිය ඇතුළෙ ඉද්දිම අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා
ප්‍රීති ඝෝෂා විසිල් සද්දෙට මනම්පේරිත් ඇවිත් බැලුවා
කන්ද වැඩිහිටි වැහිල යන්න ම මොනර බිත්තර සාරු ගැලුවා
පුපුරු ගසනා ඇස් දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි
සාදය නන්දනීයයි
මැණික් ගඟටත් ඉවුරේ චූ යයි
මා දන්නා නොදන්නා බොහෝ දෙනා දුරකතන පණිවුඩ මගින් ද, සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ පිළිබඳව මගෙන් විමසීම නිසා මම මඳක් චකිතයටත් පුදුමයටත් මෙන් ම එක් අතකින් විශාල කලකිරීමකටත් පත්වීමි. ඒ, මේ රටේ බොහෝ දෙනා: කියවීම අතහැර ඇති බවත්, අතරින් පතර කියවීම සිදු කළත්, කවි පොත් සහ කවි කියවීම මගහැර ඇති බවත්, කියැවූව ද, නිසි සාක්ෂරතාවක් හෝ සවිඥානික බවක් නොමැති වීමත්, අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ දක්නට ලැබෙන නරුම මුග්ධ ස්වභාවයත්, අනිසි උපකාරක පන්ති හරහා නූගත්, ප්‍රමාණවත් විෂයානුබද්ධ දැනුමක් නැති පිරිසක් විසින් ගුරුවරුන් ලෙස පෙනී සිටිමින් දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් නො මග යැවීමත්, ඊට අනුබල දෙමින් ජඩ මාධ්‍ය හරහා ඔවුන්ට තොරණ බැඳීමත්, හේතුවෙන් කොට්ඨහච්චි සහෝදරිය මතු කරන යථාර්ථය සහ ඇයගේ අරමුණ බොහෝ දෙනාට නො වැටහී, ඒ පදවල වචනාර්ථය පමණක් මතුපිටින් ගෙන උභතෝකෝටිකයක සිරවී ඇති බව පෙනුණු බැවිනි.
ඒ පිරිස ද, ඒවා වටහාගත නොහැකි අය ද, එන්.පී.පී.යට මඩ අවලාද නඟන අය ද එන්න එන්නම වැඩිවෙමින් පවතී. එයට අංශු මාත්‍රයකවත් ඉඩක් නොදී කොට්ටහච්චි සහෝදරිය අසහාය පෞරුෂයකින් වඩ වඩාත් සන්නද්ධ වී ඇති බව ද කිව යුතු ය.
මා එම කාව්‍ය නිර්මාණය පිළිබඳව යමක් ප්‍රකාශ කරන්නේ, යට කී පිරිස දැනුවත් කිරීම සඳහා ම ය. එබැවින් මේ ප්‍රකාශය ඒ අයට ඉදිරිපත් කරන තවත් ප්‍රහේලිකාවක් නො කර අතිශය සරල බසින් සටහන් කරන්නට මට අවශ්‍ය විය.
- * * * *
‘කවිය කුමක්ද...?’ යන්න පැහැදිලි කිරීම සත්‍ය කුමක්ද යන්න පැහැදිලි කිරීම තරම් ම දුෂ්කර වූ කාර්යයකි. වර්තමානයේ එය තව තවත් සංකීර්ණ වී ඇත. කෙසේ වෙතත් කවිය වර්ගීකරණයට භාජනය කිරීමේ දී, ආකෘතිය අනුව වර්ග කිරීම ද සිදුවේ. ඒ: ගී ආකෘතිය, සිව් පද ආකෘතිය, සිලෝ ආකෘතිය සහ නිසඳස් ආකෘතිය ආදි වශයෙනි.
