ලංකාව මේ වෙද්දි සතුට අහිමි වුනු රාජ්‍යයක්. ඒකට තමයි ඇත්තට බංකොලොත්භාවය කියන්නෙ.
ඒ කියන්නෙ පුද්ගලයෙකුට තමන්ගේ ජීවිතයේ සතුට පිළිබඳ අපේක්ෂාවන් සාධනය කර ගත හැකි බාහිරයක් නැත්තං සමාජයක් අහිමි රටක් කියන එක.
ඒක ආර්ථික කාරණයක් විතරක් නෙමෙයි. දේශපාලනීකරණය වීම, පාදඩකරණය, ආගමිකකරණය, ජාතිවාදය, නිදහස අහිමි කිරීම ආදී බොහොමයක් කාරණා ඒකට බලපානවා.
සතුට කියන්නෙ අපි තුල සහ අපෙන් පිටත පවතින දෙයක්. අපි තුල තියෙන දේට පිටතත්, පිටත දේට ඇතුලතත් බලපානවා.
අපි කොයිතරම් සතුට අහිමි ජාතියක්ද කියන එක තවත් කෙනෙකුගේ විනාශයකින් සතුටු වෙන තරම දැක්කම තේරුම් ගන්න පුළුවන්. කෙනෙකුගේ මරණයකින් අපි සතුටු වෙනවා. කෙනෙක් හිරේ දාලා හාමුදුරුවරු සතුටු වෙනවා. කෙනෙක් පොලිසිය අල්ලගෙන යද්දි තව කෙනෙක් සතුටු වෙනවා. විකෘතිය කියන්නෙ මේකට.
අනෙකාගේ විනාශයෙන් සතුට ලැබීමට හුරුවීම කියන්නෙ නිරෝගී තත්වයක් නෙමෙයි.
සතුට හොයාගෙන මිනිස්සු රට ඇතෑරලා යනවා. ඒ කියන්නෙ තමන්ගේ සතුට පිළිබඳ අපේක්ෂාවන් සාධනය කරන්න පුළුවන් බාහිරයක් නෑ කියන සත්‍යය. ඒක රස්සාව ගැන කාරණයක් විතරක් නෙමෙයි. ඒක නිතර දකින්න ලැබෙන පිළිකුල්සහගත සිදුවීම් පිළිබඳ කාරණයක්. මෙහෙම මිනිස්සු එක්කද අපි ජීවත් වෙන්නෙ කියල කෙනෙකුට හිතෙන එක ලංකාවෙ සාමාන්‍ය පොදු තත්වය වෙලා තියෙනවා.
මේ සතුට අහිමි කිරීමේ ප්‍රතිඵල දැන හෝ නොදැන රජයත් ඒ විකෘතිය තවත් තීව්ර කරමින් ඉන්නවා. බොන මිනිහට බොන්න නැති කරනවා, පාරෙ යද්දි ආයුද අරන් පරීක්ෂාවට ලක් කරනවා, දැන් සමාජ මාධ්‍යයත් පාලනය කරන්න යනවා.
මේ සියල්ල අවසානයේ බලාපොරොත්තු වෙන්න පුළුවන් එක දෙයයි. ඒ භීෂණයක්. සමාජය පැත්තෙනුත් ආන්ඩුව පැත්තෙනුත් විශාල ප්‍රචන්ඩත්වයක් පුපුරා යාමට නියමිතයි. සමහර විට ආන්ඩුවේ සැලසුම ඒක වෙන්නත් පුළුවන්. සමහර විට ආන්ඩු විරෝධීන්ගේ සැලසුම ඒක වෙන්නත් පුළුවන්. ඒ දෙපාර්ශ්වයම සතුට පිළිබඳ හැගීමක් නැති පිරිස්.
මේ විකෘතීන් අතර මැදිවෙන මිනිස්සුන්ට වෙන්නෙ මොකක්ද? කවුරු හරි මැරෙනකල් බලන් ඉඳලා කිරිබත් උයන එක විතරයි. දිගටම කාගෙ හරි පැත්තක කිරිබතක් ඉදෙයි. රතිඤ්ඤා පත්තු වෙයි.
(චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex
#truepatriotlk
#godayamu
(උපුටා ගැනීම -Chinthana Dharmadasa ෆේස්බුක් පිටුවෙන්..)