බන්දුජීවගේ මෙම පද්‍ය පංතිය අයත් වන්නේ නිසැඳෑස් කාව්‍ය ආකෘතියට ය. කවිය රචනා කරන පුද්ගලයා කවියා ය; කාව්‍ය රචකයා ය. ඔහු මනා ප්‍රතිභාන ශක්තියෙන් යුක්ත උසස් සත් චේතනාවලින් යුතු මනසක් ඇති පුද්ගලයෙකි. එබඳු පුද්ගලයකු අතින් නිර්මාණය වන කවිය සහෘද සිත් හි චමත්කාරය දනවයි. එබඳු කාව්‍ය නිර්මාණ යනු අපූර්ව හෙවත් අසහාය නිර්මාණ ය; "පෙර නොවූ විරූ" නිර්මාණ විශේෂයකි. එසේ ම එම කවිය වඩාත් සංකීර්ණ වූ ද, විදග්ධ වූ ද නිර්මාණ විශේෂයකි. රුවන් බන්දුජීවගේ "මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි "පද්‍ය නිර්මාණය කියවීමෙන් උක්ත නිර්වචනය සඳහන් කරන්නට කාට හෝ සිතුණේ නම් එය නිවැරදි ය.
සමහර නූතන කවීන් මුද්‍රිත සහ විද්‍යුත් සන්නිවේදන මාධ්‍යවල ප්‍රකාශිත පුවත් කේන්ද්‍ර කර ගනිමින් පද්‍ය පබඳින්නට උත්සුක වන ආකාරය දැකීම විරල නො වේ. මෙය ද එයට නිදසුනකි. පුවත මෙසේ ය.
දේශපාලකයෙක් කාන්තාවන් සියයක් අපචාරයට පත් කිරීම සමරනු පිණිස ප්‍රිය සාදයක් පවත්වයි - පුවතක්
මෙම පුවත කොතරම් නිහීන ද...? එය පසුගාමී ජනතාවක් වාසය කරන, පරාදීන රටක පාලක පන්තියේ සත්‍ය ස්වභාවය විදහා පාන අප්‍රසන්න පුවතක් නො වේ ද...? එබඳු දේශපාලකයින් ද, එය ඉවසා දරාගෙන මුනිවත රකිමින් ජීවත් වන මිනිසුන් ද වහ වහා පිටු දැකිය යුතු නො වේ ද...?
බන්දුජීව කවියා ප්‍රශ්න කරන්නේ එය යි. එනම් බන්දුජීව කවියා ලද අනුභූතිය පොදු පාඨකානුභූතියක් බවට පත්කරවා, පොදු මහත් ජනතාව ඒ සඳහා පෙළගස්වන්නට කවියා උත්සුක වී ඇති ආකාරය යි. කොට්ටහච්චි සොයුරිය කාන්තා රැළියක/සමුළුවක මතු කරන්නේ එය යි. එනම් මේ නිද්‍රා සහගත පිරිමි සමාජය කුණු වී ඕජස් ගලන කුණපයක් බව කියමින් එය පොඩි පට්ටම් කරමින්, ස්ත්‍රියගේ සුරක්ෂිතතාවත්, ජීවත් වීමේ අයිතියත් සුරැකීමට අවශ්‍ය සමාජ, ආර්ථික, දේශපාලනික මෙන් ම සංස්කෘතික අරගලයකට, ක්‍රම වෙනසකට ගැහැනිය කැඳවාගෙන යාමට ඇය මේ කව නිමිත්තක් කර ගැනීම පිළිබඳව ඇයට කෘතඥ විය යුතු කාරණාවකි; විප්ලවීය ආචාර්ය පිරිනැමිය යුතු කාර්යයකි.
බන්දුජීව කවියා කවිය ආරම්භ කරන්නේ...
"පියයුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි "
යනුවෙනි ...
මේ සල්ලාල දේශපාලනඥයා කාන්තාවන් සියයක් අපචාරයට ලක් කර එනම් ලිංගික සූරා කෑමට ලක් කර, එය සැමරීමට සාදයක් පවත්වයි. ඔහු තනිව ම මේ සාදය පවත්වනවා නො වේ. මෙම සාදයට කෑමට, බීමට, ගී ගැයීමට, නර්තනයේ යෙදීමට මෙන් ම එකිනෙකා සිප වැලඳ ගන්නට බොහෝ පිරිස් පැමිණෙති. මා පෞද්ගලිකව ම දන්නා පරිදි මේ සඳහා දහසකට අධික පිරිසක් සහභාගි වී ඇත. එයට පොහොට්ටුවේ දේශපාලඥයින් ද බොහෝ දෙනා සහභාගි වී ඇත.
ඉතින් මේ රට/දූපත කොතරම් නින්දිත, පසුගාමී මිනිසුන් ජීවත්වන දූපතක් ද...? ඒ සාදයට පැමිණෙන සියලු දෙනා ම එම සාදය පැවැත්වීමේ නිමිත්ත ඉතා හොඳින් දැන සිටියහ. එබැවින් ම බන්දුජීව කවියා
"පියයුරු දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි"
යනූවෙන් එහි ලිංගික සුරා කෑමට ලක් වූ අහිංසක කාන්තාවන් ගණන සියයක් බව ප්‍රකාශ කරන්නට භාවිත කළ කාව්‍යෝක්තියේ අපූර්වතම ස්වරූපය යි. කාන්තාවන් සියයකට පියයුරු දෙසීයක් ඇත. කාන්තාවන් සියයක් කෙළෙසුණු බව ප්‍රකාශ කළ අපූරුතම කවි කියමන එසේ ය.
රන්බණ්ඩා සෙනවිරත්නයන්ගේ "ළැම පමණක් ලොවට පෙනෙන - ළය නොපෙනෙන ලඳුනේ" නමැති කාව්‍යෝක්තිය ද, සංස්කෘත දෘශ්‍ය කාව්‍ය අතර මුදුන් මල්කඩ සේ සැලකෙන අභිඥාන ශාකුන්තලයේ, ශාකුන්තලා විසින් අනුසූයා සහ ප්‍රියංවදාව අමතා "අනේ අනසූයා, ප්‍රියංවදා ඔයාල මේ අන්දපු වල්කලා ඇඳුම හරිම හිරයි. ඒක ටිකක් බුරුල් කරන්න කෝ," යැයි පැවසූ විට අනුසූයා කීවේ "අපට දොස් කියන්න එපා... ඔය තරුණ මදය කුලප්පු කරන පයෝදරවලට දොස් කියන්න... අපි ඇන්දුවේ තියෙන තන පටයම තමයි" යනුවෙනි.
කාන්තා පියයුරු පිළිබඳ පෙර 'පෙර දෙදිග ම කවීන්ගේ හැඟීම එබඳු ය. එබැවින් බන්දුජීව කරන මේ ප්‍රකාශය අර්ථ පූර්ණ ය. බන්දුජීව එතැනින් නොනැවති "සාදය නන්දනීයයි" යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් ඉහතින් ඔහු ම සඳහන් කරන පුවත අපූරු කාව්‍යයක් බවට පත්වී, සහෘද පාඨකයා තුළ දැඩි අප්‍රසන්නතාවක්, කලකිරීමක් මෙන් ම, එබඳු නිර්වින්දන සමාජයක් පිළිබඳව පිළිකුලක් ද ඇති කරවයි .
"මැණික් ගඟටත් ඉවුරේ චූ යයි" යනු පද්‍ය පන්තියේ නාම ශීර්ෂය යි. එය සුවිශේෂ අනුප්‍රාසයක් ඇති කරවන්නකි. මැණික් ගඟ බොහෝ බැතිමතුන්ගේ පූජනීය ගංගාවකි. කතරගම වැඳ පුදා ගන්නට යන බැතිමතුන් ස්නානය කර පිරිසිදු වන්නේ, අසූචි සහ දුඟඳ පිරුණු මැණික් ගඟේ ජලයෙනි. එය මෝඩ ඉන්දියානුවන්ට ගංගා නම් ගඟේ ජලය හා සමාන ය. මැණික් ගඟ මේ සහ ගහන අපරාධය බලා සිටින සිත්පිත් නැති පුද්ගලයෙකු බවට පත්කරන බන්දුජීව කවියා ඒ පුද්ගලයාට ද මේ අපරාධ දෙස බලා සිටිද්දී, ඉබේ මූත්‍ර පහ වන බව ප්‍රකාශ කිරීමෙන් එම උත්ප්‍රාස රසය තව තවත් තීව්‍ර කරවයි.
මේ අවස්ථාවේ කුමාර හෙට්ටිආරච්චි කවියාගේ කවක් සිහිපත් වේ. එනම්: එක්තරා දැරියක් අතවරයට ලක් කර, ඝාතනයට ලක් කිරීමෙන් අනතුරුව වැල්ලවත්ත ඇළට දමා තිබිය දී සොයා ගත් පුවත කේන්ද්‍ර කරගෙන ඔහු කවියක් පබඳින අතර, අවසානයේ ඔහු සහෘද පාඨක පිරිසට එක් රොක් වී ඇළට චූ කිරීමට ආරාධනා කරමින් ඒ හිත් පාර වන කව අවසන් කරයි. මෙය ද තවත් එබඳු අවස්ථාවකි. මෙ වැනි සහගහන අපරාධ දැක මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි. කියමින් ඉදිරිපත් කරන විරෝධය සහ උපහාසාත්මක බව නිම්නාද වී දෝංකාරය නඟයි.
ඉන් අනතුරුව බන්දුජීව කවියා මෙම පුවතට සමගාමීව තවත් තොරතුරු රැසක් වාර්තා කරනු වෙනුවට ඉතා සරල, සුගම කාව්‍ය බසක් උපයුක්ත කර ගෙන පාඨකයා ඉදිරියේ එම සිද්ධි නාට්‍යෝචිතව අපූර්ව ලෙස නිරූපණය කරයි. එනම්, "සියක් මණිමේඛලා තණපටි, පබළු පොටවල්, තෝඩු ගලවා" යනුවෙන් මවන රූප පෙළින් මනහර චිත්ත රූප පද්ධතියක් බවට පත් කරනුයේ වචන හරඹයකට වඩා වාග් චිත්‍ර පෙළක් නිරූපණය කරමිනි.
මණිමේඛලාව යනු රාජ රාජ මහේෂිකාවන්, කුලකාන්තාවන් තම තමන්ගේ ස්ත්‍රී නිමිත්ත ආවරණය වන සේ පලඳින පලඳනාවකි. එය ඒ ඒ කුලකාන්තාවන්ගේ ආර්ථික වත් පොහොසත්කම් සහ තරාතිරම මත, රත්ත්‍රන්වල මැණික් ඔබ්බවා කළ අපූරු අලංකාර පලඳනාවකි. අතවර කළ පුද්ගලයා ඒ ඒ කාන්තාවන්ගේ "මණිමේඛලාව ගලවා, තනපටි උනාදමා, පබළු පොටවල් සහ තෝඩු ගලවා දමා." මේ අපරාධය කළ බව කවියා ප්‍රකාශ කරයි. එය කවියාගේ ඉසියුම් කවි ඇසක ප්‍රශංසනීය ප්‍රතිනිර්මාණයකි; අපූරු පද සංඝටනාවකි.
මණිමේඛලා පලඳින අය මහේශාඛ්‍ය ධනපති පෙළැන්තියේ කාන්තාවන් ය. තනපටිවලින් මධ්‍යම පාන්තික හා සාමාන්‍ය පවුල්වල කාන්තාවන් ද, පබුළු පොටවල්වලින් හිරිමල් වයසේ ළපටි ගැහැනු ළමුන් ද සංකේතවත් කරමින්, මේ පුද්ගලයා අපචාරයට ලක් කළ කාන්තාවන් සියය තුළ ඒ සියලු ම පන්ති සහ සමාජ ස්තරවල කාන්තාවන්, වයස් භේදයකින් තොරව අහිංසක ළදැරියන් ද අතවරයට ලක් කළ බව සනාථ කරයි.
"පතිනි දේවිය ඇතුළෙ ඉද්දිම අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා" යන පද්‍ය පාදයෙන් තවත් විශාල අරුතක් සංක්ෂිප්තව සුන්දර කවි කියමනක් බවට පත් කළ ආකාරය පැහැදිලි කෙරේ. පත්තිනි යනු පතිවත රැකි කාන්තාවකි. පතිවත රකින කුල කාන්තාවන් පත්තිනියගෙන් සංකේතවත් වේ. නමුත් වර්තමාන කවි සමයේ පතිවත නො රකින කාන්තාවන්ට ද පත්තිනි අම්මා යන්න ව්‍යවාහාරය කෙරේ. එය ද උත්ප්‍රාසය යි.
පත්තිනිගේ උත්පත්තිය ආකාර හතකි. එනම් ගින්නෙන් උපන් ගිනි පත්තිනි, මලෙන් උපන් මල් පත්තිනි, දළෙන් උපන් දළ පත්තිනි, ජලයෙන් උපන් ජල පත්තිනි, අඹෙන් උපන් අඹ පත්තිනි, නයි කඳුළෙන් උපන් නයි පත්තිනි සහ පිනි බිඳුවෙන් උපන් පිනි පත්තිනි ආදි වශයෙනි.අඹෙන් උපන් අඹ පත්තිනිය උපදින්නටත් පෙර අඔය තුළදී ම විනාශ කළ ආකාරය ඉතාමත් සානුකම්පිත ලෙස ප්‍රකාශ කළ බව ඉන් පැහැදිලි ය. අඹයෙන් උපන් අඹ පත්තිනි උපදින්නට පෙර අඹය පෙත්තෙන් පෙත්ත කැපුවා යනු, එම ස්ත්‍රීන් අතවරයට ලක් කළ පුද්ගලයා නූපන් ළැදැරියන් පවා අතවරයට ලක් කළ පාපතරයකු බවයි; එනම් ගැබිනි කාන්තාවන් පවා එම සල්ලාලයාට ගොදුරු වූ බවයි.
නමුත් මෙම පුද්ගලයා යන එන තැන්වල දී: ඔහුගේ පාක්ෂිකයින්, නෑදෑ හිතවතුන් ඔහු වෙනුවෙන් ආචාර වෙඩි මුර පවත්වා, විසිල් ගසා, ප්‍රීති ඝෝෂා කර, ඔහු පිළිගන්නා ආකාරයට මනම්පේරිය ද අවදි වී එන බව ප්‍රකාශ කිරීමෙන් කවියා මෙතෙක් මැවූ උත්ප්‍රාසය කුටප්‍රාප්තියට ගෙන එයි.
ප්‍රේමවතී මනම්පේරි යනු තවත් මෙබඳු ම බිල්ලකි. ඇය කතරගම රූප සුන්දරී ලෙස තේරී පත් වූ රුවැත්තියකි. ඇය ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිනියකැයි පවසා අත්අඩංගුවට ගෙන, සමූහ වශයෙන් අතවරයට ලක් කර, දස වද දී, මරා දැමූ පුවත නොදන්නේ කවරහු ද...? මේ අපරාධකාරීන්ට සමාජයේ පවත්නා පිළිගැනීම දුටු විට මනම්පේරි ද ඇවිත් බැලුවා යැයි කීමෙන් කවියා ප්‍රකාශ කරන්නට යත්න දරණ විරෝධය එබන්දක් යැයි ප්‍රත්‍යක්ෂ වේ.
අනතුරුව කරන ප්‍රකාශය ද ඉතාමත් ම අපූරු මෙන් ම සුවිශේෂ වේ. එනම්, "කන්ද වැඩිහිටි වැහිල යන්න ම මොනර බිත්තර සාරු ගැලුවා " යන ප්‍රකාශය යි.
වැඩිහිටි කන්ද තවත් අපූරු තැනකි. එහි ළැදරියන් සිවු දෙනකු එකවර වරින් වර කෙලෙසා දැමූවා යැයි චෝදනා ලැබු චීවරධාරියෙකු සිටි තැනකි. ඔහු නමින් රත්මලානේ සිද්ධාර්ථ ය. නම සිද්ධාර්ථ වූ නමුත් ඉෂ්ට කලේ අනිෂ්ටාර්ථයකි. මෙම චිවරධාරියා වයස 18 ට අඩු එකම පවුලේ ළැදැරියන් සිවු දෙනකු අතවරයට ලක් කළ බවට චෝදනා එල්ල විය. එහෙත් අධිකරණ තින්දුවෙන් නිවැරදිකරු ලෙස නිදහස ලැබී ය. වැඩිහිටි කන්ද එබඳු වසලයෙක් සිටී තැනකි. මැණික් ගඟටත් ඉවුරෙ චූ යයි. යන ප්‍රකාශය අර්ථ පූර්ණ වන්නේ එවිට ය. මේ වසලයා ගැන එවකට ශිෂ්‍යයෙකු වූ වත්මනේ මහාචාර්යවරයකු වන පුද්ගලයෙක් "සීලෙන් වැඩිය කඳබඩ ඊටත් වැඩිය - උගෙ අම්මට හොඳය මට නම් හිරිකිත ය" යැයි ලීවේ මේ සල්ලාල චිවරධාරියාට ය. එබැවින් "කන්ද වැඩිහිටි වැහිල යන්න ම" යන පදය මේ සියල්ල පාඨකයාට සිහි කැඳවයි. එය මනරම් කාව්‍යෝක්තියකි.
"මොනර බිත්තර සාරු ගැලුවා" යන යෙදුම දයාසේන ගුණසිංහයෝ උකුස්සා කොළම ලියන සමයේ යෙදූ බස් හරඹයකට සමාන ය. මේ සල්ලාලයාගේ නම එතන ඇත. මොනර බිත්තර නිල් පාට ය. ඒ නිකම්ම නිල් පාටක් නොවේ; හොඳ නිල්පාට ය. එනම් සුනිල ය. "සාරු ගැලුවා" යනු " සාරුවා " යන පදය සොයාගන්නට දුන් ඉඟිය යි. "සුනිල්" වූ මොනර බිත්තර "සාරුවා" ව ගැලුවේ වැඩිහිටි කන්ද වැහිලා යන්න ම බව පැවසීමෙන් කවියා සපයන ඉඟි ඔස්සේ මේ වසල සල්ලාලයාගේ නම ගම සොයා ගත හැකි ය.
පසුව සිදු වූයේ කුමක් ද...?
"පුපුරු ගසනා ඇස් දෙසීයයි
දෙකෙන් බෙදුවම ගෑනු සීයයි"
පියයුරු දෙසීය දෙකෙන් බෙදුවත් ගෑනු සියයකි. එසේම අතවරයට ලක් වූ කාන්තාවන් තුළ නළියන වෛරය, ක්‍රෝධය ප්‍රකට වන්නේ තරහෙන්, වෛරයෙන් පුපුරු ගසනා ඔවුන්ගේ ඇස්වලිනි. ගැහැනු සියයකට පියයුරු දෙසීයක් ඇති වා සේ ම ඇස් ද දෙසීයකි. ඒ ඇස් පතුරු ගැසූ පියයුරු මෙන් නොව, පුපුරු ගසනා වෛරයෙන් පීඩිතය. උන්ට කළ හැකි අන් යමක් නැත. ඊට පාදක වූ අහිංසක කාන්තාවන් එතරම් ම අහිංසකය.
මේ සල්ලාලයාගේ අනූනමවන බිල්ල මවකි. සියවැනි බිල්ල ඒ මවගේ ලාබාල දියණිය යි. මෙතරම් අපරාධ දාමයක් සිදු කළ සල්ලාලයා වරදකරු වී වසර විස්සකට බරපතල වැඩ සහිත සිර දඬුවමට ලක් විය. නමුත් ඔහු ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් විභාගයට ගත් අභියාචනාධිකරණය 2022 ඔක්තෝබර් 11වන දින ඔහු සියලු වැරැදිවලින් නිදොස් කොට නිදහස් කළේ ය. එය, නැවත මල් කැකුළු පොඩි කර දමන්නට නිදහස දුන්නා හා සමාන යැයි ජනතාව පැවසී ය.
රුවන් බන්දුජීව කවියා, "සාදය නන්දනීයයි - මැණික් ගඟටත් ඉවරෙ චු යයි" පවසා පද්‍ය පන්තිය අවසන් කරයි.
පුනරුක්තිය හෙවත් එකම දේ යළි යළිත් ප්‍රකාශ කිරීම කාව්‍ය දෝෂයක් ලෙස සලකයි. සාර්ථක කවියා පුනරුක්තිය දෝෂයක් වුව ද, අලංකාරයක් ලෙස යොදා ගනියි. බන්දුජීව කවියා ද "සාදය නන්දනීයයි - මැණික් ගඟටත් ඉවුරේ චූ යයි" යන කාවව්‍යෝක්තිය නැවත නැවත භාවිත කරමින් එය අලංකාරයක් ලෙස ම යොදාගනී.
මෙම කාව්‍ය නිර්මාණය සමාජ ගතකිරීම වෙනුවෙන් කොට්ටහච්චි සොහොයුරියට ආචාර සමාචාර කරන අතර, රුවන් බන්දුජීව කවියාගේ පෑන් තුඩින් යළි යළිත් මෙබඳු කවි ලිය වේවා යැයි පතමි.
(මු. දූ. රංජිත් ද සිල්වා)
ප්‍රවීණ නාට්‍යවේදී
උපුටා ගත්තේ Mudhu Ranjith De Silva ගේ facebook පිටුවෙනි